ඇගයුම් නොලබාම නික්ම ගිය පාපැදියේ පෙම්වතා

1927

පාපැදි ක්‍රීඩාව වෙනුවෙන් ජීවිතයේ දශක හයක් කැපකළ මෙරට ජාතික පාපැදි ශූරයකු වූ ඇන්තනී සිමන්ස් මහතා ජීවිතයෙන් සමුගත්තේ පාපැදි ක්‍රීඩාවේ උන්නතිය උදේසා ඔහු ප්‍රාර්ථනා කළ සිහින කිපයක්ද මියදෙමින්ය. ලාංකීය පාපැදි ක්‍රීඩාව සමග සිමන්ස් නාමයද බැඳී තිබුණි. අවුරුදු 15 දී මුල්ම පාපැදි තරගයට සහභාගීවූ ඔහු වයස අවුරුදු හැට හයේදී ඇමෙරිකාවේ පැවති ලෝක ජ්‍යෙෂ්ඨ පාපැදි ශූරයන්ගේ පාපැදි තරගයටද සහභාගීව පාපැදි තරග බිමෙන් බැස ගියේය.

පාපැදිය ජීවිතය කරගත් මේ සොඳුරු මිනිසා පාපැදි ක්‍රීඩාවට සමුදුන්නද ජීවිතයෙන් සමුගන්නා තෙක් පාපැදි ක්‍රීඩාවට පෙම් බැන්දේය. ඒ නිසාම පාපැදි ක්‍රීඩාව සම්බන්ධව කෞතුකාගාරයක් නිර්මාණය කිරීමට බොහෝ දේ තනිවම කරමින් එහි අවසන් අදියරට පැමිණ තිබුණි. එහෙම ඒ ප්‍රාර්ථනාව ඉටුකර ගැනීමට ඔහුගේ ජීවිත කාලයේ දී සිමන්ස් මහතාට නොහැකි විය.

රත්නපුරයේ උපන් රත්නපුරයේ ඉගෙනුම ලද ඔහු රත්නපුරයේ පාපැදි ධාවන පථයක් ඉදිකිරීමට සැළසුම් ඉදිරිපත් කර තිබුණේ වසර ගණනකට පෙර සිටය. ඒ වෙනුවෙන් ඔහු බොහෝ උත්සාහ ගත් වග මේ ලියුම්කරු සමගද පවසා තිබුණි.

රත්නපුර නව නගරයේ ඇවිදින මංතීරුවකට සැළසුමක් තිබූ නිසා එම සැළසුමටම අනුව පාපැදි පථය නිර්මාණය කළහොත් අවම මුදලකින් එය කළ හැකි බවත් ඔහු යෝජනා කර තිබුණි. ජාතික මට්ටමේ පාපැදි පරිපාලකයකු, පුහුණුකරුවකු වීමටද සුදුසුකම් තිබූ ඇන්තනී සිමන්ස් ට එම අවස්ථාව උදා නොවුණි. එවැනි අවස්ථාවක් ලැබේ නම් භාරගැනීමට සූදානම් බව ඔහු අදාළ බලධාරීන්ට ද දැනුම් දී තිබුණි. පාපැදි ක්ෂේත්‍රය වෙනුවෙන් කැපකිරීම් කළ ඔහුට එවන් උපහාරයක් තබා අගැයීමක්වත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නොලැබීම ගැන සිමන්ස් මහතා කනගාටුවෙන් සිටියේය.

පාපැදි ශූරයකු ලෙසත් රත්නපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ ආරම්භකයකු ලෙසත් ඔහු කළ සේවයට රත්නපුර දිස්ත්‍රික් දිය ඇලි යොවුන් මිතුරෝ සංවිධානය’ සබරගමු පළාත් සභාවේද සහාය ඇතිව සබරගමු වංශාභිමාන සම්මානයෙන් සිමන්ස් මහතා පිදුම් ලැබීය.

රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ආදි සිසුවකු වූ සිමන්ස් මහතා මියයන විට වයස අවුරුදු අසූවකි. සිව් දරු පියෙකි.

ජාතික පාපැදි පරිපාලන ක්ෂේත්‍රයට එක්ව හැට වසරක ලද අත්දැකීම් රටට ලබාදීමට සිමන්ස් මහතා බලාපොරොත්තු වුවද මිණිකැට යට ගොස් ගොමරිටි ඉහළට ඒමෙන් එයට ඉඩ නොලැබුණි. දක්ෂයන් පසෙකලා ධනය බලයට ක්‍රීඩාවද යටවීමෙන් සිමන්ස් වැනි පරිණත පුද්ගලයකුට නිසි තැන නොලැබීම ගැන ඔහු නොසතුටින් සිටි බව ළඟින් සිටි අය පවසති.

1943 ජූලි මස 27 දින උපත ලැබූ ඇන්තනී සිමන්ස් මහතා රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලේ ආදී සිසුවෙකි. හැටේ සහ හැත්තෑව දශකයේ ඇන්තනී සිමන්ස් නාමය මෙරට පාපැදි ශූරයන් අතර මුල් පෙළේ කියැවිණ. විදෙස් පාපැදි තරගවලද ශ්‍රී ලාංකීය නාමය සනිටුහන් කිරීමට රත්නපුරයෙන් බිහිවූ මෙම පාපැදි ශූරයාට හැකිවිය. ලංකා සවාරිය තුන් වතාවක් ජයග්‍රහණය කළ සිමන්ස් පාපැදි ක්‍රීඩාවේ තම නම සනිටුහන් කළේය. අවුරුදු 15දී සිය ප්‍රථම පාපැදි තරගය ජයග්‍රහණයෙන් ඇරඹි ඔහුගේ පාපැදි දිවිගමන ඇරඹූ සිමන්ස් මහතා සිය පාපැදි දිවි ගමනට අවසානය ලබා දුන්නේ 2019 වසරේ ප්‍රවීණයන්ගේ තරගයේ ජයග්‍රහණය ද අත්කර ගනිමිනි.

ඔහුගේ නම ඉදිරියේ දේශීය තරග ජයග්‍රහණ පන්සීයකට අධික සංඛ්‍යාවක් ලියා තිබේ. 1964 දී ‘Tour De Celoyn’ සමස්ත ලංකා පාපැදි තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් සිමන්ස් මහතා ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගැනීම ආරම්භ කළේය. ඔහු තුන් වරක් ඇමෙරිකාවේ සහ ලන්ඩන් විවෘත පාපැදි තරගය නියෝජනය කරමින් එම අවස්ථා තුනේදීම නියමිත කාලයට අනුව තරගය නිම කළේය. 1965 වසරේදී කිලෝ මීටර් 125 පාපැදි තරගයේ ශ්‍රී ලංකා වාර්තාවද මේ දේහධාරි පාපැදි ශූරයාට හිමිවිය.

1985 දී ඕමානයේදී ඕමාන ආරක්ෂක බි්‍රතාන්‍ය හමුදාව නියෝජනය කරමින් ප්‍රථම ස්ථානයද හිමිකර ගනිමින් ලෝක පාපැදි ජයග්‍රහණ කිහිපයකටද හිමිකම් කියයි. මේ අතර ඔහුගේ පාපැදි දිවියේ වැදගත් සංධිස්ථානයක් ලෙස 1982 ලෝක පාපැදි සතිය සඳහා වූ ලෝක සමුළුව ඇමතීමට ද අවස්ථාව හිමි විය. චතුර ලෙස ඉංග්‍රීසි බස හැසිරවීමට ඇති හැකියාව නිසා ඇන්තනි සිමන්ස් ජාත්‍යන්තර සමුළු තුළ ලාංකීය අනන්‍යතාව සනිටුහන් කිරීමට පහසු විය. ප්‍රංශය, බෙල්ජියම, ඕමානය වැනි රටවල පැවති පාපැදි තරග ද ඔහු නියෝජනය කළේය.

1960 ඔලිම්පික් පාපැදි තරගයට ලංකාව නියෝජනය කිරීමට නම් කෙරුණද එවකට බලධාරීන්ට මුදල් සොයාදීමට අපොහොසත්වීමෙන් එය මගහැර ගොස් තිබුණි. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවට කළ සේවය වෙනුවෙන් වර්ණ ලැබූවෙකි. හැත්තෑව දශකයේ ලංකා සවාරියකදී කඩුගන්නාව කඳු පල්ලමේදී ඔහු මුහුණ දුන්නේ බිහිසුණු අත්දැකීමකටය. කඩුගන්නාව කඳු පල්ලමේදී ඔහුගේ පාපැදියේ තිරිංග කැඩී යෑමෙන් පසු ඔහුගේ යතුරුපැදිය හැසිරවීම දුෂ්කර දෙයක් වුවත් එය ජය ගත් ආකාරය සිමන්ස් මහතා ජීවත්ව සිටියදී මෙම ලියුම්කරු සමග මෙලෙස විස්තර කළේය.

කඩුගන්නාව කඳු පල්ලමේදී මම නොසිතූ දෙයක් වුණේ. පාපැදියේ ඉදිරි තිරිංග කැඩී ගියා. ඇඟේ හයියෙන් මම පාපැදිය පාලනය කළා.’ තරගකරුවන් බොහෝ දෙනකු ඉස්සර කරගෙන මම ඉදිරියට ගියා. පොලිස් වාහනවලින් පැමිණි නිලධාරීන් මම පල්ලමක වැටී සිටියේ දැයි සොයා බලා තිබුණා. මම ඒ තරගයේ හතර වැනියාට කෑගල්ලට පැමිණියා. මේ අත්දැකීම කතා බහට ලක්වුණා.

උපන්දා සිට රත්නපුරයේ ජීවත් වෙමින් පාපැදි ක්‍රීඩාවෙන් සමුගත්තද පාපැදි ක්‍රීඩාව නංවා සිටීමට ඔහු කැපවුණේය. රත්නපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ ආරම්භකයකු සහ එහි නියමුවකු ලෙස ලංකාවේ වැඩිම පාපැදි තරග සංඛ්‍යාව රත්නපුර දිස්ත්‍රික්කයේ පැවැත්වීමටත් ඒ සඳහා රටේ පාපැදි තරගකරුවන් කැඳවීමටත් ඔහු කටයුතු කළේය.

රත්නපුර ආසන දෙව්මැඳුරු සෙවණේ හැදී වැඩී ආදර්ශමත් කිතුනුවකු ලෙස වියපත් වන තුරු සිය හැකියාවෙන් සමාජයට අපරිමිත සේවයක් ඉටු කළ ඇන්තනී සිමන්ස් මහතා පසුගිය 07 දින සිය දිවි ගමනට සමුදුන්නේ මාස කිහිපයක් අසනීපව සිටීමෙන් පසුවය.

තම නෑදෑයන් ද ජීවත්වන ඇමෙරිකාව වැනි රටකට ගොස් සුවබර විශ්‍රාම දිවියක් සැහැල්ලුවෙන් ගත කිරීමට ඕනෑතරම් අවස්ථාව මේ පාපැදි ශූරයාට තිබුණි. එහෙත් ඔහු පාපැදියට පෙම් බඳිමින් අනන්ත දුක් කම්කටොලු දරාගෙන පාපැදි ක්‍රීඩාව නැංවීමට උපරිමයෙන් කටයුතු කළ වග ඔහු ළඟින් ඇසුරු කළ අය දනිති.

එහෙත් මේ අසහාය පාපැදි ශූරයාට ජීවත්ව සිටියදී ජාතික මට්ටමේ උපහාර හෝ නිසි ඇගයීම් ලැබුණේ නැත.

කහවත්ත –
සමරවීර නිරෝෂණ පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment