ශොයිබ් මලික්ගෙන් අපිත් ඉගෙන ගන්නවා

603

එල්පීඑල් සියලු තරගාවලි ජයග්‍රහණය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (එල්පීඑල්) ලබන ඉරිදා (30 වෙනිදා) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය. පසුගිය වර ශූරයන් සහ අනු ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් ක්‍රිකට් කණ්ඩායම එම සමාරම්භක තරගයේ ප්‍රතිවාදීන් වෙයි. මේ දක්වා පවත්වා ඇති 2020, 2021 සහ 2022 (එල්පීඑල්) අදියර තුනේම ශූරතාව හිමිකරගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම එල්පීඑල් හි සිය ආධිපත්‍යය පතුරා ඇත. කණ්ඩායම් 5 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර එල්පීඑල් තරගාවලිය සඳහා ඔවුන්ගේ සූදානම සහ මෙවර තරගාවලිය පිළිබඳව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා සමග “දිවයින ඉරිදා සංග්‍රහය” සිදුකළ සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය – එල්පීඑල් සියලු අදියරයන් හි ශුරතාව දිනූ කණ්ඩායම ලෙස ඔබ ඇතුළු කණ්ඩායම මෙවර තරගාවලිය පිළිබඳව මොන වගේ බලාපොරොත්තුවකින් ද ඉන්නේ?

පිළිතුර – මෙවර තරගාවලිය තුළ පසුගිය අවස්ථාවන්ට වඩා ලොකු තරගකාරීත්වයක් තිබෙයි. මොකද හැම කණ්ඩායමක්ම හොඳ ක්‍රීඩකයන් තෝරාගෙන තිබෙනවා. ඒ වගේම හැම කණ්ඩායමක්ම එක එකවගේ දක්ෂ බව පෙනෙන්නට තිබෙනවා. නමුත් අපි ජයග්‍රහණය පිළිබඳව සුබවාදී බලාපොරොත්තුවක ඉන්නවා.

ප්‍රශ්නය – ඔබ පුහුණුකාරීත්වය දරන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම එල්පීඑල් සෑම අදියරයකම ශූරයන් බවට පත්වුණා. මොකක්ද මේ අඛණ්ඩ ජයග්‍රහණවල රහස?

පිළිතුර – විශේෂ දෙයක් නැහැ. හැබැයි අපි අනෙක් කණ්ඩායම්වලට වඩා හොඳ පෙර සූදානමක් ලබා ගත්තා. තිසර පෙරේරා නායකයෙකු ලෙස කණ්ඩායම හොඳට මෙහෙයවූවා. ඒ වගේම කණ්ඩායමේ විනය අංක 01ට තිබුණා. දිනුවත් පැරදුනත් අපි කණ්ඩායමක් විදියට එකට හිටියා. මං හිතන්නේ අපේ ඒ බැඳීම තමයි අපේ ජයග්‍රහණවලට විශේෂම හේතුව.

ප්‍රශ්නය – කවුරුහරි චෝදනාවක් එල්ල කළොත් ඔබ ජයග්‍රහණය කළේ හොඳම ක්‍රීඩකයන් ටික අයිති කරගෙන කියලා. ඒ ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ?

පිළිතුර – එහෙම අපට දොස් කියන එක වැරදියි. හොඳ ක්‍රීඩකයන් අනෙකුත් කණ්ඩායම් මගින් ද තෝරාගෙන තිබුණා. හැබැයි එහෙම තෝරාගන්න බැරි වුණා නං ඒක ඔවුන්ගේ තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් මිස අපේ ප්‍රශ්නයක් නොවෙයි. අපිට නම් හොඳම සංයුතියක් හිටියා.

ප්‍රශ්නය – මෙවර ලැබී තිබෙන කණ්ඩායම පිළිබඳව පුහුණුකරුවෙකු ලෙස ඔබ සෑහීමකට පත්වෙනවාද?

පිළිතුර – ඔව්. හොඳ සමබර කණ්ඩායමක් අපට සිටිනවා. පසුගිය වතාවේ වගේ නොවෙයි මෙවර ක්‍රීඩක වෙන්දේසියකින් තමයි ක්‍රීඩකයන් තෝරා ගත්තේ. ඒ හින්දා අපිට අපි ඉලක්ක කළ සියලු ක්‍රීඩකයන් ගන්න හැකි වුණේ නැහැ. ඒත් අපේ ටාර්ගට් එක සියයට 80ක් 85ක් සාර්ථක වුණා.

ක්‍රීඩක වෙන්දේසිය සාර්ථකයි

ප්‍රශ්නය – පළමු වතාවට මෙවර පැවැති එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසිය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – එය ඉතා සාර්ථකයි. විනිවිදභාවයක් තිබෙනවා. ක්‍රීඩකයන්ටත් හොඳ වටිනාකමක් හිමිවෙනවා. මීට පෙර පැවති ක්‍රමය තුළ තිබුණේ තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයාට නියම කරන ලද මිලක් පමණයි. ඊට වඩා කොහොමත් වෙන්දේසි ක්‍රමය ගුණාත්මක බවින් ඉහළයි.

ප්‍රශ්නය – කණ්ඩායමක් ජයග්‍රහණය කරන්න නායකයෙක් තීරණාත්මක කාර්යයක් සිදු කරනවා. තිසර පෙරේරාගේ නායකත්වය පිළිබඳව ඔබට තිබෙන්නේ මොන වගේ අදහසක් ද?

පිළිතුර – තිසර කියන්නේ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. ඔහු රට වෙනුවෙන් මෙන්ම වෙනත් ෆ්‍රැන්චයිස් ලීග්වලත් සෑහෙන ප්‍රමාණයක් තරගවලට සහභාගි වී තිබෙනවා. පිටිය මැද නිවැරදි තීරණ ගැනීමේ විශේෂ හැකියාවක් තිසර සතුයි.

ප්‍රශ්නය – එල්පීඑල් තරගාවලිය තව පෝෂණය විය යුතු අංග ලෙස ඔබ මොනවාද දකින්නේ?

පිළිතුර – තව කණ්ඩායමක් හිටියනං හොඳයි කියලා හිතෙනවා. ඒ කියන්නේ කණ්ඩායම් 6 ක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් මේ වන විටත් අවධානය යොමුකරලා ඇති.

එල්පීඑල් නැගී එන ක්‍රීඩකයන්ට පාලමක්

ප්‍රශ්නය – එල්පීඑල් කියන්නේ ක්‍රීඩකයන්ට මොන වගේ අවස්ථාවක් ද?

පිළිතුර – නැගී එන ක්‍රීඩකයන්ට ජාත්‍යන්තරයට පියමනින්න තිබෙන පාලමක් විදියට තමයි මම එල්පීඑල් දකින්නේ. සැබෑ දක්ෂයන් මේ තරගාවලියෙන් සොයාගන්න පුළුවන්. මෙම තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් එක හා ආසන්නයේ පවතින තරගාවලියක්. අපේ නවක ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් හා මුහු වී වැඩ කරලා ඔවුන්ගේ අත්දැකීම් ලබාගන්න පුළුවන් තරගාවලියක්. ඒ වගේම වසරක් පාසා තරගාවලිය පැවැත්වෙන නිසා ක්‍රීඩකයන්ගේ ආර්ථිකයටත් මේ තරගාවලිය ඉතා වැදගත්.

මොකද අපි ක්‍රිකට් ගහන කාලේ තිබුණේ ක්‍රීඩා සමාජ පමණයි. ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරල පවුලක් නඩත්තු කරන්න අමාරුයි. දැන් ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට එන්න නොහැකි වුණත් මෙවැනි තරගාවලියකට ක්‍රීඩා කිරීමෙන් ලොකු ආදායමක් ලබාගන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි රටේ ආර්ථිකයට සහ රටේ සංවර්ධනයටත් මේ තරගාවලිය ඉවහල් වෙනවා.

ප්‍රශ්නය – ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවස්ථා තුනේදීම ශූරයන් වූ හෙයින් එම ශූරයන්ගේ කණ්ඩායමට ඇතුළත් වීම සඳහා ක්‍රීඩකයන් තුළ විශේෂ වුවමනාවක් ඇති වී තිබුණාද?

පිළිතුර – ජයග්‍රාහී කණ්ඩායමටත් වඩා අපේ පරිසරයට ක්‍රීඩකයන් තුළ ලොකු කැමැත්තක් තිබුණා. අපේ කණ්ඩායමෙන් වෙන කණ්ඩායම්වලට තෝරා ගත් ක්‍රීඩකයන් පවා පසුව ඒ ගැන අපට කියලා තිබුණා. මොකද අපි කණ්ඩායමේ හැමදෙනාටම එක වගේ සලකනවා. හැමෝටම ගෞරවය දක්වනවා. මොනවා වුණත් අපේ මූලික කාර්යය වන ක්‍රිකට් එකට අපි මුල් තැන දෙනවා.

ගුර්බාස් හොඳ මනුස්සයෙක්

ප්‍රශ්නය – ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

පිළිතුර – අපිට පාකිස්තානයේ ශොයිබ් මලික් ඉන්නවා. ඔහු ඉතා අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු එම අත්දැකීම් නවක ක්‍රීඩකයන් සමඟ බෙදා හදා ගන්න විශාල කැමැත්තකින් සිටිනවා. අපේ ක්‍රීඩකයන්ට අවශ්‍ය දෙය ඔහුගෙන් ලැබෙනවා. කොටින්ම අපටත් ඔහුගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ වගේම ඇෆ්ගනිස්තානයේ රහමනුල්ලා ගුර්බාස් අපි සතුයි. ඔහු ඉතා හොඳ මනුෂ්‍යයෙක්. දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් මෙවර පළමු වතාවට අපි සමග එක්වෙනවා. ඒ වගේම ඔස්ටේ්‍රලියානු ක්‍රීඩක ක්‍රිස් ලින් අපේ ප්‍රබල ක්‍රීඩකයෙක්. දකුණු අප්‍රිකාවේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන හාර්ඩස් විජේන් අප හා සම්බන්ධ වීමට නියමිතයි. කොහොම වුණත් පකිස්තානයේ සමන් ඛාන් තරගාවලියට සහභාගි වීම අවිනිශ්චිත බව දන්වා තිබෙනවා.

ප්‍රශ්නය – ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට එක් වීමට ඔබට අවස්ථාවක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබෙනවා ද?

පිළිතුර – ඔවුන් මාව කැඳවනු ඇතැයි කියා හිතනවා. හැබැයි අද හෙට නොවේ. සුදුසු කාලය එනතුරු ඉන්න ඕනා. විශේෂයෙන් මම දිගටම මේ වෘත්තියේ නියැළී සිටින විට, මගේ පරිණතභාවය වැඩි වන විට මට අවස්ථාවක් උදා වෙයි කියලා හිතන්න පුළුවන්. මගේ අත්දැකීම් වැඩි කරගැනීම සඳහා පසුගිය නවසීලන්ත තරග සංචාරයට පවා මාව සම්බන්ධ කර ගත්තා.

මහීෂ් තීක්ෂණ කණ්ඩායමට ගත්තේ ලැයිස්තුවට පිටින් ගිහින්

ප්‍රශ්නය – එල්පීඑල් ඔස්සේ ජාත්‍යන්තරයට බිහි වුණු ක්‍රීඩකයන් පිළිබඳව ඔබට මොකද කියන්න තිබෙන්නේ?

පිළිතුර – වැහිල තියෙන තරුවක් එකපාරට පේන්න පටන් ගන්න තරගාවලියක් ලෙසින් මේ තරගාවලිය හඳුන්වන්න පුළුවන්. ඔබ දක්ෂයි නම් ඔබට දොරටුව විවර වේවි. හොඳම උදාහරණය තමයි අපෙන් බිහිවුණු මහීෂ් තීක්ෂණ. ඔහු අද ජාත්‍යන්තරයේ ඉහළටම ගිය ක්‍රීඩකයෙක්. එල්පීඑල් පළමු අදියරේදී ම ඔහු අප හා සම්බන්ධ වුණා. හැබැයි අපි මහීෂ් ව එදා ජැෆ්නා කණ්ඩායමට ගන්න කොට මහීෂ්ගෙ නම ක්‍රීඩක ලැයිස්තුවේවත් තිබුණේ නැහැ. තිසර මට කතා කරලා කිව්වා මේ වගේ ක්‍රීඩකයෙක් ඉන්නවා අපි ගමු කියලා. මම ඊට එකඟ වුණා. එදා අපි රටට විතරක් නොවෙයි ජාත්‍යන්තරයටත් සුපිරි තරුවක් බිහි කළා.

සාකච්ඡා කළේ
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment