හඳුනගන්නම බැරි නාඳුනන තුවක්කුකරු…සියල්ල පාතාලයේ මෙහෙයවීම්

700

ඉස්සර පාතාලය හෙල්ලූ ගෝඩ්ෆාදර් කෙනෙකුට නාඳුනන තුවක්කුකරුවන් දහදෙනෙක් ඉඳලා

“නාඳුනන තුවක්කුකරුවන්” ගැන වෙනස්ම කතාවක්!

වෙඩි පිට වෙඩි තියමින් ඇඩ්‍රස් නැතිවෙන්න ගහන නාඳුනන තුවක්කුකාරයෝ

ශ්‍රී ලාංකේය පාතාලය අරාජිකය. පාතාල ලෝකයේ ප්‍රථම අන්තිම සහ එකම අනුත්තර අණ දෙන්නා නොහොත් ගෝඩ්පාදරයා වශයෙන් පිළිගෙන සිටි නාවල නිහාල්ගේ ඇඩ්ඩ්‍රස් නැති “වාෂ්ප වීමෙන්” පසු පුරප්පාඩු වූ ගෝඩ්පාදර කිරුළ හිසට දමා ගැනීමට තියා අතින් ඇල්ලීමට හෝ ලංවීමටත් මෙතෙක් කිසිම පාතාලයෙකුට හැකි වී නැත.

සොත්ති උපාලිලා චින්තකලා ධම්මිකලා ඕල්කොට්ලා අංගොඩ ලොක්කලා සමයංලා පමණක් නොව මාකඳුරේ මධුෂ්ගේ පවා එකම සිහිනයව තිබූ ගෝඩ් ෆාදර් කිරුළ ඔවුන්ගෙන් ඈත්කළේ ඔවුන්ගේම එවුන් විසිනි. ඒ හරියට කැලේ ගසක් නසන්නට කැළේ ගසක්ම ඕනෑ වෙයි යන පිරුළ සනාථ කරමිනි.

පාතාලය අරාජික වුවද අක්‍රීය නැත. පෙර නොවූ විරූ ලෙස පාතාල ක්‍රියා සක්‍රීයය. සොරකම් මංකොල්ලකෑම් මත් ජාවාරම අවි ජාවාරම ස්ත්‍රී දූෂණ ළමා අපචාර ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම මිනීමැරුම් ගැනද නිරන්තරයෙන් මාධ්‍ය තුළින් අසන්නට ලැබෙයි. මේ අතරින් අපට වැඩිපුරම අසන්නට ලැබෙන්නේ හඹාගෙන ගොස් හෝ මහමගදී ගිනි අවියක් භාවිතා කොට කරනු ලබන මිනී මැරුම් ගැනයි. හෝමාගම කොස්ගොඩ වළස්මුල්ල සහ කොට්ටාව යන නගරවලින් වෙඩි තැබීම් සහ ඝාතන හතරක් ගැන මෙම ලිපිය ලියන අවස්ථාවේදීත් අප මාධ්‍ය විසින් ප්‍රකාශ කරනු මට අසන්නට ලැබුණි. ඇත්තටම එවන ප්‍රවෘත්ති සිතට ගෙන එන්නේ අසතුටකි.

පාතාලයටත් නායකයෙකු හෙවත් ගෝඩ් ෆාදරයකු අවශ්‍ය බව ඇතමෙකු කියන්නේ මේ නිසාය.

යන්තම් ඉළ ඇදුනු හිරිමල් තරුණයන් මෙන්ම හමුදාවන්ගෙන් පැන ආ සෙබළුන් දාමරික හෝ මදාවි ගති ඇත්තන් ගිනි අවි අත් දරා හතර අතට වෙඩි පිට වෙඩි තබමින් මෙසේ මිනී මැරීම රටට මෙන්ම රටේ පාලකයන්ටත් නීතිය ක්‍රියාවේ යොදවන පොලිසියටත් ගෙන දෙන්නේ අපකීර්තියකි. එය රටක පැවැත්මට එතරම් හොඳ දෙයක් නොවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පසුගිය 20 වන දින ප්‍රකාශ කරන අන්දමට 2022 වසරේ පමණක් වෙඩි තැබීම් සිද්ධීන් 60ක් වාර්තා වී ඇත. එමෙන්ම 2023 ජනවාරි මාසයේ සිට මේ දක්වා වූ මාස හයක කාලය තුළ වෙඩි තැබීම් 34 වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් 20 දෙනකු මියගොස් 13 දෙනකු තුවාල ලබා ඇති බවත් ඔහු සඳහන් කරයි. (අද දින වාර්තා වුණු වෙඩි තැබීම් හතර මෙයට එකතු වී නැත.)

පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අනුව 2022 වසරේ විවිධ අන්දමට සිදුවුණු මනුෂ්‍ය ඝාතන 559 ක් අතරින් 493 ක් විසඳා ඇති අතර මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මාස හය තුළ මනුෂ්‍ය ඝාතන 225 ක් සිදුව ඇත. මෙම ඝාතනවලට හේතු වන්නේ මත්ද්‍රව්‍ය නිසා ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි පෞද්ගලික ආරවුල් සහ අනියම් සබඳතා බව ඔහු පවසයි.

අසාමාන්‍ය සමාජ විද්‍යාවට හා පාතාල අපරාධ විද්‍යාවට අනුව මිනීමැරුමද වර්ග කීපයකට වෙන් කළ හැක. අතින් පයින් පහරදී මරා දැමීම, මොට ආයුධයකින් පහර දී මරා දැමීම, තියුණු කැපෙන අවියකින් කපා කොටා මරා දැමීම, හුස්ම හිරකොට මරා දැමීම, (ගෙල මිරිකා හෝ දියේ ගිල්වා මරා දැමීම) උල් අවියකින් ඇන මරා දැමීම, ගිනි අවියකින් වෙඩි තබා මරා දැමීම, බලහත්කාරයෙන් වස පොවා මරා දැමීම, විස එන්නත් කර මරා දැමීම, කන්න බොන්න නොදී නිරාහාරව තබා මරා දැමීම, විදුලි සැර වදින්නට සලස්සවා මරා දැමීම, විෂඝෝර සර්පයින්, බල්ලන්, කිඹුලන්, මෝරුන් වැනි සතුන්ට ගොදුරු වන්නට දැමීම, පන පිටින් වළ දැමීම, ගින්නට දමා පිළිස්සීම, (ටයර් සෑය) දස වධ දී මරා දැමීම, වාහන වලට යට කර මරා දැමීම මෙවැනි ක්‍රමවේදයන්ය.

එසේම කුරුසියේ ඇණ ගසා මැරීම, කස පහරදී මැරීම, උල තැබීම, කඳ මැදින් දෙකට ඉරීම, වංගෙඩියක දා කෙටීම වැනි මිනී මැරීමේ ක්‍රම ගැනද ඉතිහාසයේ කතා කරයි.

කවුරු කොහොම මැරුවත් ඒ මරණයටද පන්ති සහ ප්‍රභේද ඇත. මරණ විට සටනට සටනක් දී මියයෑම අංක එකේ සුපිරි ග්‍රේඩ් (Great death) මරණයක් බව පහළ සමාජයේ මතයක් පවතී. අප කවුරුත් දන්නා ඇහැලේපොළ පුත් මද්දුම බණ්ඩාර කුමරු “අයියන්ඩියෙ බිය නොවන්න මැරෙනා හැටි මම පෙන්වන්නම්” කියා ගහලයාට හිස දුන්නේ ග්‍රේඩ් විදිහටය.

තමා මරන්නට ආ දෙදෙනකුවත් මරා ගෙන කොලොන්නාවේ හෝටලයක් තුළ පිහි ඇනුමකින් මියගිය දෙමටගොඩ වළංකඩේ මහින්ද පොළොන්නරුවේ මහ කැළයක් මැද පොලිස් නිලධාරීන් හය හත් දෙනකු සමග අතින් පයින් සටනක් දී මියගිය (නොලියවුණු ඉතිහාසයේ සඳහන්) පොළොන්නරුව පොඩි විජේ මෙන්ම තමන් මරන්නට ආ විරුද්ධවාදීන් සමග අතින් පයින් සටන් කර අවසානයේ වෙඩි පහරින් මියගිය මරදානේ මහත්තයා මෙන්ම බෲස්ලී ජිම් කෙලී මෙන් හත් අට දෙනකු සමග හටන් කර මියගිය මහත්තයාගේම බාල සොහොයුරු වන නීල් මල්ලී වැන්නන්ගේ මියයෑම් පාතාල පොතේ ලියවෙන්නේ ග්‍රේඩ් මරණ ලෙසිනි.

ග්‍රේඩ් මරණ මෙන්ම චාටර් මරණ, පීචං මරණ, අඤ්ඤොස් මරණ, සල්පි මරණ ආදී මරණ අතර ඇඩ්ඩ්‍රස් නැති මරණ කියා දෙයක්ද පාතාල සමාජයේ පවතී. ඇඩ්ඩ්‍රස් නැති මරණ යනු නම් නැති, ගම් නැති, ලිපින නැති නාඳුණන තුවක්කුකරුවකු හෝ කුලී මිනී මරන්නකු විසින් කිසිම සාක්කියක් නොතබා සලකුණක් නොතියා කරන මිනී මැරුමයි.

අද සමාජයේ අපට බොහෝ ලෙස අසන්නට ලැබෙන්නේ මේ ඇඩ්ඩ්‍රස් නැති මරණ ගැනයි.

“ඇඩ්‍රස් නැති මර්ඩර්” දෙන නාඳුණන තුවක්කුකරුවාට ජනප්‍රියත්වයක් කීර්තිනමක් ප්‍රසිද්ධියක් අවශ්‍ය නැත. අප විමර්ශනය කර සොයා ගත් කරුණුවලට අනුව බොහෝ නාඳුණන තුවක්කුකරුවන් එක දිගට මිනී මරා ෆොටෝ එක (මුහුණ) සමාජයට නිරාවරණය කරගන්නා අය නොවේ. ඔවුන් එක වැඩක් හෝ දෙකක් කර ඉන් පසු බොහෝ කාලයක් සැඟවී සිටින සමාජයෙන් වෙන්ව ඉන්නට කැමති පුද්ගලයන්ය.

දැන් ඇඩ්ඩ්‍රස් නැතිව සිටින ගෝඩ් ෆාදර්ට දක්ෂ නාඳුණන තුවක්කුකරුවන් දහ දෙනකු පමණ සිට ඇත. ඉන් වැඩි දෙනෙක් උතුරු මැද පළාතට සහ වයඹ පළාතට අයත් අය වූහ. අවශ්‍ය වැඩේට පමණක් ඔවුන් කොළඹට හෝ අදාළ නගරයට පැමිණ වැඩේ නිම කර යළි තම ගම් පළාතට හෝ සිංගප්පූරුව, ඉන්දියාව, මලේසියාව වැනි ලංකාවට ආසන්න රටකට ගොස් මද කලක් ජීවත් වෙයි.

දැන් මෙන් නවීන අවි ආයුධ පරිහරණය නොකලද ධාවනය වන වාහනයේ සිට හෝ ධාවනය වන ගමන් ඉලක්කය ඇල්ලිය හැකි දක්ෂ වෙඩික්කාරයන් අපේ මෑත ඉතිහාසයේ ඕනෑ තරම් සිට ඇත. රත්මලානේ රත්තා, මතුගම හීන් මල්ලි, ගම්පහ ලයනල්, දෙහිවල පල්ලත්තර ජගා දොන් විල්සන්, කිරුළපන සුරේෂ්, මඩකලපුවේ රගූ ඒ අතරින් කීප දෙනෙකි.

ධාවනය වන ලාන්සර් කාරයේ සුක්කානම වමතින් මෙහෙයවමින් හිස එළියට දමා දකුණතින් මිලිමීටර් නවයේ පිස්තෝලයෙන් ඉදිරියේ යන යතුරුපැදිකරුට විල්සන් විසින් වෙඩි තබන අයුරු මා ඇතුළු කීපදෙනකුම එදා සියැසින්ම දැක්කේ දෙනෝදාහක් ගැවසෙන ජනාකීර්ණ බොරලැස්ගමුව හන්දියේදීය. එකල මම නව යෞවනයෙක්ව සිටි අතර එය තාමත් නොවිසඳුනු ඇඩ්ඩ්‍රස් නැති මරණයක් විය යුතුය.

මුහුණු ආවරණය කරගෙන හිස් වැසුම් අත් වැසුම් ලෙදර් ජැකට් පැළඳ කෙතරම් හොඳින් වෙස්වලාගෙන පැමිණ වාහනයේ හෝ යතුරුපැදියේ සිට තිතට ඉලක්කය ගෙන කොකා ගැස්සුවත් සාක්කි නැති ක්ලීන් මර්ඩර් දෙන තරම් දැන් ඉන්න එවුන් දක්ෂ නැත. අපරාධ විද්‍යාවේ න්‍යායකට අනුව ඕනෑම මිනීමරුවකු තම කාර්ය නිම කරන්නේ කුමන හෝ කුඩා හෝ සාක්ෂියක් ඉතුරුකර තබමිනි. වත්මන් වෙඩික්කරුවන් ඉතුරුකර යන සාක්ෂි වන්නේ සමහරවිට අංක තහඩුවකි. නැත්නම් සීසීටීවී කැමරා දසුනකි, එසේත් නැත්නම් ඇමතුමක් ලබාගත් ජංගම දුරකථන ආයතනයෙන් ලබා ගන්නා අවසන් ඇමතුම් වාර්තා හෝ සිම්කාඩ් පත්ය.

මෑතකදී පානදුරේදී ඝාතනය වුණු ධනවත් ව්‍යාපාරිකයාට ගැසූ කුළී ඝාතකයාව පොලිසිය විසින් හඳුනාගත්තේ ඔහු විසින් කුළී පදනම මත ලබා ගත් යතුරුපැදියට පෙට්‍රල් ගැසූ කිව්ආර් කෝඩ් එක මගිනි. පොලිසිය වෙඩික්කරු හඳුනාගෙන ඔහු පසුපස දැල එලමින් සිටින බව ඔහු තාමත් නොදනී. ඒ නිසා තමා බේරුනා යැයි සිතමින් නිදැල්ලේ හැසිරෙයි.

මා පාසල් මිතුරකු වන පොලිසියේ උසස් නිලධාරිවරයකු මෑතකදී මට කී කතාවක් මට සිහිවිය.

“දැන් පොලිසිය හරි දියුණුයි. අපි ගාණට දැල එලනව.. ඒකට අති දක්ෂයෝ දෙපාර්තමේන්තුවේ ඉන්නවා. රටේ වැඩිදෙනෙක් දන්නේ නැහැ. අපි නිහඬව ඉඳන් කරන වැඩ.. වෙලාව ආවාම තමයි වැඩකාරයන්ට මොළේ රත්වෙන්නේ. අවස්ථාව ආවම කොහේ හිටියත් මෑන්ව උස්සනවා. ඔය එයාර්පෝට් එකෙන් හොස්පිට්ල්වලින් අපි ගන්නේ එකපාරට දැකල නෙවෙයි කාලයක් කරපු ෆලෝ කිරීම් නිසයි. හැබැයි අපේ මොරාල් බහින අවස්ථාත් තියෙනවා. ඒ… වැඩේ අතෑරලා දාන්න.. එහෙමත් නැත්නම් පරීක්ෂණ කටයුතු වෙන අංශයකට භාර දෙන්න කියල ඉහළින් ඕඩර්ස් එනකොටයි. එහෙම වුණාම අපි වැඩේ අතාරිනවා. නැතිව වැඩ බැරිකමට නෙවෙයි.”

නාගි යනු මට ඇසුරු කිරීමට ලැබුණු දක්ෂ නාඳුණන වෙඩික්කාරයෙකි. හේ කුඩා කල උතුරු මැද පළාතේ දේවස්ථානයක අල්තාරය මත දමා ගිය දරුවෙකි. අනාථ ළමා නිවාසයක හැදෙන වැඩෙන ඔහු එහි පාලකයන්ගෙන් ලබන අමානුෂික කුරිරු තාඩන පීඩන නිසා මුළු සමාජයම සමග වෛරයෙන් පෙළෙයි. නව යොවුන් වියේදී ළමා නිවාසයේ නිලධාරියකුට ගසා අතක් කඩා එළියට පනින ඔහු කල්පිටිය වැල්ලට පැමිණ මූදු රස්සාවේ යෙදෙයි. එහිදී ඔහු වෙඩි තබා කුළියට මිනී මරණ රස්සාව ඉගෙන ගනී.

“මං ඉස්සෙල්ලම යකඩ කෑල්ලට ගියල ඇල්ලුවේ මතායස් මුදලාලිගේ පිස්තෝලෙ. මට එදා හිතුනා ඒක අරන් මං හිටපු නිවාසෙට හෙරෙන් බැහැල මට කරදර හිරිහැර කරපු එවුන් ඔක්කොටම තියල එන්න. මං මුදලාලිගෙන් ආයුදේ ඉල්ලුවා. මුදලාලි මට ආයුදේ දෙන්නං කියල පොරොන්දු වෙලා මගෙන් වැඩ දෙක තුනක් ගත්තා, ආයුදේ දෙන එක පරක්කු කළා ඊට පස්සේ තමයි මං මුදලාලිගේ යකඩෙත් උස්සං කොළඹ අවේ. මට නාවල බොසා සෙට් කළේ බස් කොන්දොස්තර කොල්ලෙක්. එයා මාත් එක්ක වැඩකට ආපු කෙනෙක්. නාවලදි තමයි මං බයික් පදින්න රයිඩ් කරන ගමන් ෂූට් කරන්න ඉගෙන ගත්තේ. අපි තුන්දෙනෙක්ව අපේ බොසා කතරගම ලොකු වත්තක නවත්තල හොඳට ට්‍රේන් කළා. ඒකෙ වෙඩි පිටියක් හදල තිබ්බා. යාපනේ දෙමල කොල්ලො තමයි අපට හරියට තියන්න ඉගැන්නුවේ.”

නාගි අනුගමනය කළේ රොබින්හුඩ්වය. ඔහුට කර ළඟට වැවුණු කොණ්ඩයක් විය. ඞඛ 250 ඍ වර්ගයේ රතු පැහැති ට්‍රේල් යතුරුපැදියේ නැග ඔහු ගේමක් දී කොහේ හෝ වත්තකට ගොස් වැසුනු පසු නැවත එලිබහින්නේ මාස කීපයකට පසුවයි. ඒ තව කොන්ත්‍රාත්තුවක් සඳහායි.

88 89 භීෂණ සමයේදීද අප රටේ නාඳුණන තුවක්කුකරුවන් මාදිලියේ මිනීමරුවන් රැසක් සිටියහ. ඔවුන් කළේ තම දේශපාලන මතවාදයට එරෙහි අයට වෙඩි තබා මරා දැමීමයි. ඇත්තටම ඔවුන් කළේ දේශපාලනයක් නොව තම නායකයන්ට කඩේ යෑමයි. ඒ සඳහා ඔවුන් ඉතා විශාල වශයෙන් මුදල් ඉල්ලා සිටි අතර භිෂණය ඇති කර පක්ෂයේ දේශප්‍රේමී ලේබලයට මුවා වී තම සතුරන්ගෙන් පලි ගන්නටත්, රත්රන් මුදල් වැනි දේ මංකොල්ල කන්නටත් කටයුතු කළහ.

කොතරම් අත්භූත නිහඬ හෝ රහසිගත පුද්ගලයන් වුවද අප යොදා ගත් මනෝ උපදේශනයේ එන උපදේශන කුසලතා ඉදිරියේ ඔවුන් දොඩමළු වන්නට පටන් ගන්නේ කුඩා දරුවන් මෙනි. නමින් නාඳුණන තුවක්කුකරු වුවද උපදේශනය තුළින් ඔවුන් සමග මදක් දුර යන විට ඒ චරිතය තුළ සැඟවී සිටින ලදරුවා, අහිංසක දරුවා, මෝඩ මීහරකා එළියට ගන්නට අපට හැකි විය.

පැය ගණන් අපට ඔවුන් සමග මුහුණට මුහුණ ලා කාලය ගත කරන්නට සිදු විය. එමෙන්ම ක්‍රියාකාරී සවන් දීම, (active listening) ප්‍රතිපෝෂණය (feedback) සහ කය බස (body language) කියවමින් අපට ඔවුන්ගේ හඬට පැය ගණන් සවන් දීමට සිදු විය.

පසුගිය කාලය තුළ මට හමුවූ මෙවැනි දරුණු, ගුප්ත, දැඩි ආත්ම ශක්තියකින් හෙබි යැයි කියන නාඳුණන තුවක්කුකරුවන් සියලු දෙනාම වාගේ තම උපදේශන සැසිය අවසන් වන විට කඳුළු හලමින් හැඬූ අයුරුත් හිසකෙස් කඩා ගනිමින් පපුවට ගසා ගනිමින් අවංකවම පසුතැවිලි වුණ අයුරුත් මට තාම මැවී පෙනෙයි.

“මගේ අම්මව අපේ ගමේම මිනිහෙක් දූෂණය කෙරුවෙ මගේ ඇස් ඉස්සරහදිමයි. මං එතකොට පහ වසරෙ ළමයෙක්. මමයි අපේ මහප්පගේ පුතයි පස්සෙ දවසක ඒ මිනිහව කපල මැරුව. අපි දෙන්නව පරිවාසෙ හරහා අච්චුවට පල්ලන්සේන ඇරියා. එතනදි තමයි මට ගම්පහ එඩ්වඩ් අයියගේ ගෝලය සාගර සෙට් වුණේ. මං එළියට ඇවිල්ල ආයෙත් ගමේ ගියේ නැහැ. සාගර එක්ක එඩ්වඩ් අයිය ගාවටයි ගියේ. එතනදි මට හොඳ පුහුණුවක් ලැබුණා. ගල් කටස් එකේ ඉඳන් නයින් එම් එම් (9mm) ටී පනස් හය, ඒ කේ 47, මයික්‍රෝ ඔය කෝවත් මට ගේමක් නැහැ. ට්‍රේල් බයික් එකේ යන ගමන් ඕනි සෙල්ලමක් දාන්න මට පුළුවන්. මං ජීවිතේටම කරල තියෙන්නෙ වැඩ දෙකයි. ඒව ගැන දැන් කතා කරල වැඩක් නැහැ. ලොක්ක දෙවෙනි වැඩෙන් පස්සෙ මාව තමිල්නාඩුවට ඇරිය අවුරුදු තුනක් මං එහෙ හිටියා. හෙරොයින් ගහන්න මං පුරුදු වුණේ එහෙදි. ඊට පස්සෙ මං ආයෙම ලංකාවට ආවා. එඩ්වඩ් දැන් ලංකාවෙ නැහැ. මටත් දැන් ඒවට හිත නැහැ. මං තීරණයක් අරන් ඉන්නෙ ආයෙ ආයුධ අල්ලන්නෙ නැහැ කියල.”

බාබු කියන අන්වර්ථ නාමයෙන් අප අමතන ඒ තරුණයා නින්දට ගිය විට මහ රෑ මැදියමේ නිතරම හීනෙන් බය වෙයි. කාටදෝ සැර පරුෂයෙන් බැන වදී. අවසානයේදී පපුවට ගසා ගනිමින් මොර ගසමින් හඬයි. ඔහු තුළ තිබූ බොහෝ අවර වැඩ නවත්වන්නට අපේ උපදේශන සහ ප්‍රතිකාර ක්‍රමවේදයන්ට හැකි වුවද ඒ මොර ගැසීම සහ සිහිනෙන් බව වීම නවත්වන්නට අපට තාම හැකියාවක් නොලැබුණි.

“අපිට හරියට ඉඩම් ආරවුල් තිබුණා. අපේම නෑයො තමයි අපට කරදර කළේ. අපට අයිති ඉඩකඩ එයාලා හොර ඔප්පු හදල ලියාගෙන. අපටම නඩු දාලා, අපේ තාත්තටයි ලොකු අයියවයි නිතරම පොලිසියටයි උසාවියටයි අරන් යනවා.බැරිම තැන මම ආමි එකට ගියා. ඒ මුන්ගෙන් පලි ගන්න. ට්‍රේනිං එක මැදදි මං පැනල ඇවිල්ලා දෙන්නෙකුට ගැහුවා. ගමෙන් හැංගිල හිටිය අවුරුදු දෙකක්. පස්සෙ තමයි මට මෝගන් හමුවෙන්නෙ කතරගමදි. මෝගන් මට රාළහාමි අයියව අඳුන්නල දෙනවා. රාළහාමි අයියා එක එක කොන්ත්‍රාත් ගන්න කෙනෙක්. මං එයාට අවුරුදු ගාණක් වැඩ කළා. පස්සෙ ගමේ මුලින්ම කරපු වැඩේට මාව අහුවුණා. ඇප පිටයි මං තාම එලියෙ ඉන්නෙ. හැබැයි ඒ නඩු නිදහස් වෙයි. ඒත් රාළහාමිට කරපු වැඩ කාටත් නෝන්ඩි නැහැ. මගේ හිතට ඒ ගැන හැමදාම වද දෙනවා.”

පසුගිය වසර විසි පහ තුළ මට හිරගෙවල් තුළදී පුනරුත්ථාපන කඳවුරු තුළදී සහ පාතාල ලෝකයේදී හමුවී ඇති කුළී මිනීමරන්නන් වැඩි දෙනකුටම තිබී ඇත්තේ කටුක අතීතයකි. සමහරු තම සමීපතයන් වධ විඳ මියයන අන්දම සියසින්ම දුටුවෝ වූහ. සමහරු තමන්ම ඍජුවම ශාරීරික සහ මානසික වේදනා විඳි අය වෙති. පලිගැනීම, වෛරය, ක්‍රෝධය අසහනය, හීනමානය, අධිමානය වැනි දෙයින් ඔවුනගේ ආත්මය පිරී තිබුණි.

යාළු මිතුරුකමට නෑ කමට සහෝදරකමට මිනී මරපු අයද අද සමාජයේ සිටිති. ඒ බොහෝ දුරට තම හිතවතාට සහෝදරීට මිතුරාට ඇතිවූ ගැටලුව නිසා උදව්වට ආ අයයි. මෙවැනි අය යම් මුදලක් ත්‍යාගයක් ගත්තද එක දිගට කුලියට මිනී මරන්නේ නැත.

මානසික ආතතිය, සමාජ භීතිකාව, සමාජ විරෝධී අක්‍රමකතාවය, භීන්නෝන්මාදය, ද්වි ධ්‍රැව මානසිකත්වය(Stress, Social Phobia, Anti Social Disorder, Schizerphernia, Bipolar) වැනි මානසික තත්ත්වයන් සහිත මිනීමරුවන්ද මට හමුවී ඇත. මේවාට අමතරව ඔවුන් කීපදෙනකුට ADHD (කුඩා කලදීම ඇතිවන අධි ක්‍රියාකාරීත්ව සහ විෂම හැසිරීම් රටාවක්) තත්ත්වයන් සහ PTSD (පශ්චාත් ව්‍යසන ක්ලමත අක්‍රමිකතා) තත්ත්වයන් තිබුණු බව අපි නිරීක්‍ෂණය කළෙමු.

ඔවුන් පසු කලෙක ආයුධ අතට ගන්නේ පලි ගැනීමටත් ලේ දැකීමටත් ඇති ආසාව නිසාය. ඒ මැදට මුදල් සහ ලෞකික ආශාවන් එකතු වෙද්දී තව තවත් පාහර වැඩවල යෙදීමට ඔවුන්ට සිදුවී ඇත.

අපරාධකරුවකු බිහිවීමට ඔහුගේ පෞරුෂය, සමාජය, මානසික තත්ත්වය මෙන්ම උපතින්ම ගෙන එන ජානද යම් අන්දමකින් බලපායි. අප මේ සියල්ල ගැන අවධානයෙන් සිටිය යුත්තේ ඒ නිසාය. කුඩා කල සිටම යහපත් මාර්ගයට යොමු කිරීම, සාරධර්ම ප්‍රගුණ කිරීම, නිසි ආදරය සහ රැකවරණය ලබා දීම, පෞරුෂය වර්ධනය වන අන්දමේ ක්‍රියාවලට යොමු කිරීම වැනි දෙයින් තම දරුවා සමාජයට වැඩදායී පුද්ගලයකු මිස තවත් සමාජ විරෝධී අයකු නොකිරීමට වග බලා ගැනීම සියලු වැඩිහිටියන්ගේ යුතුකමකි, වගකීමකි.

අසාමාන්‍ය සමාජ විද්‍යාවට හා පාතාල අපරාධ විද්‍යාවට අනුව මිනීමැරුමද වර්ග කීපයකට වෙන් කළ හැක. අතින් පයින් පහරදී මරා දැමීම, මොට ආයුධයකින් පහර දී මරා දැමීම, තියුණු කැපෙන අවියකින් කපා කොටා මරා දැමීම, හුස්ම හිරකොට මරා දැමීම, (ගෙල මිරිකා හෝ දියේ ගිල්වා මරා දැමීම) උල් අවියකින් ඇන මරා දැමීම, ගිනි අවියකින් වෙඩි තබා මරා දැමීම, බලහත්කාරයෙන් වස පොවා මරා දැමීම, විස එන්නත් කර මරා දැමීම, කන්න බොන්න නොදී නිරාහාරව තබා මරා දැමීම, විදුලි සැර වදින්නට සලස්සවා මරා දැමීම, විෂඝෝර සර්පයින්, බල්ලන්, කිඹුලන්, මෝරුන් වැනි සතුන්ට ගොදුරු වන්නට දැමීම, පණ පිටින් වළ දැමීම, ගින්නට දමා පිළිස්සීම, (ටයර් සෑය) දස වධ දී මරා දැමීම, වාහන වලට යට කර මරා දැමීම මෙවැනි ක්‍රමවේදයන්ය.

මිත්‍ර ශ්‍රී කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment