ජනාධිපති රනිල්ට බැසිල්ගෙන් – සාගරගෙන් අභියෝගයක්

223

පසුගිය සතිය පාර්ලිමේන්තුව පැවති සතියක් නොවුණත් ජනාධිපතිවරයාත් ආණ්ඩු පක්ෂයත් විපක්ෂයේ අනෙකුත් පක්ෂ කාර්යබහුල වූයේ ඔවුන් වෙන වෙනම මේ සතියේ යොදාගෙන තිබූ වැඩ රාජකාරි නිසාය. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයට හා ජනාධිපතිවරයාට යොදාගෙන තිබූ වැඩකටයුතු වැඩ කටයුතු රාශියක් විය.

විපක්ෂය පැත්තෙන් බලන විට සමගි ජන බලවේගයටත් වඩා පසුගිය සතියේ කාර්යබහුල වූයේ ජාතික ජන බලවේගයයි. ඔවුන් මේ වන විට රට පුරා අරඹා තිබූ රැස්වීම් මාලාව, සම්මන්ත්‍රණ මාලාව හා විරෝධතා රැලි මාලාව වඩාත් ප්‍රබල විය. ආණ්ඩුවට දැඩි විවේචන හා බලපෑම් එල්ල කරමින් ඔවුන් උත්සාහ කළේ පසුගිය නම වැනිදා දිනය කේන්ද්‍ර කර ගෙන රට තුළ නැවත උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට යි. ඔවුන් බලාපොරොත්තු වූ මට්ටමින් සාර්ථක නොවූවත් ආරක්ෂක අංශවලට දැඩි අවිවේකී බවක් ලබා දෙන්නට සමත් විය. කෙසේ වෙතත් රජයට යම් බලපෑමක් එල්ල කරන්නට ඔවුන්ට හැකිවිය.

සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය ද ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක කළ තම පීඩනය කිසිවිටෙකත් ලිහිල් කළේ නැත. විශේෂයෙන්ම ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන එන අණ පනත්වලට එරෙහිව පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් වාද විවාදවලට සම්බන්ධ වෙමින් දැඩි විරෝධයක් හා විවේචනයක් එල්ල කළ ප්‍රබලම බලවේගය වූයේ සජබයයි.

පසුගිය සතියේ මේ ආකාරයෙන් විවාදයට ලක්වූ මාතෘකාව ආණ්ඩුවේ අලුත් විකාශන අධිකාරි පනතයි. එම අලුත් පනත නිසා මාධ්‍යවලට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳ ඔවුන් හොඳ අධ්‍යයනයකින් හා අවබෝධයකින් යුතුව වාද විවාදවලට සම්බන්ධ වනු දැකගත හැකි විය.

● ආණ්ඩුවට ගහන්නට විපක්ෂයට තුරුම්පුවක්

මේ අතර ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විවේචනයක් හා තර්කයක් ගොඩනඟාගත හැකි මාතෘකාවක් පසුගිය සතියේ හිටි හැටියේ කරළියට පැමිණියේය. ඒ වූ කලී කිලිනොච්චියේ කුරුන්දි විහාරයෙහි පුරාවිද්‍යා ඉඩම් සම්බන්ධ පලහිලව්වයි. මේ කාරණාව නිරවුල්ව සාකච්ඡා කිරීම ඉතා වැදගත්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උතුරට හා නැගෙනහිරට දෙමළ ජාතික ආණ්ඩුකාරවරු දෙදෙනෙක් පත් කිරීම දෙස සමහර සමාජ කණ්ඩායම් විවිධ මත පළ කරන කතාවක් විය. සමහර පිරිස් අදහස් දැක්වූයේ උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් පරිහරණය සම්බන්ධයෙන් ඉදිරියේදී මේ තත්ත්වය අනුව ගැටලු ඇතිවිය හැකි බවයි. එහෙත් ඒ ගැන ලොකු ප්‍රශ්නයක් ඇති කරන්නට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත.

ප්‍රශ්නය මතුවූයේ පසුගිය සතියේය. කුරුන්දි විහාරයේ හා ඒ අවට නාග චෝල රක්ෂිතයේ ඉඩම් සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්නයක් කතා කරන්නට පැවති සාකච්ඡාවකදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතාට සහ වනජීවී වන සම්පත් ආයතනවල රජයේ නිලධාරීන්ට චෝදනාවක් මතු කළේය. ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ මුලතිව් තන්නිමුරිප්පු ගමේ දෙමළ ජනතාව අවුරුදු 100 කට වැඩි කාලයක් තිස්සේ ගොවිතැන්බත් කරමින් භුක්ති විඳිමින් සිටි ඉඩම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කුරුන්දි විහාරයට අයත් යැයි කියමින් අත්පත් කරගෙන ඇති බවයි. ඒ නිසා අසරණ දෙමළ ජනතාව පීඩාවට පත්වී ඇති බව ඔවුන්ගේ තර්කය විය.

ප්‍රශ්නය විසඳන්නට මැදිහත් වූ ජනාධිපතිවරයා කීවේ දෙමළ ජනතාවට අයත් ඉඩම් ඔවුන්ට නිදහස් කර දෙන්නට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇතත් ඒ තීරණය ක්‍රියාත්මක කරන්නට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මැලි වන්නේ ඇයිද කියාය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ඊට නිවැරදි ප්‍රවේශයකින් උත්තර දී කාරණාව නිසි ලෙස පැහැදිලි කර දෙන්නට අසමත් විය. එහෙයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනත් ප්‍රවේශයකින් තර්කය මතු කළේය.

සැබැවින්ම කුරුන්දි විහාරය යනු වසර 1932 දී ගැසට් කරන ලද හෙක්ටයාර් 6800ක භූමි භාගයකින් හෙබි උතුරු පළාතේ වටිනාම වන රක්ෂිතයයි. නමුත් විහාරස්ථානය ඒ මැද ක්‍රිස්තු පූර්ව යුගයේදී බිහිවූ උතුරු පළාතේ පිහිටි විශාලතම විහාරස්ථානයයි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මෙය ජනාධිපතිවරයා හමුවේ විස්තර කළේ නාගචෝල රක්ෂිතය අමතක කරමිනි. ඔවුන් කීවේ ඒවා අසලම දෙමළ ජනතාව අවුරුදු සිය ගණනක් තිස්සේ භුක්ති විඳින වගාබිම් කියාය.

● බෙරදියේ මාළුබාන දෙමළ සන්ධාන ගැට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අපූරු තර්කයක් ගෙනාවේ ඔහු දන්නා ඉතිහාසය ද ඉතා දක්ෂ ලෙස විදහා පාමිනි. ඔහු හොඳින් දන්නා ලම්භකර්ණ වංශය හා මානවම්ම රජ පෙළපත ගැන විස්තර කියමින් කුරුන්දි විහාරයට ඔවුන්ගේ සබඳතා හෙළිකරමින් ජනාධිපතිවරයා පුරාවිද්‍යා නිලධාරීන් නිරුත්තර කරවන තර්කයක් ගෙන ආවේය. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මෙහිදී බොරදියේ මාළු බාන බව බොහෝ දෙනකුට වැටහිණි.

“මහා විහාරය ලංකාවේ ඉපැරැණි ලොකුම විහාරය. එතන තියෙන්නේ අක්කර දෙසීයයි නම් මේ විහාරයේ ඊට වඩා ලොකු වෙන්නෙ කොහොමද. මහා විහාරයට වඩා ලොකු ඉඩමක් මේ විහාරයට මොකටද. දෙමළ ජනතාවගේ ඉඩම් ඔවුන්ට අත්පත් කර දෙන්න කැබිනට් තීන්දුවක් ගෙන තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න නිලධාරීන්ට බැරි ඇයි…” ඒ ජනපතිගේ තර්කයයි.

එම සාකච්ඡාව තුළ මත ගැටුම වඩා දුර දිග ගියේය. අන්තිමේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ඉල්ලා අස්වන තත්ත්වයට ප්‍රශ්නය උග්‍රවිය. සමාජයේ වඩා උණුසුම් කතිකාව ගොඩ නැගුණේ ඉන් අනතුරුවයි.

ජනාධිපතිවරයා විහාරයේ ඉඩම් සම්බන්ධයෙන් ගත් ස්ථාවරය බෞද්ධ ගිහි පැවිදි බොහෝ දෙනකුගේ හිත සුව පිණිස නො වීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ රටේ අරාජික දේශපාලන තත්ත්වය පාලනය කරමින් රටේ ආර්ථිකය ගොඩ ගනිමින් ස්ථාවර කරමින් රට ටිකෙන් ටික ස්ථාවරත්වයකට ගෙන එමින් ලොකු වැඩ කොටසක් කරමින් සිටියේය. එයින් ඔහු ටිකෙන් ටික මහජන විශ්වාසය දිනා ගනිමින් සිටියේය.

එහෙත් ජනාධිපතිවරයා කුරුඳු විහාරය සම්බන්ධයෙන් ගත් ස්ථාවරය මේ රටේ පොදු ජනතාවගේ විශ්වාසය යම්කිසි කම්පනයකට ලක් කරවන කාරණාවක් විය. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට එරෙහිව යම් යම් කරුණු ගොනු කරමින් සිටි විපක්ෂයේ බලවේගවලට ද මේ කාරණාව ලොකු තුරුම්පුවක් විය.

විපක්ෂයේ බලවේග පෙන්වා දුන්නේ ජනාධිපති උතුරට හා නැගෙනහිරට දෙමළ ආණ්ඩුකාරවරු පත් කරමින්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ජාතිකවාදී වුවමනාවන් ඉටු කරමින් මේ උත්සාහ කරන්නේ ඉදිරියේදී එන ජනාධිපතිවරණයකදී උතුරු නැගෙනහිර ඡන්ද පොදි පිටිං තමන්ගේ ගොඩට එක් කර ගැනීමට බවයි. මෙතෙක් දිනක් නිහඬව සිටි මහා සංඝරත්නය ද පසුගිය සතියේ කරළියට පැමිණ එකී චෝදනාවන්ට ලොකු ශක්තියක් එක්කරන්නට වූහ.

● ජනපති රනිල්ගෙන් ඉතිහාස පාඩමක්

කවුරු කෙසේ කීවත් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ වූ සාකච්ඡාවන්හිදී නම් ජනාධිපතිවරයාගේ එම ක්‍රියා කලාපය ඉහළ ප්‍රතිචාරයකට ලක්විය. පසුගිය බදාදා ජනාධිපති මුණගැසුනු මැති ඇමැතිවරු රැසක් මේ ගැන විමසන්නට වූහ.

අපි මුලතිව් කුරුන්දි විහාරය වගේම ත්‍රිකුණාමලය තිරියාය විහාරයත් සංරක්ෂණය කරනවා. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ විහාර දෙකට ඉඩම් අක්කර 5000ට වඩා තියනවයි කියලා පුරාවිද්‍යාව නගන තර්කය.” රනිල් කීය.

“මේ ප්‍රශ්නය මතු වුණේ හිටපු ජනාධිපතිතුමා පත් කරපු පුරාවිද්‍යා කාර්ය සාධක බළකාය නිසයි. ඒගොල්ලො තමන්ට හිතෙන හිතෙන තැන්වල මායිම් ගල් හිටවලා පුරාවිද්‍යා කැණීම් කළ යුතුයි කිව්වා.” වජිර පැහැදිලි කළේය.

“දෙමළ මන්ත්‍රීවරු කියන්නේ පුරාවිද්‍යාවට අයිති නැති, කාලයක් තිස්සේ දෙමළ ජනතාව වගා කරපු භූමිය ඒ මිනිස්සුන්ට නිදහස් කරන්න කියල විතරයි.” මහාචාර්ය ආශු පැහැදිලි කළේය.

“මේගොල්ලෝ මෙතන අක්කර පන් දාහක්ම පුරාවිද්‍යාවට ඕන කියලා තර්ක කරන කාරණාය ගැන හොයලා බලන්න මම කමිටුවක් පත් කරනවා.” ජනාධිපති කීවේය.

“නෑ සර්… මෙතන ප්‍රශ්නයක් මතු වෙලා තියෙන්නේ පුරාවිද්‍යා ස්මාරක තියෙන ඉඩම් කොහොමද ජනතාවට බෙදලා දෙන්නෙ කියන එකයි. අනිත් එක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වුණේ ඇයි කියන එක ගැනයි මිනිස්සු කතා කරනවා.” මධුර විතානගේ කියද්දී රනිල් මෙසේ උත්තර දුන්නේය…

“එයා අස්සුනේ ඇයි ද මන් දන්නෑ.. මම ඇහුවෙ කැබිනට් තීරණ ක්‍රියාත්මක කරන්න බැරි ඇයි කියල විතරයි. ඉන් අනතුරුව ජනාධිපතිවරයා කුරුන්දි විහාරය ගැන දීර්ඝ ඉතිහාසයක් පැහැදිලි කරමින් කතා කළේය.

● අලි පෙහොට්ටු දීගය මෙසේ හමාර වෙයි

ඒ අතරේ පොදුජන එක්සත් පෙරමුණ හා ජනාධිපතිවරයා අතර ඇති වුණු ගැටලුවක් ගැන පසුගිය සතියේ සමාජ මාධ්‍ය දිගින් දිගටම කතාබහ කරන්නට වූහ. සමහර මාධ්‍ය වාර්තා කළේ ආණ්ඩුවේ අලි – පොහොට්ටු දීගය හමාර වෙමින් පවතින බව සනාථ කරමිනි. මෙහි ඇත්ත කතාව හොයා ගන්නට අපට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ටම කතා කරන්නට සිදුවිය. මන්ද ඔහු මේ සියලු සිද්ධිවල ප්‍රධාන පාර්ශ්වකරුවෙකු නිසාය.

ඔහු කියන අන්දමට මේ ගැටුමේ ආරම්භය සිදුවූයේ මීට සති තුනකටත් එහා තිබූ සාකච්ඡාවකය. සාකච්ඡාවේ විස්තරය මෙසේය.

මීට සති තුනකට පෙර සඳුදා දිනක ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු අමාත්‍යවරු, පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් රැස්වීමකට කැඳවනු ලැබ ඇත. ඊට පක්ෂයේ ලේකම්වරයා ලෙස සාගර කාරියවසම්ට දන්වා තිබුණත් නාමල්ට හෝ මහින්ද රාජපක්ෂට කැඳවීමක් කර තිබුණේ නැත. එජාපයෙන් වජිර අභයවර්ධන හා සාගල රත්නායක පැමිණ සිටියහ. රනිල් මුලින්ම අරමුණ පැහැදිලි කළේය.

“ඉදිරියේදී අපට හුඟක් වැඩ කරන්න හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ආණ්ඩුවක් හැටියට අපි එකතුවෙලා සාමූහිකව වැඩ කරන්න ඕන. එතනදී අපි කරගෙන යන වැඩපිළිවෙළ ගැන එකඟතාවක් ඇති කරගන්න ක්‍රියාකාරී කමිටුවක් පත් කරන්න ඕන.”

එසේ කියූ ජනාධිපති කමිටුවක් නම් කර තිබිණි. සියලු කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරු මෙන්ම පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් ද කමිටුවට ඇතුළත් කර තිබූ අතර එජාපය වෙනුවෙන් සාගර හා වජිර ද ඇතුළත් කර තිබිණි. මේ පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව මහලේකම් සාගර කාරියවසම් සිය අදහස් දැක්වීම ආරම්භ කර තිබුණේ මෙසේය.

“ගෝඨාභය ජනාධිපති තුමාගේ ඉතුරු ධුර කාලය සඳහා ඔබතුමාව පත් කරනකොට අපි බහුතරයක් ඔබතුමාට සහයෝගය දෙන්න පක්ෂයක් හැටියට තීන්දු කළේ අපි අතර ඇති වුණු එකඟතා දෙකක් නිසායි.

එකක් රට අරාජිකව තිබුණු අවස්ථාවක අරාජික බව නැතිකර රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීම.

දෙවැනි කාරණාව රට තුළ ආර්ථිකය හරි මාවතට ගෙන නිවැරදි අතට කළමනාකරණය කිරීම.

ඔබතුමා ඉතාමත් කැපවීමෙන් ඒ දේ කළා. අපි ගරු කරනවා. ඒ වගේම ඔබතුමාට ශක්තියක් ලෙස ඒ නිසා අපි ඔබ සමග එක පෙළට හිට ගන්නවා.

හැබැයි ඔබතුමා මේ වැඩ කරන ක්‍රමය වැරදියි. ඔබතුමා යමක් කරන්න හිතලා ඒක කමෙන්ට් එකට දාලා සම්මත කරගන්න කර ගන්න හිතනවනම් ඊට කලින් ඒ කාරණාවට පක්ෂ නායකයන්ගේ කැමැත්ත ගන්න. දෙවනුව කමිටුවට දාන්න.

අනිත් එක මේ විදිහට අපේ පක්ෂයේ අය කැඳවන්න ඔබට බැහැ. ඔබතුමාට කැබිනට් මණ්ඩලය ආණ්ඩුවේ ප්‍රධානියා විදියට රැස් කරන්න පුළුවන්. හැබැයි ඔබතුමාට බැහැ අපේ පක්ෂයේ නිලධාරී මණ්ඩලය මේ විදියට කැඳවන්න. කැඳවන්න ඕනනං අපිට කියන්න. අපි අපේ අය එවන්නම්. අපිත් එන්නම්.”

ඒ අවස්ථාවේ සාගරගේ අදහස දිනේෂ් ද අනුමත කළේය. එයම අනුමත කරමින් සුසිල් ප්‍රේමජයන්ත ද සන්ධානයේ මහ ලේකම්වරයා හැටියට වසර 12ක ලත් අත්දැකීම් මුල් කරගෙන කතා කළේය. මෙම සාකච්ඡාවේදී මතු වූ අදහස්වලට ජනාධිපතිවරයා විරුද්ධ වූයේ නැත. ඔහු කියා තිබුණේ ඉදිරියේදී වැඩ කරන විට ඒ පිළිබඳ සැලකිලිමත් වන බවකි. පුදුමයකට මෙන් පසුගිය සඳුදා එබඳු රැස්වීමක් කැඳවන්නට ජනාධිපතිවරයා තීරණය කර තිබිණි. ඒ සම්බන්ධයෙන් පළවන කතා බොහෝය. එක් කතාවකින් කියවුණේ සාගර ඔය මොන මොනවා කිව්වත් ඔබතුමා කතා කළොත් අපි එන එක වළක්වන්න කාටවත් බැහැ. කියමින් පොහොට්ටුවේම ඇමැතිවරු පිරිසක් ජනාධිපතිවරයා තුළ ඇති කර තිබූ විශ්වාසයකි.

එක් කතාවකට අනුව එම රැස්වීම කැඳවන්නට පොහොට්ටුවෙන් මැදිහත්ව සිටියේ ප්‍රසන්න රණතුංග හා නිමල් ලංසාය. ඒත් ඒ දෙදෙනා ද සෘජුවම මන්ත්‍රීවරු අමතන්නට ඉදිරිපත් වී සිටියේ නැත. ඔවුන් කළේ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් තුන් දෙනකුට දාගන්න මැති ඇමැතිවරුන්ගේ නම් ලයිස්තුව දී දුරකථන අංකද දී ජනාධිපතිවරයායේ පණිවිඩය සන්නිවේදනය කරවීමට උදවු කිරීම පමණකි.

මේ බැව් දැනගත් සාගර තම පක්ෂයේ සියලුම දෙනාට පණිවුඩයක් යැව්වේය. ඇමැතිකම් හා රාජ්‍ය ඇමැතිකම් දරන අය හැර දිස්ත්‍රික් නායකයොත් කිසි කෙනෙක් එජාප නායකතුමාගේ රැස්වීමට යන්න එපා. එහෙම කැඳවීම් කරනවා නම් ඒක කරන්න ඕනා අපි හරහා විතරයි.”

පක්ෂ ලේකම් සාගරගේ නිවේදනයට අනුව එදා එම රැස්වීමට ඇමැතිවරයෙකු නොවන දිස්ත්‍රික් නායකයෙකු ගොස් හිටියනම් හිටියේ මහින්දානන්ද අලුත්ගමගේ පමණි. ඔහුටද පණිවුඩය ලැබුණද නොලැබුණද සැකය.

පොහොට්ටුවේ කමිටුවක් කැඳවා එය අසාර්ථක වූ තැන ජනාධිපතිවරයා වහාම එය තේරුම් ගෙන පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නට තීරණය කළේය. බදාදාට පවත්වන පක්ෂ නායක රැස්වීම ගැන සඳුදාම පක්ෂ නායකයින් දැනුවත් කළේය.

ඒ අනුව බැසිල් සහ සාගර, මහජන එක්සත් පෙරමුණෙන් දිනේෂ්, තොන්ඩමන්, අතාවුල්ලා, ටිරාන්, මහින්ද එම රැස්වීමට පැමිණ සිටි අතර පිල්ලෙයාන් හා ඩග්ලස් දේවානන්ද පැමිණීමට ඇති අපහසුතාව දැනුම් දී තිබේ. අනිත් පක්ෂ නායකයා වූ රකීඩ් අහමුද් ද පැමිණ සිටියේ නැත.

“අපිට ගොඩක් අභියෝග තියෙනවා ජයගන්න. අපි එකතුවෙලා වැඩ කරන්න ඕන.” ජනාධිපති එසේ කතාව පටන් ගනිද්දිම සාගර නැගිට කතාව පටන් ගත්තේය.

“ජනාධිපති තුමනි… ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා. අපි වෙනත් පක්ෂයක. ඔබතුමාලට වෙනම ප්‍රතිපත්ති තියෙනවා අපිට වෙනම තියෙනවා. අපි දෙගොල්ලෝ එකඟතාවක් ඇතුව එකතු වෙලා හිටියත් සමහර ප්‍රතිපත්තිමය කාරණාවලදී වෙනස්.

අපි ඔබතුමාව ජනාධිපති හැටියට පත් කරන්න බොහොම අසීරු තීන්දුවක් ගත්තේ අපේම කෙනෙක්ට ඡන්දෙ නොදී ඔබතුමාට දෙන්න කියලා අපේ අයව හරි අමාරුවෙන් කැමති කරගෙන. ඊට පස්සේ නැගිච්ච සමාජ අපවාදවලට අපි මුහුණ දුන්නේත් හරි අමාරුවෙන්. ඒ ඔබතුමා මේ රට බේරාගැනීමේ කාර්යභාරය හරියට කරාවි කියලා විශ්වාසයක් ඇතිව. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපි ඔබතුමාත් අතර දේශපාලනමය වෙනස ප්‍රතිපත්තිමය වශයෙන් ඔබ පිළි ගනීවි කියලා. ඒකයි අපි කියන්නේ අපේ අනන්‍යතාවය රකින්න. යමක් කරන්න කලින් අපිත් එක්ක සාකච්ඡා කරලා එකඟතාවක් අරං කමිටුවට දාලා කමිටුවේ සාකච්ඡා කරලා මම අනුමැතිය ගන්න. එහෙම අපි දිගටම වැඩ කරමු…”

ඒ කතාවට ජනාධිපති තුමාගෙන් විරෝධයක් පැමිණ තිබුණේ නැත. ඔහු එය පිළිගත්තේය. ඒ අතර බැසිල් ද කතා කළේය.

“අපි ඔබතුමාව නායකත්වයට ගෙනල්ලා ජනාධිපතිවරයා හැටියට බලාපොරොත්තු වුණේ මේ රටේ කඩා වැටුණු ආර්ථිකය නගා සිටුවන්න. අපිට විශ්වාසයක් තිබුණා ඔබ ඒක කරයි කියලා. ඒකටයි අපි උදව් කරන්නේ…

එහෙම නැතුව අපේ එකඟතාවයට අදාළ නැති වෙන වෙන ප්‍රශ්නවලට දාලා වෙන වෙන අභියෝග ආවම ඒවයෙදි රජය ආරක්ෂා කරගැනීමට අපට බෑ. මොකද ඒවා අපේ ප්‍රතිපත්තිවලට අදාළ නොවන නිසා.”

මේ අවස්ථාවේ බැසිල් ඒ කුරුන්දි විහාරයේ ප්‍රශ්නය ගැන යයි තේරුම් ගත් ජනාධිපතිවරයා එතන උනේ වෙනත් වැඩක් යැයි කියමින්… එහි විස්තර පැහැදිලි කරන්නට වූයේය.

“අනික ජනාධිපතිතුමා අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරමු. සාකච්ඡාවේදී එකඟතාවයක් ඇතිකර ගන්නා කාරණා වෙනුවෙන් දිගින් දිගටම රජයට උදව් කරන්න රජය වෙනුවෙන් පෙනී ඉන්න අපි ඉදිරිපත් වෙනවා. ඒ සඳහා මේ රජය දිගටම පවත්වාගෙන යමින් ආරක්ෂා කරන්න අපි කැපවෙනවා…” බැසිල් ඉතා පැහැදිලිව කීවේය

සාකච්ඡාව ඉතා සාර්ථකව අවසන් විය. ඒ අතර ඉතා සුහදව අවසන් කොටස ඇදී යද්දී බැසිල් තවත් අදහසක් කීවේ සිනහවෙමිනි.

“ඇත්තටම ඔබතුමාගේ වැඩපිළිවෙළ ගැන අපේ අය පැහැදිලා ඉන්නේ. අපේ සමහර අය කියෙනවා ඉස්සර අපේ කාලයේ වගේ නෙවෙයි… ඕනම වෙලාවක ඔබතුමාව, ජනාධිපති ලේකම්තුමාව සාගල රත්නායක මහත්තයව සම්බන්ධ කරගෙන වැඩ කරන්න පුළුවන් කියලා. සමහර වෙලාවට අගමැතිතුමාවත් එච්චර හොඳට සම්බන්ධ කරගන්න බෑ කියනවා…” බැසිල් කීවේ ජනාධිපති හා ඔහුගේ නිලධාරීන් අගයමින් දිනේෂ් ගුණවර්ධන දෙසද බලා සිනහ වෙමිනි.

නිල සාකච්ඡාව එසේ අවසන් විය. ඉන් පසුව මේ සාකච්ඡාව ගැන විවිධ කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. සමහර මාධ්‍යවල පොහොට්ටුව හා රජය අතර ගැටුම අවසන් කර යළිත් ආණ්ඩුවට සහය දෙන්නට බැසිල් එකඟ වූ බවට ප්‍රවෘත්තියකි.

තව කෙනෙක් කියා තිබුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් නොදීම නිසා පසුගිය සඳුදා පොහොට්ටුව ජනාධිපතිගේ රැස්වීම වර්ජනය කරන බවය. ඒ ගෙන අසනවිට සාගර කාරියවසම් ඊට උත්තර දුන්නේ මෙසේය.

“ඇමැතිකම් නෙවෙයි… අපට ප්‍රශ්නය තිබුණේ රනිල් අපේ අයව කැඳවන විදිය ගැන. එයාට ඕන ඕන විදියට අපේ පක්ෂයේ අය කැඳවන්න බෑ. එයා අපට දැන්වූවාම අපි කැඳවලා දෙන එක වෙනම කතාවක්. ඒකටයි අපි සාකච්ඡා කරලා එකඟ වුණේ…”

කෙසේ වෙතත් දෙපිරිසක් අතර තිබූ ගැටුම එතෙකින් අවසන් විය.

● එජාප මහ ලේකම්ට පාර වැරදුන හැටි

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පසුගිය දිනක ස්වර්ණවාහිනියට ගියේය. ඒ “ඉර හරි කෙළින්” වැඩසටහනට සහභාගී විම සඳහායි.

“පොඩ්ඩක් පරක්කු වුණා. මේකප් රූම් එකට ගිහින් කථා කරමු.” රංගේ බණ්ඩාර ස්වර්ණවාහිනියේ ආලින්දයේ සිටි සද්ධාට කීවේය. උඩබිම බැලූ සද්ධා රංගේ සමග මේකප් කාමරයට ගියේය. මේකප් කරන අතරතුර සද්ධා රංගේගේ කනට කර මෙසේ ඇසුවේය.

“ඔබතුමා වැඩසටහනට ද ආවේ. හැබැයි මට නම් කිව්වේ වෙන කෙනෙක් කියලා එන්නේ.” සද්ධා කීවේය.

“එහෙම කොහොමද මටනේ එන්න කිව්වේ. ඒකයි මම ආවේ.” රංගේ කීවේය.

“මේක ස්වර්ණවාහිනිය….” සද්ධා නිකමට මෙන් කීවේය.

“අප්පට සිරි.. මට එන්න කිව්වේ හිරු එකට නේද. මේ අපේ යක්කු වැඩේ කාලා…” රංගේ කීවේය.

භාගෙට කර තිබූ මේකප් පිටින්ම වාහනයට රංගේ ගොඩවූයේ තමන්ව ස්වර්ණවාහිනියට රැගෙන ආ රියදුරුගේ හා ආරක්ෂකයන්ගේ පතුරු අරිමිනි.

● යොවුන් පාර්ලිමේන්තුවට රනිල් වෙනුවට සමන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ආරම්භ වූ මේ රටේ යොවුන් පාර්ලිමේන්තුව දැන් ක්‍රියාත්මක වන්නේ පස්වන වතාවටය. පස්වන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය මෙම 17, 18, 19 දිනවල පැවැත්වීමට නියමිත විය.

ඇමැති රොෂාන් රණසිංහටත් තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්නටත් අවශ්‍ය වූයේ මෙම සැසිවාරය සඳහා ප්‍රධාන අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි කරවා ගන්නට ය.

ඒ සඳහා ආරාධනය සතුටින් භාරගත් ජනාධිපතිවරයා මෙවර සැසිවාරය ජනාධිපති කාර්යාලය යටතේ වූ පැරණි පාර්ලිමේන්තු සභා ගැබේ පවත්වන්නට යෝජනා කළේ ඊට තවත් ගරු ගෞරවනීය බවක් එක්කර දෙන්නටය. ජනාධිපති සැසිවාරයේ ප්‍රධාන දේශනය පවත්වන්නට භාර ගත්තේය. තත්ත්වය එසේ තිබියදී ජනාධිපතිවරයාට හදිසියේම එම දිනවලම ප්‍රංශ ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරක් සඳහා ප්‍රංශයට යන්නට සිදුවිය. ඒ අතර බි්‍රතාන්‍යයට ද යා යුතු විය.

“මට මේ ගමන සෙනසුරාදා උදේ යන්නම වෙනවා. පාර්ලිමේන්තුව අමතන්න අපි භාර දෙමු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට. එතුමා තමයි තරුණ සේවා සභාවේ හොඳම කාලේ එතන පරිපාලනය භාරව හිටියේ. ඒ හින්ද මට වඩා හොඳට එයා ඔය ආයතනය ගැන දන්නවා. එතුමා මම නැති අඩුව පුරවාවි.”

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙවර යොවුන් පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අමතන්නට ජනාධිපති ලේකම්වරයාට සිදු වූයේ ඒ අනුවය. බ්‍රහස්පතින්දා සුපුරුදු පරිදි මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි ජනපති රනිල් වික්‍රමසිංහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි. එදින සවස හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ජනපති ගියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 ක් ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ආරම්භක අවස්ථාවට එක්වීමටය.

සෙනසුරාදා අලුයම ඔහු ඇතුළු කණ්ඩායම ලන්ඩනය හා ප්‍රංශය බලා පිටත්ව ගියේ සාකච්ඡා රැසකට එක්වීම උදෙසාය. ප්‍රංශ ජනපතිගේ ආරාධනයකට අනුව ඔහු ප්‍රංශය බලා පිටත්ව ගියේය.

● අගමැති දිනේෂ්ගේ අනූ වියැති මිත්‍රයා

අගමැති දිනේෂ්, බ්‍රහස්පතින්දා(15) උතුරේ කිලිනොච්චියට විශේෂ දුරකතන ඇමතුමක් ගත්තේය. ඒ, හරියට ම 90 විය සපුරන මෙරට ජ්‍යෙෂ්ඨතම දේශපාලන නායකයකුට උපන්දින සුබ පැතුම් එක්කිරීම උදෙසාය. වී. ආනන්දසංගරී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයාට කතා කර සුබ පැතූ අගමැතිවරයා…

“මම දිනේෂ්…” යැයි කීය.

“දිනේෂ්, අපේ අගමැතිතුමා කොච්චර දෙයක්ද” යනුවෙන් කියමින් කතාබහ ආරම්භ වූ අතර එය දීර්ඝ වෙලාවක් ඇදී ගියේය.

“ඔබතුමා, ජනාධිපතිතුමා එක්වී රටේ ස්ථාවරභාවයක් ඇතිකිරීම ගැන දෙමළ ජනතාවගේ නායකයෙක් හැටියට මම සතුටුයි.”

“ඔබතුමාගේ අදහසුත් අපිට හරි වටිනවා” දිනේෂ් කීවේය.

“හරි… මම එනවා කොළඹ දිනේෂ්ව හමුවෙන්න, මගේ අදහස් අරගෙන එන්නම්.”

“ඕන වෙලාවක එන්න.”

මෙසේ දේශපාලන, ආර්ථික, සමාජ, ඉතිහාස කරුණු ගැන දෙදෙනා අතර දුරකථන සාකච්ඡාව ඇදී ගිය අතර, ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයාට දීර්ඝායුෂ පැතීමටද අගමැති දිනේෂ් අමතක කළේ නැත.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment