ලංවිම-ශ්‍රීලංකන් ප්‍රතිව්‍යුහගතකරණයට අතිරේක ප්‍රතිපාදන ඉල්ලන පරිපූරක ඇස්තමේන්තුවට කමිටු අනුමැතිය

80

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සහ සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි ශේෂපත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට අතිරේක ප්‍රතිපාදන වෙන්කිරීමට අවශ්‍ය පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ මුදල් කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය හිමි විය.

මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය හිමිවී ඇති අතර මේ මගින් රුපියල් බිලියන 231.5ක් වෙන්කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම මුදල් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය පියවීමට මෙම ආයතන දෙක භාවිත කරන බව මෙහිදී පැමිණි නිලධාරීහු සඳහන් කළහ. මේ අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාව මෙම මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාගත් ණය පියවීමටත් මහා භාණ්ඩාගාරය ඉන්දියානු ණය සහනාධාරය යටතේ ලබාගත් ණය පියවීමටත් භාවිත කරන බව මෙහිදී නිලධාරීහු කීහ.

මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අනුමතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (31දා) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම ලබා ගන්නා මුදලෙන් රුපියල් බිලියන 129ක් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ලබා ගන්නා බවත් ඉතිරි බිලියන 102 ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ලබාගන්නා බවත් මෙහිදී සඳහන් විය. එසේම ශ්‍රී ලංකා ගුවන් සේවය මේ වන විට ඩොලර් බිලියන 1ක පාඩුවක් ඇති බවත් මෙම අතිරේකය ප්‍රමාණවත් වන්නේ මුළු ණය ප්‍රමාණයෙන් 30%ක් සඳහා පමණක් බවත් මෙහිදී අනාවරණය විය.

එසේම මෙම පරිපූරක ඇස්තමේන්තු මුදල ලැබීමෙන් පසුවද ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 300ක් 400ක් පමණ වන බවද මෙහිදී නිලධාරීහු සඳහන් කළහ.

රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා, වජිර අබේවර්ධන සහ මධුර විතානගේ යන මහත්වරු මෙම කාරක සභාවට සහභාගි වූහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment