දේශපාලන පොරොන්දු නිසා රටත් ජනතාවත් වැටුණා – ඒ වරද කරන්න මා ලෑස්ති නෑ – ජනපති

88

රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබාගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම වරද කිරීමට තමා සූදානම් නැති බව සඳහන් කළ ජනාධිපතිවරයා සත්‍යයට මුහුණ දෙමින් රටට සුබවාදී අනාගතයක් ගොඩනඟා ගැනීමට සියලුදෙනා කටයුතු කළයුතු බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යූත් තරුණ එකමුතුව තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමිනි. මෙම හමුව තැප්රොබේන් ඒන්ටර්ටේන්ට්මන් හීදි ඉකුත් 12 වැනිදා පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතු බවයි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර, ඔවුන්ගේ ප්‍රශ්න ඍජුව ම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී අවස්ථාව සලසා දී තිබිණි.

එම සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට කටයුතු කළ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමග සුහද කථා බහකට ද එක් විය.

මෙම කථිකාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණිම සනිටුහන් කරමින් “යුනයිටඩ් යූත් තරුණ එකමුතුවේ” උපදේශක නියෝමාල් පෙරේරා මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment