ගායකයාගේ රියැදුරු කුඩු සමග අත්අඩංගුවට

725

දිවයිනේ ප්‍රසිද්ධ ගායකයකුගේ රියැදුරකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 600ක් සමග මීට පෙර අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් නීති විරෝධී ලෙස උපයා ගත් මුදලින් මිලදී ගත් රුපියල් කෝටියක් වටිනා සුඛෝපභෝගී වෑන් රථයක් සමග විශ්‍රාමික නාවික සාමාජිකයකු පෙරේදා (18 දා) පස්වරුවේ, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගලෙන්බිඳුණුවැව, දුටුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 49ක විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයෙකි.

අත්අඩංගුවට ගත් එම සැකකරු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැවුල් කුමාරගේ මස්සිනා බව ද අනාවරණය කර ගත් බව පොලිසිය කියයි.

මෙම සිද්ධියට අදාළව පිළියන්දල දී මුල්වතාවේ දී අත්අඩංගුවට ගත් ගායකයාගේ රියැදුරාගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තවත් පුද්ගලයන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී රැවුල් කුමාර නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පවසයි.

හඳුනාගත් එම සැකකරු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු සලිඳු, සිරාන් බාශික් අයවලුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන යන පුද්ගලයකු බවට පොලිසිය හඳුනාගෙන තිබේ.

එම සැකකරු වසර විස්සක කාලයක සිට වරින් වර බන්ධනාගාරගතව සිටින කිසිදු රැකියාවක් සිදු නොකරන පුද්ගලයකු බව පොලිසිය සඳහන් කළේය.

රැවුල් කුමාර නැමැති මෙම පුද්ගලයා විවාහයන් දෙකක් සිදු කරගෙන බිරින්දෑවරුන් දෙදෙනෙකුහට ගාල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක් සහ පිළියන්දල ප්‍රදේශයේ නිවසක් ඉදිකර දී ඇති අතර මුල් අවස්ථාවේ දී විමර්ශන සිදු කර, මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පවරා කෝටි පහක් පමණ වටිනා එම දේපළ රාජසන්තක කළ බව පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.

මේ සම්බන්ධයෙන්, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාස නිලධාරීහු දීර්ඝව කළ විමර්ශනයකින් අනතුරුව හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් මිල දී ගෙන තිබූ කේ.ඩී.එච් වර්ගයේ මෙම වෑන් රථය සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (19 දා) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

වැඩ බලන පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ මෙහෙය වීමෙන්, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. ජයන්ත පුෂ්ප කුමාර, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අනුර පේමරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, විමර්ශන අංක 3 භාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන පියතුංග, පො.සැ මහින්ද (9036), පො.කො.බණ්ඩාර (77962) යන නිලධාරීහු, කොකා වැව පොලිසියේ සහයෝගය ඇතිව මෙම වැටලීම සිදු කළහ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment