ලයිට් බිල වැඩිවුණා කියලා ටිකට් එක වැඩිකරන එක අසාධාරණයි – සුරංග ද අල්විස්

1122

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ සිනමා ශාලා හිමිකරුවකු ද වන සුරංග ද අල්විස් ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා ලෙසින් වර්තමාන සිනමා ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරී තත්ත්වය සහ විදුලි බිල වැඩිවීමත් සමඟ සිනමා ක්ෂේත්‍රය මුහුණදෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ‘දිවයින’ සිනමා කලා වෙත ඔහුගේ හඬ අවදි කළා.

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ සිනමාශාලා හිමියෙකු කියන කැටගරි තුනේම ඉන්න වර්තමානයේ එකම පුද්ගලයා විදිහට මම කියන්නේ, මේකට හරි දැක්මක් ඉදිරිපත් කරන්න පුළුවන් එක් කණ්ඩායමක් නැහැ. අධ්‍යක්ෂකවරයෙක් විදිහට කතා කළොත් එයාලා නිෂ්පාදකවරයා සහ සිනමා ශාලා හිමියන් ගැන අතහැරලා කතා කරනවා. නිෂ්පාදකවරයා විදිහට ගියොත් එයා එයාගේ යටි මඩිය ගහගන්න කතා කරනවා මිසක් සිනමා ශාලා හිමියා ගැන සහ නිර්මාණ ගැන හිතන්නේ නැහැ. සිනමා ශාලා හිමියා ළඟට ගියොත් ඒ අය හුදෙක් සල්ලි ගැන විතරයි, නිර්මාණ කෙරෙහි හිතන්නෙ නැහැ. එතකොට ඕවා හරිම සංකීර්ණ ප්‍රශ්නයක්. ඕවට උත්තර නැහැ. අපේ මේ රට ඇතුලේ ලොකු ආර්ථික අර්බුදයක් තිබෙනවා. මම අහන්නේ මේ රටේ එහෙම ආර්ථික අර්බුද තියෙනව නම් ගිය අවුරුද්දේ the game චිත්‍රපටයෙන් ආරම්භ කළ සිනමා ගමන ගින්දරී සහ ආදරණීය ප්‍රාර්ථනා කියන චිත්‍රපට තුන බොක්ස් ඔෆිස් ලෙස තිරගත වුණේ කොහොමද? මිනිස්සුන්ට මොන ප්‍රශ්න තිබුණත් මිනිස්සු ඔළුව නිදහස් කරගන්න සිනමා ශාලා කරා ඇදී එනවා. හැබැයි අධ්‍යක්ෂකවරු විසින් ඔළුවේ අමාරුව හැදෙන චිත්‍රපට හැදුවට මිනිස්සු ඒවා බලන්න ලෑස්ති නැහැ. ලංකාවේ ප්‍රේක්ෂක ජනතාව ඉල්ලන්නේ හුදෙක් රසවින්දනාත්මක,සරල චින්තනාත්මක චිත්‍රපට විතරයි. අපෙන් ඇතැමෙක් අහනවා ඇමරිකාව වගේ රටවල් අනාගතය ගැන චිත්‍රපට හදද්දි අපේ ලංකාවේ අනාගතය ගැන චිත්‍රපට හදන්නේ නැත්තෙ ඇයි කියලා. ඉතින් මම ඒ අයට දීපු උත්තරේ තමයි, ඇමරිකාව වගේ රටවලට අතීතයක් නැති නිසා ඒ අය අනාගතය ගැන චිත්‍රපට හදනවා, අපිට අනාගතයක් නැති නිසා අපි අතීතයේ නතර වෙලා ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා අපි හැමදාම එකතැන පල්වෙනවා. කවදාවත් ප්‍රේක්ෂකයාට මේක අවශ්‍යයි කියලා සැලසුම් කරන්නේ නැහැ.

ඇත්තටම මේ පුරා වසර හැත්තෑ හතක් වන සිංහල සිනමාවට යම්කිසි ඛේදවාචකයක්වෙලා තියෙනවා නම්, යම්කිසි පසුබැස්මක් වෙලා තියෙනවා නම් ඒකට ප්‍රධාන වගකිවයුත්තා සිනමා අධ්‍යක්ෂකවරයා පමණමයි. ඒක එහෙම නෑ කියනවා නම් මම එනවා ඕනෑම තැනක කතා කරන්න. ඒ වගේම තවත් එක් කාරණයක් තියෙනවා, සිනමාශාලා හිමියන්ට වගකීමක් තියෙන්න ඕනෑ හොඳ සිනමාශාලා ගොඩනඟන්න. මොකද තවමත් ඇතැම් සිනමා ශාලා ප්‍රක්ෂේපණ යන්ත්‍රවල චිත්‍රපට ප්‍රදර්ශනය කරනවා. චිත්‍රපටය කොච්චර හොඳ වුණත් වැඩක් නෑ සිනමා ශාලාවක් තියෙන්න ඕනේ හොඳට. ඉතින් ඒ කාරණාව නිසාත් ප්‍රේක්ෂකයො එන්නේ නැහැ සිනමා ශාලාවලට. ඒකෙ අවසානයේත් වන්දි ගෙවන්න වෙන්නේ නිර්මාණයට සල්ලි ආයෝජනය කරන නිෂ්පාදකවරයාටයි. ඒ වගේම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි චිත්‍රපටයට ලක්ෂ දෙසීයක් යනව නම් අනිවාර්යෙන්ම චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට ලක්ෂ සීයක් තියාගන්න ඕනේ කියලා.

ඒ වගේම දැන් තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දැන් මේ විදුලි බිල වැඩිවීමත් එක්ක ප්‍රේක්ෂකයන්ට ටිකට් එක වැඩි කරන එකත් අසාධාරණයි. මොකද ටිකට් එකක් දැන් පවතින මිල ටිකක් වැඩි. කොළඹ ගත්තොත් දාස් ගණන් යන ටිකට් තියෙන්නේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ අකාර්යක්ෂමභාවය නිසා, ඒ අයගේ නීති පද්ධතියක් එක්ක හරියට වැඩක් කරන්න බැරි නිසා පිට ඉන්න අය බොරදියේ මාළු බානවා. ඒකෙ අවසන් ප්‍රතිඵලය වෙන්නේ ප්‍රේක්ෂකයා. යම්කිසි ප්‍රතිශතයක් උස්සන්න වෙනවා, ටිකට් එකේ මිල කියලා. ඒකත් හැමදාම, හැම දෙයක්ම මහජනතාවට වගේ මිනිස්සුන්ටම තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒක අමාරුයි. ප්‍රේක්ෂකයින් 600ක් වගේ දාන්න පුළුවන් සිනමා ශාලාත් තියෙනවා. ඒවැයි විදුලිබිල ගැන නම් මට හිතාගන්නවත් බැහැ ඉතින්.

අපි ඒ වෙනුවෙන් රජයෙන් සහනයක් දෙන්න කියලා ජාතික චිත්‍රපට සංස්ථාව සහ අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, සංසදයේ උප සභාපති විදියට මම සහ වත්මන් සභාපති ජයන්ත චන්ද්‍රසිරි මහතාත් සමඟ සාකච්ඡා කරලා අපි මේක කර්මාන්තයක් කරල කර්මාන්තයක් විදිහට විදුලි බිල ගේමූ කියලා ලොකු උත්සාහයක් දැරුවා. කියන්න කනගාටුයි අවුරුදු හතරක් තිස්සේ තවමත් අපේ සිනමාව කර්මාන්තයක් වුණේ නැහැ. සිනමාව කර්මාන්තයක් නෙවෙයිලු. මට තියෙන ප්‍රශ්නෙත් ඒකයි. සිනමාව කර්මාන්තයක් වෙන්න නම් ඒ කර්මාන්තයේ නිෂ්පාදනය වන භාණ්ඩය අතට අසුවෙන්න ඕනෙලු. ඒක මාර කතාවක්නේ. එතකොට චිත්‍රපටයක් අතට අහුවෙන්නෙ නෑ. ඒක නිසා මේක කර්මාන්තයක් වෙන්නේ නැහැ, කියලා කියන්නෙ. එතකොට අපි ගත්ත හැම උත්සාහයක්ම අසාර්ථක වුණා. අපේ දේවල් කිසි කෙනෙක් ඇහුවේ නැහැ. ඉතින් පුළුවන් පුළුවන් අය චිත්‍රපට හදනවා. පුළුවන් අය සිනමා ශාලා කරනවා. පුළුවන් විදිහට පුළුවන් අය බෙදාහැරීම් කරනවා. ඕක තමයි වෙන්නේ. ඉතින් මම හිතන්නේ නැහැ කවදාවත් රජයකින් අපට සහනයක් ලැබෙයි කියලා. කවදාවත් සහනයක් හම්බ වෙන්නෙත් නැහැ. මොකද කලාව පිළිබඳ හැඟීමක් නැති පාලකයොත් එක්ක තමයි අපි මේ කලාව කරන්නෙ. ඒ නිසා කලාව වෙනුවෙන් රජයෙන් නම් ජීවිතේට ආයේ කිසිම තරමක දෙයක් ලැබෙන්නේ නැහැ.

● පාරමී කෞෂිකා

ලයිට් බිල වැඩිවුණා කියලා ටිකට් එක වැඩිකරන එක අසාධාරණයි - සුරංග ද අල්විස්
advertistmentadvertistment
advertistmentadvertistment