මැරුණද? මැරුවද? තවමත් අභිරහසක්…බාල වයස්කාර පාසල් සිසුවියගේ මාරයා දුරකථනයද? එදා වේල පෙම්වතාද..?

1372

සැනසුම නිවසේ “සැනසුම” අහිමි කළ ටිහාරා ට මොකද වුණේ…

පොලිස්පති නියෝගයෙන් වැඩිදුරටත් විමර්ශන රහස් පොලිසියට

මෙතෙක් විමර්ශනයට ලක් නොවූ පැතිකඩ කීපයක් ඔස්සේ ඉදිරියටත් විමර්ශන

සැකකරුවන් 5යි… ඒ අතරට ලැගුම් හල් හිමියාගේ බිරිඳත්

කළුතරට පායන වෙසක් සඳ කවදත් ලස්සනය. ඊට හේතුව නම් කළුතර නගරය යනු ගාලුපාර ඔස්සේ දකුණු ලක බලා යන ගමනේදී හමුවෙන අලංකාර නගර අතරින් මුලින් කියවෙන නගරයක් බවට පත්ව තිබීමය. ඓතිහාසික කළුතර බෝධිය, බෝපත් පිස හමන සිහිල් මද නළ, නිසොල්මන්ව ගලා බසින කළු ගඟ එපමණක් නොව කළු ගගේ උපත සිදුවන සමනොළ ගිර හා කළු ගඟ සිය ගමන අවසන් කොට මුහුදු දිය හා එක්වන ස්ථානය එක් තැනක සිට එක වර දැක බලා ගැනීමේ සුවිශේෂී භූ පිහිටීමක් බවට පත්ව තිබීම ආදිය කරණ කොටගෙන කළුතර නගරය නිර්මාණය වී තිබීම එහි අලංකාරය දෙගුණ තෙගුණ කරන සුවිශේෂී ලක්ෂණ ලෙස හඳුන්වා දිය හැකිය. එබැවින් කළුතර යනු පාරිසරික වශයෙන් රම්‍ය වුත් ආගමික වශයෙන් පූජනීය වුත් සුවිශේෂී නගරයක් බවට බොහෝ දෙනෙක් තුළ විශ්වාසයක් ගොඩනැගී ඇත. බෞද්ධාගමික වශයෙන් වැදගත් සෑම දිනකම කළුතර නගරය ජනී ජනයාගෙන් පිරී යෑම සාමාන්‍ය දර්ශනයක් වන්නේ එබැවින්ය.

ඉකුත් වෙසක් දිනට පසුදින මේ නගරය පසුබිම් කරගනිමින් රට හමුවේ නිරාවරණය වූ අමිහිරි කතාව මේ වන විටත් රටේම කතාබහට ලක් වෙමින් ඇත. එහි උණුසුම තවමත් මැකී ගොස් නැත. ඊට හේතුව බවට පත්ව ඇත්තේ එම සිදුවීම ඛේදවාචකයක් ලෙස නිමාවට පත්ව ඇතත් එහි සුලමුල තවමත් අභිරහසක් ව පැවතීම හේතුවෙන්ය. නව යොවුන් වියෙහි පසුවන තරුණියකගේ අකල් වියෝවෙන් කෙළවර දකින එම කතාව ඇතුළු ඒ හා සමාන තවත් කතා විසින් කියවෙමින් පවතින්නේ තරුණ දූ පුතුන් බුදු පිළිමයක් ළඟවත් තනි නොකළ යුතු නපුරු කලදවසක් රට අභියස නිර්මාණය වෙමින් පවතින බවත් කාගේ හෝ තරුණ දියණියක්, පුතෙක් එහි ගොදුරක් බවට පත්වීමේ වැඩි ඉඩකඩක් සැකසෙමින් පවතින බවත්ය. මේ එවැනි කතා අතරින් එකක් පමණය. රට තුළ මේ මොහොතේ ජිවත් වන තරුණ දූ පුතුන්ට බොහෝ දේ ඉගෙන ගැනීම පිණිස මේ කතාව වුවද හොඳටම ප්‍රමාණවත්ය.

මැරුණද? මැරුවද? තවමත් අභිරහසක්…බාල වයස්කාර පාසල් සිසුවියගේ මාරයා දුරකථනයද? එදා වේල පෙම්වතාද..?

දිනය පසුගිය වෙසක් දිනට පසු දින එනම් ඉකුත් 06 වන දාය. කළුතර නාගොඩ පිහිටි “සැනසුම” නිවසේ එතෙක් දිනක් පැවති සැනසුම වෙනුවට “වැලපුම” ළඟා වූ දිනයක් වූ එදින ටිහාරා නිර්මාණි නම් 16 හැවිරිදි පාසල් සිසුවිය තම නිවසින් පිටත්ව යන්නේ අසල නගරය වන කළුතර එදින පැවති වෙසක් දන්සලකට සහභාගි වීම පිණිස යැයි සිය මවගෙන් අවසර ගැනීමෙන් අනතුරුවය. ඇයව “සැනසුම” නිවසින් පිටතට ගැනීම පිණිස ටිහාරාගේ පාසැල් මිතුරියක් පැමිණෙන අතර ඇය 19 හැවිරිදි තරුණියක්ය. තරුණ දියණිවරුන් තනිමග තනිව ගමන් කිරීමේදී මුහුණ දීමට සිදුවන විවිධ උවදුරු උපද්‍රව පිළිබඳ මනා අවබෝධයක් සහිත ටිහාරාගේ මව තම දියණියගේ එම ගමන නතර කිරීම පිණිස අවස්ථා දෙකක දී මග හරස් කර සිටින අතර එහිදී ටිහාරා ව නිවසින් නිදහස් කරගැනීම පිණිස පෙරමුණ ගනු ලබන්නේ ඇගේ මිතුරියක් බවට දැනට හඳුනාගෙන ඇති 19 හැවිරිදි තරුණිය විසින්ය.

ටිහාරාගේ මව ඉදිරියේ බැගෑපත් වන එම තරුණිය එහිදී සඳහන් කර ඇත්තේ ‘තමන් මින් මතු මෙවැනි ගමන් සඳහා ටිහාරා නිර්මානි නම් තම මිතුරිය සම්බන්ධ කර නොගන්නා බවත්’ එබැවින් අවසන් වතාවට තමන් සමග දන්සලක් වැඳීම පිණිස පිටත්ව යෑමට අවසර ලබාදෙන ලෙසත්ය. තරුණ දියණිවරුන් සහිත මව්වරුන් එවැනි ඉල්ලීම් අබියස අසරණය. අවසර නුදුන් තැන තරුණ දියණිවරුන් තම තමන්ගේ මව්වරුන් සමඟ උරණ වන අතර උරණ වීමෙන් නතර නොවන ඇතැම් දියණිවරුන් විසින් ගනු ලබන හිතුවක්කාර තීරණ හේතුවෙන් සමාජ අපවාදයට ලක්වන්නේ ලෙහි හොවා හැදු වැඩූ මව් දෙමව්පියන්ය. මෙකල ඒ සඳහා උදාහරණ ද බොහෝය. ටිහාරාගේ අභිරහස් මරණයෙන් අනතුරුව ඇගේ මව ද සමාජ අපවාදයට ලක්වන අයුරු දකින්නට ලැබුණු අතර විශේෂයෙන් එහිදී කාන්තා පාර්ශ්වය උස් හඬින් සඳහන් කරන්නට වූවේ ටිහාරාගේ මව මීට වඩා තදින් සිටියා නම් ඇයගේ දියණියට මෙවන් විපතක් සිදු නොවන්නට ඉඩ තිබූ බවක්ය. තෙවන වරට ද ටිහාරාගේ මිතුරිය විසින් කරනු ලැබූ ආයාචනයට අනුව අකැමැත්තෙන් වුවද අවසර දෙන ඇගේ මව මෙම විපතෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කර සිටියේ තම දියණියගේ සතුට වෙනුවෙන් අකැමැත්තෙන් වුවද තම දියණිය එම ගමනට සහභාගී කරවන්නට තීරණය කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස තම දියණියට මෙවන් විපතක් සිදුවන බවක් සිහිනයකින් හෝ අපේක්ෂා නොකළ බවත්ය.

මැරුණද? මැරුවද? තවමත් අභිරහසක්…බාල වයස්කාර පාසල් සිසුවියගේ මාරයා දුරකථනයද? එදා වේල පෙම්වතාද..?

ගෙතුළ ගිනි පිටතට නොදීමට තීරණය කරනු ලබන ඒ අම්මා සිය දියණියට එම ගමන සඳහා අවසර ලබා දුන්නද ඇය නොදැන සිටි කරුණ බවට පත්වන්නේ තම දියණිය “සැනසුම” නිවසින් පිටව යන්නේ එතෙක් කලක් එම නිවස තුළ පැවති සතුට සැනසුම ද රැගෙන යන අවසන් ගමන එය වන බවය.

ඒ අනුව 19 හැවිරිදි මිතුරිය පබාරා සමග මගට බසින ටිහාරා මිටින් මුදා හළ කිරිල්ලියන් සේ නාගොඩින් පිටත්ව කළුතර බලා ගමන් කරන අතර පබාරාගේ පෙම්වතා වන ඉෂාන් තිනුර ද සිල්වා සහ ටියාරාගේ අභිරහස් මරණයේ ප්‍රධාන සැකකරු ලෙස දැනට හඳුනාගෙන තිබෙන ධනුෂ්ක ගයාන් සහබන්දු කළුතර දෙස සිට නාගොඩ දෙසට ගමන් කර ඇත. මෙම තරුණියන් දෙදෙනා ඉන් අනතුරුව කලින් කතා කරගත් පරිදි ධනුෂ්ක නම් සැකකරු විසින් කුලී පදනම මත රැගෙන එන කාර් රථයට ගොඩවන අතර ඉන් අනතුරුව ඔවුන් ගමන් කරනු ලබන්නේ මෙම ඛේදවාචකයේ ප්‍රධාන තිප්පොල මෙන්ම මත්පැන් සාදය පත්වන ලදැයි සැකකරන කළුතර ප්‍රධාන වීදියේ පිහිටි ලැගුම්හල වෙතය. ගාලුපාරට සහ දකුණු දුම්රිය මාර්ගයට මැදිව පටු ස්ථානයක පිහිටි එම ලැගුම්හල අනාරක්ෂිත ඉදිකිරීමක් බවට දැනට හඳුනාගෙන තිබෙන අතර එම ඉදිකිරීම පිටුපස ප්‍රාදේශීය දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බවට ද තොරතුරු වාර්තා වෙමින් ඇත. විස්කි බිබී විනෝද වීමට එම ලැගුම්හල කදිම ස්ථානයක් බව කල්තබා හඳුනා ගත් ප්‍රධාන සැකකරු සාදය පිණිස විස්කි බෝතලයක් ද රැගෙන යන අතර ආරම්භ කරන ලද සාදය නිමාවට පත්වන්නේ විදේශීය නිෂ්පාදනයක් වන එම විස්කි බෝතලය සිව් දෙනා එක්ව හිස් කළ පසුය.

පැය කිහිපයක් තිස්සේ පවත්වන ලද සාදය නිමාවට පත් කරන පබාරා සහ ඇගේ පෙම්වතා එම ස්ථානයෙන් පිටත්ව යෑමත් සමඟ තමන් වෙනුවෙන් වෙන් කරගත් කාමරය වෙත පිවිසෙන ටිහාරා සහ ඇගේ පෙම්වතා ලෙස සැක කරන පුද්ගලයා එම කාමරය තුළ තනි වන අතර ඉන් අනතුරුව සිදු වූ යම් යම් දේ පිළිබඳව පැවසීමට ටිහාරා දැන් ජීවතුන් අතර නැත. බාල වයස්කාර පාසල් සිසුවියගේ මරණය අභිරහසක් බවට පත් වන්නේ එතැන් සිටය.

වෙසක් තොරණක නිරූපිත ජාතක කතා වස්තුව කොටුවෙන් කොටුව කවියන් විසින් විස්තර කර සිටින්නේ යම් සේ ද මෙම පාසල් සිසුවියගේ අභිරහස් මරණය පිළිබඳව ද මෙරට මාධ්‍ය මඟින් මේ වන විට පමණටත් වඩා විස්තර වාර්තා කර ඇත. එබැවින් මෙම ඛේදවාචකයට තුඩු දුන් සිදුවීම් පිළිබඳවත් ඒ ඒ චරිත පිළිබඳවත් යළි යළිත් ලියා තැබීම නිෂ්ඵල ක්‍රියාවක් බව අපගේ වැටහීමය. ඒ මන්දයත් මේ වන විට එම සිදුවීමට අදාළ එක දෙයක් හැර අන් සියල්ල රට හමුවේ නිරාවරණය වී ඇති බැවින්ය. තවමත් හෙළිදරවු නොවූ එකම එක දෙය නම් ටිහාරා මරණය තෝරා ගත්තේ ඇයි ද යන්න පිළිබඳවය. මැගේ මරණය තවමත් අභිරහසක් ව පවතින්නේ එබැවින්ය. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු විසින් පොලිසිය හමුවේ සිදු කර තිබෙන පාපොච්චාරණය අනුව බලන කල ටිහාරා ජීවිතේ නැතිකර ගැනීම පිණිස පෙළඹ ඇත්තේ ඇගේ ජංගම දුරකතනයට පැමිණි එක්තරා ඇමතුමකින් අනතුරුවය. එය සැකකරු විසින් හිතාමතා ගොතන ලද කෙබරයක් ද එසේත් නැත්නම් එහි යම් සත්‍යතාවයක් ඇතිද යන්න සොයා බැලීම පිණිස අවශ්‍ය කරන ජංගම දුරකථනය ද තවමත් අස්ථානගතය.

කළුතර නාගොඩ “සැනසුම” අංක 15 ලිපිනයේ පදිංචිව සිටි ටිහාරා නිර්මාණි සහ තවත් පෙම්වතුන් යුවලක් සමග පවත්වන ලද මධු සාදයෙන් අනතුරුව ටිහාරා විසින් ඉදිරිපත් කරන ලදැයි පැවසෙන රංගනය දෙස වශීකෘත දෑසින් බලා සිට ඇය හෝටලයේ ඉහළ මහලයක ජනේලයෙන් බිමට පැන එම රංගනයෙන් පමණක් නොව දිවි රඟ මඬලින් ද සමු ගන්නා අයුරු දැකබලා ගැනීමෙන් අනතුරුව පලාගිය බවට සැක කරන සැකකරන “මාස දෙකේ පෙම්වතා” හෙවත් ගයාන් ධනුෂ්ක සහබන්දු නම් මිටි මහතා මිනිසා පොලිස් අත්අඩංගුවට පත් වන්නේ ටිහාරා මිය ගොස් දින තුනකට පසු ඉකුත් 9දා හික්කඩුවේ දීය. පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මෙම සිද්ධියෙන් අනතුරුව මුහුදු මාර්ග ඔස්සේ රටින් පලා යෑම පිණිස දකුණු ප්‍රදේශය බලා ගමන් කරමින් සිටියදී මාර්ග බාධක යොදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔහු විවාහ දෙකක් සහ රැකියා දෙකක නිරත පුද්ගලයකු වශයෙන් දැනට හඳුනාගෙන ඇති බවත්ය.

කල්බදු සමාගමක සීසර්වරයකු වශයෙන් ද පොලියට මුදල් ලබා දෙන්නකු වශයෙන්ද කටයුතු කර ඇති ජොල් ඇඟක් සහිත වෙනස්ම මාදිලියක නිමැවුමක් වන ප්‍රධාන සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙවැන්නක්ය.

මැරුණද? මැරුවද? තවමත් අභිරහසක්…බාල වයස්කාර පාසල් සිසුවියගේ මාරයා දුරකථනයද? එදා වේල පෙම්වතාද..?

“මම මේ මැරුණ කෙල්ලව හඳුනන්නෙ නෑ. දැක්කෙත් එදාමයි. ඉස්කෝලේ යන කෙල්ලෙක් කියලවත් මම දන්නෙ නෑ. එයා වෙනත් අයෙකුගේ හැඳුනුම් පතක් ඉදිරිපත් කරලා තමයි හෝටලයට ඇවිත් තියෙන්නේ. ඒ බවවත් මම දැනගෙන හිටියේ නෑ. අපි හෝටලයට එද්දි විදේශීය මත්පැන් බෝතලයකුත් අරගෙන තමයි මම ඒ ගමනට සහභාගි වුණේ. අපි හතර දෙනාට හෝටලයේ කාමර දෙකක් වෙන් කර ගත්ත. නමුත් මත්පැන් සාදය වෙලාව අපි හතරදෙනාම හිටියේ එක කාමරයක. අපි හතරදෙනාම මත්පැන් පානය කළා. ටික වෙලාවක් යද්දි තරුණිය හා මම නටමින් විනෝද වෙමින් සිටියදී ඇයගේ ජංගම දුරකථනයට කිසියම් ඇමතුමක් ආවා. ඒ ඇමතුමෙන් පස්සෙ කලබල වූ ඇය ඇමතුම ලබාදුන් පුද්ගලයාට “තෝ මාව කෑවා… කැත වැඩ කරන්න එපා යකෝ…” ආදී වචන කියමින් බැණ වදින්න ගත්තා. ඇය කාමරයේ ඔබ මොබ ඇවිදිමින් නොසන්සුන් ලෙස හැසිරෙන්න ගත්තා. ඒ ඇමතුම් ආවේ කාගෙන්ද කියන්න මම දන්නෙ නෑ. ඇගේ ඉරියව් වෙනස් වෙන්න ගත්තේ ඊට පස්සේ. එහෙම හැසිරෙන අතරේ එක පාරටම කාමරේ ජනේලය ළඟ තිබුණු පුටුවට නැගලා ජනේලෙන් පිටතට පැන්නා. මම ඒ වෙලාවේ ඇඳේ හාන්සි වෙලා හිටියෙ.

නැගිටලා ඇවිත් ඇයව අල්ලගන්න වෙලාවක් තිබුණෙ නෑ…”

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වෙරි මතින් නටන ටිහාරා නම් 16 හැවිරිදි පාසල් සිසුවිය දැකබලා ගැනීමෙන් තමන් ඉමහත් සතුටට පත්වූ බවත් එම දැක බලා සතුටු වීම නිමාවට පත් වන්නේ පාසල් සිසුවිය ජනේලයෙන් පිටතට පැනීමත් සමග බවත්ය. ඉන් අනතුරුව තමන් ඒ බව තම මිතුරාට දැනුම් දිමෙන් අනතුරුව මිතුරා සහ ඔහුගේ පෙම්වතිය විසින් දුම්රිය මාර්ගය අසල මියගොස්ව සිටි පාසල් සිසුවියගේ සිරුර දුම්රිය මාර්ගයෙන් ඉවත් කල බවටද සැකකරු විසින් වැඩි දුරටත් පාපොච්චාරණය කර ඇත. කතාව එතෙකින් නිමාවට පත්වන්නේ නැත.

රටම අවධානයෙන් පසුවන බාල වයස්කාර පාසල් දැරියගේ මරණය පිළිබඳව එක් එක් අය ප්‍රකාශ කරන එක් එක් කතා අතරින් සැබෑව වෙන්කර හඳුනාගැනීම මේ වෙන විට තරමක් උගහට කරුණක් බවට පත්ව ඇත. ඊට විසඳුමක් වශයෙන් මෙම බාලවයස්කාර පාසල් සිසුවියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම පොලිස්පතිවරයා විසින් රහස් පොලිසිය වෙත පවරා තිබෙන අතර සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගනු ලබන්නේ පාසල් සිසුවිය සමග ලැගුම්හල වෙත පැමිණි ප්‍රධාන සැකකරු සහ ඔවුන් සමඟ පැමිණි පෙම්වතුන් යුවළ, කුලී පදනම මත ලබාගත් මෝටර් රථයේ රියදුරු සහ පාසල් සිසුවිය ඇතුළු පිරිස රැඳී සිටී ලැගුම්හලේ පිළිගැනීමේ නිලධාරීනිය ලෙස එදින කටයුතු කළ කාන්තාවක්ය. ඇය මෙම ලැගුම් හල් හිමිකරුගේ බිරිඳ බවට ද මේ වන විට හඳුනාගෙන ඇත. ඉදිරියට තවදුරටත් මෙම අභිරහස් මරණය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම් මත වැඩිදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිතය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment