ගෝඨාභය ජනාධිපතිවරයාට එරෙහි පළමු වෙඩිමුරය

9622

‘අරගලයට’ පෙර කතාවක්:

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව පළමුවන වෙඩි මුරය පත්තු කළේ කොළඹ ‘ස්විස්’ තානාපති කාර්යාලයේ ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති සේවිකාවකි. ඒ එතුමා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී දින 10 ක් වත් යෑමට පෙරය. ශ්‍රීමත් ආර්. ජී. සේනානායක මාවතේ (ග්‍රෙගරි ඇවනියු) පිහිටි තානාපති කාර්යාලයෙන් නොවැම්බර් 25 දින සවස පිටත්වූ තමන්ව ටොයෝටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පස් දෙනකුගෙන් සමන්විත පිරිසක් පැහැරගත් බවට ඇය එවකට ස්විස් තානාපති හෑන්ස්පීටර් මොක්ට කළ පැමිණිල්ල පළමුවෙන්ම හෙළිදරව් කළේ ජාත්‍යන්තර මාධ්‍යයි.

එම සේවිකාව එලෙස කළේ කාගේ වුවමනාවකටද? අදටත් ඒ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් නැත. නමුත් එම ප්‍රයත්නය ව්‍යර්ථ කිරීමට හැකිවූයේ එවකට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ආරක්ෂක සහ විදේශ අමාත්‍යාංශය මෙන්ම පොලිසිය නිසි ලෙස ක්‍රියාත්මක වීම නිසාය. ජනාධිපතිවරයා ගත් ස්ථාවරය නොවන්නට ස්විස් චෝදනාව අදටත් ප්‍රහේලිකාවක් වීමට තිබුණ බව අමුතුවෙන් කිවයුතු නැත. ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2019 නොවැම්බර් සහ ජුලි 2022 අතර ඉතාමත් හොඳින් මුහුණ දුන් අභියෝගය එයයි.

‘New York Times’ නොවැම්බර් 27 දින එම පැහැර ගැනීම සම්බන්ධයෙන් කෙළින්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඇඟිල්ල දික් කරමින් අවධාරණය කළේ නොවැම්බර් 16, 2019 වන දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ (2005-2014) උදහසට ලක්වූ පුද්ගලයන් රටින් පලායන බවයි. නම සහ තනතුර සඳහන් නොකළත් එම පලාගිය අය අතර රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ද සිටි බවට එම පුවත්පත චෝදනා කළේය. ස්විස් තානාපති සේවිකාවගේ චෝදනාව විමර්ශනය කළ යුතු වන්නේ ඇයගේ ප්‍රකාශය එම පොලිස් නිලධාරියා තමන්ගේ බිරිඳ සහ දරුවන් තිදෙනා සමඟ ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ගොස් පැය 36 තුළ කිරීමයි. ඇමෙරිකානු පුවත්පත පෙන්වා දුන්නේ ඇයව පැහැර ගත් කණ්ඩායම නිශාන්ත ද සිල්වා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවයි.

රජයේ නිලධාරීන් තමන්ට ලිංගික අතවර කළ බවත්, මෑත කාලයේ ස්විස් රැකවරණ ලබා ගත් පුද්ගලයන් පිළිබඳව ප්‍රශ්න කළ බවටත් ඇය චෝදනා කළේ ජාත්‍යන්තරය සහ යම් දේශපාලන පක්ෂ තමන්ට සහයෝගය පළ කරන බව විශ්වාසයෙන්ද?. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සමාජය නියෝජනය කරන බොහෝ කණ්ඩායම් ඇය සමඟ කිසිදු චකිතයකින් තොරව ඒ අවස්ථාවේ සිට ගත්තේය.

ස්විස්ටර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් ශ්‍රී ලංකා පරීක්ෂණය අඩපණ කිරීමට උපරිම ආකාරයෙන් කටයුතු කළේය. තානාපතිවරයා නොකළ දෙයක් නැත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට 2019 නොවැම්බර් 27 දින ඔහුගේ විජේරාම මාවතේ නිවසේ තම සේවිකාව පැහැර ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කළ තානාපතිවරයා ඊට දින දෙකකට පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකාව මත පැටවිය. විදේශ රාජ්‍යතාන්ත්‍රිකයා දිගින් දිගටම අවධාරණය කළේ කුමන තත්ත්වයක් යටතේ වුවද තම සේවිකාව ශ්‍රී ලංකා පොලිසියේ හෝ වෛද්‍ය අංශවල පරික්ෂාවට ලක් වීමට ඉඩ දිය නොහැකි බවයි. දෙසැම්බර් 7 දක්වාම මෙම ස්ථාවරයේ ඔහු සිටියේය. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් ස්ථාවරය හේතුවෙන් අවසානයේදී එම වීසා අංශයේ සේවය කළ එම සේවිකාවට රහස් පොලිසියට දෙසැම්බර් 08 වැනිදා වාර්තා කිරීමට සිදුවිය. ඒ වන විට ස්විස් බොරුව හෙළිදරව් වී තිබිණි.

ඇයට එරෙහිව ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා නීතිපතිවරයා ලෙස 2021 මාර්තු මාසයේ නඩු පැවරූ අතර අදාළ තීන්දුව 2023 ජුලි මාසයේ 14 වන දින කොළඹ, මහා අධිකරණය විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

නඩු කන්දක් ඇති ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර අවධානයට ලක්වී ඇති මෙම නඩුව කෙටි කලකින් විභාග කර අවසන් වීම සම්බන්ධයෙන් අපට සතුටු විය හැකිය. තානාපති සේවිකාව තමන් කළ චෝදනාව කිසිදු පදනමකින් තොර බව අධිකරණය ඉදිරියේ

පිළිගැනීමෙන් පසුව මහා අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ ඇයට වසර පහකට අත්හිටුවූ වසර දෙකක සිර දඬුවමක්, රුපියල් 5,000 දඩයක් සහ රුපියල් මිලියන දෙකක වන්දියක් නියම කළේය.

මහාධිකරණයේදී ඇයගේ නීතිඥ කණ්ඩායමේ නායකත්වය ඉසුලුවේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස විය. නඩුව ආරම්භයේ මා මිත්‍ර සුදර්ශන ගුණවර්ධන සහ උපුල් කුමාරප්පෙරුම ඇය වෙනුවෙන් පෙනී සිටියේය. විත්ති පාර්ශ්වයට තමන් කැමති ඕනෑම නීතිඥ කණ්ඩායමක සේවාව ලබා ගැනීමේ අයිතිය ඇත. රජයේ වගකීම අදාළ සියලු ‘තොරතුරු’ සහ දත්ත අධිකරණය ඉදිරියේ තැබීමයි.

හෑන්ස්පීටර් මොක් වෙනුවට ඩොමිනික් ෆුග්ලර් තානාපති වශයෙන් 2020 සැප්තැම්බර් 30 වන දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අක්ත පත්‍ර භාර දුන්නේය. තම වසර තුනකට ආසන්න සේවා කාලයක් නිමකළ ඩොමිනික් ෆුග්ලර් පසුගියදා ශ්‍රී ලංකාවෙන් සමුගත්තේය. ඒ කොළඹ මහාධිකරණය ස්විස් තානාපති සේවිකාව සම්බන්ධයෙන් දුන් නඩු තීන්දුවෙන් සති දෙක තුනකට පසුවය. හෑන්ස්පීටර් මොක් තනාපති ලෙස කොළඹ වැඩ භාර ගත්තේ 2018 සැප්තැම්බර් 06 දිනය. ඒ යහපාලන සමයේදීය.

ශ්‍රී ලංකා රජයට එරෙහිව ස්විස්ටර්ලන්ත රජය අභූත චෝදනා කළ අවස්ථාවේදී (2019 නොවැම්බර් -දෙසැම්බර්) නීතිඥ සංගමය වෙනුවෙන් එහි ප්‍රධානි කාලිංග ඉන්දතිස්ස ඉතාමත් ප්‍රබල විරෝධතාවක් දැක්විය. අදාළ සේවිකාව කළ පදනම් විරහිත චෝදනාව මත ස්විස් රජය ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව නීතිඥ සංගමය ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය. එම රටක් වටිනා ප්‍රකාශයට අපගේ උත්තමාචාරය හිමිවිය. අගතියට පත් වූ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නීතිඥ සංගමය එදා නිකුත් කළ නිවේදනය අදටත් ඉතාමත් වැදගත් ලියවිල්ලකි. එය අවධාරණය කළේ බලවත් රටක් (පාර්ශ්වයක්) කෙතරම් අසාධාරණ සහ කුමන්ත්‍රණකාරී ලෙස තවත් රටකට එරෙහිව ක්‍රියාත්මක විය හැකි ආකාරයයි.

● ස්විස් කකුල් මාට්ටුවක්

ඇත්තවශයෙන්ම ස්විස් තානාපතිවරයාගේ වුවමනාවට ඇය ජනාධිපතිවරයාට කකුල් මාට්ටුවක් දැමුවාද? එසේත් නැතිනම් ඇය ස්විස් තානාපතිවරයාව ගොනාට ඇන්දුවාද? ඇයට එම රටේ පදිංචියට තමන්ගේ ස්වාමියා සහ දරුවන් දෙදෙනා සමග යෑමට අවශ්‍ය වූවානම් කිසිදු බාධාවකින් තොරව වීසා ලබා ගැනීමට අවස්ථාව තිබිණි.

කොළඹ පිහිටි මහා බි්‍රතානයේ මහා කොමසාරිස් කාර්යාලයේ භාෂා පරිවර්තකයෙකු වූ ඇන්ටන් බාලසිංහම් ජාත්‍යන්තරය අවසාන මොහොත දක්වා පෝෂණය කළ මිනීමරු ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානයේ න්‍යාචාර්යවරයා ලෙස කටයුතු කළේ බි්‍රතාන්‍ය ජාතිකයෙකු ලෙසිනි. ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක සහ හිටපු අගමැති රජීව් ගාන්ධි ද්‍රවිඩ මිනිස් බෝම්බකාරියක විසින් 1991 මැයි මාසයේ දකුණු ඉන්දියාවේ මරා දැමුවයින් පසුවත් බාලසිංහම් එංගලන්ත ජාතිකයෙකු ලෙස සිටියේය. ඔහු මිය ගියේද එංගලන්තයේදීය. ඒ 2006 යේ දෙසැම්බර් මාසයේදීය. ලියුම්කරු බාලසිංහම් එංගලන්තයෙන් ලැබූ පිළිගැනීම සම්බන්ධයෙන් අවධාරණය කළේ බටහිර රාජ්‍ය තමාගේ න්‍යාය පත්‍රයට ගැළපෙන ආකාරයට කටයුතු කරන ඕනෑම සංවිධානයකට හෝ පුද්ගලයෙකුට අවශ්‍ය පහසුකම් ලබා දීමට කිසිසේත් පැකිලෙන්නේ නැති බවයි.

එසේනම් කොළඹ මහාධිකරණය ස්විස් ගැටලුව සම්බන්ධයෙන් නඩු තීන්දුව ප්‍රකාශ කර ඇතත් මේ සිද්ධිය පූර්ණ විමර්ශනයකට ලක් කළ යුතුය. එලෙසෙම ස්විස් රජය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතුව ඇත. ඒ තම රට එදා කළ බොරු චෝදනා හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් වූ නිසාය.

යම් රටක ආර්ථික-දේශපාලන-සමාජීය ව්‍යාකූලත්වය බාහිර බලපෑම්වලට ආරාධනා කරයි. ශ්‍රී ලංකාව ඊට කදිම නිදසුනකි. ඉන්දියාව ස්ථාපිත කර බටහිර බලවේග පෝෂණය කළ ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කර වසර 14 කට පසුවත් ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් දඬුකඳේ හිරවී සිටින්නේ අප රටට එරෙහි චෝදනාවලට නිසිලෙස පිළිතුරු දීමට අපොහොසත් නිසාය.

අපරාධ චෝදනා ගොන්නට අමතරව The Sunday Leader කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය (2009 ජනවාරි) ඇතුළු තවමත් නොවිසඳුණු අපරාධ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ පහතට හෙළා ඇත.

● මොණරාගල කිඹුල්ලු

තානාපති සේවිකාව 2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් දින 10 කට පමණ පසුව කළ දේශපාලනික බොරුව (ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඒජන්තවරුන් තමන් පැහැර ගෙන ලිංගික අතවර කළ බවට කළ ප්‍රකාශය) ජාත්‍යන්තරයේ පැළ කිරීමට අවශ්‍ය පරිසරය එවකට සුව ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සැකසූ බව සඳහන් නොකර බැරිය. ඒ මොනරාගල වැවක මිනී කන කිඹුලන්ගේ කතාවයි. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස දුන් නියෝග අනුව පැහැරගත් පුද්ගලයන් ඝාතනය කර ඔවුන්ගේ මළ සිරුරු මිනී කන කිඹුලන්ගෙන් පිරී ඇති මොනරාගල වැවකට විසි කළ බවට විශ්වාස කළ ශ්‍රී ලාංකිකයන්ද සිටි බව අමතක කළ නොහැක.

රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ආරාධනයෙන් මාධ්‍ය ඇමතූ පුද්ගලයන් දෙදෙනකු ප්‍රකාශ කළ පරිදි ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා මිනී බැහැර කිරීමේ රාජකාරිය පෞද්ගලික අංශයට දී ඇත. බොරුව හෙළි වීමත් සමඟ වෛද්‍ය සේනාරත්න ලංකා රෝහලට ඇතුළු විය. මෙහිදී අවධාරණය කළ යුත්තේ මොනරාගල වැවේ කතාව සහ ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් රත්‍රන් ටොන් 700 උතුරේ සිට දකුණට රහසේ ප්‍රවාහනය කළ බවට කළ චෝදනාවයි.

මිනී කන කිඹුලන්ගේ නඩුව තවම අධිකරණය ඉදිරියේ ඇත. සමගි ජන බලවේගයේ මහ ලේකම් එදා එජාපයේ ප්‍රබලයෙකු ලෙස පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අතුරුදන් කළ පුද්ගලයන්ගේ මිනී මොනරාගල වැවකට දැමූ බව ප්‍රකාශ කළේය. ඇත්ත වශයෙන්ම තානාපති සේවිකාව වෙනුවෙන් එදා පෙනී සිටි සියලු දෙන කොළඹ මහාධිකරණය ඉදිරියේ ඇය සිතා මතා බොරු කී බවට පිළිගැනීමෙන් පසුව දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුය. එජාපයට, ජවිපෙට මෙන්ම සමගි ජන බලවේගයට මෙම තීන්දුව සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැක. වෛද්‍ය සේනාරත්න සංවිධානය කළ කිඹුල් මාධ්‍ය සංදර්ශනය සහ ස්විස් ‘නැටුම’ අතර යම් සහ සම්බන්ධයක් තිබුණාද? සේනාරත්න අමාත්‍යවරයාගේ මාධ්‍ය කණ්ඩායමේ ප්‍රබලයෙකු වූ මෙම ලියුම්කරුද හොඳින් දන්නා පුද්ගලයෙකු රහස් පොලිසිය තමන් අත්අඩංගුවට ගැනීමට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා රටින් පිටත් විය. අද ඔහු ස්ථිර ආදායමක් ලබන පුද්ගලයෙකි.

කොළඹ මහාධිකරණයෙන් ලැබුණු තීන්දුවත් සමඟ ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් ට තම සැමියා සහ දරු දෙදෙනා සමඟ ස්විස්ටර්ලන්තයේ දී එකතු විය හැකිය. එහි කිසි වරදක් නැත. ස්විස්ටර්ලන්තයේ අනුග්‍රහයෙන් ඇයට ශ්‍රී ලංකාවෙන් සාමාන්‍ය ගුවන් මගියෙක් ලෙස පිටවී යෑමට හැකිය. මීට පෙර ස්විස් තානාපති කාර්යාලය ඇයව වෛද්‍ය ගුවන් යානයක් මගින් ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට කළ උත්සාහය එවකට රජයට තීරණාත්මක බලපෑමක් කළේය. ඒ ලිංගික අතවරයට ලක්වූ ඇයව වෛද්‍ය පරීක්ෂණයකට භාජන නොකර, පොලිස් පරීක්ෂණයද මග හැර නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් තොරව රටින් ඊට කිරීමට කළ මෙහෙයුම අතේ පත්තු විය.

ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් ගේ සිද්ධියට සහ රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ශ්‍රී ලංකාවෙන් පිටවීමට යම් කාලයකට පෙර නාවික හමුදාවේ ලුතිනන් කොමාන්ඩර් ජී. ජී. ලක්සිරි ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ හිමි කර ගත්තේය. ඔහු මාධ්‍යයේ අවධානයට යොමුවූයේ එවකට නාවික හමුදාපති අද්මිරාල් රවී විජේගුණරත්නට එරෙහිව ආන්දෝලනාත්මක සාක්ෂියක් රහස් පොලිසියට දීම සම්බන්ධයෙනි. ඒ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි (රහස් පොලිසිය වැරදි ලෙස නේවි සම්පත් ලෙස හැඳින්වූ) නාවික හමුදාවේ ලුතිනන් කොමාන්ඩර්වරයාට රටින් පිටවීමට පහසුකම් ලබා දුන් බවට කළ චෝදනාවයි.

වර්තමාන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ 2019 අග භාගයේ එජාප මන්ත්‍රීවරයෙකු ලෙස රජයට බලකර සිටියේ රහස් පොලිස් පරීක්ෂකවරයා මෙන්ම අනෙකුත් දේශපාලන රැකවරණ සිද්ධීන් සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි. රහස් පොලිසිය දේශපාලන දඩයමක යෙදෙන බව එදා යහපාලන ජනාධිපතිවරයාට පැමිණිලි කරේද එතුමාමය. අධිකරණ අමාත්‍යවරයා ලෙස එතුමාට මෙම සියලු එකිනෙකට බැඳී පවතින සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කළ හැක.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment