කොතලාවල ආරක්‍ෂක සරසවියට ‘බැරියර්’ බෑ!

697

හමුදාවේ අය පමණක් බඳවා ගන්නැයි ඉල්ලූ පෙත්සම උසාවිය ඉවත දමයි

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට ආරක්ෂක හමුදාවලට සම්බන්ධ නොවූ පරිබාහිර සිසුන් බඳවා ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය ඊයේ (04) නිෂ්ප්‍රභ කළේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ජයවර්ධන මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරු එම නියෝගය කළහ.

පෙත්සම ගොනුකර ඇත්තේ එම විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට අයැදුම්පත්‍රයක් හෝ ඉදිරිපත් නොකළ අයකු බවත් නිසි පාර්ශ්වයන් වගඋත්තරකරුවන් ලෙස නම්කර හෝ නොමැති බවත් පෙත්සම ගොනු කර ඇත්තේ නියමිත කාලසීමාව ඉක්මවීමෙන් අනතුරුව බවත් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා සිය මූලික විරෝධතාව මගින් පෙන්වා දී තිබිණි.

එමෙන්ම එම විශ්වවිද්‍යාල පීඨය සයිටම් අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලැබූ වෛi සිසුන්ද බඳවා ගැනීමට 2018 වසරේදී පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මත කර ඇති බව ද විනිසුරු මඬුල්ලට පෙන්වා දී තිබූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙත්සම්කරුගේ ඉල්ලීමට ඉඩ ලබා නොදුනහොත් බොහෝ පිරිසකට අගතියක් සිදුවන බව ද පවසා පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි විමුක්ති ද සිල්වා නමැති පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. කේ. සුමන්තිරන් මහතා පෙනී සිටි අතර රජයේ අධිනීතිඥ ෂෙහාන් සොයිසා මහතා සමග අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් වන ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment