සොඳුරු හඬ පමණක් මතකයේ රඳවා රම්‍යා ශ්‍රියානි නික්ම යයි

3761

සේවා සම්මානිත ගුවන් විදුලි නිවේදිකාවක, හඬ රංගනවේදිනියක මෙන්ම ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් හා ප්‍රවෘත්ති ප්‍රකාශිකාවකද වන රම්‍යා ශ්‍රියානි පතිරණ ඊයේ (18දා) අභාවප්‍රාප්ත වූවාය.

මෙරට ගුවන් විදුලි ශ්‍රාවක පිරිසට කිසිදා අමතක නොවන සවන්ප්‍රිය ස්වරයකින් ඔබ අප ඇමතූ ඇය ගුවන් විදුලි ඉතිහාසය තුළ අමරණීය චරිතයක් වී අවසානය. වර්ෂ 1979 දී ගුවන් විදුලි නාට්‍ය හා විචිත්‍රාංග ශිල්පිනියක ලෙසින් සේවයට බැඳුණු ඇය 1981 වසරේ සහය නිවේදක මණ්ඩලයට ඇතුළත් වූවාය. 1988 වර්ෂයේ ගුවන් විදුලි දෙවන ශ්‍රේණිය සමාර්ථව ස්ථිර නිවේදිකාවක් වූ ඇය 1994 වසරේ පළමු ශ්‍රේණිය දක්වා ස්වකීය සාමාර්ථය වර්ධනයකර ගත්තාය. 2015-2016 වසර තුළදී ඉහළ ශ්‍රේණිගත (SUPER GRADE) නිවේදන ශිල්පිනියක් වූ ඇය ශ්‍රී ලංකා වෙළෙඳ සේවය තුළ වසර 38 ක් පුරාවට සේවය කළ මතකයේ රැඳුණු නිවේදිකාවකි. සම්මානනීය ප්‍රවීණ කිවියර සාහිත්‍ය සූරී නන්දන වීරසිංහයන් සමගින් වර්ෂ 1988 දී අතිනත ගත් ඇගේ පුතුන් දෙදෙනා ගීත ගායනයටද, එකම දියණිය නිවේදන කලාවටද දස්කම් දක්වන්නෝය.

දශක හතරක් පුරාවට ගුවන් විදුලියේ ගුණාත්මක නිවේදන කලාවෙන් දිදුලන ශිල්පිනියක වන ඇය 2019 වසරේ රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙලේ දී ප්‍රශස්තම නිවේදිකාව ලෙසින් සම්මානයට පාත්‍ර වූවාය. හඬ රංගනවේදිනියක ලෙසින් ද ක්‍ෂේත්‍රයේ ප්‍රකට ඇය “ශාන්ති” නාට්‍යයේ ඉන්දිරා ලෙස හඬ කැවූ චරිතය කිසිදා රසිකයන්ට අමතක නොවන තරම් ප්‍රබලය. නිර්මාණවේදී ආනන්ද අබේනායකයන්ගේ “සදිරංග” නිර්මාණයෙන්ද ඇය දැකගන්නට ලැබුණි.

පසුගිය වසරක දෙවැනි වරට පැවැත් වුණු ලලිත කලාවේදිනී යමුනා විනෝදනීගේ ‘අසුරු සැණින්’ ප්‍රසංගයේ පූරකවරිය ලෙස රෝහණ සිරිවර්ධන සමගින් ඇය අපූර්වට ප්‍රසංගය මෙහෙය වූවාය.

ඉකුත් 2021 වසරේ අප්‍රේල් 09 වැනිදා දශක ගණනක ඇගේ සේවය අගයමින් YCF “හදවතේ අවුරුදු” දා සුසමාදර්ශී තාරුණ්‍යයෙන් පිදෙන කෘතහස්ත කලාකරු අභිනන්දනයෙන් ඇයද අබිසෙස් ලබා සම්මානිත වූ අතර එදින ඇය විසල් සතුටක් විදිමින් එහි කාලය ගතකළ අයුරු ද මතකය.

ඉකුත් කාලයේ හදිසි අනතුරකට ලක්ව ඇය තරමක් ගිලන්ව සිටියත් සුවය ලබමින් සිටින අතරේ පවා අප සමග බොහෝ කුළුපගව හෘදයාංගම සිතින් දුරකථනයෙන් හෝ බැඳුණු සිතැත්තියක් වූවාය.

නන්දන අයියා, වසත්, හිමත් සහ අයස්මා දරු තිදෙනාට මෙන්ම පවුලේ ඥාතීන්ට මගේ සාතිශය සංවේගය දක්වන අතර ආදරණීය රම්‍යා අක්කේ ඔබට නිර්වාණ සුවය වැඩි ඈතක නොවේවායි පතමි.

දයාන් විතාරණ
මුහුණු පොතේ තැබූ සටහනකිනි

advertistmentadvertistment
advertistmentadvertistment