බැංකු පද්ධතිය අවදානමට සූදානම් කිරීම

1132

ජනතාව නොදන්නා සංවර්ධනයේ ඉලක්කම් හරඹ

අලුත් අවුරුදු සංස්කෘතිය තුළ ගැඹුරු සාධනීය ලක්ෂණ තිබේ. අවුරුද්දට සූදානම්වන නවීන පරම්පරාවේ බහුතරයකට පැරණි ගති සිරිත් මතක නැත. චාරිත්‍ර වාරිත්‍ර ලාංකේය ජන ජීවිතයේ කොටසකි. එහි දී පරණ අවුරුද්ද අවසන් කර අලුත් අවුරුදු පිලිගන්නට සූදානම්වන අතර තිබුණ ගනුදෙනු අවසන් කරයි. නොනගතය පවතින කාලය තුළ මොහොතේ සියලු වැඩ අත්හැරේ. එය සංක්‍රාන්ති කාලයක් සේ සැලකේ. සුබ නැකතට අලුතින් වැඩ අරඹන අතර ඉදිරි කාලය තුළ සාක්ෂාත් කරගන්නට අපේක්ෂා ඇති කරගනී.

ගෙවී ගිය මාස දොළහක කාලය මෙරට ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. ආර්ථික අර්බුදය සමග දැවැන්ත සමාජ දේශපාලන පෙරළියක් සිදුවිය. අසාර්ථක ක්‍රමය වෙනස් කරන සේ ජනතාව බලකර සිටි බව මතක් කළ යුතුය. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට තව දුරටත් කටයුතු කළ නොහැකි, තරමට දරුණු පීඩනයක් එල්ල කරන ලද අරගලකාරී තත්ත්වය පාර්ලිමේන්තු සංයුතිය තුළ අලුත් ආණ්ඩුවක් පිහිටුවාගන්නට ඉඩදීමෙන් පසු පසෙකට වූහ. මහජනතාව තුළ තිබුණ කැළඹීම සහ අතෘප්තිය අවසන් වූ බවක් මෙයින් අදහස් නොකෙරේ. රට ගොඩනඟන්නට සියුම් දර්ශනයක්, අලුත් ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දෙන්නට අසමත්ව සිටින පසුබිම ඉදිරියේ, දැනට ලබාගෙන ඇති තාවකාලික ලිහිල්භාවය ශ්‍රී ලංකාව නැවත පුරුදු රිද්මයට ඇතුළු වූ බවට සාක්ෂියකි. නිෂ්පාදනය වැඩි කරන හා අපනයනය ඉලක්ක කරගත් සැලැස්මක් හඳුන්වා දෙන්නට අසමත් වුවහොත් අපේක්ෂා කරන ලද වෙනස්කම් සිදුවෙන්නේ නැත.

පීඩනය ලිහිල්වීම තුළ නොපෙනෙන අනතුරක්

ආණ්ඩුවේ අධික බදු පැනැවීමට එරෙහිව වෘත්තීයවේදීහු සටන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ අතර ආණ්ඩුව වෘත්තීය සමිති ව්‍යාපාර බෙලහීන කරන තීන්දු ගෙන ඇත. ජීවන වියදම තරමක් අඩුකරන පියවර ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබේ. ගෑස්, ඩීසල් හා පෙට්‍රල් මිල අඩු කරන හා එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් අලෙවි ද්‍රව්‍ය මිල අඩුය. බස් ගාස්තු පහත දමා ඇත. මේවා ආර්ථිකය නිසි මගට ගැනීමේ ප්‍රතිඵල සේ සැලකීම සුදුසු නැත. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සහ විනිමය අනුපාතිකයේ සිදුවූ වෙනස එයට බලපා ඇත. මෙරට විදුලිය නිෂ්පාදනයෙන් සියයට හැට පහක් ඉන්ධන හා ගල් අඟුරු භාවිතයෙන් සිදුකෙරේ. ඛනිජ තෙල් මිල අඩුවීම විදුලිය ගාස්තුවලට බලපෑමක් නොකිරීම කෙරෙහි නියාමන කොමිසම අවධානය යොමු කළ යුතුය.

දළ දේශීය නිෂ්පාදිතය අඩු වන පසු එහි පැතිරීම ඉහළ සමාජ ස්ථරයේ සිට පහළටම බලපෑමක් එල්ල කරයි. 2021 වසරේ දී සියයට 3.7 කින් හැර 2020 සිට මෙම වසර දක්වා ආර්ථිකය සෘණ අගයක් ගෙන ඇත. 2020 වසරේ සියයට 3.6 කින් වැටුණ ආර්ථිකය 2021 වසරේ දී සියයට 3.7 කින් වර්ධනය වූ නමුත් පසුගිය වසරේ සියයට 7.8 කින් සෘණ අගයක් ගත්තේය. මෙම 2023 වසර අවසන් වන විට තවත් සියයට 4 කින් ආර්ථිකය සෘණ අගයක් ගන්නා බව ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. මුලින් තිබුණ තත්ත්වයට වඩා පහළට වැටුණ ආර්ථිකය තවත් වටයකින් ගිලිහෙන බව ප්‍රකාශ වී තිබිය දී පීඩනය ලිහිල්වීමක් ගැන උද්දාමයට පත්වීමෙන් පලක් නැත.

ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබුණ අභාග්‍යවන්ත මාවතින් ඉවත් කළ හැකි තරමට රට තුළ නිෂ්පාදන හෝ සේවා අංශවල ප්‍රබෝධයක් දක්නට නොලැබේ. විදේශීය ණය ගෙවීම නතර කර ඇති මෙම අවකාශය තුළ රටට ලැබෙන විනිමය ප්‍රමාණයෙන් ජීවත්වන අතර ණය ගෙවන්නටත්, වෙළෙඳපොළ ඉල්ලුම සැපයීමටත් ප්‍රමාණවත් පරිදි ප්‍රසාරණයක් සඳහා සෑහෙන කාලයක් ගත විය හැක. ඉලක්කම් එහා මෙහා කර පෙන්වීමෙන් සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවගේ ඇඟට දැනෙන්නේ නැත. ආදායමක් ලැබෙන, රැකී රක්ෂා බහුල, වෙළෙඳපොළ සක්‍රීය සහ ජීවන වියදම පාලනය වන තැනකට පත් කරන තෙක් අස්වැසිල්ලක් නැත.

දේශීය ණයවලටත් ප්‍රතිව්‍යුහගත කරන යෝජනා

ආර්ථික අර්බුදයකට පසුබිම උත්පාදනයක් රහිත නඩත්තුකරණය බව සඳහන් කිරීම වැදගත්ය. දේශීය හා විදේශීය වශයෙන් ණය ගන්නා ආණ්ඩු ඒවා පියවීමට හැකිවන ආර්ථිකයක් ගොඩනඟන්නට ප්‍රයත්න දරා නැත. ඉතිහාසයේ සිට බලපවත්වන ලද මෙම වරද, පාස්කු ඉරිදා ප්‍රහාරය හා එයින් පසු ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වය සමග තවත් ප්‍රසාරණය විය. දේශීය ණය ගෙවීම සඳහා මුදල් මුද්‍රණය කර අලුතින් නිකුත් කරන අතර එය උද්ධමනයට හේතුවකි. විදේශ ණය පියැවීම සඳහා තවත් විදේශ ණය ගැනීම අනුගමනය කර ඇති ක්‍රමයකි. මේවායේ විපාක හේතුවෙන් ජනතාව ගෙවන බදු අධික පොලිය ගෙවන, අසාර්ථක ආර්ථිකයක් නඩත්තු කරන ක්‍රමවේදයකට ඇතුළු වී තිබුණි. බලයට පත්වන ආණ්ඩු මෙම අතවරය දන්නා නමුත් වෙනස්කම් කිරීමේ දී ඇතිවිය හැකි තත්ත්ව ඊළඟ ඡන්දයට බලපාන සාධකයක් විය හැකි බැවින් හැකිතාක් එදිනෙදා ආණ්ඩුකරණයකට පමණක් සීමා කරගෙන තිබුණි.

ආර්ථිකය අර්බුදයකට පත්ව පැවැත්ම බිඳ වැටීමෙන් පසු ආදායම හා වියදම පාලනය කරගැනීමටත්, ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහාත් පියවර ගෙන ඇත. විදේශ ණය ගෙවීම අත්හිටුවා වසරක් ගත වී තිබේ. එම ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඇති කරගත හැකි එකඟතාවයන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර සමාගම් දෙකකට පවරා ඇත. දේශීය ණය නැවත සලකා බැලීම ද අනිවාර්යයෙන් සලකා බැලිය යුතු කාරණයක් බවට පත්ව ඇත. රට ඇතුළතින් සිටින ණය හිමියන්ට සාධාරණය ඉටුවන අතර පරිබාහිරව සිටිමින් ණය සපයන ලද පිරිසට පමණක් ප්‍රතිව්‍යුහගත කිරීමට බලකිරීම ගැන පැවැති විවේචනයට පිලිතුරු සැපයීමට ආණ්ඩුවට සිදුවී තිබේ.

දේශීය ණය පියැවීම ගැන විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත්ය. රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිරිහී ගිය පසු දේශීය වශයෙන් කටයුතු කිරීමේ දී ණය ගැනීම පමණක් නොව පියැවීම සඳහා මුදල් මුද්‍රණය කිරීම ද නතර කරන්නට සිදුවී තිබේ. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවකි. 2022 අප්‍රේල් අවසන් වන විට ශ්‍රී ලංකාවේ දේශීය ණය රු. ටි්‍රලියන 1.2 ක් බව මහ බැංකු වාර්තාව දක්වයි. මෙයින් බිලියන 3,192 ක් කෙටිකාලීන වන අතර එයින් බිලියන 2,846 ක් භාණ්ඩාගාර බිල්පත්ය. මැදි හා දීර්ඝ කාලීන ණය ප්‍රමාණය රු. බිලියන 9,229ක් හා එයින් රු. බිලියන 7,846 භාණ්ඩාගාර බැඳුම්කර සේ දැක්වේ.

දේශීය ණයවල විපාක බැංකුවලට බැර වුවහොත්

දැනට යෝජනා වී ඇති අන්දමට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුවුවහොත් වානිජ බැංකු අවිනිශ්චිත තැනකට තල්ලුවන අවදානමක් ඇත. දැනට ඇති භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර අඩු පොලියකට දිග කාලයක් සඳහා ආපසු පරිවර්තනය කිරීම එක යෝජනාවකි. පොලිය අඩු කර කල් පිරීම අවසානයේ දී නිදහස් කිරීම අනෙක් යෝජනාවයි. මෙම දෙයාකාරයෙන්ම ආයෝජකයන් අපේක්ෂා කළ ආදායම අහිමිවීම වැළැක්විය නොහැක. වාර්තා දක්වන අන්දමට මෙම ණයවලින් සියයට හැට එකක් මහ බැංකුව උසුලයි. වානිජ බැංකුවලින් ගත් ණය වශයෙන් සැලකේ. තවත් කොටසක් සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදලේ ආයෝජන බව දැක්විය යුතුය. පසුගිය කාලය තුළ රජයට ණය සැපයීම අරමුණු කරගෙන ධනය එකතු කළ වානිජ බැංකු තැන්පත් පොලිය වශයෙන් වසරකට සියයට විසි දෙක දක්වා ගෙවා ඇත. මෙවැනි අධික පොලියක් නිෂ්පාදන හා සේවා අංශවලට පවා ප්‍රශ්නයකි. දේශීය වශයෙන් අධික පාඩු ලබන, රජයේ බැංකුවලින් ණය ලබාගෙන මෙහෙයුම් කරගෙන යන ඛනිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් හෝ වෙනත් සමාගමක් මෙවැනි අධික පොලියකට ණය ගැනීමෙන් පසු ඒවා පියැවීමට ගාස්තු නැංවීම මහජනතාව අසරණභාවයට පත් කිරීමට හේතුවන බව අතුරු කතාවක් වශයෙන් සඳහන් කළ යුතු කරුණකි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් තුළින් අඩු පොලියකට නැවත නිකුත් කරන්නට යෝජනා වුවහොත් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මිල දී ගෙන ඇති බැංකු හා වෙනත් ගනුදෙනුකරුවන්ට අවාසියක් සිදුවිය හැක. කෙසේ වෙතත් දැනටමත් පොලියක් උපයා ගෙන ඇති බැවින් මෙවැනි දුෂ්කර අවස්ථාවක වෙනත් පියවරක් නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති කරුණු අනුව දේශීය ණය පමණක් නොව එම ණය සම්බන්ධ පුළුල් පරාසයක් උසුලන දේශීය බැංකු පහක වත්කම් සම්බන්ධයෙන් ද විගණනයක් සිදුකළ යුතුව ඇත. මෙම බැංකුවල මූල්‍ය වාර්තා අනුව දැවැන්ත වත්කම් පෙන්වන නමුත් එම වත්කම්වලින් කොටසක් ආපසු අය කරගත නොහැකි බොල් ණය හා තවත් කොටසක් වත්කම් හීනවන ආයෝජන බව දැක්වේ. නිසි විගණනයක් කළහොත් ඇතැම් බැංකුවල හැබෑ වත්කම් හෙළිවනු ඇත. රාජ්‍ය හා පුද්ගලික අංශයේ වානිජ බැංකුවල වත්කම් හා බැරකම් පරීක්ෂා කළ පසු ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු මුදල ආවරණය කරන වත්කම් රහිත බව ඔප්පු වුවහොත් එය විශාල අවදානමකි. වානිජ බැංකුවල වත්කම් නංවන ක්‍රියාමාර්ග ගැනීමට කොටස් හිමියන්ට සිදුවේ. පුද්ගලික අංශයේ බැංකුවලට ප්‍රශ්නයක් විය නොහැකි නමුත් රාජ්‍ය බැංකුවලට මුදල් යෙදවීම රජයට කළ නොහැකි වුවහොත් විකල්ප යෝජනා අනුගමනය කරන්නට සිදුවීම වැළැක්විය නොහැක.

රටට කිරි උතුරවන අඩු පොලිය හා පාලිත උද්ධමනය

පොලිය හා උද්ධමනය ආර්ථිකයක අභ්‍යන්තරයේ සැඟවී ඇති පිලිකා තත්ත්වයකි. ක්‍රමයෙන් වර්ධනය වන අතර අවසාන මොහොතේ භයානකම තැනට පත්වන තෙක් රෝගියාට දැනෙන්නේ නැත. ණය සඳහා ඉල්ලුම වැඩිවීම පොලිය වැඩිවෙන ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලංකාවේ බැංකු මහජනතාවගේ තැන්පත් විශාල වශයෙන් එකතු කරගන්නා නමුත් ඒවා ප්‍රාග්ධන වශයෙන් සැපයීම සීමිතය. කර්මාන්ත හෝ ව්‍යාපාර සඳහා මුදල් ලබාගැනීමට බැංකුවල පහසුව අඩුය. සාමාන්‍ය ගනුදෙනුකරුවකු ණයක් ඉල්ලුම් කළහොත් ණය නොදෙන්නට කොන්දේසි පනවන බැංකු තැන්පත්කරුවන්ගේ මුදල් ආණ්ඩුවට හා ආණ්ඩුවට අයත් ව්‍යාපාරවලට ණය වශයෙන් නිකුත් කරයි. ඒවා සුරක්ෂිත ආයෝජන වශයෙන් සලකන්නට වානිජ බැංකු හුරු වී ඇත.

ආණ්ඩුවේ ණය අවශ්‍යතාව වැඩිවන විට පොලිය දෙගුණ තෙගුණ කර, තරගකාරීව මුදල් එකතු කරගන්නා බැංකු ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කරන සැලැස්ම අවහිර කරන බව සඳහන් කළ යුතුය.

ආර්ථිකය දියුණු කිරීමට, රැකී රක්ෂා සැපයීමට හා රජයේ බදු ආදායම සඳහා කර්මාන්ත හා ව්‍යාපාර අවශ්‍යය. මේ සඳහා ආයෝජන කැඳවිය යුතුව තිබේ. ආයෝජනවල දී ප්‍රාග්ධනය ගැන සලකන අතර රටක දළ දේශීය ඉතිරිකිරීම් හා පොලී අනුපාත අවධානය යොමු කරති. වානිජ බැංකුවලින් ධනය ලබාගැනීම පහසු නැති සහ පොලිය ඉහළ මටට්මක පවතින අවස්ථාවක ආයෝජන කැඳවීම පහසු නැත. සියයට විස්ස විසි පහ ඉක්මවන පොලියකට ණය ගෙන ආරම්භ කරන කර්මාන්තයකට සිය නිෂ්පාදන අලෙවි කළ හැකිද? අපනයනයේ දී මිල තරගකාරීත්වයට මුහුණ දෙන්නට සිදුවේ. ඉන්ධන වියදම, විදුලි බිල, ප්‍රවාහන ගාස්තු අධික වැටුප් හා පොලිය එකතු වූ පසු රට තුළ නිපදවීමට වඩා පිටරටින් ගෙන්වීම ලාභදායකය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන්ට ගැටලුවක් වී ඇති මෙම ප්‍රශ්නය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට ලක්විය යුතු කරුණකි.

බැංකුවලින් ණය ගන්නා ආණ්ඩුව ඒවා ආපසු ගෙවීමට මුදල් මුද්‍රණය කරයි. අලුත් මුදල් නෝට්ටුවලින් ණය පියවන පසු සංසරණය වන මුදල් ප්‍රමාණය ඉහළ යන අතර එය උද්ධමනයට හේතුවකි. 2022 අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 64.3 ක් වූ අතර ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 93.7 ක් වී තිබුණි. මේ වන විට උද්ධමන අනුපාතිකය සියයට 52.0 දක්වා අඩු වී ඇති නමුත් සාමාන්‍යයෙන් තිබිය යුතු තනි ඉලක්කමේ උද්ධමනය පසුකර ඇති බැවින් එහි බර දැනෙන්නේ පාරිභෝගිකයාටය. උද්ධමනයත්, පොලියත් පාලනය කළහොත් රටට අනාගතයක් ඇත.

පිළිවෙළක් සඳහා අලුතින් අටු කොටු පිරවීම

රට ගොඩනඟන පියවරක් සඳහා ආර්ථිකය පුළුල් කරන්නට පියවර ගත යුතුය. මැදි ආදායම් මටට්මට පැමිණි ජනතාව සතු මිල දී ගැනීමේ හැකියාව වර්ධනය වූ අතර වෙළෙඳපොළ අවශ්‍යතා සපුරන්නට අසමත්විය. පිටරටින් ගෙන්වන්නට විනිමය හිඟය හා අයවැය පාලනය කරගන්නට අසමත් වූ ආණ්ඩු රට අර්බුදයකට ගෙන ගියේය. ආර්ථික වර්ධනය අඩු කරන අතර අධික බදු පැනැවීමෙන් මධ්‍යම පාන්තිකයන් දුප්පත් භාවයට පත් කර ඇත. එය නැවත රට ගොඩනඟන සැලැස්මේ කොටසකි. මහජනතාව ඉල්ලන වෙළෙඳපොළ ගොඩනඟන්නට අසමත් වූ පාලකයෝ කුඩා වෙළෙඳපොළට සමාන වන තෙක් මහජනතාව මටට්ම් කර ඇත. අත මිට සරුවන පසු සුපිරි වෙළෙඳසලට ගිය ජනතාව ආපසු ගමේ කඩමණ්ඩියට තල්ලු කරන පියවර ගෙන තිබේ. එය ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණාත්මක පියවරක් වශයෙන් දක්වති. නිර්භීත ප්‍රතිපත්ති අනුව වෙළෙඳපොළ ගොඩනැඟිය හැකිය. අවදානමක් නොගන්නා ආණ්ඩුව ජනතාව ආපසු හරවා මුල සිට ගමන අරඹන ලෙස බලකරමින් සිටී.

මෙම ආපසු හැරවීම සහ ආර්ථික අර්බුදය හේතුවෙන් සිදුවී ඇත්තේ කුමක්ද? මිලියන හතළිහක ජන කොටසක් දුප්පත් භාවයට පත්ව ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුකෝරළ මහතා පර්යේෂණය අනුව ශ්‍රී ලංකවේ දුප්පත්භාවය වැඩි වී තිබේ. දුප්පතුන්ට සහන සපයන ලෙස ලෝක බැංකුව හා මූල්‍ය අරමුදල නියම කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සපයන තාවකාලික ණය සංචිතයට දේශීය දුප්පතුන්ට සහන දෙන පියවරක් පළමුවරට ඇතුළත් වූ අතර දුප්පත් ජනතාවට මුදලින් හා සහල් සැපයීමෙන් ආධාර කිරීම එම සැලැස්මේ කොටසකි. අලුත් සමීක්ෂණයක් අනුව සහන ලැබිය යුතු දුප්පත් ජන කොටස හඳුනාගැනීමට ද වෑයම් කරමින් සිටී.

දුප්පතුන්ට බෙදීම හා වෙළෙඳපොළට ගැළපෙන ලෙස පාරිභෝගිකයා ගේ ආදායම පාලනය කරන බදු පැනැවීමෙන් ආර්ථිකයක් හැදෙන්නේ නැත. මෙම ක්‍රම දෙක මගින් අයවැය පාලනය කරගත හැකිවේ. ජනතාවගේ ජීවිත උසස් මට්ටමකට කැඳවීම සඳහා උත්පාදනයක් ඇති කළ යුතුය. ශ්‍රී ලංකා මහ බැංකුව දක්වන පරිදි වසර 2022-27 කාලය තුළ රට කරගෙන යන්නට නම් අලුතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 24 ක් අවශ්‍යය. ශ්‍රී ලංකාවේ තේ අපනයන ආදායම බිලියන එකකට මදක් වැඩිය. එයින් පමණක් මෙම මුදල පියවන්නට වසර විසිහතරක් ගතවේ. රටට වැඩිම විනිමය ප්‍රමාණයක් විදේශගත ශ්‍රමිකයෝ සපයති. එය ඇමෙරිකානු ඩොලර් බිලියන හතකට ආසන්නය. වසර තුනහමාරක් එම මුදල පමණක් යෙදවීමට සිදුවේ. මේ අතරවාරයේ රටට අවශ්‍ය දේ ගෙන්වීමට විනිමය අවශ්‍යය කෙරේ. දැවැන්ත වෙනස්කම් හැර පැලැස්තරවලින් පලක් නැත. අලුතින් අටු කොටු පියවන්නට නම් නැවතත් බිම සකස් කර වැඩිපුර වපුරන්නට සිදුවේ. අවාසනාවකට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට, දේශපාලන පක්ෂවලට මෙම පසුබිම වැටහෙන්නේ නැත. ආණ්ඩු බලය ලැබුණොත් අස්වැන්න ලබාගත හැකි බව රට ඉදිරියේ ප්‍රකාශ කරමින් සිටී.

ගාමිණී එස්. කන්දෙගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment