රට ගිනි ගනිද්දී වීණා වයන දේශපාලන නීරෝලා!

397

මේ වූකලී ආන්දෝලනාත්මක සමාජ දේශපාලන සිදුවීම්වලින් මෙන්ම විවිධ ක්‍රියාකාරකම්වලින් ද උණුසුම් කරන ලද සතියකි. ඒවා සම්බන්ධයෙන් තිබෙන දේශපාලන කියවීම්, විශ්ලේෂණ ද බොහෝය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන යන දෙදෙනා විසින් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ලැබ ඇතැයි ප්‍රබල චෝදනා පත්‍රයක් ද සමාජගත වී තිබේ. නීතිඥ සාමූහිකය හා සිවිල් සංවිධානත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂවලත් දැඩි අප්‍රසාදයට තුඩු දී තිබෙන එකී චෝදනාවලට හේතු වී තිබෙන්නේ අභිනව පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධ ක්‍රියාවලියයි. එය ව්‍යවස්ථාදායකය හා විධායකය පිළිබඳ ගැටලුවක් ලෙස පෙනේ. විශේෂයෙන් ජනාධිපති රනිල් හා ව්‍යවස්ථා සභාව අතර උද්ගතව තිබෙන ඒ මතභේදය කිසිසේත් යහපත් එකක් නොවන බව අපට පැහැදිලිය. ජනාධිපති රනිල්ට අනුව ව්‍යවස්ථා සභාව යනු විධායකයේම කාර්ය සාධනය සඳහා වූ ආයතනයකි. එහෙත් ව්‍යවස්ථා සභාව විධායකයේ බලය තුලනය කිරීමටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රාජ්‍ය පාලනය ගෙන යෑමටත් ස්ථාපිත කරන ලද ආයතනයක් බව ඒ සම්බන්ධ ප්‍රාමාණිකයන්ගේ අදහස වී තිබේ. මේ මතභේදය නිසා පොලිස්පතිවරයාගේ පත්වීම ද ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්ව ඇත. එසේම එහිදී කථානායකවරයා ක්‍රියා කරන ලද ආකාරය ද විවේචනයට ලක්ව තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස කථානායකවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ද ඉදිරිපත් වී තිබේ. මෙයින් පෙනී යන්නේ විධායකය හා ව්‍යවස්ථාදායකයේ ක්‍රියාකාරකම් පිළිබඳ විශ්වාසය හා ප්‍රජාතන්ත්‍රවාදී අපේක්‍ෂාවන් යම් ප්‍රමාණයකට පළුදු වීමකි.

රට ගිනි ගනිද්දී වීණා වයන දේශපාලන නීරෝලා!

මේ සතිය උණුසුම් කළ අනෙක් ක්‍රියාකාරකම් අතර වඩාත් අවධානයට ලක් වූයේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට කරන ලද විශේෂ ප්‍රකාශයත්, එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඔහු සහභාගි වන බව යම් ප්‍රමාණයකට තහවුරු වීමත්ය. එසේම පාර්ලිමේන්තුව පමණක් නොව සිවිල් සංවිධාන ඇතුළු සමාජයේ බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූ අනෙක් සිදුවීම වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලවල ලක්‍ෂ ගණනින් වැටුප් වැඩිකර ගැනීමය.

අපි පළමුවෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් කෙරෙන දේශපාලන හා සමාජ විවේචන වෙත යොමු වෙමු. මහ බැංකුවේ වැටුප් වැඩි කර ඇත්තේ මුළු රට ම ආර්ථික අගාධයක ගිලී තිබෙන මොහොතක බවත් ඒ ක්‍රියාදාමය කිසිසේත් සදාචාරාත්මක නොවන බවත් මේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් තිබෙන විවේචනවල හරයයි. මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු උසස් නිලධාරීන් විසින් එම වැටුප් වැඩිකර ගැනීම පිළිබඳ කැබිනට් මණ්ඩලයට මෙන්ම පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ද කරන ලද පැහැදිලි කිරීම් මේ වනවිට සමාජ දේශපාලන අංශ උණුසුම් කරන්නක් ද වී තිබේ. මහ බැංකුව සිය වැටුප් වැඩිකර ගත් ආකාරය ඔවුන්ට හිමි වරප්‍රසාදයක් ඔවුන්ගේ වෘත්තීය අභිමානය සුරැකීමක් ලෙස අර්ථකථනය කර ඇත. කුමක් වුවත් මේ ආකර්ෂණීය වැටුප් වැඩිකර ගැනීම කෙබඳු දැයි ඒ ඒ සේවකයන්ගේ වැටුප් තල විමසා බලනවිට පැහැදිලි වනු ඇත. එහි පහළම සේවකයාගේ වැටුප රුපියල් එක් ලක්‍ෂ අසූ දහස පනිද්දී ඉහළ ම සේවක වැටුප දස ලක්‍ෂය ද ඉක්මවා තිබේ.

ශ්‍රමය හා වැටුප යනු සමාජ දේශපාලන න්‍යායන්ට පවා පදනම් වූ සංකල්පයකි. වැටුප් විෂමතා පිළිබඳ ගැටලු ද බොහෝය. වරප්‍රසාද සහිත වෘත්තීන් ලෙස හැඳින්වෙන සේවාවන්ට සුවිශේෂ වැටුප් හා දීමනා ලැබීම ප්‍රශ්නයක් නොවේ. එහෙත් මහ බැංකුව එහිදී ක්‍රියාකර තිබෙන ආකාරය යුක්තිසහගත ද? සාධාරණ ද? යන ප්‍රශ්න අපට ද තිබේ. ජනමාධ්‍ය වාර්තා කළ ආකාරයට මේ වැටුප් ඉහළ දැමීම ගැන ආණ්ඩුවේ මෙන්ම විපක්‍ෂයේ ද දැඩි විවේචනත් අප්‍රසාදයත් පළ වී ඇත. විශේෂයෙන් පොදුවේ රට ම ආර්ථික දුෂ්කරතා මැද අසීරුවෙන් කල් ගෙවද්දී එක් පිරිසක් පමණක් යහමින් තම පිඟන්වලට බෙදාගෙන සිටිති. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද කිසිවකුගේ වැටුප් හා දීමනා මේ ආකාරයෙන් වැඩිකර ගතනොහැකිය. දේශපාලන බසින් කියන්නේ නම් මෙහිදී සිදුව ඇත්තේ සියල්ලන්ට ම පටි තද කර ගැනීමට උපදෙස් දෙන මහ බැංකුව පමණක් සිත්සේ වැඩි පඩි ලබාගෙන තිබෙන බවය. තමන්ගේ පිඟන්වලට පමණක් ඇති පදම් බෙදාගෙන ඇති බවය. රටේ ඇති නැති පරතරය කෙබඳු දැයි මහ බැංකුව දනී. සඳළුතලේ රස මසවුළු බුදිමින් සාද පවත්වන සුළුපිරිසක් සිටියත් ඒ සාද නොපෙනෙන මානයේ බත් ඇට අහුලන දරුවෝ සිටිතියි ද මේ මහත්වරු දනිති.

සමාජයක විවිධ තරාතිරම්වලට අයත් වූවෝ සිටිති. ධනීහු වරප්‍රසාද සහිත ජීවිත ගෙවති. නිර්ධනීහු ගොවි බිම්වල වැඩ බිම්වල කඹුරති. වතුකරයේ තේ දලු නෙළන කම්කරු ලියකගේ දිනක වැටුප මෙන්ම එබඳු අවම වැටුප් ලබන අය මෙරටේ කොපමණ සිටිත් ද? ඔවුන්ගේ දුප්පත් ජීවිත මතට වැටී තිබෙන අඳුර කෙතරම් ද? ඔවුන්ගේ දරුවන්ට පාසල් නැත. පාසල් යන ටික දෙනාටවත් පොත්පත්, ඇඳුම් කැඩුම් නැත. බෙහෙත් නැත. රෝහල් නැත. යෑමට බස් එකක් තබා දෙපා නඟා යෑමට උචිත පාරක් තොටක් ද නැත. මේ ලැයිස්තුව තවත් බොහෝ දිගය. අප නඟන ප්‍රශ්නය මෙයයි. මේ රටේම මහපොළොවේ අපේම නෑයෝ වැඩි දෙනෙක් කඹුරමින් අනන්ත දුක් පීඩා විඳිමින් ජීවත් වෙද්දී සුළුපිරිසක් සුවඳ බොජුන් සැප සයනා, තුමුල මාලිගා මැද ජීවිත ගෙවීම සාධාරණ ද? එය දෛවය හෝ කරුමය ද? රටකට දේශපාලනය වුවමනා වන්නේ මේ අසාධාරණය, භේදය අඩු කිරීමට නොවේ ද? එහෙත් ඒ සියල්ල නොතකා සුළු පිරිසක් ආත්මාර්ථකාමී ලෙස තමන්ගේ පිඟානට බෙදා ගැනීම මනුෂ්‍යත්වයේ නාමයෙන් අනුමත කළ නොහැකි බව අපගේ ද අදහසය.

මහ බැංකුව මෙරටේ ආර්ථික මෙහෙයුම් කේන්ද්‍රස්ථානය මෙන්ම රාජ්‍ය මූල්‍ය පාලනය වැනි සුවිශේෂ කාර්ය සඳහා මඟ පෙන්වන ආයතනය ද වේ. නිදහසින් පසු පැමිණි දරුණුම ආර්ථික අර්බුදය සමග ඇති වූ දේශපාලන පෙරළිය මහ බැංකුව ද දන්නා කරුණකි. එහිදී එවක මහ බැංකුව ක්‍රියා කළේ කෙසේ ද? ජනාධිපති, අගමැති ගෙදර යද්දී එවක සිටි මහ බැංකු අධිපතිවරයා ද ගෙදර ගියේය. දිගු කලක් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස ක්‍රියාකළ පසුව ඔස්ටේ්‍රලියාවේ වාසය කරමින් සිටි නන්දලාල් වීරසිංහ මෙරටට කැඳවා මහ බැංකුව භාර කළේ රටේ ආර්ථිකය යථාවත් කිරීමේ අභිලාෂය ද ඇතිවය. ඔහු රටට පැවසුවේ කැපකිරීම් කළ යුතු බවය. ඔහු ඒ සඳහා විවිධ යෝජනා, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ද හඳුන්වා දුන් ආකාරය ද අපට මතකය. කුමක් වුවත් පාලකයන්ගේ අසමත් ආර්ථික කළමනාකරණය නිසා රටට අත්වූ විනාශයේ සියලු බර ජනතා හිස මතට පැටවූ නිර්දය ආකාරය මහ බැංකුව ද දනී.

මහ බැංකු අධිපතිවරයා විසින් වැටුප් වැඩි කිරීමේ හේතු සාධක මැති ඇමැතිවරුන්ටත්, පාර්ලිමේන්තුවේ ගිණුම්කාරක සභාවටත් පැහැදිලි කරද්දී ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා විසින් අතිශය වැදගත් ප්‍රශ්නයක් ද මතු කරන ලදී. ඒ වූ කලී සේවක අර්ථ සාධක අරමුදල්වල ප්‍රතිලාභ ගෙවීම සම්බන්ධයෙනි. මේ මුදල් කිසිසේත් මහ බැංකුව සතු වූවක් නොවේ. එහෙත් ඒවා ආයෝජනය කිරීමෙන් මහ බැංකුව විශාල වත්කමක් ලබාගනී. ගෙවිඳු මන්ත්‍රීවරයා පැවසූ පරිදි සේවක අර්ථ සාධක අරමුදල් හිමි ජනතාවට 9%ක් ගෙවද්දී මහ බැංකුව පමණක් එහිදී එම අරමුදල් සඳහා 29.2% ක් ලබාගැනීම යුක්තිසහගත ද? එසේම සේවක අර්ථ සාධක අරමුදල් භාරය ආයෝජනය කර උපයාගත් ලාභයෙන් බිලියන 21ක මුදලක් ඒවා හිමිකරුවන්ට ලබානොදීම ගැන ද ගෙවිඳු මන්ත්‍රීවරයා ප්‍රශ්න කර තිබිණි. මහ බැංකුවේ මේ ප්‍රතිචාරය කෙතරම් අමානුෂික දැයි ඔහු විමසා සිටියේය. මේ සියලු කරුණු ඉදිරියේ දී සාකච්ඡාවට ගන්නා බව ද වාර්තා විය. කුමක් වුවත් මේ අසාමාන්‍ය වැටුප් වැඩි කිරීම පිළිබඳව යළිත් විමසා බැලිය යුතු බවද මුදල් කාරක සභාවේ දී ආචාර්ය හර්ෂ ද සිල්වා යෝජනා කර ඇත.

මහ බැංකුව ස්වාධීන ආයතනයක් වුවත් එය ද පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනයට යටත් විය යුතුය. එහි තිබෙන්නේ ද ජනතා මුදල්ය. එසේම විශේෂ වෘත්තිය නිපුණතාව සහිත ප්‍රාමාණිකයන් සිටින්නේ ද මහ බැංකුවේ පමණක් නොවේ. බුද්ධි ගලනය, වියතුන් වෘත්තිකයන් රට හැර යෑම අලුත් දෙයක් නොවේ. එහෙත් අද තිබෙන බදු, වෙනත් පීඩන ආදිය ද මේ රට හැර යෑමට මූලික වී තිබෙන බවද කිව යුතුය. ශ්‍රී ලංකාව පතිරූප දේශයක් නැතහොත් පුණ්‍ය භූමියක් ලෙස ජගත් ප්‍රජාවගේ ද ආකර්ෂණයට ලක් වූවකි. එහෙත් මේ රට මෙවන් අගාධයකට ඇදගෙන යෑමේ පළමු චූදිතයෝ කලින් කලට රටේ පාලනය භාරව සිටි දේශපාලන නායකයෝය. මහජන මුදල් අවභාවිතය, පවුල් පාලනය, හොරකම, දූෂණය, වංචාව සම්බන්ධයෙන් අපට තිබෙන කුප්‍රකට විවේචන මොනතරම් ද? රටේ ආර්ථිකය බිඳ වැටීමේ වගකීම රාජපක්‍ෂ පාලනයට හා එවක සිටි නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ම පවරනු ලැබ ඇත. තවමත් ඒ පාලනයේ මැදිහත්වීම් ඉවර නැත. අපට සිටියේ ජනතාවාදී පාලකයන්ට හා නිලධාරීන්ට වඩා රට ගිනි ගනිද්දී වීණා වාදනය කළ නීරෝ පරපුරේ නූතන දේශපාලන විකටයෝ නොවෙත්ද? පොදු ජනතාව තේ කෝප්පයේ සීනි හැන්දේ සිට බදු ගෙවද්දී දේශපාලන නීරෝලාත් ආයතන පාලනය කරමින් මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලාත් රට වෙනුවෙන් කළේ කුමක්ද යන ප්‍රශ්නය මෙහිදී ඒ හැම දෙනාගෙන් ම විමසිය යුත්තකි.

රට ගිනි ගනිද්දී වීණා වයන දේශපාලන නීරෝලා!

දැන් අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේ දී (6දා) සිදු කරන ලද විශේෂ ප්‍රකාශය වෙත යොමු වෙමු. මෙහිදීත් ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කළේ අරාජිකව, අස්ථාවරව ගිය පාලනයෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට ගත් පියවර පිළිබඳව ය.

ගිනිගත් ආර්ථිකය මැදට පැන ජනතාවට සහනයක් ලබාදීමට ක්‍රියාකළ ආකාරයත් නුදුරු අනාගතයේ දී වැට් බදු සහන, වෙනත් ආර්ථික ප්‍රතිලාභ ලබාදීමට ප්‍රියවර ගන්නා බවත් ජනාධිපති පැවසීය. මේ වනවිට විදුලි බිලට සුළුසහනයක් ලබාදී ඇත. පාසල් උපකරණ හා ඖෂධ මිල වැට් බදුවලින් නිදහස් කරන බවද සඳහන් කර ඇත. ඒවා අගය කළ යුතුය. සිය විශේෂ ප්‍රකාශයේ දී ජනාධිපතිවරයා රටේ ජනතාවගෙන් අසා සිටියේ යළිත් එදා තිබුණු අපායට වැටෙනවා ද? නැත්නම් පාරාදීසය වෙත ගමන් කරනවා ද යන බැරෑරුම් ප්‍රශ්නයකි. එහි තේරුම මේ තිබෙන ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය ඔස්සේ ම තව දුරටත් ඉදිරියට යෑම හැර වෙන විකල්පයක් නොමැති බවය. එහි තවත් දේශපාලන අරුතක් ද ඇත. එනම් ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් ඉදිරිපත්වන අතර ම ඒ වැඩපිළිවෙළ ජනතාව පිළිගත යුතුය යන්නය. ජනාධිපතිවරයාගේ දේශපාලන හා ආර්ථික සැලසුම් පිළිබඳව ධනාත්මකව බැලීමට ඔහු මෙන් ම ඔහුට අනුග්‍රහය දක්වන පිරිස් ද නොපසුබට වෙති. එහෙත් ඒ පිළිබඳව වෙනත් දේශපාලන කියැවීම් ද ඇත. ඔහුත් විශේෂ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ ස.ජ.බ සජිත් මෙන්ම ජා.ජ.බ. ආචාර්ය හරිනි ද දක්වන ලද අදහස් දැඩි විවේචනාත්මකය.

විපක්‍ෂ නායකවරයා ද වන සජිත් උත්ප්‍රාසයෙන් පැවසුවේ ජනාධිපතිවරයා ගිනි මැදට නොව හොරුන් මැදට පැන හොරුන්ගේ උදව්වෙන් එම ධුරයට පත්වූ බවය. ජනාධිපතිවරයා අගමැතිව සිටි යහපාලනයට ද සම්බන්ධව සිටි සජිත් අද සිය නායකයා වූ රනිල්ට කෙරෙන දේශපාලන විවේචනවල සත්‍යයක් ද ඇත. සැබැවින්ම රට ආගාධයට ඇද දැමූ දූෂිත ආර්ථික ඝාතකයන්ට මෙන්ම, වංචා, හොරකම් සිදුකළ හා අකාර්යක්ෂම ආර්ථික ක්‍රියාකාරකම් සමාජගත කළ චෞරයන්ට එරෙහිව ජනාධිපති රනිල් කිසිදු පියවරක් නොගත් බව ද නිසැකය. මෙරටේ සිදුවී තිබෙන මහ බැංකු මංකොල්ලය මෙන්ම ඉනික්බිතිව සිදුවූ ඖෂධ මගඩිය ගැන තිබෙන චෝදනා බරපතළ ය. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයම අර්බුදයට ලක් කළ බවට චෝදනා ලද ඇමැතිවරයා ඇතුළු ඉහළ ම නිලධාරීන් දැන් රිමාන්ඩ් භාරයේය. බදු හොරුන් සහ වෙනත් ජාවාරම්කරුවෝ ද නිදහස් ජීවිත ගෙවති.

ආණ්ඩුවේ නායකයන් වඩාත් උනන්දු වූයේ මහජන අදහස් ප්‍රකාශ වීම වැළැක්වීමටත්, මර්දන පනත් සම්මත කර පාලනය ගෙන යෑමටත් බව රහසක් නොවේ. ඒ පිළිබඳව ජනාධිපතිවරයා ද චෝදනාවට ලක්ව සිටියි. පාර්ලිමේන්තුව විසින් වැඩි ඡන්දයෙන් සම්මත කළත්, ජගත් ආයතනවල හා මෙරටේ විද්වතුන් හා වෙනත් සංවිධානවල ද දැඩි විවේචනයට ලක්වූ ‘ඔන්ලයින් පනත’ මේ ආණ්ඩුවට අත්‍යවශ්‍ය වූවක් විනා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන ලද්දක් නොවේ. ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය ජනාධිපතිවරණය දෙස බලාගෙන කරන ලද්දක් විනා එහි විශේෂ අවධානය යොමු කළ යුතු කරුණක් නැති බව ජා.ජ.බයේ ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇත. ජනාධිපති ගෝඨාභය පලා යෑමෙන් පසු එම ධුරය රනිල්ට ලබාදීමේ රාජපක්‍ෂ මෙහෙයුමක් වූ බව ද ඇය පෙන්වා දෙයි. එහිදී අනුර කුමාර මෙන්ම ඩලස් අලහප්පෙරුම ද එම ධුරය සඳහා තරග කළත් පොහොට්ටුව විසින් රනිල්ව තෝරා ගත් බවට ඇය කරන විවේචනය සාවi නොවේ. සැබැවින් ම ඔහු රාජපක්‍ෂවරුන්ට යළිත් ජනතාව ඉදිරියට පැමිණීමට කටයුතු සකසා දී ඇත. පොහොට්ටුව තුළ කෙබඳු මතභේද තිබුණත් අද ජනාධිපති එම ධුරය හොබවන්නේත් පොහොට්ටුවේ වැඩි ඡන්ද නිසා ය. එහෙත් මහ පොළොවේ අද තිබෙන දේශපාලනයත් මේ පවතින ක්‍රමයත් කිසිසේත් ම යම් ප්‍රමාණයක හෝ දේශපාලන විඥානයක් සහිත ජනතාව විසින් පිළිගනු ඇතැයි සිතීමට ද නොහැක. කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල යන ජනකවිය අද ජන මනස තුළ රැව් දෙනු ඇත.

මේ අතර සිය දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් ද ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. ඔහුගේ සැලසුම කුමක්ද? ඒ සමග ම ගෝඨාභය රාජපක්‍ෂ ද පොතක් එළිදක්වමින් තමන්ට මුහුණ දීමට වූ ක්‍රියාදාමය විශාල කුමන්ත්‍රණයක් බව පවසයි. ඉකුත් 07 වැනිදා නිකුත් කළ ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය නමැති කෘතිය ද බෙහෙවින් ආන්දෝලනාත්මක තොරතුරුවලින් යුතු බව පෙනී යයි. 2022 මිරිහානේ විරෝධතාව මෙන්ම පසුව උත්සන්න වූ ක්‍රියාවලිය ගැන ඔහුගේ විවේචනය ආරක්‍ෂක නිලධාරීන්ට අධිචෝදනා පත්‍රයක් එල්ල කරන්නකැයි හැඟේ. එසේ ම රට අර්බුදයක ගිලී තිබීම සම්බන්ධ කතාව ද ඔහු බැහැර කරයි.

කුමක් වුවද හෙටින් පසු එළැඹෙන දේශපාලනය බෙහෙවින් කැළඹිලි සහිත එකක් වීමට ද බැරි නැත. රනිල්, රාජපක්‍ෂ කඳවුර, චන්ද්‍රිකා හා මෛත්‍රීපාල වැනි නායකයන් විසින් කුමක් කරනු ඇද්ද? පොහොට්ටුවෙන් කැඩී ගිය පිරිස් මෙන්ම අලුතින් ගොඩනැඟෙන සන්ධාන කෙබඳු දේශපාලන හැඩයක් ගනු ඇද්ද? ආදී උභතෝකෝටිකයක් අප අබියස ද තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment