ඊශ්‍රායලයේදී මියගිය අනුලාට සම්පූර්ණ වන්දි මුදල ලැබෙයි

113

යුද්ධයට මැදිවී ඊශ්‍රායලයේදී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවක වන අනුලා ජයතිලක (49) මහත්මියට ඊශ්‍රායල ජාතිකයකු වෙනුවෙන් ගෙවන සම්පූර්ණ වන්දි මුදලම ලබාදෙන බවට දැනුම්දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා මහතා ‘දිවයින’ට පැවසීය.

එම වන්දි මුදල කොතෙක් දැයි කීමට තාම නොහැකි වුවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නිත්‍යානුකූලව එරටට ගොස් සිටින ඇය වෙනුවෙන් ලබාදෙන සියලුම වන්දි මුදල් ඇයගේ පවුලේ උදවිය වෙත ලබාදෙන බවද ඒ මහතා පැවසීය.

දෙදරු මවක වන එම කාන්තාව සාත්තු සේවිකාවක ලෙස එරටට ගොස් සිටියදී ඉකුත් 07 වැනිදා සිට අතුරුදන්ව සිටියාය. ඒ අනුව ඇය පිළිබඳව කළ සොයා බැලීම් වලින් පසුව

මියගොස් ඇති බව තහවුරු වී ඇත්තේ පෙරේදා (17 වැනිදා)ය.

මේ වනවිට ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් හයසියයක් පමණ නිත්‍යානුකූලව සේවය කරන අතර දෙදහසක් පමණ එරට නීති විරෝධීව රැඳී සිටින බව බලපත්‍ර ලත් විදේශ සේවා නියෝජිත සේවා සංගමය කියා සිටී.

මේ මාසයේදී ද හාරසීයකට අධික පිරිසක් එරටට ගොස් ඇත. දැනට එරටට යෑමට සූදානම්ව සිටින සියයකට අධික පිරිසක් යැවීම තාවකාලිකව නතර කර ඇතැයි ද එම සංගමය සඳහන් කළේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment