ලෝකෙට දෙන්න මෙදා – සාමේ දානෙ බෙදා

133

දුප්පත්කම, දරිද්‍රතාවය පෙරටුකොටගත් අප රටට, පෙර සේම උදාවූ තවත් අසිරිමත් නත්තලක් තව දින කීපයකින් උදාවන්නේ කුස ගින්නෙන් පෙළෙනා දරුවනගේ සිත් සතන් තවදුරටත් පාරවමිනි.

මිනිසත් බවගෙන, මිනිසාගේ මහා පාපයෙන් මිනිසා මුදා ගැන්මට මෙලොවට වැඩියාවූ දෙව් පුතුන් එදා වැඩියේ සැබෑම අරුතකිනි. දුර්ජන පාලක පන්තියේ මහා ව්‍යසනයන්ට මූණ දෙමින් සිටි සකල ජනතාව ඉන් මුදා ගැන්මට එදා දෙව් පුතුන් මිනිසත් බව රැගෙන වැඩියේ දුක් කඳුළින් තෙත්වූ මහා බිමකටය.

උන්වහන්සේට මෙලොව එළිය දැක ගන්නට සුවිසල් මැඳුරක පහසක් නොතිබිණ. බුමුතුරුණුවලින් ගහනවූ සැප සම්පත් නොතිබිණ. අවසානයේ පිහිට වූයේ ගව මඩුවක්ය. එහි සිටි සිව්පා සතුනට තිබුණාවූ මොළයවත් රටේ පාලක පන්තියට එදා නොතිබිණ.

කෙසේ හෝ මරිමවුන් සහ ජුසේතුමා ජේසු පුතුට බිහිවීමට ඉඩ සලසා දුන්නේ ගව ඔරුවක්ය. ඒ එදා තිබූ දුප්පත් නත්තලේ අරුතය.

සකල ජනයා බඩගින්නේය. ඖෂධ නොමැති රෝගීන් මර අඳෝනා නගති. පාලකයන් සැප නින්දේය. එදා සිටි හෙරෝද්ලා, කයිපාස්ලා සිහියට නැඟේ. එකිනෙකා පාවාදෙන ජුදාස්ලා දසත විසිරී ඇත.

ජේසුනේ නත්තල අත ළඟටම පැමිණ ඇත. අලුත් ඇඳුමකට ආසා කරන දරුවන් හැඬූ කඳුළිනි. මව්පියන් ඊට වඩා අඳෝනාවකය.

පාලකයන් කති බොති. සුර සැප විඳ ගනිති. ජනයා පෙරමුණ ගෙන සිටී. ඒත් මර්දනය පසුපසින් හඹා ඒ. එදා ජුදා පාලකයන් අසරණයින් මර්දනය කළේ අසුපිටින් පැමිණ පොලු මුගුරුවලින් පහර දීමෙන්ය.

එදා ජේසු ඉපැදුන සමාජයද එසේය. වර්ෂ 2023 කට පසුවද අප රට සමාජයද එසේ නොවේද? දෙව් සමිඳුනි, ජේසු පුතුනි අප රටට දැන් වැඩම කිරීමට කාලය පැමිණ ඇත. දුගී ජනයා ඔබ වහන්සේගේ ආගමනය බලාපොරොත්තුව සිටී. වඩින්න සමිඳුනි.

නත්තල දිළින්දන්ගේය. එහෙත් අද එය වෙළෙඳ සමාජය විසින් ගිලගෙන ඇත.

එදා ජුදා සමාජයේ කපටි වෙළෙඳුන් සේ අප සමාජයේ පවින් බර වෙළෙඳුන්ද අසරණ පාරිභෝගික ජනතාව සූරා කමින් සිටී. රජයද ඊට නොදෙවනිව ඔවුනට සහාය දේ.

ඇතැම් වෙළෙඳුන් නත්තල් සීයා ලෙස මුදලට ගත් මිනිසෙකුට රත්පැහැ ඇඳුම අන්දවා ජනතාව අන්දවමින් සිටී. සාන්ත නික්ලස්තුමා අද සිටියේ නම් පණ පිටින් මේවා දකිමින් කම්පාවනු නියතය.

ලයනල් පී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment