ලොරිය විකුණා ආදායම් බලපත්‍රය දෙන්න යන ගමනේ දී ඛේදවාචකයක්: ගිරිදරදී නාවික බසයේ හැපී ලොරියේ දෙදෙනෙක් මරුට

752

මියගියේ ලොරියේ හිමිකරු හා රථය බලන්න ආ බාස්

නාවික හමුදා භටයින් ප්‍රවාහනය කරන බස් රථයක් හා ලොරි රථයක් ඊයේ (16 වැනිදා) උදෑසන පූගොඩ – දෙල්ගොඩ මහා මාර්ගයේ ගිරිදර ප්‍රදේශයේදී මුහුණට මුහුණලා ගැටීමෙන් ලොරි රථයේ ගමන් කළ තිදෙනා බරපතළ ලෙස තුවාල ලබා ඉන් දෙදෙනෙක් එතැනදීම මරුමුවට පත් වූහ. තුවාලකරු වූ ලොරියේ රියැදුරු රාගම මහා රෝහලට ඇතුළත් කරනු ලැබීය.

මේ අනතුරින් මිය ගියේ දෙල්ගොඩ, බියගම පාර ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. ඒ. ගයාන් ශාන්ත කුමාරපේලි නමැති 39 හැවිරිදි දෙදරු පියකු හා බණ්ඩාරවෙල, ඔත්තකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්. පී. කුමුදු කල්යාන් චන්දා ශ්‍රී වර්ණසූරිය නමැති 46 හැවිරිදි විවාහකයෙකි.

මේ අනතුර සිදුවන අවස්ථාවේ නාවික හමුදා බස් රථය දෙල්ගොඩ දෙසට හා ලොරි රථය ගිරිදර දෙසට ධාවනය වෙමින් තිබී ඇත.

මේ ලොරි රථයේ හිමිකරු වන මියගිය ගයාන් ශාන්ත එය හපුතලේ ව්‍යාපාරිකයකුට විකුණා එහි ආදායම් බලපත්‍රය රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා දීමට එම ලොරි රථයෙන්ම යමින් සිට ඇති අතර මියගිය වර්ණසූරිය එම ලොරි රථය ගැනුම්කරුට මිලදී ගැනීම සඳහා ලොරි රථය පරීක්ෂා කර බැලීමට පැමිණි කාර්මිකයා වෙයි.

මියගිය දෙදෙනාගේ මරණ පරීක්ෂණ ඊයේ (16 වැනිදා) දහවල් දොම්පේ රජයේ රෝහලේදී දොම්පේ හදිසි මරණ පරීක්ෂක ජගත් ශ්‍රී ලාල් මහතා විසින් පවත්වා මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලට යොමු කරන ලෙසට දොම්පේ පොලිසියට නියම කරන ලදී.

මේ අනතුරට ලක් වූ නාවික හමුදා බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් අතර ඔහු පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. නාවික බසයේ සිටි කිසිවකුටත් තුවාල වී නැත. ඒ අවස්ථාවේ එහි 12 දෙනකු සිට ඇත.

මේ අනතුර ගැන දොම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රීයාන් නිශන්ක හා රථවාහන අංශයේ සැරයන් කුමාර (1320) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, යූ.කේ. අබේරත්න, දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන, බියගම – සුදත් පුබුදු කීර්ති, කිරිඳිවැල – සෝමපාල තැලිගම සහ උඩවලව – එච්. එස්. අබේරත්න, මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment