පොහොට්ටු පක්ෂයෙන් පොරොන්දුවක්:

1418
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක කෙවින් ධුවක්ස් කථානායක අබේවර්ධන සමග

‘ගෝඨාභයට වූ දේ රනිල්ට වෙන්න දෙන්නේ නැහැ’

ඇර්බුදය තීරණාත්මකයි

කෝකටත් තෛලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බවට පිළිගෙන කටයුතු කරන වික්‍රමසිංහ – රාජපක්ෂ රජය සහ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත මාරාන්තික සටනක නියැළී ඇත. ජයග්‍රාහකයෙක් නොමැති නමුත් රට පරාජය වන මෙම සටන අතරේ ආර්ථික – දේශපාලනික – සමාජීය අර්බුදය තවදුරටත් තිව්‍ර වීම දෙපාර්ශ්වයටම අදාළ නැත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගිය ජුලි මාසයේ පලවා හැරීමට මාස කීපයකට පෙර රට බංකොළොත් බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපතිවරයා ලෙස කළ ප්‍රකාශය දෙපාර්ශ්වයටම මතක නැත. නැතහොත් වුවමනාවෙන්ම අමතක කර දමා ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් වීමෙන් පසුවවත් යම්කිසි සාධනීය වෙනසක් ව්‍යවස්ථාදායකය තුළ සිදුවූවානම් තරුණ පාර්ලිමේන්තුවේ අගමැති සමස්ත මැති සභය හෑල්ලුවට ලක් කරන ප්‍රකාශයක් කිරීමට පෙළඹෙන්නේ නැත.

ජාත්‍යන්තරයෙන් ගත් ණය ගෙවීම අත්හිටුවීම තුළ ඇතිවූ තාවකාලික ස්ථාවරත්වය විශ්වකර්ම වැඩක් ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට ආණ්ඩුව ප්‍රෝඩාකාරී දේශපාලන ක්‍රියාවලියක නිරත වී ඇත. ලබන වසර සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින අවස්ථාවක 2048 ගැන ජනතාවට බලාපොරොත්තුවක් ඇති කරන්නේ ඒ නිසාය. විපක්ෂයේ පොරොන්දු ඊට දෙවැනි නැත.

රට වැටී ඇති අගාධයෙන් ගොඩ ඒමට තවමත් කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයකට ප්‍රවිෂ්ඨ වී නොමැති තත්ත්වයක් යටතේ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය රණතුංග ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත – 2048 රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගැන්වීම තවත් මාධ්‍ය සංදර්ශනයක් නොවන්නේද?

ශ්‍රී ලංකාවේ තරු පහේ අවස්ථාවාදී දේශපාලනය කෙසේ හෝ ‘බලය’ රැක ගැනීම සහ ඕනෑම තත්ත්වයක් යටතේ ‘බලයට’ පත්වීම මත ක්‍රියාත්මක බව නැවත නැවතත් අවධාරණය කරන්නේ හතර ගාතෙන් වැටී ඇති රටේ පක්ෂ – විපක්ෂ හැසිරීමයි. පක්ෂ – විපක්ෂ දෙපාර්ශ්වයම රට බංකොළොත් වීමට තමන්ද වගකිව යුතු බව අමතක කර දමා ඇත. ආණ්ඩු පක්ෂය තුළද සමස්ත ඉදිරි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්ද එකඟතාවයක් නොමැත. එවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩු පක්ෂය ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සමඟ පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගත නොහැක.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) පසුගිය ජුලි මස අග දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ පරිදි කැබිනට් අමාත්‍යධුර ලබා දීම තවමත් සිදු නොවීමද අවධාරණය කරන්නේ ආණ්ඩු පක්ෂය තුළ වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වයයි. පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරයටම කැබිනට් අමාත්‍යධූර පිරිනැමීමද දින නියමයක් නොමැතිව කල්දමා ඇති බවද ප්‍රශ්නකාරී ප්‍රකාශයක් නොවේ. නමුත් පොහොට්ටුවෙන් නැගෙන ප්‍රබල විරෝධතාවය සමනය කිරීමට ඇමැති ධුර කීපයක් එම පක්ෂයට ජනාධිපතිවරයාගේ මහා බි්‍රතාන්‍යයේ සහ ප්‍රංශයේ සංචාරයෙන් පසුව ලබා දීමේ අවස්ථාවක් ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. නමුත් ආණ්ඩු පක්ෂය සන්තර්පණය රට මුහුණ දෙන අභියෝග ජයගත නොහැක.

● පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමට එකඟතාවයක්

පාර්ලිමේන්තුවේ එක ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් පමණක් ඇති එජාපය සහ පොහොට්ටු පක්ෂය අතර පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමට එකඟතාවක් ඇති බවට යම් පාර්ශ්ව කරන චෝදනා බැහැර කළ නොහැක. වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඡන්දය කල් දැමීමට බලපෑම් කළ අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා එම සාකච්ජාවට සහභාගි වූ බව අමතක කළ නොහැක. කැබිනට් අමාත්‍යධුර පිරිනැමීම ඇතුළු කරුණු කාරණා සම්බන්ධයෙන් යම් විරසකයක් තිබුණත්, පළාත් පාලන ඡන්දය මඟහැරීම සහ ඡන්ද සිතියම හැරවීම සම්බන්ධයෙන් එජාපය සහ පොහොට්ටුව අතර එකඟතාවයක් ඇති බවට ජනතාව අතර සැකයක් ඇතිවීම සාධාරණය.

වර්ධනය වෙමින් පවතින දේශපාලන අර්බුදය සමනය කර ගැනීමේ අවශ්‍යතාවයක් පක්ෂ – විපක්ෂ දෙපාර්ශ්වයටම නැත. ඔවුන්ට ඇත්තේ කෙටිකාලීන සහ දිගුකාලීන දේශපාලන අවශ්‍යතා පමණි. පාර්ලිමේන්තුව තුළ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති පක්ෂ – විපක්ෂ නායකත්වය අතිශය තීරණාත්මක ඇමෙරිකානු – චීන ගැටුම සහ ඉන්දියානු දේශපාලනික – ආර්ථික – සමාජීය අරමුණු තුළ ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කිසිදිනෙක එකඟතාවයකට නොඑනු ඇත.

ශ්‍රී ලංකාව අර්බුදකාරී තත්ත්වයෙන් ගලවා ගැනීමට ප්‍රධානම බාධාව රට මුහුණ දී ඇති සැබෑ අභියෝග කුමක් දැයි පක්ෂ – විපක්ෂ දෙපාර්ශ්වයම නිසියාකාරව තේරුම් නොගැනීමයි. භූමියේ සැබෑ තත්ත්වය අවබෝධකර ගත්තා නම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුවූ දේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වීමට පොහොට්ටු පක්ෂය ඉඩ නොදෙන බවට කිසිසේත් ප්‍රකාශ කරන්නේ නැත. පසුගිය ජුනි 18 වන ඉරුදින පොහොට්ටු පක්ෂයේ ගම්පොල ආසන බලමණ්ඩලයේ කළ එම ප්‍රකාශය අදහාගත නොහැක. ඒ එජාප නායක රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමේ මෙහෙයුම ප්‍රධාන පාර්ශ්වකරුවකු බව රටම දන්නා නිසාය. ‘අරගලය’ මුල් සමයේ ජනාධිපති කාර්යාලය වැටලීමට තමන්ට එජාප නායකයා උපදෙස් දුන් බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු (සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී) බදුල්ලේ දී ප්‍රකාශ කළේය. ඒ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ද සහභාගි වී සිටි රැස්වීමකදීය. එජාප නායකයා ‘අරගලයට’ ප්‍රබල ශක්තියක් වූ බවත් ඔහුගේ අනුගාමිකයන් ‘ගෝඨා ගෝ හෝම්’ මෙහෙයුමේ ක්‍රියාකාරීන් බවත් අවබෝධයක් නොමැතිද?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මුහුණ දුන් තත්ත්වයට ඔහුගේ අනුප්‍රාප්තිකයාට කිසිසේත්ම මුහුණ දීමට සිදුවන්නේ නැත. ඒ ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මුහුණ දුන් /දෙන අභියෝග හාත්පසින්ම වෙනස් බැවිනි.

ජනතා විරෝධය 2022 මාර්තු 31 වන දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ පැඟිරිවත්ත පෞද්ගලික නිවාසය ආසන්නයේ පුපුරා ගිය අවස්ථාවේදී එජාප පාක්ෂිකයන් ද එහි සිටි බව සහ ඔවුන් සමස්ත ‘ගෝඨා ගෝ හෝම්’ ක්‍රියාවලියේ පංගුකාරයන් බව පොහොට්ටු පක්ෂය අමතක කර දමා ඇත.

මිලියන 6.9 ජනතා ඡන්දයෙන් 2019 නොවැම්බර් 16 වන දින ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂට 2022 ජුලි 14 වන දින එම ධුරය අත්හැරීමට සිදුවූ හේතු සාධක පොහොට්ටු පක්ෂයට තවමත් වටහාගත නොහැකිද?

ජනාධිපතිවරයා සුදුසු වෙලාවේදී රටට ගැළපෙන මැතිවරණයක් තියාවි යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පසුගිය 17 වැනිදා උඩුගම්පොල රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ කළ ප්‍රකාශය මහින්දානන්ද හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශයට දෙවෙනි වන්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය මේ වසරේ මාර්තු 03 වැනි දින පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දුන් තීන්දුව නොසලකා ආණ්ඩුව කටයුතු කරන තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ඡන්ද පැවැත්වීම සාධාරණීකරණය කිරීම දේශපාලන ස්ථාවරයට බලවත් බාධාවකි. මේ ආකාරයට ජනධිපතිවරණය සහ මහ මැතිවරණයද ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි තීරණය කළ යුතු බවට පොහොට්ටුවට ප්‍රකාශ කළ හැකිය. රණතුංග අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස නොසලකා ඔහු කළ ඉතාමත් බරපතළ යෝජනාව විමසා බැලිය නොහැක. ජනාධිපතිවරයා තමන්ට සිතැඟි පරිදි ඡන්දවලට දින නියම කරන රටකට ව්‍යවස්ථාවක් අවශ්‍ය නැත.

නාවලපිටිය පොහොට්ටු බල මණ්ඩල රැස්වීමේදී විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජුනි 18 දින ඔහුට දැනෙන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස ගනු ලැබූ හොඳම සහ නිවැරදිම තීන්දුව තමයි එජාප නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස මැයි 12 වැනි දින පත් කිරීම. එම අවස්ථාවේදීම මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාද එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධයෙන් තම සතුට පල කළේය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාද අවධාරණය කළේ තම පක්ෂය රනිල් වික්‍රමසිංහට සහයෝගය දීමට ගත් තීරණය සම්බන්ධයෙන් තමන්ද සතුටට පත්වන බවයි. වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොහොට්ටු පක්ෂය ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බව සක්සුදක්සේ පැහැදිලිය. පොහොට්ටු පක්ෂයේ යම් කොටසක් තමන්ට අමාත්‍යධුර නොලැබීම සම්බන්ධයෙන් අසතුටෙන් පසු වුවත් බහුතරය වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ ඉදිරි දේශපාලන මෙහෙයුමකට සූදානම්ය.

● තරුණ අගමැතිගෙන් පාර්ලිමේන්තුවට අතුල් පහරක්

තරුණ පාර්ලිමේන්තුවේ අගමැති පැතුම් රණසිංහ මෑතකදී අවධාරණය කළේ පාර්ලිමේන්තු ක්‍රමය රටේ උන්නතියට, ප්‍රගතියට අවශ්‍ය මඟපෙන්වීම සහ ශක්තිය ලබා දී නොමැති බවයි. මෙය අතිශය බරපතළ චෝදනාවකි.

ජනාධිපති කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවති පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කිරීමේදී කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විධායකය සහ ව්‍යවස්ථාදායකය ලැජ්ජා විය යුතුය. තරුණ අග්‍රාමාත්‍යවරයා එම ආන්දෝලණාත්මක ප්‍රකාශය තම පිළිගැනීමේ කතාවේදී කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වූ ‘ගෝඨා ගෝ හෝම්’ මෙහෙයුමේ ප්‍රධානතම ඉලක්කයක් වූ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීම මෙම ප්‍රකාශය කිරීම එම අවස්ථාවට සහභාගිවූ ආරාධිතයන්ට රට තවමත් මුහුණ දෙන තවමත් දිගක් පළලක් නොතේරෙන අර්බුදය අවධාරණය කිරීමක් නොවන්නේද? නැතහොත් ජනතාවගෙන් ඇති බහුතරයක් ඉල්ලූ වෙනස (සිස්ටම් චේන්ජ් එක) පෙනෙන තෙක් මානයක නොමැති බව මතක් කර දීමක් නොවේද?

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක පැතුම් රණසිංහ මෙලෙස පැවසූ බව සඳහන් විය: “ශ්‍රී ලංකාවේ උන්නතියට පසුගිය වසර 113ක් පුරා අප ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කෙතරම් දුරට ගැළපෙනවාද කියා සිතා බැලිය යුතුයි. මගේ නිරීක්ෂණයට අනුව නම් අපේ උන්නතියට, ප්‍රගතියට අවශ්‍ය මඟපෙන්වීම සහ ඒ ශක්තිය මෙම ක්‍රමය තුළින් අපට ලැබී නැහැ.”

ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ජුනි 17 සහ 18 වන දින වලදී පරණ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක ජනාධිපති කාර්යාලයේ පැවැත්විණ.

ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේ දී තරුණ පාර්ලිමේන්තුවට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි පරිදි ජාතික තරුණ පාර්ලිමේන්තු පනත සම්මත කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතු බවද තරුණ පාර්ලිමේන්තුවේ අගමැති අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක් තිබේ නම් ඒ දූෂණයට, වංචාවට සහ අක්‍රමිකතාවලට පමණක් බව තරුණ පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට අමුතුවෙන් මතක් කර දීමට අවශ්‍ය නැත. කිසිදු වැදගත් සාධනීය කටයුත්තකට ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම
ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තියයි.

ශ්‍රී ලංකා දේශපාලනය තුළ තරුණ පාර්ලිමේන්තුවද තවත් මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුව ඇත. ඒ තරුණ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් පළකළ සත්‍ය ප්‍රකාශය පමණක් පදනම් කරගෙන නොවේ.

● පාර්ලිමේන්තුවට විදෙස් උපදෙස් අත්‍යවශ්‍යද?

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රධානි ජපන් ජාතික අසුසා කුබෝටා මහත්මිය මෑතකදී මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවූයේ දශකයකට වැඩි කාලයක් ජගත් සංවිධානයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ක්‍රමය වඩාත් දියුණු මට්ටමකට ගෙන ඒමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවට කැනඩාවේ හිටපු මන්ත්‍රීවරයකු වන කෙවින් ධුවක්ස් කුබෝටා මහත්මිය සමඟ කථානායකවරයා හමුවුවේය. ඊට පසුදින කුබෝටා මහත්මිය ජනාධිපතිවරයා මුණගැසුනේය. නමුත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කර ඇති ආයෝජනයට සාධාරණයක් මැති සභය කර තිබේද?

සමස්තයක් ලෙස මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණීම සහ පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගිවීම ඉතාමත් අසතුටුදායක තත්ත්වයක පවතින බව රහසක් නොවේ. පාර්ලිමේන්තුවේ මූලික වගකීම වන මූල්‍ය පරිපාලනය සහ නව නීති සැකසීම අතපසු කර ඇති තත්ත්වය ද රහසක් නොවේ. ‘එක රටක් එක නීතියක්’ සම්බන්ධයෙන් පුරසාරම් දෙඩූ පොහොට්ටු පක්ෂය වෙනුවෙන් පෙනී සිටි මන්ත්‍රීවරයකු රත්රන් ජාවාරමේ යෙදීම ප්‍රශ්නයක් නොවේ. ජාවාරම් කිරීම මන්ත්‍රී වරප්‍රසාදක් නොවේ.

මේ වසරේ මාර්තු මාසයේ පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය තවදුරටත් අවධාරණය වූයේ නවක මන්ත්‍රීවරයකු වන ව්‍යාපාරික අලි සබ්රි රහීම් (පුත්තලම් දිස්ත්‍රික්කය/මුස්ලිම් ජාතික සන්ධානය) රුපියල් මිලියන 78.2 වටිනා බවට රේගුව තක්සේරු කළ රත්තරන් සහ ජංගම දුරකථන තොගයක් කටුනායක ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තයෙන් රහසේ පිට කිරීමට කළ උත්සාහය අසාර්ථක වීම නිසා පමණක් නොවේ. එම ජාවාරම හෙළිදරව් වී රුපියල් මිලියන 7.4 දඩයක් ගෙවා නිදහස් වන එම මන්ත්‍රීවරයා පැය 24 ක් තුළ පාර්ලිමේන්තුවේ තම ඡන්දය ද පාවිච්චි කිරීම අප පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය පිළිබිඹු කළේය. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සැබෑ බලපෑමක් කළ යුතුය. රට අස්ථාවර කරන ප්‍රධානතම සාධකයක් බවට පාර්ලිමේන්තුව පත්වී ඇති බව කවුරු කවුරුත් තේරුම්ගත යුතුය.

පාර්ලිමේන්තුව විසින් නිකුත් කරන වාර්තා අධ්‍යයනය කරන ඕනෑම අයකුට පාර්ලිමේන්තුව තම මූලික වගකීම ඉටු නොකිරීම තුළ තවදුරටත් වර්ධනය වන විනාශකාරී තත්ත්වය තේරුම් ගැනීම අපහසු නොවේ. මෙහිදී අවධානය කළ යුතු වන්නේ විධායක බලතල ව්‍යවස්ථාදායකය තුළ ක්‍රියාත්මක කරන අමාත්‍යවරුන් සහ ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරීන් වන අමාත්‍යාංශ ලේකම්වරුන් ‘යහපත්’ නොවන තාක් කල් ශ්‍රී ලංකාවට බංකොළොත්භාවය ස්ථිර බවයි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment