කුඩා දරුවන් යොදා අපචාර මවන අමන රැළ ලුහුබඳී

499

ළමා හා කාන්තා කාර්යාංශයෙන් උසාවියට වාර්තාවක්

අවුරුදු 2-7 වයසේ පසුවන කුඩා දරුවන්ගේ නිරුවත් හා යම් යම් ලිංගික ක්‍රියාකාරකම් පටිගත කර සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේවින්ද පෙරේරා මහතාට වාර්තා කළේය.

ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධානයක් විසින් තම කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙතෙක් සිදුකළ විමර්ශන අනුව ශ්‍රී ලාංකිකයන් පිරිසක් සංවිධානාත්මකව එම දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන රුපියල් 1000 සිට විවිධ මිල ගණන්වලට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇතැයි ද ළමා හා කාන්තා කාර්යාංශය එම තොරතුරු වාර්තාව මගින් අධිකරණයට පවසා තිබිණි.

එකී දර්ශන අලෙවි කරන ජාවාරම්කරුවන් ඒවා ඉතා සූක්ෂම ලෙස පටිගත කර ඇති බව පෙනී යන බැවින් පටිගත කිරීම්වලට දරුවන් උපයෝගී කරගත් ආකාරය මෙන්ම ස්ථාන පිළිබඳ නිශ්චිතව කරුණු තහවුරු කරගන්නා තෙක් අනාවරණය කිරීමේ හැකියාවක් නොමැති බවද සඳහන් කරමින් විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment