වෙඩි තියලා පොලිසියටත් කෝල් කරලා…

ඩුබායි ලලිත්ගේ වැඩක්…

පසුගිය වසරේ දෙසැම්බර් 23 වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ පාතාලයේ නියැළුණු තවත් එක් සංවිධානාත්මක අපරාධකරුවකුට ජීවිතයෙන් සමුගැනීමට සිදුවිය. ඒ ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායමක් විසින් ඉතා අමානුෂික ලෙස වෙඩි තැබීම නිසා ය. හංවැල්ල, පාදුක්ක ආදී ප්‍රදේශයන් තම රාජධානිය බවට පත්කර ගනිමින් අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි මෙම අපරාධකරුව හැඳින්වූයේ මන්නා රොෂාන් යන නමින්ය. එලෙස ඝාතනය කළ මන්නා රොෂාන් ගැන පසුගිය 04 වැනිදා යළි කතාබහ කිරීමට පටන් ගත්තේ ඔහුගේ බාල සොහොයුරා වන මධුසංකව වෙඩි තබා ඝාතනය කිරීමත් සමගය. මෙම ඝාතන සිද්ධි දෙකම බැරවී තිබුණේ ලලිත් කන්නන්ගරගේ නමටයි.

කවුද මේ ලලිත්

ලලිත් කන්නන්ගර හංවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. කලක් ඔහු බස් කොන්දොස්තරවරයකු වශයෙන් රැකියාව කළේය. එම කාලය තුළ දී ඔහුට හිටපු සංවිධානාත්මක අපරාධකරුවකු වූ රණාලේ සමයං හඳුනාගැනීමට හැකි විය. රණාලේ සමයං යනු එවකට මෙරට සිටි ප්‍රබල පාතාල නායකයෙකි. හංවැල්ල, පාදුක්ක සහ ඇඹුල්ගම ආදී ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල අපරාධ සිදුකරගෙන ගියේය. එම ප්‍රදේශවල ඔහුගේ අණට කීකරු නොවූ පුද්ගලයන් සමයං ඉතා අමානුෂික ලෙස ඝාතනය කළේ තම බලය පෙන්වීමටයි. එහෙත් ඔහුට වැඩි කල් එලෙස කිරීමට අවස්ථාව නොලැබුණි. කළුතර එතනමඬලදී සමයංව බන්ධනාගාර බස් රථය තුළ දී වෙඩි තබා ඝාතනය කළේය. එය මාකඳුරේ මධුෂ්ගේ සැලසුමකට අනුව සිදුවූවකි.

සමයංගේ ඝාතනයෙන් පසු එම ප්‍රදේශවල පාතාල අපරාධකම් සිදුකළේ ඌරුජුවා විසින්ය. ඌරුජුවා සමයංගේ ප්‍රධාන ගෝලයා වූ අතර ලලිත් සමග ද සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය. ලලිත් පාතාල අපරාධවලට ඍජුවම සම්බන්ධ විය. මාස කිහිපයක් එලෙස ගතවිය. ඌරුජුවා සිදුකළ පාතාල ක්‍රියාකාරකම් වැඩිවීමත් සමග නීතියෙන් ඔහුට ගැලවුමක් නොතිබුණි. අවසානයේ ඔහුට රක්‍ෂිත බන්ධනාගාරග වීමට සිදුවිය.

ඌරුජුවා බන්ධනාගාර ගතවීමත් සමග එම ස්ථානයට පැමිණියේ සමයංගේ තවත් ගෝලයකු වූ අංකුඹුරේ ඉන්ද්‍ර නමැති තැනැත්තාය. ඌරුජුවා සහ ඉන්ද්‍ර එකම පාතාල කල්ලියක සිටියත් දෙදෙනා අතර විරසකයක් තිබුණි. එයට ප්‍රධානම හේතුව වුණේ ඌරුජුවා බන්ධනාගාරගත වීමෙන් පසු ඔහුගේ තැනට ඉන්ද්‍ර පැමිණ පාතාල අපරාධ සහ කප්පම් ගැනීම් ආදිය සිදුකළ නිසාය.

ඒ සම්බන්ධයෙන් අවස්ථා ගණනක දී ඌරුජුවා, ඉන්ද්‍රට අවවාද කළේය. එහෙත් ඉන්ද්‍ර ඒවා සත පහකට ගණන් ගත්තේ නැත. ඔහුට අවශ්‍ය විදිහට එම ප්‍රදේශවල පාතාල අපරාධ සිදුකරගෙන ගියේය. ඌරුජුවා සහ ඉන්ද්‍ර අතර එලෙස විරසකයක් ඇති වුවත් ලලිත් කන්නන්ගර එම දෙදෙනාව ම ඇසුරු කළේය. එහෙත් ඔහු වැඩි කැමැත්තක් දැක්වූයේ ඌරුජුවාටයි.

බන්ධනාගාරගතව සිටි ඌරුජුවා දිනක් ලලිත්ට දුරකථන ඇමතුමක් ලබාදී මෙලෙස පැවසුවේය.

“මචං ලලිත්, ඉන්ද්‍ර දැන් දඟලනවා වැඩියි. ඌ වෙනම ටීම් එකකුත් හදාගෙන. මම කියන කිසි දෙයක් අහන්නෙ නැහැ. මෙහෙම ගියොත් මට තියෙන තැනත් නැති වෙනවා. ඒක එහෙම වෙන්න දෙන්න බැහැ. ඒක නිසා මට මූව ඉවරයක් කරන්න ඕන. ඒකට මට උදව් කරපං.”

ඌරුජුවාගේ එම ඉල්ලීමට ලලිත් කැමති විය. ඉන්පසු ඔහු ඌරුජුවා සමග එකතුවී ඉන්ද්‍ර ඝාතනය කිරීමේ සැලසුම පිළිබඳ සංවාදයේ යෙදුණේ මෙලෙසින්ය.

“ලලිත් මගේ වැඩේ මොකද?”

“ඒකට මගේ පොඩි සැලසුමක් තියෙනවා.”

“ඒ මොකක් ද?”

“ඉන්ද්‍ර එක්ක මම නාන්න යනවා බෝපත් ඇල්ලේ.”

“කවද ද?”

“තවම දිනයක් නැහැ. මම මිනිහට කියලා තියෙන්නේ.”

“ඉන්ද්‍ර කැමති ද?”

“ඔව් උඩින්ම කැමතියි… මට තියෙන්නේ දිනයක් කියන්න විතරයි.”

“නියමයි ලලිත් නියමයි. උඹ දිනයක් දාගනින් බෝපත් ඇල්ලේ දීම ඉන්ද්‍රව ඉවර කරමු.”

“එතැනදි ගහන්න අමාරුයි. සෙනඟත් ඉන්නවනේ.”

“ඔව් එකත් ඇත්ත.”

“ආපහු එන ගමන් ගහන්න. මම මගින් බහින්නම්.”

“ඔව් ඒකත් හොඳයි. උඹ දිනයක් දගෙන මට කියපන්. අනිත් ටික මම බලාගන්නම්.”

එලෙස ඉන්ද්‍ර ඝාතනය කිරීමට ලලිත් සහ ඌරුජුවා සැලසුම් කළේය. නියමිත දිනය උදාවිය. ඉන්ද්‍ර සහ ලලිත් තවත් කිහිපදෙනකු සමග බෝපත් ඇල්ලේ දිය නෑමට ගියහ. මත්පැන් බෝතල් කිහිපයක් හිස් කරමින් ඔවුහු බෝපත් ඇල්ලේ නාමින් විනෝද වූහ. පැය කිහිපයකට පසු එම පිරිස නැවත නිවෙස් බලා යෑමට පිටත් වූහ.

එලෙස පැමිණි ලලිත් කන්නන්ගර හංවැල්ල නගරයේ දී වෑන් රථයෙන් බැස්සේ තමන්ට වෙනත් ගමනක් යන්න ඇති බව පවසමින්ය. එලෙස බැසගත් ලලිත් ඌරුජුවාට දුරකථන ඇමතුමක් ලබාදී මෙලෙස පැවසුවේය.

“මම හංවැල්ලෙන් බැස්සා ඉන්ද්‍ර දැන් වෑන් රථයෙන් ගෙවල් පැත්තට යන ගමන් ඉන්නේ.”

එම පණිවිඩය ලැබුණු පසු ඌරුජුවා තම ගෝලයන්ට ඒ බව පැවසුවේය. ඔවුන් කල්තියාම ඉන්ද්‍රට වෙඩි තැබීම සඳහා සූදානම්ව සිටියේය. ඉතාමත් සූක්‍ෂ්ම ලෙස ඉන්ද්‍රව ඝාතනය කිරීමට සැලසුම් කළත් එදින ඔහුව ඝාතනය කිරීමට නොහැකි විය. ඉන්ද්‍රට ජීවත් වීමේ වාසනාව තිබුණි. පසුව ඉන්ද්‍රට තම ඝාතන සිද්ධියේ සියලු තොරතුරු සොයාගැනීමට හැකි විය. ඉන්පසු ඉන්ද්‍ර ලලිත්ව ඝාතනය කිරීමට උත්සාහ කළේය.

ඉන්ද්‍රගෙන් මරණ තර්ජන එල්ල වෙද්දී පොලිස් නිලධාරීන් ද ලලිත් ගැන ඇස ගසාගෙන සිටියේය. ඒ ඔහු සිදුකරන පාතාල ක්‍රියාකාරකම් එන්න එන්නම වැඩිවීම නිසාය. අවසානයේ ලලිත් හොර රහසේම ඩුබායි රාජ්‍ය වෙත පලා ගියේය.

ඩුබායි ගිය ලලිත් කන්නන්ගර තවත් පාතාල නායකයන් සමග සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් ජයට ම සිදුකරගෙන ගියේය. අවසානයේ ඔහු තමන්ගේ ම පාතාල ගෝලයන් පිරිසක් සාදා ගත්තේය. එම ගෝලයන් ලවා හංවැල්ල, පාදුක්ක ආදී ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම පමණක් නොව, පාතාල අපරාධකම් ද සිදු කළේය.

මොහු පිළිබඳ රට ම කතා කිරීමට පටන්ගත්තේ බූරුමූණා නමැති පාතාලයේ සැඟවුණු වෙඩික්කරු යොදා ගනිමින් හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගයි. එම සිද්ධියෙන් පසු ලලිත් කන්නන්ගර ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනයක් නිකුත් කර ගැනීමට බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් අවිස්සාවේල්ල අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ද ලබාගත්තේය. එලෙස රතු නිවේදන ලබාගත් පසු ලලිත් කන්නන්ගර තම බිරිඳ සමග ඩුබායි පොලිසියට කොටුවිය. එහෙත් මෙරටට ගෙන්වා ගැනීමට පෙර ඔහු එහිදී නිදහස් විය.

ලලිත් මන්නා රොෂාන් ගැටුම

හංවැල්ල පාතාල කිරුළ රැකගන්න මන්නා රොෂාන්ගේ මල්ලීටත් වෙඩි පිට වෙඩි

මන්නා රොෂාන් හංවැල්ල පාදුක්ක ආදී ප්‍රදේශවල පාතාල අපරාධකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම ජයට ම සිදුකරගෙන ගියේය. ඩුබායි සිටින ලලිත් ද තම පාතාල අපරාධකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරගෙන ගියේ එම ප්‍රදේශවලයි. එම නිසා කලක සිට දෙදෙනා අතර විරසකයක් ඇති විය. එලෙස ම මන්නා රොෂාන් තදින්ම හෙරොයින්වලට ඇබ්බැහිවූ පුද්ගලයෙකි. හෙරොයින් පානය කළ පසු ඔහු සිටින්නේ වෙනම ලෝකයකයි. එවැනි අවස්ථා කිහිපයක දීම ඔහු ලලිත් කන්නන්ගර මරා දමන බව පවසා තිබිණි. ඩුබායි සිටින ලලිත් මේ සියල්ල දැනගත්තේ තම ගෝලයන් හරහා ය.

දිනක් ලලිත් ඩුබායි සිට මෙරට සිටින තම ගෝලයකුට දුරකථන ඇමතුමක් දී මෙලෙස කතා බස් කළේය.

“රොෂාන් දැන් දඟලවා වැඩියි.”

“ඔව් බොසා මටත් ආරංචියි තැන් දෙක තුනකදී බොසාටත් බැනලා තිබුණලු නේද?”

“ඒක තමයි මූ දැන් කරදරයක් වීගෙන එන්නේ.”

“ඉතින් බොසා මොකද කරන්න ඕනේ?”

“ඉවරයක් කරලා දාන්න ඕනෑ. චාන්ස් දුන්නා ඇති”

“හරි වැඩේ වෙන විදිහ කියන්න, මම ඉවරයක් කරලා දාන්නම්.”

“රොෂාන් හොඳටම කුඩු ගහනවා. කුඩු පාර්සලයක් ගන්න සෙට් කරලා ගහන්න ඕනෑ. මම ඒවා ප්ලෑන් කරලා තියෙන්නේ. උඹ හොඳ වැඩකාරයෝ දෙන්නෙක් සෙට් කර ගනිං ඉක්මනට ම. ඊට පස්සේ මම දිනේ කියන්නම්.”

“හරි බොස්.”

දින කිහිපයක් ගතවිය. ලලිත්ගේ එම ගෝලයා වෙඩික්කරුවන් දෙදෙනකු සොයාගෙන ඔහුට ඒ බව පැවසුවේය.” ඒ අනුව ලලිත් රොෂාන් ඝාතනය කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට දිනයක් යොදා ගත්තේය.

නියමිත දිනය උදාවිය. මන්නා රොෂාන්ට දුරකථන ඇමතුමක් ලැබුණි. එයින් කියවුණේ හෙරොයින් පාර්සලයක් ලබාගැනීම සඳහා පාදුක්ක තුන්නාන ප්‍රදේශයට පැමිණෙන ලෙසයි. එවිට ඔහු සිටියේ පූගොඩ සිය බිරියගේ නිවසේය. බිරිඳට එම ඇමතුම පිළිබඳ සැක සිතුණි. එම නිසා ඇය මන්නා රොෂාන්ගේ එම ගමන නතර කිරීමට උත්සාහ කළාය. එහෙත් පලක් වූයේ නැත. මන්නා රොෂාන් තම මිතුරෙකු වූ සුපුන් සමග පාදුක්ක බලා පිටත් විය.

පාදුක්ක ප්‍රදේශයේ පිහිටි වෙන්දේසි ඉඩමක් වෙත රොෂාන් සහ මිතුරා ජීප් රියෙන් පැමිණියේය. එලෙස පැමිණ විනාඩි කිහිපයකට පසු යතුරු පැදියක් එම දෙසට පැමිණියේය. මන්නා රොෂාන් සිතුවේ හෙරොයින් පාර්සලය යතුරු පැදියෙන් පැමිණෙන අය ළඟ ඇති බවය. එහෙත් සිදුවූයේ රොෂාන් සිහිනෙකින්වත් නොසිතූ දෙයකි.

යතුරුපැදියේ පිටුපස අසුනේ සිටි පුද්ගලයා මත්ද්‍රව්‍ය පාර්සලය වෙනුවට ගත්තේ ටී. 56 තුවක්කුවකි. මන්නා රොෂාන්ට සිදුවන්නට යන්නේ කුමක්ද කියා සිතා ගැනීමටත් නොහැකි විය. එක්වරම ඔහු දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල විය. එම වෙඩි ඔහුගේ හිසට, පපුවට සහ ඉණ ප්‍රදේශයට වැදී තිබුණි. මෙය දුටු ඔහුගේ මිතුරා වූ සුපුන් ජීප් රථයට පැන දිව්වේ දිවි ගලවා ගැනීමටයි. එහෙත් එම වෙන්දේසි ඉඩම දෙසට තවත් යතුරු පැදියක් පැමිණියේය. එම යතුරුපැදිකරු සුපුන් පසුපස පන්නා ඔහුටද වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළේය. එම වෙඩි ප්‍රහාර හමුවේ ඔවුන් දෙදෙනාට දිවි බේරාගැනීමට නොහැකි විය.

හංවැල්ල පොලිස් නිලධාරීහු මෙම සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූහ. එහිදී අනාවරණය වූයෙ යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා පැමිණ ඇති බවයි. සිදුකළ වැඩිදුර පරීක්‍ෂණවලදී අනාවරණය වූයේ ඩුබායි සිටින ලලිත් කන්නන්ගරගේ උවමනාවකට මෙම ඝාතන සිදුකර ඇති බවයි.

මන්නා රොෂාන් එලෙස ඝාතනය කළ පසු ඔහුගේ බාල සොහොයුරා වූ මධුසංඛ රොෂාන්ගේ වැලි තොටුපළේ කටයුතු සිදුකරගෙන ගියේය. එලෙසම මධුසංඛ සිටියේ ලලිත් කන්නන්ගර සමග බද්ධ වෛරයකිනි. ඒ තම සොහොයුරා ඝාතනය කිරීම නිසාවෙනි. ඔහු පැවසුවේ කෙසේ හෝ තම සොහොයුරා ඝාතනය කළ පලිය ලලිත්ගෙන් ගන්නා බවයි.

රොෂාන්ගේ සහෝදරයා

දිනය පසුගිය 04 වැනිදාය. මධුසංක වැලිතොටුපළ වෙත ගියේ තම කැබ් රථයෙනි. එලෙස ගිය ඔහු දහවල් 1.30ට පමණ යළි නිවෙස බලා යෑමට පිටත්වුණි. එම අවස්ථාවේ ඔහුගේ ගෝලයකු වූ ආසිරි ද කැබ් රථයට ගොඩ විය. ඉන් පසු එම මාර්ගය දිගේ කැබ් රථය ධාවනය කෙරුණි.

එම මාර්ගය ඉතා පටු එකකි. දෙපැත්තෙන් ඇත්තේ ළඳු කැලෑවකි. කැබ් රථය ඉදිරියෙන් ටිපර් රථයක් ද ධාවනය කෙරුණි. මධුශංක එලෙස මීටර් 300ක් පමණ කැබ් රථය ධාවනය කළේය. එක්වරම ළඳු කැලෑව ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයකු කැබ් රථය ඉලක්ක කර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළේය. එම වෙඩි ප්‍රහාර හමුවේ මධුසංක කැබ් රථයේ වේගය වැඩි කළේය. එහෙත් සිදුවුණේ නොසිතූ දෙයකි. කැබ් රථය ඉදිරියෙන් ගිය ටිපර් රථයේ ගැටුණි. ඒ සමගම තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් කැබ් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනාට එල්ල කෙරුණි. ඉන්පසු තුවක්කුකරුවන් එම ස්ථානයෙන් පලා ගියේය.

වෙඩි වැදී තුවාල ලබා සිටි මධුසංක සහ ආසිරි යන දෙදෙනා වහාම අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කෙරුණි. එලෙස රෝහලට ඇතුළත් කිරීමටත් පෙර මධුසංක මියගොස් තිබුණි. ඔහුගේ ගෝලයා බරපතළ තුවාල ලබා ජීවිතය බේරා ගත්තේ පෙර පිනකට මෙන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය පරීක්‍ෂණ සිදු කළේය. එලෙස පරීක්‍ෂණ සිදුකරන අතර තුර හැංවැල්ල පොලිසියට දුරකථන ඇමතුමක් ලැබිණි.

“මම කතා කරන්නේ ලලිත් කන්නන්ගර. ඩුබායි ඉඳලා” දන්නවා ඇතිනේ මාව. මන්නා රොෂාන්ගේ මල්ලි වන මධුසංකයි, තවත් එයාගේ යාළුවෙකුටයි වෙඩි තිබ්බා හිරිපොළ වෙලගාවදි. ගිහින් බලන්න.” එම ඇමතුමෙන් එලෙස කියැවිණි.

ඒ අනුව පොලිසිය සැකකරන්නේ මන්නා රොෂාන් වගේම මොහුගේ සොහොයුරා වන මධුසංකවත් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ලලිත් කන්නන්ගරගේ අනුදැනුම ඇතිව බවයි. කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් පවසන්නේ ඒ බව නිශ්චිත වශයෙන් තහවුරු කර ගැනීම සඳහා පැති කිහිපයකින් විමර්ශන සිදු කරන බවයි.

බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ඩී. එම්. මාරපන, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. පී. ජයමහ, සහකාර පොලිස් අධිකාරි අජිත් ගුණවර්ධන යන අයගේ අධීක්‍ෂණය මත හංවැල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුජිත් හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීහු පිරිසක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment