වැඩ කරමු – අවුරුදු කමු (ලබන අවුරුද්ද සඳහාත් වලංගුය)

734

මනුෂ්‍ය වර්ගයා විසින් අප ජීවත්වන මේ ලෝක ධාතුව අරභයා නිරාකරණය කරගන්නා ලද ගැටලු කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න නම් අවුරුද්දට දවස් 365 ක් ඇති බවය. දෙවැන්න ලෝකය ගෝලාකාර බවය. තුන්වැන්න ග්‍රහයන් නව දෙනකුගෙන් සමන්විත සෞරග්‍රහ මණ්ඩලයක අප සිටින බවත් ඒ ග්‍රහයන් සියලු දෙනාම සූර්යා වටා පරිභ්‍රමණය වන බවත්ය. දවසකට පැය 24 ක් ඇති බවත් පැයකට විනාඩි 60 ක් ඇති බවත් විනාඩියකට තප්පර 60 ක් ඇති බවත් මනුෂ්‍ය වර්ගයා විසින් සොයාගන්නා ලද අරුම පුදුම දේවල්ය. සූර්යයා වටා එක වරක් පරිභ්‍රමණය වීම සඳහා දවස් 365 ක් ගතවන බවත් එකී 365 වන දවස පසුවීමෙන් අනතුරුව එළඹෙන ඊළඟ දවස අලුත් අවුරුද්දක පළමුවන දවස බවත් මනුෂ්‍යයා මුල් වතාවට දැනගන්නේ මීට අවුරුදු 4000 ට පෙර බව කියනු ලැබේ. මේ සොයා ගැනීම කළෝ බැබිලෝනියානුවෝය. ඒ සඳහා ඔවුන් විසින් යොදාගන්නේ ලද්දේ සඳ නැග ඒම සහ සඳ බැස ඒම බව කියනු ලැබේ. මෙය ටිකක් පුදුම වැඩකි. පෘතුවිය ඉර වටා භ්‍රමණය වන බව ඔප්පු කිරීමට ඔවුන් යොදාගන්නේ හඳය. බැබිලෝනියානුවෝ අලුත් අවුරුදු දවස සැමරීම සඳහා විශාල ආගමික උත්සවයක් පවත්වන ලදහ. අකිතු (මෙය බාර්ලි වලට කියන සුමේරියානු නමකි) උළෙල දවස් 11 ක් තිස්සේ පවත්වන ලදී. ඒ හැම දවසකටම විශේෂ වූ ක්‍රියාකාරකම් තිබිණ. දෙවියන් අතර හටගත් යුද්ධ බලවත් සතුරන් මිතුරන් වූ හැටි රජුට ඔටුනු පැළඳවීම යනාදිය මේ දවස් 11 තුළ සිදුවිය. මේ අනුව බැබිලෝනියාවේ රජතුමා හැම අවුරුද්දකම අලුත් අවුරුදු උත්සවයේදී ඔටුනු පැළඳිය යුතු විය.

මේ සිද්ධියෙන් අවුරුදු බොහෝ ගණනකට පසු මේ රටේ ජනයා අලුත් අවුරුදු උළෙල දෙකක් සමරති. ඉන් පළමුවැන්න ජනවාරි පළමුවැනිදාය. ඊළඟ අවුරුදු උළෙල සිංහල අවුරුද්දය. මෙය සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ලෙසද හඳුන්වනු ලැබේ. මේ කියන අවුරුදු උළෙල ආගමට මුල් තැන දී පවත්වන උළෙලකි. සිංහල බෞද්ධයෝ ජ්‍යොතිෂ්‍යයට අනුකූල වූ සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් අවුරුදු උළෙල පවත්වති. නොනගත කාලයේදී වැඩිදෙනා ආහාර ගැනීමෙන් වැළකී සිටිති. එහෙත් ඇතැම් මළ පෙරේතයෝ මස් පුළුස්සාගෙන කමින් කසිප්පු බොමින් පජාති වෙති. හින්දු ජනයාද සිය ආගමික කටයුතු සිදු කරමින් අප්‍රේල් 13 සහ 14 යන දෙදින සමරති. සිංහල අවුරුද්දේ විවිධත්වය ඉතා ඉහළය. මීට අවුරුදු 75 ට පෙර තිබූ සිංහල අවුරුද්ද ඉතාම ලස්සන උත්සවයක් බව කිව යුතුය. මේ කියන කාලයේදී ශ්‍රී ලංකාව යනු ගැමි රාජ්‍යයකි. වැඩි දෙනා යුරෝපීය ඇඳුම් නොඅඳින අමුඩේ ගසන අරක්කු හා කසිප්පු වෙනුවට රාත් බීඩි හා සිගරට් වෙනුවට සුරුට්ටුත් පරිහරණය කළ යුගයකි. එකල එඩ නැත. ඉන්ටර්නෙට් ද නැත. ගෙදර ආලින්දයේ තිබෙන එඩ එකෙන් ගමේ අවුරුදු නැරඹීමක් එකල නැත. එකල අවුරුදු උත්සව අවංකය. අද තිබෙන අවුරුදු උත්සව වංකය. විශේෂයෙන්ම එඩ වලින් පෙන්වන අවුරුදු උත්සව සහ ටෙලි නාට්‍ය අතර වෙනසක් ඇත්තේම නැත.

ලංකාව සරල රාජ්‍යක්ව පැවති සමයේදී අවුරුදු කෑමට මහ ලොකු මුදලක් අවශ්‍ය වුණේ නැත. ගෙවත්තේ හැදෙන කෙසෙල් තමන්ගේම කුඹුරුවල තිබෙන සහල් පිටි බවට පත්කොට සෑදූ කැවිලි කිතුල් ගසක් හෝ පොල් ගසක් මැද කැවිලි සෑදීම සඳහා යොදාගත් පැණි යනාදිය පැරණි සිංහල අවුරුද්දේ අමුද්‍රව්‍යය විය. අද වනවිට ගෙවල්වල කැවිලි සාදනු නොලැබේ. කැවිලි ඒවා සාදන කඩ වලින් ලබාගත හැක. එක අතකට ඒ කාලයේදී කුස්සිවලට වැද දහදිය පෙරාගෙන කැවුම් සෑදීම ගොන් වැඩකි. ස්වකීය ජීවිතය ලෙහෙසි කරගැනීමේ අරමුණ මිනිසුන් තුළ තිබේ. ඒ නිසා අවුරුදු කැවිලි කඩවලින් මිලට ගැනීම යුක්ති සහගතය. මෙකී නූතන තත්ත්වය දැඩි ලෙස විවේචනයට ලක්කරනු ලැබේ. සිංහල අවුරුද්දට කැවුම් කොකිස් ගෙදර නොසෑදීම වැරදි නම් අලුත් අවුරුද්දට ඇඳීම සඳහා කඩෙන් රෙදි ගැනීමද වරදකි. එසේ නම් අප කළ යුත්තේ ගස් වලින් පුළුන් කඩාගෙනවුත් නූල් කැට ගෙදරම රෙදි වියා ගැනීමය.

ශ්‍රී ලංකාවට අවුරුදු තුනකින් පමණ හරියාකාරව අවුරුදු කෑමට බැරි විය. 2020 මාර්තු මාසයේදී පළමුවැනි කොවිඩ් ආසාදිතයා ශ්‍රී ලංකාවෙන් හමුවූ අතර ඒ නිසා රට වසා දමන ලද බැවින් සිංහල අවුරුද්දට ලොකුවටම කෙලැවී ගියේය. ඊළඟ අවුරුද්දේද සිංහල අවුරුද්දට රට වහලාය. අවුරුද්දට අවශ්‍ය රස කැවිලි මිලට ගැනීම හෝ ඒවා ගෙදර සෑදීම බරපතළ ප්‍රශ්නයක් විය. ගිය අවුරුද්දේ ද අපට අවුරුදු කෑමට බැරිවිය. එයට හේතුව ජනතාව පාරට ගොස් අරලිය ගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය කෑමය. ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද කැබැල්ලක් කෑමට උත්සාහ කළ නමුදු ආරක්ෂක හමුදා නිසා එය ව්‍යර්ථ විය. අප මෙවර අවුරුදු කන්නේ ආණ්ඩුවේ ද සහයෝගයෙනි. රජය මේවන විට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යය විශාල ප්‍රමාණයක මිල අඩුකර තිබේ. එබැවින් ජනතාවට සහනයක් ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය තවදුරටත් වර්ධනය වුණොත් ඊළඟ සිංහල අවුරුද්ද වඩාත් හොඳින් සැමරීමට අපට අවකාශ ලැබෙනවා ඇත. මේ අවකාශය පාදා ගැනීම සඳහා හැමෝම එක්ව වැඩ කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment