කෝප් හෝප්

566

2024 මාර්තු මස 10 වැනිදා ඉරිදා

Hope (හෝප්) යනුවෙන් යෙදෙන වචනයක් ඉංග්‍රීසි භාෂාවේ තිබේ. මේ වචනය නොදන්නා කෙනෙක් රටේ සිටිතැයි අපි විශ්වාස නොකරමු. එහි සිංහල තේරුම

“ බලාපොරොත්තුව” බව අපි නිකමට මෙන් සිහිපත් කර සිටිමු. නිදහස ලබාගත්තා යැයි කියන පසුගිය වසර හැත්තෑහයටම මේ රටේ ජනතාව හිඳින්නේ බලාපොරොත්තු ගොන්නක් හිස මත තබාගෙන බැවින් මේ ඉංග්‍රීසි හෝ සිංහල වචනය නොදන්නවා යැයි කීම බොරුවකි.

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ සියලු පැතුම්, “ බලාපොරොත්තු” ඉටුව ඇත්තේ හොරුනටය, දූෂිතයන්ටය, උන්ට රැකවරණ සපයන දේශපාලුවන්ටය.

එහෙව් තත්ත්වයක් තුළ රටේ ජනතාව කෝප් කමිටුව ගැන බොහෝ හෝප් තබාගත්තේ ය. එහෙත් කෝප් ගැන පවා රටේ ජනතාව ගැන තිබුණු බලාපොරොත්තු දිනෙන් දින අඩුව ගියේ කෝප් කමිටුව කෙදිනකවත් ඇල්ලුවාට හැපුවේ නැති බැවිනි. ඒ නිසාම ඊට රටේ බුද්ධිමත් ජනතාව දුන්නේ වෙනත් අර්ථකථනයකි.

ඒ අනුව කෝප් යනු ශ්‍රී ලංකාවේ ධනය වංචා කරන දේශපාලනඥයන්ට සහ ඊට අනුබල දෙන නිලධාරීන්ට තවත් එවැනි වංචා කිරීමට බලාපොරොත්තු (Hope) ඇතිකරන කාරක සභාවක් ලෙසය. පාර්ලිමේන්තුවේ පිහිටුවා ඇති මෙම සභාව හඳුන්වන්නේ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නොහොත් ‘කෝප්’ (The Committe on Public Enteprises) කමිටුව නමිනි. 1979 වසරේ ජුනි 21 වැනිදා පිහිටුවන ලද ‘කෝප්’ කමිටුවට පසුගිය වසර 40 තුළ රාජ්‍ය ධනය වංචා කිරීමට හවුල් වූ කිසිදු දේශපාලනඥයකු පැමිණ නැත. නොඑසේ නම් කැඳවූයේ නැත. ඒ වෙනුවට ෆයිල් කවර ගොන්නක්, වාර්තා තොගයක් රැගත් රාජ්‍ය නිලධාරින් පැමිණ අදාළ දූෂණ වංචා, චක්‍රලේඛවලින් වසා දමන්නට ට්‍රයි කර මුලසුන හොබවන දේශපාලනඥයන්ගේ ගොන් ප්‍රශ්නවලට පිළිතුරු දී රටේ ජනතාවගේ උදහසට ලක්වෙයි. අදාළ දේශපාලනඥයෝ ද ඒ රාජ්‍ය නිලධාරින් බයිට් එකට ගන්නෝය. කුමන කමිටුවක් වුව දේශපාලනඥයන්ට කැඳවීම් කළ ද එම දේශපාලනඥයන්ට දෂ්ට කරන අද්භූත නයි විශේෂයක් රටේ සිටී. ඒ නිසා කෝප් නොව කවර කමිටුවක් වුවද අනාථය.

අප මේ කතා කරන කෝප් කමිටුව එසේ මෙසේ කමිටුවක් නොවේ. රටට වග කියන කමිටුවකි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 126 හි සඳහන් වන පරිදි පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේ දී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පත් කරන්නේය. පක්ෂ සංයුතිය නියෝජනය වන ආකාරයට එහි සාමාජිකයින් පත් කිරීම සිදුවේ. කාරක සභාවේ ප්‍රථම සැසිවාරයේදීම එහි සාමාජිකයින් විසින් සභාපතිවරයකු පත් කර ගැනීම සිදු වන අතර කාරක සභාවේ ගණ පූර්ණය 4 කි.

රාජ්‍ය සංස්ථා සහ අනෙකුත් ව්‍යාපාර ආයතනවල පරීක්ෂාවට ලක් කරන ලද ගිණුම්, අයවැය හා වාර්ෂික ඇස්තමේන්තු, මුදල් තත්ත්වය හා කළමනාකාරීත්වය පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම මෙම කමිටුව විසින් කළ යුතුය. තවද කාරක සභාවට වාර්තා කිරීම පිණිස කාරක සභාවට අවශ්‍ය යැයි හැඟෙන අවස්ථාවල කාරක සභාවේම සාමාජිකයින්ගෙන් සමන්විත අනුකාරක සභා පත් කර ගැනීමේ බලය ද ස්ථාවර නියෝග අනුව මෙම කාරක සභාවට ලැබී තිබේ. එසේම එම ආයතනවල ගිණුම් විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කිරීම ද සිදු කරනු ලබන අතර එමඟින් කාරක සභාවේ කාර්යයන්ට අවශ්‍ය පදනම සකස් වීම ද සිදුවේ. විශේෂයෙන්ම කාරක සභාවේ විමර්ශන කාර්යයන්ට අවශ්‍ය සාක්ෂි ලබා ගැනීම පිණිස අදාළ රාජ්‍ය නිලධාරීන් ද ඇතුළුව වෙනත් ඕනෑම පුද්ගලයකු කාරක සභාව ඉදිරියට කැඳවීමට හෝ අවශ්‍ය ලිපිලේඛන ගෙන්වා ගැනීමට මෙන්ම අවශ්‍ය ස්ථානවලට පිවිසීම සඳහා ද කාරක සභාවට බලය තිබේ.

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු සභාපතිවරයා වන්නේ ජෝර්ජ් අබේගුණසේකර මහතාය. ඔහු එම කාරක සභාව මුල් වරට ස්ථාපිත කළ දින සිට 1988 වර්ෂයේ ජනවාරි මස 4 වන දින තෙක් එම ධුරයේ කටයුතු කර තිබේ. ඉන් අනතුරුව එම්. එස්. අමරසිරි, ජේ.ඒ.ඊ. අමරතුංග, විමල් වික්‍රමසිංහ, රොහාන් අබේගුණසේකර, ඩී.පී. වික්‍රමසිංහ, විශ්වා වර්ණපාල, රෙජී රණතුංග, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, රෝහිත බෝගොල්ලාගම, විජේදාස රාජපක්ෂ, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ඩිව් ගුණසේකර සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය රන්ජිත් බණ්ඩාර කෝප් කමිටුවේ ආදී සභාපතිවරුන් ලෙස කටයුතු කර තිබේ.

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ වර්තමාන සභාපතිවරයා හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පසුගියදා තෝරා පත්කරගත්තේය.

උත්තර ලංකා සභාගයේ ගාමිණී වලේබොඩ සහ පොහොට්ටුවේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නම් ඒ වෙනුවෙන් යෝජනා වී තිබිණි. වාසනාවන්තයා වූයේ රෝහිතය. ඡන්දයක් කට ළඟ තිබෙන කාල වකවානුවක රෝහිතට මෙන්ම අපට ද සතුටුය. අපට නැවුම් “බලාපොරොත්තුවක්” දීම ගැන අපට සතුටුය. රෝහිතම පාර්ලිමේන්තුවේදී කී පරිදි තමන්ට නරක ලෙස “අපවාද” එල්ල කරන උදවියට රිදෙන්නට දෙන්නට මෙය හොඳ අවස්ථාවකි. දූෂිත නිලධාරින්ගේ, දේශපාලුවන්ගේ ඇඟකිළිපොලා යන අවස්ථාවක් මේ මොහොත වන විට නිර්මාණය වී තිබේ. හොරකම් ගැන කියන, හොරු අල්ලනවා යැයි කියන ජවිපෙටද, රෝහිත සමග ලෙහෙසි නැත. හෝප් තියාගන්න…

advertistmentadvertistment
advertistmentadvertistment