රනිල්ගේ හොඳ කියන මන්ත්‍රීවරයෙකුට කැපිල්ලක්

230

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තර අවුල් වියවුල් ගැන පහුගිය කාලයේ කතා බොහෝය. සමහරුන්ගේ මතය වූයේ පොහොට්ටුවක් දැන් නැති බවය. පොහොට්ටුව කැඩී බිඳී වෙන්ව විසිර ගොස් වෙන වෙන කණ්ඩායම් නිර්මාණය වී ඇති බව සමහරුන්ගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් පහුගිය දිනවල පොහොට්ටුව ඇතුළෙද ලොකු සංවාදයක් නිර්මාණය විය. ආණ්ඩුවත් සමග ගනුදෙනු කිරීමට හා වෙන වෙන විශේෂ අරමුණු උදෙසා පොහොට්ටුවේ සිටි යම් යම් පිරිස් වෙන වෙනම අනන්‍යතා සහිතව කටයුතු කළත් අවශ්‍ය විටෙකදී දේශපාලනිකව එක්වන්නට පොහොට්ටුව ඇතුළේ ද බාධාවක් නොවීය. එහෙත් ඒ පිළිබඳ ඇතැමුන් තුළ මතුව තිබූ සැක සංකා නිසා පහුගිය දිනවල පොහොට්ටුවේ සමගිය පෙන්වීමට වැඩපිළිවෙළක් සංවිධානය කරන්නට සාකච්ඡාවක් ඇති විය.

“මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරයක් විදියට අපි සුහද හමුවක් පවත්වමු. කොහොමටත් අපිට අරගලයෙන් පස්සෙ එකට එකතු වෙලා වැඩක් කරන්න පුළුවන්කමක් ලැබුණෙම නෑනේ.”

මේ කතාබහ ඇතිවූයේ පසුගිය සතියට පෙර සතියේ බදාදා වැනි දිනකය. ඒ ඔස්සේ යෝජනා ගණනාවක් ද පැමිණියේය. අවසානයේ සියල්ලෝම එක්ව සාකච්ඡා කර ගත්තේ ඊළඟ සති අන්තයේ නුවරඑළියට ගොස් සුහද සාදයකට සම්බන්ධ වීමට ය. නුවරඑළියෙ රැයක් ගත කරන්නට තමනුත් එන බව මහින්ද රාජපක්ෂ මහතා කීවේ මේ අතරතුරය. ගමන ඉතා ඉක්මනින් සංවිධානය විය. අවසානයේ සුහද හමුවක් හා භෝජන සංග්‍රහයක් පමණක් නොව, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දෙපිරිසක් අතර ක්‍රිකට් තරගයක් දක්වාම සුහද හමුව වර්ධනය විය. දවස් දෙකක් ඇතුළත සෙනසුරාදා දවසේ නුවරඑළියෙ සිනෙසිටි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මන්ත්‍රීවරුන්ගේ සුහද ක්‍රිකට් හමුව සඳහා සියලු වැඩකටයුතු සංවිධානය විය.

● මහින්ද රාජපක්ෂ ආරක්ෂාකාරී පියවරක

මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම 11වන සිකුරාදා හවස් යාමයේ නුවරඑළිය බලා පිටත්ව ගිය අතර ඔහුට එදා රාත්‍රියේ නවතා ගැනීමට සූදානම් කර තිබුණේ විමලසිරි ගම්ලත් මන්ත්‍රීවරයාගේ පුත් නිපුනගේ නිවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 40කට ආසන්න සංඛ්‍යාවක් එදා හවස නුවරඑළියට ගොස් වෙන වෙනම තැන් තැන්වල නවාතැන් ගෙන සිටියහ. නුවරඑළියේ සිටින මහින්දගේ විශ්වාසවන්තයා වන සී. බී. රත්නායකද සුහද හමුවේ සංවිධායකවරයකු ලෙස කටයුතු කළේය.

පහුවදා පාන්දරින්ම පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලඥයන්ට ක්‍රීඩාංගණයට පැමිණෙන ආරාධනය කර තිබුණි. සී බී රත්නායක ක්‍රීඩාංගණයට පැමිණෙන විටත් මහින්ද එතනය…

“අපි කොළඹ ඉඳලා මෙයයිගේ ගමට එනකොට මෙන්න මෙයාලා එන වෙලාව..”

“සර්ව බලන්න මම ගෙදරට යන්න හදනකොට තමයි ආරංචි වුණේ සර් මෙතෙන්ට ආව කියලා. ගොඩක් අය සර් කරපු කලගුණ අමතක කළාට සර්ගෙ වටිනාකම එදාටත් වඩා අදට දැනෙන මිනිස්සු තමයි අපි…සර්ට අද කවුරු මොනව කිව්වත් සර්ගෙ වටිනාකම ගැන මිනිස්සු කතා කරන්නේ ඉස්සරහට… දැන් ඔය මිනිස්සු මැතිනිගේ ගුණ කියන්නේ… අන්න ඒ වගේ.”

“ඒක මම දන්නවනේ සී. බී. කවුරු මොනව කිව්වත් මොනව කිව්වත් අපි නොසැලී ඉන්නෙ ඒකයි. ඒක නෙවෙයි. අපි ගහමු ක්‍රිකට් මම මැච් එක අල්ලල දෙන්නම්..”

ඒ අනුව කාසියක් උඩ දමා තරගය ආරම්භ කරන්නට මූලිකත්වය ගත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමා ය. කලකට පසු පොහොට්ටුවේ දේශපාලනඥයෝ බෙහෙවින් සතුටු වූ දිනයක් ලෙස එදින කැපී පෙනිණි.”

ක්‍රිකට් තරග දෙකක් අවසන්වී ජය සංකේත ප්‍රදානයෙන් පසුව පිට්ටනියේ වැඩකටයුතු අවසන් විය. සුහද හමුවේ දෙවන සැසිය පටන් ගත්තේ එදින හවස වටින් පිටින් ඇඳිරිවැටෙන යාමයේ නිපුන ගේ නිවසේ සුවිසල් එළිමහනේය. ජීවන් තොණ්ඩමාන්ගේ මැදිහත්වීමෙන් උණුවෙන් වෙනමම ඉන්දියානු ආහාර සකසා දෙන්නටද පිරිසක් පැමිණ සිටියහ. සීතලය මැකෙන්නට පාන වර්ග හා අනුපාන බොහෝය. නිපුනගේ නිවසෙන් අවශ්‍ය රස මසවුළු හිඟයක් නැතුව සැපයිනි. කලකට පසුව උදාවූ මේ උණුසුම් අවස්ථාව නිසා මහින්ද මහත්මා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරු රැසක් දේශපාලනයෙන් තොරව අනෙකුත් රසවත් මාතෘකා ගැන කතාබහ කරමින් සතුටු වන ආකාරය දැකගත හැකි වූහ. සාදයෙන් සමුගෙන මහින්ද මහතා නැවත කොළඹ බලා එන්නට පිටත් වූයේ රාත්‍රි 10.00 ද ඉක්මවූ පසුවයි.

● සැප්තැම්බර් මාසයේ පක්ෂ සම්මේලන 2ක්…

සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම ජනාධිපතිවරයා පවත්වන්නෙ සඳුදා හවස් වරුවේය. එහෙත් මේ සතියේ එය උදේ වරුවට ගත්තේ එදින හවස අනුරාධපුරය බලා පිටත්ව යෑමට නියමිතව තිබූ නිසාය.

සඳුදා උදේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීම තරමක් උණුසුම් එකක් විය. ඊට එක් හේතුවක් වූයේ රූපවාහිනියේ අයි නාලිකාව පුද්ගලික අංශයට බදු දීම සඳහා නිර්දේශ කරන ලද කැබිනට් පත්‍රිකාවක් සාකච්ඡාවට පැමිණ තිබීමයි. එහෙත් ඇමැති මණ්ඩල සාකච්ඡාව උණුසුම් වූයේ බහුතරයකගේ විරෝධය එල්ලවී තිබුණු නිසාය. කැබිනට් පත්‍රිකාව නැවතත් සංශෝධනය කරන්නට ඒ අනුව තීරණයක් ගැනුණි.

හවස අනුරාධපුරය බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එතනින් මන්නාරම් මඩු දේවස්ථානයේ පැවති මරද මඩු මංගල්‍යයට සහභාගී වන්නට ගියේ ය. මඩු දේවස්ථානයේ උත්සවය සාමාන්‍යයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අලුත් දෙයක් නම් නොවේ. මීට පෙර අගමැතිව සිටි සමයේ විපක්ෂ නායකව සිටි සමකදීත් ඔහු මරද මඩු දේවස්ථානයේ උත්සව කීපයකට සම්බන්ධ වී සිට ඇත. එවකට භක්තිමත් කතෝලිකයකු වූ දොස්තර ජයලත් ජයවර්ධන සමග මීට පෙර මඩු දේවස්ථානයට පැමිණි ගමන් ගැන ජනාධිපතිවරයා මෙහිදී මතක් කළේය. උත්සවයේ දී ජනාධිපතිවරයාට කතාවක් පවා ලබා දෙන්නට මඩු දේවස්ථානයේ පාලක සභාව කටයුතු කර තිබිණි. කතාවේදී ආගමික වතාවත් කටයුතු සඳහා ජනතාවට පහසුවෙන් සහභාගි වීමට හැකිවන සේ මරදමඩු ප්‍රදේශය ඉදිරියේදී සංවර්ධනය කරන ආකාරය පමණක් නොව, මේ ප්‍රදේශය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස නම්කර දියුණුවට පත් කරන ආකාරයත් විස්තර කරමින් කතා කළේය. මෙම උත්සවයට වතිකානුව නියෝජනය කරමින් ද පියතුමන්ලා පැමිණ සිටි අතර දොස්තර ජයලත් ජයවර්ධනගේ පුත් කාවින්ද ජයවර්ධන හා අඩෙක්කලනාතන් යන මන්ත්‍රීවරු ද විපක්ෂය නියෝජනය කරමින් පැමිණ සිටියහ.

මරද මඩු මංගල්‍යය අවසන් කරමින් ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් කොළඹට ආවේ තවත් වැදගත් සාකච්ඡාවකට සහභාගි වීම සඳහා ය. එය එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලයේ හදිසි කැඳවීමක් ලෙස වාර්තා විය. සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ ජාතික සම්මේලනයට අදාළව මෙවර කළමනාකරණ රැස්වීම පවත්වන්නට යෙදිණ. සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු ඇතුළු කිහිප දෙනෙක්ම මෙවර සම්මේලනයේ කටයුතු සැලසුම් කර ඇති ආකාරය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා විස්තර කළේය. කොළඹ ලේක්හවුසිය ඉදිරිපිට හිස් භූමිය මේ වගේ සම්මේලනයකට යොදා ගන්නා බව කියවිණ.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය එහෙත් දෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට පෙරය. එජාප සම්මේලනයේ 10 වැනිදා නම් ශ්‍රීලනිප සම්මේලනය තිබෙන්නේ සැප්තැම්බර් 2 වැනිදා ය. ඒ අනුව පහුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය ගැන ද කතාබස් රාශියක් ඇති විය.

මෙවර පැවැත්වීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72වන සංවත්සරයයි. පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායමක් 72වන සංවත්සරය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවත්වන්නට සැලසුම් කරමින් සිටියහ. මෙතන හදිසියේම රැස් වූ තවත් කණ්ඩායමක් සම්මේලනයේ උත්සවය කොළඹ මොනාක් හෝටලයේදී පවත්වන්නට සාකච්ඡා කර ඒ පිළිබඳ නායකයා දැනුවත් කළේය. නායකයා ගේ උපදෙස් පරිදි මහින්ද අමරවීර ඊට පහුවදාම කොළඹ ඉම්පීරියල් මොනාක් හෝටලයට ගොස් ශ්‍රී ලංකාවේ ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනය පැවැත්වීමට මුදල් ගෙවා ප්‍රධාන ශාලාව වෙන් කර ගත්තේය. ශාන් විජේලාල් මැයි දින කමිටුවේ සභාපතිවරයාය. මැයි දිනය සඳහා ශාලාව වෙන් කරන තුරු ඔහුවත් දැන සිටියේ නැත.

මේ අතර මාධ්‍යවේදීන් පක්ෂ ලේකම් දයාසිරි ජයසේකරගෙන් මෙවර මැයි දින උත්සවයේ වග විස්තර විමසද්දී ඔහු කීවේ ඒ ගැන මහින්ද අමරවීර මහතාගෙන් විස්තර දැන ගන්නා ලෙසය.

● කෙහෙළියත් එක්ක සජබය යාළුවෙලා

පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් නොවූ බැවින් දේශපාලන කටයුතු කිසිවක් වූයේ නැති තරම්ය. එහෙත් බොහෝ දෙනා බලා සිටියේ සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සමගි ජන බලවේගය විසින් සූදානම් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වන තුරුය. මන්ද ආණ්ඩුවත් විපක්ෂයත් අතර හොඳ සංවාදයක්, හොඳ විවාදයක් මෙහිදී දැක ගනු හැකි වෙතැයි බොහෝ දෙනා විශ්වාස කළ නිසා ය.

මීට සති කීපයකට පෙර පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන දුර්වලතා වෙනුවෙන් සෞඛ්‍ය ඇමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙන බව දැනුම් දුන්නේය. ඒ පිළිබඳ බොහෝ කරුණු කාරණා වාද විවාදවලදී කතා බහට ලක්වූ අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වාසභංගය විවාදයට ගන්නට දින ලබා දෙන්නට කැමැත්ත පළ කළේය. එහෙත් එම අවස්ථාවේ විපක්ෂය ඒ දෙය පිළිබඳ කාරණාව එතරම් සැලකිල්ලට ගත්තේ නැති තරම්ය.

පසුගිය සතියේත් පාර්ලිමේන්තුව පැවති අවස්ථාවේ මේ සම්බන්ධයෙන් කතාබහට ලක් විය. විවාදය සඳහා දින නියම කරන්නට රජය උත්සාහ කළාහ. එහෙත් විපක්ෂය එවිට දී කීවේ මේ අවස්ථාවේ කෙහෙළියට එරෙහිව විශ්වාසභංගය විවාදයට ගන්නවාට වඩා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රශ්නය මේ අවස්ථාවේ විවාදයට ගැනීම වඩාත් කාලෝචිත වන බවකි. එබැවින් ඔවුන් ඉල්ලා සිටියේ ක්‍රිකට් ප්‍රශ්නය පිළිබඳ විවාදයයි. ඒ අනුව ලබන සතියේ ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳව විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අතර කෙහෙළියට එරෙහිව ගෙන එන විශ්වාසභංගයේ ප්‍රශ්නය තවදුරටත් පස්සට යන්නට නියමිත බව පැහැදිලි විය.

පසුගිය අඟහරුවාදා විපක්ෂ නායකවරයා උදෑසනම ගාල්ලේ පැවති භික්ෂු උපදේශක සභාව අවස්ථාවට සහභාගි විය. විනයගරුක සමාජයක් උදෙසා භික්ෂු උපදේශක සභාව පිහිටුවීමේ සමගි ජන බලවේගය ක්‍රියාත්මක කෙරුණු වැඩපිළිවෙළේ දෙවැනි අදියර ගාල්ල නගර සභා ශාලාවේදී පැවැත්වුණේ පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙනි. මෙම වැඩපිළිවෙළට සමගි ජන බලවේගය බෞද්ධ කටයුතු පිළිබඳ සභාපති ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම මන්ත්‍රීවරුන්, කොට්ඨාසවල සංවිධායකවරුන් දුන් දායකත්වය නිසා මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හයසියකට වැඩි මහ සඟරුවනක් වැඩම කොට සිටීම කාගේත් අවධානයට යොමු වූ කරුණක් විය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් පැවති සඟ සමුළුවේදී රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද හිමි, දිදුල මාධ්‍ය ජාලයේ සභාපති පූජ්‍ය මාලිගාවිල අස්සජි හිමි, අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේකම් පණ්ඩිත අම්බලන්ගොඩ සුමේධානන්ද හිමි සහ නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තිනියාවල පාලිත යන හිමිවරුන් අදහස් දක්වනු ලැබූහ. සමගි ජන බලවේගය සහ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන අභියෝග හමුවේ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව උපදේශාත්මක අනුශාසනාවක් වූ එම කථාවන් තුළ සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්ෂ නායක භූමිකාව තුළ ඉටු කරන මෙහෙවර ඇගයීමට ද ලක් කරනු ලැබූහ.

තිනියාවල පාලිත හිමියන් පැවසුවේ මහ සඟරුවන වැඩ සිටි සෑම ස්ථානයකටම ගොස් මහා සඟරුවනට සජිත් ප්‍රේමදාස මහතා වැඳ නමස්කාර කිරීම උත්සවය ඉදිරිපෙළට පමණක් ලද නමස්කාර කොට අසුන් ගන්නා පිරිසට පාඩමක් කියාදුන් බවයි.

පැමිණ සිටි මහා සඟරුවනට නගර ශාලාව අසල පිහිටි බෞද්ධ මධ්‍යස්ථානයේ දී දහවල් දානය පිළිගනු ලැබූහ. නගර ශාලාවේ සිට හේවිසි තූර්ය වාදක කණ්ඩායම් පෙරටුව වැඩම කළ මහසඟරුවන දුටු ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කීවේ රට පුරාම පන්සල්වල මහා සංඝරත්නය අද සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද කරන බවයි. ඒ මොහොතේ

ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා කීවේ නායකතුමාට මල්වතු මහා විහාරයෙන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගෞරව සම්මාන පුද කිරීම එය තහවුරු කරන කරුණක් බවයි. රංජිත් මද්දුම බණ්ඩාර මහලේකම්වරයා සඳහන් කළේ ආණ්ඩුව මිහින්තලේ විදුලිය කපද්දී සජිත් ප්‍රේමදාස මහතා එයට මැදිහත්වීම පාලකයින්ට ප්‍රශ්නයක්ව තිබෙන බවයි.

ගයන්ත කරුණාතිලක මහත්තයා ගාල්ල දිස්ත්‍රික්කයේ මහන්සි වෙලා වැඩ කරනවා. ඒ වගේම අපි දකිනවා ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයා උදේම පාර්ලිමේන්තුවට ගිහින් තනියම ආණ්ඩුවේ ප්‍රශ්නවලට මුහුණ දීලා සටන් කරන වීරයෙක්. රංජිත් මද්දුම බණ්ඩාර ආනන්දයේ ඉගෙන ගත් බෞද්ධ නායකයෙක් ලෙස හොඳ ගමනක් යනවා. ඒ වගේම ෆීල්ඩ් මාර්ෂල්තුමා වගේ හොඳ ටීම් එකක් විපක්ෂ නායකතුමාට ඉන්නවා, අකුරැටියේ නන්ද හිමි පැවසූහ.

බදාදා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ විධායක සභාව රැස්විය. මෙම අවස්ථාවට විවිධ වෘත්තීය සමිති නියෝජනය කරන කම්කරු නායකයන්ට ද ආරාධනය කොට තිබිණි. එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජිත කම්කරු පනත පිළිබඳව වෘත්තිය සමිති නායකයන් සමග අදහස් හුවමාරු කරගත්හ. සජිත් ප්‍රේමදාස මහතා හමුව ආරම්භ කරමින් කීවේ මේ පිළිබඳව ක්‍රම තුනකින් ප්‍රවේශ වීමට බලාපොරොත්තු වෙන බවයි. වෘත්තීය සමිති නායකයන් සමග මෙන්ම හාම්පුතුන් සමග ද සාකච්ඡා කොට දෙපාර්ශ්වයම එකම සාකච්ඡාවකට කැඳවා එකඟතාවකට පැමිණීම විපක්ෂ විධායක සභාවේ අරමුණ බවයි. අවස්ථාවට එක්ව සිටි ලංකා බැංකු සේවක සංගමය සභාපති චන්න දිසානායක, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ මහ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය මාකස් ඇන්ටන් වතුකරය නියෝජනය කරමින් පැමිණි ප්‍රභාකරන් සහ මහාචාර්ය විජේසුන්දරම් සමග සේවක සංගමයේ කරුණාරත්න සමගින් ඒකාබද්ධ සේවක සංගම් කැඳවුම්කරු ආනන්ද පාලිත ඇතුළු සියලු කම්කරු නායකයන් විපක්ෂ නායකතුමාගේ මැදිහත්වීම අගය කළේය.

● නාමල්ගේ ඇත්ත බබා සහ ෆේස්බුක් බබා

නාමල් රාජපක්ෂ පහුගිය දිනවල දිගින් දිගටම කාර්ය බහුල තත්ත්වයක සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීම්වලට ඔහු නිතර නිතර සහභාගි වූ නිසා ය. ළඟපාත රැස්වීම්වලට පමණක් නොවේ, කොළඹින් බැහැර පිටස්තර ප්‍රදේශවලද පැවති රැස්වීම් වලට ඔහු දිගින් දිගටම ගියේය. හොඳට කතා කළේය. තර්ක විතර්ක කළේය. මේ තත්ත්වය නිසා නාමල් යනු පහුගිය දිනවල ෆේස්බුක් ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලාවලටද ලොකු මාතෘකාවක් විය. ඔහුගේ මඟුල් ගෙදරක ගෙවිය යුතු විදුලි බිලක් පිළිබඳ ආරංචියක් ද සමාජය මාධ්‍ය මඟින් විවේචනයට ලක් විය. ඒ පිළිබඳ නැඟුණු සංවාදයේදී නාමල් කෙලින්ම කීවේ ඒ බදු බිලක් තිබේ නම් මාධ්‍යවලට නොයවා තමන්ගේ ගෙදරට තමන්ගේ ලිපිනයට එවන ලෙසයි. ඔය කතාව ලොකුවට සමාජයේ ඒ මේ අත සාකච්ඡාවට ගැනිණි.

ඒ අතර නාමල්ගේ දෙවෙනි දරුවා ඉපදීම ගැන ද ෆේස්බුක් මගින් පුවත් පළ වන්නට වූහ. ඒ අතර මේ සතියේ මැද ඔවුන් අපේක්ෂාවෙන් සිටි ඒ දරු උපත සිදු වූහ. බොහෝ දෙනෙක් දුරකථනයෙන් නාමල්ට සුබ පතන්නට වූහ. දුරකථනයන්ට ඉසිඹුවක් ලැබුණේ ම නැති තරම් ය.

මේ අතර මාධ්‍යවේදීන් ද එක දිගට කතා කරමින් සුබ පතන්නට වූයේ “ඔබතුමාට දෙවැනි දරුවාත් හම්බවුණා නේද..?” කියා විස්තර විමසමිනි.

අනේ ඔව් කතාව ඇත්ත… හැබැයි මට නං නෙවෙයි වුණේ මගේ බිරිඳට. අද තමයි ආරංචිය ඇත්ත වුණේ. ඒ වුණාට දැන් දවස් ගාණක ඉඳලා ෆේස්බුක් එකෙන් මගේ දෙවැනි බබා හම්බවුණා කියලා ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවා. මේ වගේ අතිශය පුද්ගලික දේවල්වලට පවා නිදහසක් දෙන්නේ නැති තත්ත්වයට සමාජ මාධ්‍ය පත් වෙලා වගේ… කමක් නෑ…” කියමින් නාමල් ඒ පිළිබඳ තම හැඟීම ඉදිරිපත් කළේය.

පසුගිය සතියේ ෆේස්බුක් මාධ්‍ය ජාලා තුළින් සාකච්ඡාවට ලක්වූ තවත් ප්‍රශ්නයක් තිබේ. තවත් ප්‍රශ්නයක් නොව, පසුගිය සතියේ තිබූ ප්‍රධානම ප්‍රශ්නය එයයි.

පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවක දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් දුමින්ද නාගමුව ජනතා විමුක්ති පෙරමුණේ අරමුදල් පිළිබඳ හෙළිදරව්වක් කළේය. ඔහු කීවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ තවත් ප්‍රබල ඇමැතිවරයකුගේ ද උදව් ලබා ගනිමින් පක්ෂයට තිබෙනවා යැයි කියන අති විශාල මුදල් සම්භාරයෙන් කොටසක් මෝල්ටාව නැමැති යුරෝපීය දූපතක ආයෝජනය කර තිබෙන බවකි.

දුමින්ද නාගමුව කළ මේ ප්‍රකාශයත් සමගම ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවෝ ප්‍රකෝප වන්නට පටන් ගත්හ. ඔවුන් තමන්ට හැකි හැම මාධ්‍යයකින්ම ප්‍රතිචාර දක්වමින් පෙරටුගාමී නායකයන්ට හා පෙරටුගාමී පක්ෂයට ප්‍රතිප්‍රහාර එල්ලකරන්නට පටන් ගත්හ. අන්තිමේ පසුගිය සතියේ ෆේස්බුක් මාධ්‍ය ජාලාවල වෙන මාතෘකාවක් කතාවට ලක් වූයේ නැති තරම්ය. කවුරුත් කතා කරේ මෝල්ටාව හා මෝල්ටාවට යවපු සල්ලි ගැනය. තත්ත්වය නරක අතට හැරුණි. සමාජ මාධ්‍යවල සිට ප්‍රධාන ජාතික මාධ්‍යවලට ද මේ සංවාදය විතැන් වන්නට පටන් ගත්තේය. අවසානයේ නිරාගමික අරගලකරුවන් ලෙස සමාජයේ කැපී පෙනුණු මේ තරුණ පිරිස දෙකට බෙදී කෑමොර ගසමින් බැණ අඬගසා ගන්නා තත්ත්වය බලාසිටින්නට ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනඥයන්ට සිදුවූහ.

● හදාගත්තු පක්ෂය දාලා වෙන කොහේ යන්නද

පසුගිය බදාදා ප්‍රසන්න රණතුංග ගම්පහ ආසනයේ හිටපු පළාත් පාලන නියෝජිතයන් පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක් කළේය. සාමාන්‍යයෙන් මසකට වරක්වත් ආසනේකට ගොස් එසේ පළාත් පාලන ආයතන නියෝජිතයන් හමුවීම ප්‍රසන්න ගේ සිරිතයි.

“සර්.. දැන් ජනාධිපතිවරණයේදී අපි මොකද කරන්නේ” හිටපු පළාත් පාලන නියෝජිතයකු සාකච්ඡාව අවසන්ව තේ පානය කරන අතරදි ඇමැති ප්‍රසන්නගෙන් විමසීය.

“අපි පැනල දෙන්න නරකයි. එහෙම වුණොත් නැති ප්‍රශ්න ඇතිවෙනවා. ඒවයින් විරුද්ධවාදීන් ප්‍රයෝජන ගන්නවා. ඒක නිසා අපි පක්ෂය ගන්න තීන්දුව දිහා බලාගෙන ඉමු. පක්ෂය ගන්න තීන්දුව අපි ක්‍රියාත්මක කරමු.” ඇමැතිවරයා කීය.

“සර්… අලිය පිටේ නඟිනව කියල පහුගිය කාලේ ලොකු කතා බහක් ගියා. ඒත් සර්ගේ කතාවෙන් එහෙම දෙයක් තේරෙන්නෙ නැහැ.” තවත් නියෝජිතයකු පැවසීය.

“මේ පක්ෂය හැදුවෙ අපි. නුගේගොඩ මහින්ද සුළඟ වේදිකාවට මම නැග්ගේ දේශපාලන වශයෙන් මගේ මරණ සහතිකය අතේ තියාගෙන. මොකද මම එතකොට බස්නාහිර මහ ඇමැති. එදා මාත් එක්ක හිටියේ පළාත් සභාවෙ හා පළාත් පාලන මන්ත්‍රීවරු. වෙන කවුරුවත් වේදිකාවට නැග්ගේ නැහැ. පාරක්, පාරක් ගානේ, ගමක් ගමක් ගානෙ ඇවිදල හදපු පක්ෂෙ දාල මම කොහේ යන්නද ලොකු අයියේ ?” ඇමැතිවරයා සුහදව පිළිතුරු දුන්නේය.

“එහෙම කරපු සර්ට අන්තිමට ලොක්කො කැපුවනේ”

“දේශපාලනය කරනකොට එහෙම අභියෝගවලට මුහුණ දෙන්න ඕන. චන්ද්‍රිකා මැතිණිය මට මහ ඇමැතිකම නොදී පළාත් සභාවේ පසුපෙළට දැම්මා. අන්තිමට මම මහ ඇමැති වුණා. එදා මම පස්සට ගියානම් අද මොකද වෙන්නෙ” ඇමැතිවරයා විමසීය.

“ඒක ඇත්ත.. ගියපාර මහ ඡන්දෙදි ගම්පහින් ඉල්ලා පාර්ලිමේන්තු ගියපු අය අපිට කෙළවෙනකොට පැත්ත පළාතක නෑ. අන්තිමට ඉතුරු වුණේ ඔබතුමා විතරයි.”

“මම මිනිස්සු රවට්ටන්නෙ නෑ. ඇත්ත කියල පරදින්න මම බයත් නෑ.” ඇමැතිවරයා යළි කීය.

● ප්‍රසන්න රනිල්ගේ ගුණ වයයි.

“මොනව වුණත් ජනාධිපතිතුමා වැඩ ටික පිළිවෙළට කරගෙන යනවා. ප්‍රශ්නත් ටික ටික විසඳෙනවා.” තවකෙකු කීය.

“ජනාධිපතිතුමා ඒ තනතුරට පත් කරන්න පක්ෂය තීන්දු කළාම මම ඒකට එකඟ වුණේ හරිම අමාරුවෙන්. මම ඒ ගැන මහින්ද මහත්තය එක්කත් කතා කළා. තවත් අය එක්කත් කතා කළා. ඒක හරිම අමාරු තීරණයක්. නමුත් මම ඒ ගත්ත තීන්දුව ගැන අද සතුටු වෙනවා. ඒ තිබුණ ප්‍රශ්න ටික විසඳන්න පුළුවන් එකම කෙනා තමයි වත්මන් ජනාධිපතිතුමා. එතුමා එක්ක වැඩ කරන්න පහසුයි. ඒක තෙරෙන්නෙ දැන්. සජිත්ට, අනුර කුමාරට එතුම එක්ක හැරෙන්නවත් බැහැ” ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා දීර්ඝ විස්තරයක් කළේය.

“ජනාධිපතිතුමාගේ ගුණ වයන නිසා තමයි සර් පනිනව කියල ප්‍රචාරය කරන්නේ”

“ඒව අහිකුංණ්ඨික කතා. ඒව ගැන එච්චර හිතන්න එපා. 2015 මහින්ද මහත්තය පැරදුණාම ඉස්සෙල්ලම අරලියගහ මන්දිරයට ගියේ මම. එතුමගෙ බඩු ටික පැක්කරගන්න උදව් කළේ මමයි, මගේ නෝනයි, ළමයි දෙන්නයි. මහින්ද මහත්තය නැවත දේශපාලනයට ගේන කණ්ඩායමේ ඉස්සරහින්ම මම හිටියා. මම කරපු දේවල් එතුමට හොඳට මතකයි. මම එහෙම අවස්ථාවාදියෙක් නොවන බවත් එතුමා දන්නවා” ඇමැතිවරයා යළි කීය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment