හීන් තැන

1463

ස්ත්‍රී දූෂණය සහ දූෂණය කරන ලද ස්ත්‍රිය ඝාතනය කිරීම අතර ඇත්තේ කෙස් ගහක වෙනසකි. මෙබඳු කෙස් ගහේ වෙනස්කම් ඇති තවත් දෙයක් ඇත. ඒ ප්‍රේමය සහ වෛරයයි. එම කාරණය මෙතනට නොගැළපේ. ස්ත්‍රියක් දූෂණය කළ කල්හි ඇය තුළ හටගන්නේ තමා පහත්ය යන සිතුවිල්ලයි. මෙය Inferior මානසිකත්වයක් ලෙස හඳුන්වනු ලැබේ. මේ මානසික මට්ටමේ දී දිවිනසා ගැනීම ඉතාම පහසු ය. එහිදී ජීවත් වීමට වඩා මරණය යහපත් බව දූෂණයට ලක් වූ තරුණියට සිතේ. ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණ ගණන වාර්ෂිකව වේගයෙන් ඉහළ යමින් පවතී. සමහර විට මේවා පවුල යන ඒකකය ඇතුළතදීම සිදු වී සදාකාලික රහස් හැටියට පවතී. මෙය සේවා ස්ථානය තුළ ද සිදුවිය හැක. කොම්පැනියේ ලොක්කා ස්වකීය සෙකටි්‍ර තරුණිය දූෂණය කරන අවස්ථා ඕනෑ තරම් තිබේ. එහෙත් ඇයට කොම්පැනියේ අයිතිකාරයාට ඉහළින් යෑමට බැරිය. දිගින් දිගටම දූෂණය වීමෙන් පසු කොම්පැනි හිමිකරු වෙනත් සෙකටි්‍ර කෙනෙක් වැඩට ගන්නා අතර එහිදී ඔහු අතින් දූෂණයට ලක් වූ සෙකටි්‍ර කාන්තාව ආත්මීය වශයෙන් මරණය අභියස සිට ගනී. මේ රටේ සිටින කාමාතුරයන්ට මේ බවක් නොතේරේ. ලිංගිකත්වය යනු ජීවිතය නොවේ. එහෙත් කන්‍යාවට ඇගේ කන්‍යාභාවය ජීවිතය වන්නේය. එසේම විවාහක ස්ත්‍රියකට සිය පතිවෘතය ජීවිතය බවට පත් වන්නේය. මේ නිසා ස්ත්‍රී දූෂකයන්ට දිය යුතු හොඳම දඬුවම මරණ දඬුවම ය. එය ද කළ යුත්තේ ප්‍රසිද්ධ ස්ථානයකට ගෙනවුත් හීන් තැනෙන් අල්ලා කපා දැමීම ය. මෙවැනි චාරිත්‍රයක් ඇතැම් අප්‍රිකානු සංස්කෘතිය තුළ තිබේ. ඒ පිළිබඳ වීඩියෝවක් ද අන්තර්ජාලයේ තිබෙනු පසුගිය කාලයේදී අප දුටුවෙමු. මෙහිදී සෙනඟ රැස්වූ පිට්ටනියක් මැදට දූෂකයා ගෙනවිත් නිරුවත් කරනු ලැබේ. ඉන්පසු දූෂණයට ලක් වූ තරුණිය ඔහු ඉදිරිපිට තැබූ පුටුවක ඉන්දනු ලැබේ. තුන්වන අවස්ථාව වන්නේ අපරාධකරුගේ ලිංගඡේදනයයි. පෙර කී වීඩියෝවේ නිරූපණය වූ පරිදි ලිංගඡේදනය දුටු තරුණිය සිහිසුන්ව ඇද වැටුණාය. රැස්ව සිටියෝ අත්පුඩි ගසමින් ප්‍රීති ඝෝෂා කළහ. අපරාධකාරයා ස්වල්ප වේලාවක් වෙවුලමින් සිට අධික ලේ වහනය හෙවත් Extreme Hemorrhage නිසා හටගත් කම්පනයෙන් මළේය.

මිනීමැරීම හොඳ නැත. ශාරීරික හිංසනය ද අප විසින් පිටුදකිනු ලැබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් කොම්පැනි රැසක් මේ දෙකටම කැමැති නැත. එවැනි දේවල් කරන රටවලට ණය දීමෙන් ද එම රටවලින් බඩු ගැනීමෙන්ද වැළකී සිටීමට ස්වකීය සාමාජික රටවල් සහ ලෝකවාසී ජනතාව පෙළඹවීමට එම ජාත්‍යන්තර කොම්පැනිවලට පුළුවන. ඒ මොන මඟුල තිබුණත් ශ්‍රී ලංකාව ද මෙවැනි ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු බව අපගේ අදහස වේ. අටලුගම දී ඝාතනය කරන ලද නව හැවිරිදි දැරිය වූ අයිශා ෆාතිමා පිළිබඳ සිද්ධියට අදාළ වැරදිකරුට මෙම දඬුවම දිය යුතුය. ඔහු විසින් ඇය දූෂණය කර නැත. එහෙත් දූෂණය කිරීමේ අභිලාෂයෙන් මේ අමනයා අසරණ දැරිය ලඳු කැලෑවකට ඇදගෙන ගියේය. මිනීමරුවා තිදරු පියෙක් බව දැන ගැනීමට ඇත. ඔහුගේ බිරිඳ සිවුවන දරු ප්‍රසූතිය ආසන්නයේ සිටින්නීය. එහෙමත් තියා ගෙන කළ මේ වැඩේ නිසා මේ කාලකන්නියාට මරණ දණ්ඩනය දිය යුතුමය. ලිංගඡේදනයෙන් මරා දැමීමේ වැනි ක්‍රියාමාර්ගයක්, ශ්‍රී ලංකාවේ තිබෙන අවුරුදු 2500 ක් පැරණි ඇන්ටික් සංස්කෘතියට නොගැළපෙන නිසා අපරාධකරු එල්ලා මරා දැමීම සුදුසු ය.

මේ රට තුළ රහසිගතව සිදුවන ලිංගික අපරාධ එළියට ගැනීමට විදියක් ඇත්තේම නැත. එයට හේතුව නීතියේ ඇති ඇතැම් පතෝල අවස්ථා වීමට පුළුවන. යුරෝපයේ තත්ත්වය මීට වඩා වෙනස්ය. කාන්තාවක් ළමා වියේදී ලිංගික අපරාධයකට ලක්වී නම් එයින් අවුරුදු පනහකට පසු වුවද එම අපරාධයට එරෙහිව නඩු පැවරීමේ අයිතිය දූෂණයට ලක්වූ වින්දිත කාන්තාවට යුරෝපයේදී ලැබේ. එංගලන්තය, ප්‍රංශය, ඇමරිකාව වැනි රටවල එවැනි නඩු කිහිපයක් මේ වෙලාවේදී විභාග වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ පාරවල් දිගේ ඇවිදින වීදි දරුවෝ පහළොස් දහසක් සිටිති. ඔවුන්ගෙන් වැඩි දෙනා සෑම රාත්‍රියකම ලිංගික අපහරණයට ලක් වන්නාහ. ශ්‍රී ලංකාවේ නාගරිකය දිනෙන් දිනම සාපරාධී යුද පිටියක් බවට පත් වේ. ඊයේ පෙරේදා පිටකොටුවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඇහැට පෙනෙන මානයේ දුරක සිට වෙඩි තබා ගැනීමක් සිදු වූ අතර එමගින් එකෙක් මළේය. මේ පරිහානිගත ප්‍රවණතාව තුළ කන්‍යාභාවය තබා ඇඟිල්ලක්වත් පරිස්සම් කිරීමට බැරිය. ඒ නිසා ආණ්ඩුව වහාම ක්‍රියාත්මක වී මේ තත්ත්වයන්ට උත්තර සෙවිය යුතුය. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වී සිටි කාලයේදී ඉතා ලස්සනට පාතාලය මර්දනය කළේය. එක් අවස්ථාවකදී පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ කප්පම් ගැනීම සඳහා පැමිණි පිරිසක් යුද හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබිණ. යුද හමුදාවේ ක්‍රමෝපායීය ප්‍රවේශය හේතුවෙන් කප්පම්කරුවන් සියලු දෙනාට බඩ ගියේය. ඔවුන් හමුදා වෑන්වලට පටවන ලද්දේ වතුර බටවලින් සෝදා පවිත්‍ර කිරීමෙන් පසුව ය. එහෙත් අපරාධකරුවන් සම්බන්ධයෙන් එවැනි පිළිවෙළක් දැනට අනුගමනය කරනු නොලැබේ. මේ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක නොකළහොත් මහජනයා නීතිය ක්‍රිියාත්මක කරනවා ඇත.

මහජනයා නීතිය අතට ගතහොත් සිදු වන්නේ කුමක්ද? එවිට අරගල භූමි ඉදි වනවා ඇත. එම අරගල භූමිවල නායකත්වය ගන්නේ මෝටිවේෂන් අප්පච්චි, රැට්ටා වැනි සිකනලු ප්‍රජාවය. රැට්ටා යනු ස්වකීය යූටියුබ් චැනලය මගින් අපමණ කුණුහරුප වපුරන රෝගියෙකි. මෝටිවේෂන් අප්පච්චි යනු සමාජය හරි ගැස්සීම පිණිස අවවාදාත්මක ගොන් කතා කියන වෘෂභයෙකි. හිකනල්ලන්, නාගරාජයන් බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව තුළ ඇති අතර පසුගියදා රැට්ටා යන අය අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ඔහු හැසිරුණේ චේගුවේරාටත් එහා ගිය විප්ලවකාරයෙක් ලෙසිනි. අපේ සමාජය වේගයෙන් අල වෙමින් පවතී. යූටියුබ් සංස්කෘතිය නිසා ඒ අල කුණු වෙමින් යයි.

advertistmentadvertistment
advertistmentadvertistment