කහවත්ත මව ඝාතනය කළ ආයුධය සහ ඝාතකයාගේ ඇඳුම් සොයා දිගටම විමර්ශන

801

කහවත්ත, වැල්ලඳුර, වෙලේවත්ත සිය නිවස තුළදී 71 හැවිරිදි තිදරු මවකගේ ගෙල කපා අමානුෂික අයුරින් ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත් තියුණු ආයුධය සහ ඝාතකයාගේ ලේ තැවරුණු ඇඳුම් සොයා තවදුරටත් විමර්ශන සිදුකරන බව කහවත්ත පොලිසියේ උසස් නිලධාරියෙක් ඊයේ (19 වැනිදා) පැවසීය.

පසුගිය 13 වැනිදා සිදුවූ මෙම ඝාතනයෙන් පසු ඝාතනයට යොදාගත් ආයුධය හා ඝාතකයාගේ ලේ තැවරුණු ඇඳුම් සොයා පොලිසිය රත්නපුර නිල පොලිස් සුනඛ ‘මාෂි’ ගේ සහාය ලබාගෙන කටයුතු කරමින් සිටින බවද එම නිලධාරියා කීය.

දැනට මෙම තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ 38 හැවිරිදි උපාධිධාරි බාල දියණිය ලබන 22 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක් වුණේ විනීතා ජයසුන්දර නමැති රත්නපුර දිස්ත්‍රික් සණස සහකාර ලේකම්වරියක මෙන්ම ප්‍රසිද්ධ සමාජ සේවිකාවකි.

මෙම ඝාතනය තමා විසින් කළ බවට රිමාන්ඩ් භාරයේ සිටින සැකකාරිය මෙතෙක් පිළිගෙන නොමැති බව පොලිසිය කියයි.

ප්‍රශ්න කිරීමේදී මෙන්ම තොරතුරු ලබා ගැනීමේ දී ද ඇය බොහෝ විට නිරුත්තරව සිටින බව පොලිසිය පවසයි. කෙසේ වෙතත්, ඇය හා ඝාතනයට ලක්වූ මව අතර නිතර රණ්ඩු සරුවල් වන ශබ්ද ඇසීම ගැන ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය කියයි.

මෙම ඝාතනයට දියණිය සමග තවත් අයකු සම්බන්ධ වූවා දැයි සොයා බලන බවද පොලිසිය කියයි.

මේ වනවිට මියගිය මවගේ දරුවන් ඥාතීන් ප්‍රදේශවාසීන් ඇතුළු 50 දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇතැයි ද පොලිසිය කියයි.

කහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමිත්ත කරුණාරත්න මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ලසන්ත නිරෝෂණ – කහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment