වැස්සෙන් විපතට පත් අය පාසල්වල ලැගුම් ගනිති – උතුරේ පාසල් 29ක් දින නියමයක් නැතිව වැසේ

82

අධික වර්ෂාව නිසා උතුරේ පාසල් 29ක් ඊයේ (19දා) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

මෙසේ වසා දමා ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 9ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පාසල් 9 ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් 2ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයේ පාසල් 9කි.

එම පළාත්වල ජනතාව අධික වර්ෂාවෙන් පීඩාවට පත්වීම හේතුවෙන් රජයේ පාසල් ගොඩනැඟිලි කීපයක සුබසාධක කඳවුරු පවත්වා ගෙන යෑම නිසා මෙසේ පාසල් වසා දැමීමට සිදුව තිබේ.

උතුරේ පාසල් 29ක පවත්වා ගෙන යන සුබසාධක මධ්‍යස්ථානවලට අමතරව කෝවිල්වල, දේවස්ථානවල හා තවත් පොදු ගොඩනැඟිලි කීපයක සුබසාධන මධ්‍යස්ථාන 49 ක් පවත්වා ගෙන යනු ලබයි. මෙම මධ්‍යස්ථානවල සිටින විපතට පත්වූ වැසියන්ට යුද හමුදාවෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලින් ආහාර පාන ඇතුළු සියලු පහසුකම් සලසා දීමට පියවර ගෙන තිබේ.

මේ අතර උතුරේ දැනට ක්‍රියාත්මක පාසල්වලට යෑමටද නොහැකිව ගංවතුරට කොටු වී සිටින පාසල් සිසුන්ට යුද හමුදාව මගින් ගමනාගමන පහසුකම් සලසා දී ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment