මේ මැතිවරණ වසරක්ද? තවත් අරගලයක ඇරඹුමක්ද?

112

2022 ශේෂ පත්‍රය සහ 2023 අභියෝග !

2023 සුබ නව වසරක් වේවායි පුරුද්දට මෙන් ලියූවත් එබඳු ප්‍රාර්ථනාවක් කෙතරම් දුරකට යථාර්ථවාදී දැයි කිව නොහැක. අලුත් වසරක් යනු නැවුම් ආරම්භයක් වුවද ඒ සඳහා අභිනව සමාජ ආර්ථික හා දේශපාලන දැක්මක් ද අත්‍යාවශ්‍යය. එමතු නොව ගෙවී ගිය වසරෙහි එනම් 2022 දී අපට වැරදුනු තැන් මෙන්ම අප විසින් නොතකා හරින ලද කරුණු කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය යුතුය. වෙනත් ආකාරයකින් කියන්නේ නම් 2022 වසරේ ශේෂපත්‍රය පිළිබඳ පුළුල් කියවීමක් නොමැතිව අලුත් ගමනක් ආරම්භ කිරීමටද නොහැකිය. 2022 වසර වූ කලී මෙරටේ සමාජ ආර්ථික හා දේශපාලන ක්‍ෂෙත්‍ර උඩු යටිකුරු කළ ඓතිහාසික සමාජ දේශපාලන පෙරළියක මතක සටහන් එක් කළ යුගයක් ලෙසද හැඳින්විය හැකිය. හැට නව ලක්‍ෂයක සුවිශේෂ ජනවරමකින් විධායක ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්‍ෂට සිය පදවිය අතහැර මෙරටින් පලායෑමට තරම් වූ දේශපාලන කැළඹීමක් ද ඒ වසරෙහි උද්ගත විය. එයට හේතු වූයේ රාජපක්‍ෂ පාලනය විසින් හිණිපෙතට නංවන ලද ආර්ථික අර්බුදයට එරෙහිව පෙළ ගැසුණු තරුණ තරුණියන්ගේ විරෝධතාවයි. ගාලුමුවදොර කේන්ද්‍ර කරගනිමින් නැගුණු ඒ ජනතා විරෝධය සම්බන්ධයෙන් විවිධ කියැවීම් අර්ථ නිරූපණ සිදුවුවත් මේ වනවිට ඒ සමාජ දේශපාලන අරගලය දැඩි මර්දනයකට ලක්ව රට යළිත් ඒ ගතානුගතික දේශපාලන චක්‍රයේම මුලට රැගෙනවිත් තිබෙන බවද පෙනේ.

කෙසේ හෝ වේවා ඉකුත් වසර තුළ උග්‍ර වූ ආර්ථික දේශපාලන බිඳවැටීම් සාධනීය ලෙස කළමනාකරණය කර නොගතහොත් මේ වසරේදී රට මුහුණ දෙන ව්‍යසනය සුළුපටු නොවනු ඇත. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් මේ වනවිටත් ශ්‍රී ලංකාව යනු බංකොලොත් රටකි. ආර්ථික උද්ධමනය අතින් මෙන්ම ජනතාවගේ ආහාර සුරක්‍ෂිතතාව සම්බන්ධයෙන්ද කිසිසේත් සෑහීමකට පත් විය හැකි තත්ත්වයක් අපට නැත. ජගත් ආයතනවල වාර්තා උපුටා දැක්වීමට අවශ්‍ය නැති වුවද අද ජනතාව මුහුණ දී සිටින ජීවන අරගලය අතිශය බැරෑරුම් එකකි. ආහාරවේල් සියල්ල ඒ ආකාරයෙන් ගැනීමට හැකි පවුල් සංඛ්‍යාවද අඩුවෙමින් පවතී. ඈත ගම්වල පමණක් නොව කොළඹ ඇතුළු ප්‍රධාන නගරවලද ආහාර අනාරක්‍ෂිතතාව ඉහළ යන වාර්තාවකි.

අද රාජපක්‍ෂවරුන්ගේ පාලනයට එරෙහිව ඉදිරිපත් වන්නාවූ හා තිබෙන්නාවූ ආර්ථික හා දේශපාලන විවේචන ඉමහත්ය. ගෝඨාභය ජනාධිපති ධුරයට රැගෙන ඒමට මුල්වූ පොහොට්ටුවේ දේශපාලන වේදිකාවේදී ඔහු හැඳින් වූයේ මහතීර් මොහමුද් හා නෙල්සන් මැන්ඩෙලාගේ චරිතවලින් උද්දීපනයට පත්වූ අභිමානවත් නායකයකු ලෙසය. කොළඹ නගර අලංකරණය හා තිස් අවුරුදු ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කිරීම සම්බන්ධයෙන් ගෝඨාභයට තිබුණු ප්‍රශංසාත්මක ඇගයීම් පවා අද සමහරුන්ගේ විවේචනයට ලක්ව තිබේ. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ආරම්භ වූ ගෝඨාභයගේ ගමන ඔහුගේ දේශපාලන අපරිණිත භාවයේත් අහංකාර අධිපතිවාදී මානසිකත්වයේත් සංකලනයක් ලෙස අද ඔහුගේම රැස් වළල්ලේ පහස ලද පිරිස්ම පෙන්වා දෙති.

ගෝඨාභයගේ බදු සහනයෙන් රාජ්‍ය මූල්‍ය පදනම ගිලිහී යද්දී ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද රසායනික පොහොර තහනම ඔහුටම පාරාවළල්ලක් වෙද්දී රට මහා ප්‍රපාතයක් කරා රැගෙන යාමටද එය හේතු විය. තමන්ගේ සහචර කල්ලිවලට පමණක් සවන් දුන් ගෝඨාභය ජනාධිපතිවරයකු ලෙස ඉතා කෙටිකලකින් රටේ බහුතර ජනතාවගේ අප්‍රසාදයටද ලක්වූවෙකි. කොරෝනා වසංගතයෙන් ඇරඹුණු ආර්ථික බිඳවැටීමට ඔරොත්තු දෙන සාධනීය සැලැස්මක් ආර්ථිකය මෙහෙයවූ රාජපක්‍ෂවරුන්ට මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරී නියමුවන්ට ද නොතිබුණි. පොහොට්ටු පාලනය එහෙම පිටින්ම බිඳ වැටුනේද නිසි ආර්ථික මෙන්ම දේශපාලන කළමනාකරණයක්ද නොවූ හෙයිනි.

මේ මැතිවරණ වසරක්ද? තවත් අරගලයක ඇරඹුමක්ද?

ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය මත පදනම් වූ රටක් ලෙස වසර දෙදහස් පන්සියයකටත් වඩා පැරැණි ඉතිහාසයක් සමග ගොඩනගාගත් අගනා සංස්කෘතික හා ජාතික අනන්‍යතාවක් සහිත රටක්ද වේ. නිදහසින් පසු මේ ක්‍ෂෙත්‍රවල යම් යම් පසුබෑම් ඇති වුවත් කෘෂිකර්මාන්තය සහමුලින් බිඳ වැටුණේද නැත. රන්වන් කරලින් බරවූ කෙත් යායවලින් අලංකාර වූද සාගර වැනි වැව්වලින් සුපෝෂණය වූද අපේ කෘෂි ජීවන රටාව පිළිබඳ ආඩම්බරයෙන් කතා කළ හැකි පසුබිමක්ද අපට තිබුණි. යල මහ ලෙස කන්න දෙකක් වෙන් කර ගෙන වී ගොවිතැන් කළ ගොවි පරපුරක් අපට වූහ. ඊට අමතරව වියළි කලාපය ඇතුළු ආවේණික කලාපවල සාර්ථක බෝග වගාවන්ද විය. ඒ සියලු වගාවන් අර්බුදයට ලක් වූයේ ගෝඨාභයගේ අදූරදර්ශී පොහොර තහනම නිසාය. එලෙස බිඳ වැටුණු කෘෂි ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට තවමත් නොහැකි වී තිබේ.

මුහුද ගොඩ ගලන්නාක් මෙන් නැඟුණු ජනතා විරෝධය තුවක්කු වෙන් මර්දනය කළ නොහැකි බව ගෝඨාභය ජනාධිපතිවරයා වටහා ගැනීමද අගය කළ යුත්තකි. ඇත්ත වශයෙන්ම හමුදා මෙහෙයුම් හා මිල්ටරි පාලනය පිළිබඳ ඔහු හොඳින් දැන සිටියත් ඔහුගේ ප්‍රතිචාරය ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ සහිත එකක් විය. එහෙත් රාජපක්‍ෂවරුන් අත තිබුණු දේශපාලන බලය මෙන්ම ආර්ථික යතුර ද භාර වූ රනිල් වික්‍රමසිංහ තවමත් මේ බිඳවැටුණු ආර්ථික දේශපාලන අර්බුදය සමග දුෂ්කරක්‍රියා කරමින් සිටියි. ජනාධිපති රනිල් අපේක්‍ෂා කළ ආර්ථික කළමනාකරණය සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය තවමත් ඔහුට ලැබී නැත. ඉන්ධන ගෑස් වැනි සේවාවන් සම්පූර්ණයෙන්ම යථාවත් නොවුවත් එදා තිබුණු දිගු පෝලිම් අද නැත. එහෙත් ඖෂධ, විදුලිය වැනි මූලික සමාජ අවශ්‍යතා සපුරාලීමට ද ආණ්ඩුව අසමත් වී සිටියි. ආණ්ඩුව විසින් හඳුන්වාදෙන ලද බදු සංශෝධනය ජනතාව මත වූ පීඩනය උත්සන්න කරවන්නකි. බොහෝ වෘත්තිකයෝ මේ වනවිටද එයට එරෙහිව වීදි බැස සිටිති. එසේම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කෙරෙහිද ඒ බදු අහිතකර ලෙස බලපාලන බව කියති.

2023 වසර උදාවන්නේ බරපතළ විදුලිය අර්බුදයක් සමග බව මේ වනවිට සිදුවන සංවාදවලින්ම පැහැදිලිය. විදුලිබල ඇමැතිවරයා දැඩිව පවසන්නේ විදුලිය ගාස්තු ඉහළ නැංවිය යුතු බවය. මේ පිළිබඳව වෘත්තීය සංවිධාන දැඩි ලෙස විරෝධය දැක්වීමත්, ගල්අඟුරු හා විදුලිය මිලදී ගැනීම් වැනි දේවල් සම්බන්ධයෙන් කෙරෙන විවේචන හා චෝදනා ආදියෙනුත් තහවුරු වන්නේ එළඹෙන උග්‍ර අර්බුදයක ලකුණුය. විදුලිබල මණ්ඩලය දූෂණයෙන්, අවිධිමත් භාවයෙන් ඉහවහ ගොස් තිබෙන බව පැවසුවත් ඒවාට විසඳුම් දීමට මෙතෙක් ගත් පියවරක්ද නැත. විදුලිය මෙන්ම තවත් ක්‍ෂෙත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්ද දැඩි විවේචන සිදු වෙයි. විදුලිය, තෙල් සංස්ථාව මෙන්ම ශ්‍රී ලන්කන් වැනි ආයතන පද්ධතිය රටම ගිලගන්නා මකර කටවල් බව ආණ්ඩු පාර්ශ්වයෙන්ද කියනු ඇසෙයි. එහෙත් ඒ ඇදය නිවැරදි කිරීමට ඇමැතිවරුද අසමත්ව සිටිති. ජනතාවට සිදුව තිබෙන්නේ ඒ කාබාසිනියා කරන ලද ආයතන වෙනුවෙන්ද වන්දි ගෙවීමටය. කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් නොමැති එබඳු අකාර්යක්‍ෂම ආයතන රැසක්ද නඩත්තු කිරීමට ජනතාවට සිදුවීම කෙතරම් අභාග්‍යයක්ද?

රටේ ආර්ථිකය මෙන්ම දේශපාලනය සම්බන්ධයෙන්ද උද්ගතව ඇත්තේ අර්බුදයකි. මෙබඳු වාතාවරණයක් තුළ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් තිබේ නම් එයින් දේශපාලනය මෙන්ම ආර්ථිකයද කළමනාකරණය කර ගත හැකිය. අද තිබෙන දේශපාලනය බලය පදවි තානාන්තර මතම පදනම් වූ එකකි. ජනාධිපතිවරයා යැපෙන්නේ පොහොට්ටුවේ වැඩි ඡන්දවලින්ය. ඒ වැඩි ඡන්ද බලය රැක ගැනීම සඳහා පොහොට්ටුව පිනවීමටද ජනාධිපතිවරයාට සිදුව තිබේ. තවමත් පොහොට්ටුවේ සමහරු, ඇමැති ධුර අපේක්‍ෂාවෙන් සිටිති. කැබිනට් ඇමැති හා රාජ්‍ය ඇමැති දොල දුක සමනය කිරීම සඳහා පොහොට්ටුවේ නායකයන්ගේ බලකිරීම්ද සිදු වෙයි. එහෙත් රටේ පවතින දේශපාලන යථාර්ථය දන්නා ජනාධිපති රනිල් ඒ තෙරපීම් ආයාචන සියල්ල දරා ගෙන සිටින බව ද පෙනේ.

මේ වනවිට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැනද දේශපාලන පක්‍ෂවල අවධානය යොමුව තිබේ. ඒ සඳහා රුපියල් බිලියන 10 ක් වෙක්කර තිබුණත් එය මේ ආර්ථික පීඩනය තවත් උග්‍ර කරවන්නකි. එහෙත් ආණ්ඩුව මැතිවරණය කල් දැමීමට සුදානම් වන්නේ එයට මුහුණදීමෙන් රටටත් ලෝකයටත් අනාවරණය විය හැකි ඔවුන්ගේ දේශපාලන ශක්තිය පිළිබඳ වූ තිගැස්ම නිසාය. මැතිවරණ සමයක් යනු රටම අක්‍රීය වන කාලයකි. දේශපාලන බල අරගලය ඇවිලෙන ආකාරය ගැන කිසිවකුට පුරෝකථනයක් කළ නොහැකිය. එහෙත් මේ සමාජ ආර්ථික පීඩනය අනුව නම් ආණ්ඩුවට ලැබෙන්නේ වඩාත් අමිහිරි ප්‍රතිඵලයක් විය හැකිය. කුමක් වුවත් මැතිවරණය කල් දැමීමටද ආණ්ඩුවට ඉඩක් නැත. එසේ වුවද එබඳු දෙයක් සිදුවනු ඇතැයි විපක්‍ෂය තවමත් සැක පහළ කරයි.

මෙරටේ දේශපාලන ඉතිහාසය තුළින් පැහැදිලි වන්නේ විවිධ පාලන යුගවල මැතිවරණ කල්දැමූ ආකාරයයි. තමන්ට වාසිදායක නොවන දේශපාලන වාතාවරණයක ඡන්දවලට නොයෑම මේ දේශපාලනය නඩත්තු කළ හා කරන බොහෝ නායකයන්ගේ ක්‍රමය බව ද අපි දනිමු. පළාත් පාලන ආයතනවල අටදහසකට නොඅඩු පිරිසක් යළිත් තෝරා ගැනීමට යෑම අතිශය ආර්ථික ගැටලුවක් වුවද දැන් එය තකහනියේ වෙනස්කිරීමට මගක්ද නැත. විපක්‍ෂයට වුවද ඒ වෙනුවෙන් ජනතාවට පැටවෙන බර ගැන හැඟීමක් නැත. ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අනුමත කළ නොහැකි බරපතළ වරදකි. මේ වනවිට පළාත් සභාද නැත. පළාත් පාලන ඡන්දය ලැබෙන්නේද වසර තුනක කල්දැමීමකට පසුවය. ඒ හැම ක්‍රියාදාමයක්ම අනුමත කළ අයත් මේ පිරිස් අතරම සිටිති.

මේ අනුව උදාවන 2023 වසර කෙබඳු අබියෝගාත්මක එකක් දැයි පැහැදිලිය. ආර්ථික හා දේශපාලන කැළඹීම් සමනය වීමක් පිළිබඳව නම් සිතීමට පවා බැරිය. ජනතාවගෙන් බහුතරයකට ප්‍රශ්න තිබේ. ඔව්හු ජීවන අරගලයෙන්ම හෙම්බත්වී සිටිති. එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යෑම උත්සන්න කරනු විනා එයට යම් ප්‍රමාණයක හෝ උපකාරයක් අනුග්‍රහයක් සහනයක් නොලැබෙන බව ඔව්හු දනිති. ප්‍රශ්නවලින්ම හෙම්බත්ව අයාලේ යන සමාජ දේශපාලනයක ජනතාව හිරවී සිටියත් ඔවුන්ගේ පාලකයන්ගෙන් වැඩි දෙනෙක් සැනසිල්ලේ සිටිති. 2023 යනු ලක්‍ෂ සංඛ්‍යාත ශිෂ්‍ය ප්‍රජාවකගේද විවිධ ප්‍රශ්න මතු වන ආරම්භයක්ද වේ. පාසල් පොත් උපකරණ සපයා ගැනීම බොහෝ ජන කොටසකට මුහුණ දීමට නිසැකයෙන්ම සිදුවන්නකි. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා පිරිසක්ද වෙනම සිටිති. ඒ පිරිස අතරද බොහෝ දෙනෙකුට යහපත් ආර්ථිකයක්ද නැත. අප්‍රමාණ පීඩාවන් මැද සොච්චම් වැටුපකින් ජීවිත පවත්වා ගෙන ආ බොහෝ පිරිසකට තම අනාරක්‍ෂිත භාවයේ මෙන්ම දුගීභාවයේ විපාක වඩාත් විඳ දරා ගැනීමටද සිදුවනු ඇත. සියයට 74 ක ආහාර උද්ධමනයක් පවතින රටක හෙටක් ගැන කවර හෝ බලාපොරොත්තුවක් දනවන අපේක්‍ෂාවක් මේ ආණ්ඩුවෙන් ලැබෙනු ඇතැයි සිතිය හැකිද? ජනතා අපේක්‍ෂා ඉටු කළ හැකි රාජ්‍ය ආයතන එකක් හෝ අද නැත. ඒවා දේශපාලන මෙවලම් පමණි. නෑයන්, හිතවතුන්, පාක්‍ෂිකයන් ආදීන් විසින් ඒ ඒ ආයතන විනාශ කරන ලද ආකාරය ගැන විගණන වාර්තා කොතරම් දූෂණ අවිධිමත් ක්‍රියාකාරකම් හෙළි කළත් ඒවා අනුව නිවැරදි වන රාජ්‍ය සේවයක් හෝ දේශපාලනක්ද අපට නැත.

තතු මෙසේ හෙයින් 2023 යනු මෙම මජර දේශපාලනයේම දිගුවක් විනා අලුතින් හිතන නැවුම් සමාජ දේශපාලනයක් සඳහා වූවක් නොවන බවද නිසැකය. අලුත් සමාජ සංවාදයක් ආර්ථික හෝ දේශපාලන ගමනක් ගැනද කිසිදු අපේක්‍ෂාවක් නැත. දේශපාලනය යනු පරාර්ථය සඳහා වූ පරිත්‍යාගයක් බව මේ පාලකයන්ගෙන් කී දෙනෙක් දනිත්ද? පවට බිය වැරදි පිටු දකින ජනතා දුකට සංවේදී වන දේශපාලන චරිත අපට කොතරම් අල්පද? එහෙත් රටට ශාපයක් වී තිබෙන දේශපාලන චෞර වළල්ල බිඳ දැමීමේ අධිෂ්ඨානයත්, මානසික ඒකාග්‍රතාවත්, බුද්ධි ප්‍රබෝධයත් උදාවූ 2023 වසරේද ලැබේවා යනු අපගේ ප්‍රාර්ථනාවය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment