රටට අහිමි වූ පොදුජන හිතවතා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස

286

(හෙට දිනට යෙදෙන දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ තිස්වැනි ගුණ සැමරුම වෙනුවෙනි)

කොපමණ පාලකයන් කලින් කලට මෙරට බිහි වුව ද ජනතාවගේ සිත් තුළ සදාකල් රැඳී පවතින්නේ ඉතා සුළු කොටසකි. එවන් ජනතාවාදී ජනහිතකාමී නායකයෙකි දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා. අදටත් බොහෝ ජනතාවගේ මුවගින් පිටවන්නේ ප්‍රේමදාස මහතා සිටියානම් කියා ය.

වලව් දේශපාලනයට මෙන්ම පාරම්පරික දේශපාලන ක්‍රමයට අභියෝග කරමින් රටේ ඉහළම තනතුර වෙත ආ ගමන අද ජීවත්ව සිටින තරුණ දේශපාලකයන්ට මෙන්ම හෙට දවසේ රට භාරගන්න බලාපොරොත්තු වන නායකයන්ට කදිම ආදර්ශයකි.

කොළඹ මහ නගර සභාවේ සිට රටේ මුල් පුටුව දක්වා එතුමා ආ ගමන මල් ඇතිරූ සුවපහසු ගමනක් නොවීය. දේශපාලකයෙක් ලෙස විවිධාකාර අවලාද, නින්දා, අපහාසවලට මුහුණදීමට සිදු විය. ඇතැම් අවලාද, අපහාස තම පක්‍ෂයෙන් ම ඇසීමට තරම් එතුමා දේශපාලන නායකයෙක් ලෙස අවාසනාවන්ත විය.

ළමා අවදියේ සිට ම පන්සල සමඟ එක්ව කටයුතු කළ සැබෑ බෞද්ධයෙකි. ශ්‍රී සුචරිත ව්‍යාපාරයෙන් ආරම්භ කළ ආගමික හා සමාජ සේවා කටයුත්ත ප්‍රදේශයේ සුරාසල් වැසීමට හා දුසිරිත් කටයුතුවලට එරෙහිව සාරධර්මවලින් පිරිපුන් සමාජයක් බිහිකිරීමට මහත් මෙහෙයක් කළේය. අසරණ දූ දරුවන්ගේ නුවණැස පාදාලීමේ අරමුණෙන් රාත්‍රි නිදහස් පාසලක් ආරම්භ කළ අතර, සෑම පුන් පෝ දිනයට පෙර දින මාසික ධර්ම දේශනාවක් පැවැත්වෙන දම්සභා මණ්ඩපයක් බවට ශ්‍රී සුචරිත ශාලාව පත්විණ. ඊට අවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූ අතර ඊට උරණ වූ යම් යම් අය ගල්මුල්වලින් ශාලාවට පහර දුන් අවස්ථා ද තිබිණ. ඊට පෙරළා ගහන්න ගියේ නැත. එතෙක් පවත්වාගෙන ආ සමාජ සේවා කටයුතු නවතාලීමට ද එය බාධාවක් කරගත්තේ නැත. එය වඩ වඩාත් සාර්ථකව ඉටු කිරීමට හේතු විණ. කෙසේ වෙතත් පසු කලෙක එසේ ගසන ලද ගල් මුගුරු නව ගොඩනැඟිල්ලේ අත්තිවාරමට දැමීය. අයහපත වුව ද යහපතට පෙරළා ගැනීමට එතුමා දක්‍ෂ විය.

එතුමාගේ චරිතයෙන් උගත යුතු බොහෝ දේ තිබිණ. කිසිවිටෙකත් අවලාදවලින් හෝ අපහාස වලින් කම්පා වූයේ නැත. ඉන් වඩ වඩාත් පන්නර විය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විධායක ජනාධිපති ධුරය දක්වා පියවරෙන් පියවර ඉදිරියට ඇදී ආවේය. ඕනෑම චණ්ඩ මාරුතයකට වුවද නොසෙල්වී සෙවණක් වූ මහා වෘක්‍ෂයක් මෙන් මැදකොළඹ ජනතාව ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සමඟ එක්ව සිටීම ද විශේෂත්වයකි. විවිධ ජන සමූහයක් වෙසෙන මැදකොළඹ මැතිවරණ කොට්ඨාසයෙන් බිහිවූ පළමුවන හා එකම විධායක ජනපති ලෙසින් රණසිංහ ප්‍රේමදාස මහතා දේශපාලන ඉතිහාස වංශ කතාවේ සනිටුහන් වන්නේය.

නිදහසින් පසු රාජ්‍ය නායකයෝ රැසක් බිහිවූහ. එහෙත් අන් ආගම්වලට ගරු කරමින් කටයුතු කළ බෞද්ධ රාජ්‍ය නායකයෙක් වේ නම් ඒ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ය. අන් ආගම්වලට ගරු කිරීම, තම ආගමට ගරුකර ගැනීම සැබෑ බෞද්ධයාගේ ලක්‍ෂණ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදු දහම පෝෂණය කිරීම, ආරක්‍ෂා කිරීම, රැකගැනීම වැනි කොතෙක් වදන් පද ඇතත් එය යථාර්ථයක් කළ රාජ්‍ය නායකයා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය. පූජනීය සිද්ධස්ථාන රැසක්ම ගම්උදාවට සමගාමීව එම ප්‍රදේශයේ පන්සල්, වෙහෙර, විහාර, චෛත්‍ය පිළිසකර කරමින් ආරක්‍ෂා කරමින් රැක දුන්නේය. එහෙත් මේ සියල්ලම ඉටු කළේ තමන්ගේ නමට ඉදිරියෙන් එක් එක් නිකායවලින් පුදනු ලබන ගෞරවාභිමාන හෝ සම්මාන නාම බලාපොරොත්තුවෙන් නොවන්නේය. එබැවින් එතුමා දිවංගත වන තෙක් එතුමාට එවන් පුහු ආභරණයක් ද නොලැබිණි.

දහම් පාසලක් ආරම්භ කිරීම සිරගෙයක් වැසීම යැයි කථාවට කියන්නේය. එහි සැබෑ අරුතක් ද ඇත. සමාජයට සදාචාර සම්පන්න අය බිහිකළ හැක්කේ දහම් පාසල් අධ්‍යාපනයෙන් බව දත් රණසිංහ ප්‍රේමදාස මහතා දහම් පාසල් නඟාසිටුවීමට පියවර ගත්තේය. රජයේ රැකියාවක් ලබාගැනීමට දහම්පාසල් සහතිකයට ලකුණු ලබාදීමේ ක්‍රමයක් ඇති කළේය. මේ නිසා ළමා අවධියේ සිටම දහම් අධ්‍යාපනයට නැඹුරුවීමේ වේගවත් භාවයක් දක්නට ලැබිණ. දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය ඇගයීම මෙන්ම දහම් පාසල් දරුවන්ට කිරි වීදුරුවක්, බනිස් ගෙඩියක් ලබාදීමේ ක්‍රමවේදයක් ද ඇති කළේය. රණසිංහ ප්‍රේමදාස මහතා දහම් පාසල් නඟාසිටුවීමට කළ එම කටයුතු එපිරිද්දෙන්ම පවත්වාගෙන යෑමට කිසිදු රාජ්‍ය නායකයෙක් සමත් නොවූහ. තම කුඩා අවධියේ සිටම ලැබූ දහම් පාසල් අධ්‍යාපනයත්, බෞද්ධ භික්‍ෂූන් වහන්සේ කෙරෙහි පැවැති සැදැහැවත් ඇසුරත් රණසිංහ ප්‍රේමදාස මහතාට සුචරිතවත් ගමනක් යෑමට බොහෝ උපකාරී විය. එහෙත් කිසිවිටෙකත් ආගම දේශපාලනයට සම්බන්ධ කර ගත්තේ නැත. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වැනි විවිධ ජනකොටස්වලින් යුත් මැදකොළඹ මැතිවරණ කොට්ඨාසය නියෝජනය කළ රණසිංහ ප්‍රේමදාස මහතා 1977 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද ලක්‍ෂය ඉක්මවා පළමුවැනියා වන්නේය. ඉන් සැබෑ වන්නේ බෞද්ධකම හෝ සිංහලකම නිසා ලැබූ ජයග්‍රහණයකට වඩා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලුම ජාතීන් හා සියලුම ආගම්වලින් එකමුතුවෙන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි. රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ශ්‍රී සුචරිත ව්‍යාපාරය මගින් ප්‍රදේශය හා රටපුරා ක්‍රියාත්මක කළ ආගමික හා සමාජ සේවාවන් රැසකි.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අදටත් දෝෂාභියෝගයකට මුහුණ දුන් එකම ජනාධිපතිවරයා රණසිංහ ප්‍රේමදාස මහතා ය. පක්‍ෂ, විපක්‍ෂ සියලු අවලාද, අපහාස, ගල්මුල් සියලු දේ ඉවසා දරාගෙන තම ගමනට ඒවා ශක්තියක් කර ගත්තා මිස දේශපාලනයෙන් පැනගියේ නැත. අභියෝග භාරගත්තා මිස අභියෝග හමුවේ පැනගියේ නැත. දේශපාලනය යනු ජයග්‍රහණය පමණක් නොව පරාජයන් ද මුසුවූවක් බව හා ඒ සියල්ල එක හා සමානව විඳදරා ගැනීමට එතුමා නිහතමානී නායකයෙක් විය. පරාජයන් හමුවේ තව තවත් දේශපාලන පන්නරය ලබාගත්තා මිස කඩාවැටුණේ නැත. තනතුරු, තාන්න මාන්න උදෙසා දේශපාලනය කරන මොහොතක එතුමා කිසි විටෙක තනතුරු හෝ නායකත්ව පසුපස ගියේ නැත. තනතුරු හා නායකත්ව එතුමා පසුපස ආවේය. පක්‍ෂයේ තාඩන පීඩන හමුවේ පක්‍ෂය හැර ගියේ නැත. පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන් වැඩ කටයුතු සිදු කළේය. අවසානයේදී සියලුදෙනාගේ ආශිර්වාදයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට පත්විය.

අද වනවිට රටේ පවතින ආර්ථික ගැටලුව යම් තාක් හෝ දුරට සමනය කර ගැනීමට හැකි වූයේ එතුමා අනාගතය වෙනුවෙන් ආරම්භ කළ විවිධ වැඩසටහන් නිසාවෙනි. ඒ අතරින් ආරම්භ කළ ඇඟලුම් කර්මාන්ත දෙසියේ වැඩසටහන මුලිකත්වයක් ගත් අතර එමගින් විශාල විදේශ විනිමයක් රට තුළට ගලා ආවේය. අදටත් එහි ප්‍රතිලාභ ජනතාව විඳිනු ඇත. එතුමා සංචාරක කර්මාන්තයේ දියුණුවට අවශ්‍ය නවීන හෝටල් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කළේය.

නිදහසින් පසු රට කාර්මීකරණයකට ලක් වූයේ එතුමාගේ පාලන කාලයේදීය. රටේ තරුණ තරුණියන්ට රැකී රක්‍ෂා දහස් ගණනින් බිහි වූවේද රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලනය සමගිනි. අනාගතය උදෙසා තීන්දු තීරණ ගත් එතුමා ශ්‍රී ලංකාව තුළ ශ්‍රම වෙළෙඳපොළක් නිර්මාණය කළේය. අනෙකුත් රටවල් සමඟ කරට කර තරග කිරීමට සුදුසු වටපිටාවක් හා තාක්‍ෂණික අධ්‍යාපනයක් ශ්‍රමිකයන්ට ලබා දුන්නේය. ඒ හරහා ශ්‍රී ලංකාව කෙරෙහි විදේශ ආයෝජකයන්ගේ අවධානය ලබා ගත්තේය. අදටත් ලෝ ප්‍රකට ඇඳුම් ආයිත්තම් ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට යැවෙන්නේ එතුමා එදා ගත් තීන්දු තීරණ නිසාවෙනි.

නිදහස් වෙළෙඳ කලාප බිහිකරමින් ආයෝජකයන්ට සියලුම පහසුකම්, රජයක් ලෙස ලබාදුන්නේය. ඒ වගේම නිදහස් වෙළෙඳ කලාප තුළින් තරුණ තරුණියන්ට සෘජු රැකියා මෙන්ම නිදහස් වෙළෙඳ කලාප ආශ්‍රිතව දහස් ගණනින් වක්‍ර රැකියා බිහි කළේය. ගම්උදාව සංකල්පය යටතේ එතුමා අඩු ආදායම්ලාභීන්ට හිසට සෙවණක් ලබාදීමට කටයුතු කළේය. 1987 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සැමට සෙවණක් වැඩසටහන දියත් කළේ ද ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කළ යෝජනාවකට අනුවය. දේශපාලනඥයා ඉදිරි ඡන්දය බලා වැඩ කරයි. නායකයා හෙට උපදින මතු පරපුර වෙනුවෙන් අනාගතය බලා වැඩ කරයි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ද දේශපාලනඥයකුට වඩා නායකයකු බව කීම වඩාත් නිවැරදිය.

ජනතාවට යම් රාජ්‍ය නායකයෙක් පහසුවෙන් හමුවීමට අවස්ථාව තිබුණේ නම් ඒ තිබුණේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ය. ඊට වැටකඩොලු හෝ බාධක නැත. අලුයම 4.00 සිට ඕනෑම අයකුට සුචරිත නිවසේදී එතුමා හමුවීමට අවස්ථා තිබිණි. අද ක්‍රියාවට නැංවෙන ගම සමඟ පිළිසඳර හා විපක්‍ෂ නායක ජංගම සේවයට වඩා පොදු හා පුද්ගලික අර්ථාන්විත විසඳුම් යමක් කඩිනමින් ලබා ගැනිමට ඊට අවස්ථා තිබුණි. ජනාධිපති ජංගම සේවයක් ආරම්භ කළ පළමු පුද්ගලයා වන්නේ ද රණසිංහ ප්‍රේමදාස මහතාය. ඊට රාජ්‍ය ආයතන ද එක්වන්නේය. මේ නිසා සියලුම දේ එකම ස්ථානයකින් කර ගැනීමට අවස්ථාව තිබිණ. දිනකට සේවාවන් ලබා ගැනීමට දහස් ගණනින් පැමිණෙන්නේය. එම ජනාධිපති ජංගම සේවය ජනතාවට දැනුණි, රටට දැනුණි.

ඇමැතිවරයෙක්, අගමැතිවරයෙක් හා ජනාධිපතිවරයෙක් වශයෙන් රටට කළ දෑ බොහෝ ය. එය පොදු ජනතාවට මතකය. එතුමා ආරම්භ කළ දෑ අද වෙනත් නම්වලින් ක්‍රියාත්මක වන්නේය. ජනසවිය සමෘද්ධිය ලෙසත් උදාගම්මාන ජන උදාන හා ජන සෙවණ ලෙසත් බෞතිස්ම කළේය. එහෙත් එසේ ආරම්භ වූ ව්‍යාපෘතීන්වල නම් ගම් වෙනස් කළ ද ජනතාව අතර එතුමාගේ නම අකා මකා දැමිය නොහැක. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයත් සමඟ ඇතිවූ හිඩැස රටට පමණක් නොව එක්සත් ජාතික පක්‍ෂයට ද වෙසෙසින් දැනිණ. එක්සත් ජාතික පක්‍ෂය නම් මහා දේශපාලන වෘක්‍ෂයේ ගරාවැටීමත් එතුමාගේ අභාවයත් සමඟ ආරම්භ වූවා යැයි කීම වඩාත් නිවැරදිය.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පවුල්වාදයෙන් බැහැරව කටයුතු කළ දේශපාලන නායකයෙකි. ඔහු කිසි විටෙක තම පවුල දේශපාලනයට සම්බන්ධ කර ගත්තේ නැත. ඔහුගේ පුත් සජිත් ප්‍රේමදාස ද දේශපාලනයට පිවිසෙන්නේ තම පියා මියගොස් වසර හතකට පසුවය. එතුමා ජීවතුන් අතර සිටියා නම් තම පුතුට දේශපාලනයේ මායිමකටවත් එන්න දෙන්නේ නැත.

ඔහු රට භාරගන්නා විට උතුර නැඟෙනහිර යුද්ධය මෙන්ම දකුණේ කැරලි කෝලාහල ය. දෙකොන ඇවිළුණු විලක්කුවක් මෙන් රටකි. එහෙත් රටේ ආර්ථික සංවර්ධනය ඉහළින්ම තබා ගැනීමට සමත්විණ. ඇඟලුම් කම්හල් 200 ක් ආරම්භ කළේය. ඊට සමගාමීව එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඔරලෝසු කණු ද ඉදිවිණ. එහෙත් සුද්දන්ට ජංගි මහනවා කියමින් අපහාස කළේය. ඉන් සැලුණේ නැත. අතහැරියේ නැත. ඉන් වඩාත් පන්නරය විය. පියවරෙන් පියවර ඔහු ආ දේශපාලන ගමන්මඟ තුළ පැවැතියේ බාධක කම්කටොලුය. මේ නිසා ජීවිතයේ ආපස්සට ගොස් ආපසු හැරී එන්න යැයි යමෙක් කියතොත් තමන්ට බැරි බව ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කිහිප අවස්ථාවකම කියා ඇත. එපමණටම දුෂ්කර දේශපාලන ගමනක් ආ අභියෝගාත්මක චරිතයකි. දක්‍ෂයා මරණින් පසු ද නාමයෙන් හෝ අමරණීය වන්නේය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා දිවංගත වූ පසු ද නාමයෙන් හෝ අමරණීය වන්නේ එබැවිනි.

තාරක වික්‍රමතුංග

advertistmentadvertistment
advertistmentadvertistment