නත්තලේ අරුත තේරුම් ගැනීම

184

සකල මිනිස් වර්ගයා පවින් මුදා ගනු පිණිස බෙත්ලෙහෙම්පුරේ දිළිඳු ගවහලකින් මෙලොව එළිය දුටු ජේසු බිළිඳුන්ගේ උපන් දිනය සැමරීමට ජාති, ආගම්, වර්ණ, දේශ, භාෂා, වයස් භේදයෙන් තොරව කව්රුත් එක්වෙති. මේ වන විට ලොව ජනගහනය වන බිලියන 8.1 ක (කෝටි 801 ක) ජනතාවගෙන් 31% ක් එනම් කෝටි 217.3 ක පිරිසක් කිතුනුවන්ය. (කතෝලික 50%,ප්‍රොතෙස්තන්ත්‍ර 37% ක් හා ඕකඩොක්ස් 12% ක් වශයෙනි. සෙසු 01% කි) ඔව්හු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන, එතුමන් විශ්වාස කරන එතුමන් ගෞරව හා වන්දනා කරන පිරිසකි. ලොව ජනගහනයෙන් 23% ක් ඉස්ලාම් බැතිමතුන්ය. එය සංඛ්‍යාත්මකව කෝටි 155.9 කි. කිසිදු ආගමක් අදහන හෝ විශ්වාස නොකරන නිරාගමිකයින් කෝටි 112.6 ක් ලොව පුරා ජීවත් වෙති. එය ප්‍රතිශතයක් ලෙස ලෝක ජනගහනයෙන් 16% කි. ලොව පුරා හින්දු බැතිමතුන්ගේ ප්‍රතිශතය 15% ක් වන අතර එය කෝටි 103.3 ක් වන අතර එම සංඛ්‍යාවෙන් 94% ක් ජීවත් වන්නේ ඉන්දියාවේය. බෞද්ධ බැතිමත්හු 07% ක් වන අතර එය කෝටි 48.75 ක් වනු ඇත. ගෝත්‍රික ආගම් අදහන්නෝ 06% ක් වෙති. සංඛ්‍යාත්මකව කෝටි 40.5 ක්ය.

ගෙවුනු පුරා වසර 2023 ක කාලයක් අඛණ්ඩව කිසියම් පුද්ගලයකුගේ උපන් දිනයක් බහුතර ජනතාවක් සැමරුවේ නම් ඒ ක්‍රිස්තු උපත සිහිකරන නත්තලයි. ‘නත්තල’ යනු කව්රුත් ආදරයෙන් සමරන උළෙලකි. ජාති, ආගම්, වර්ණ, කුල, පක්‍ෂ, බාල, තරුණ, මහළු භේදයෙන් තොරව නත්තල සමරනු වස් නිවෙස, තම සේවා ස්ථානය තුළ නත්තල් ගසක් නිර්මාණය කිරීම, ගවහලක් ඉදිකිරීම බොහෝ රටවල මෙරට බොහෝ තැන්වල දැකගත හැකිය. කුමන අභියෝගයන්, කුමන ආර්ථික ප්‍රශ්න තිබුණද කිතුනු පවුල්වල දෙමාපියෝ තම දූ දරුවන්ට, තමන්ගේ දෙමාපියන් ඇතුළු වැඩිහිටියන්ට අලුත් ඇඳුමක් සකසා දීමටත්, ගෙදර හුණු තීන්ත ටිකකින් පිරියම් කිරීමටවත් අමතක නොකරති. නත්තල් දිනයේදීවත් ගෙදර කෑම වේලක් රසවත්ව සාදා ගැනීමට සියලු කැපවීම් කරති. දෙමාපියෝ තමනට නත්තල් සුභ පැතීමට එන දූ දරුවන්ට, මුණුබුරු මිණිබිරියන්ට හැකි පමණින් තෑග්ගක් දීමට අමතක නොකරති. නත්තල වූකලී කොයි කා අතරත් සතුට ප්‍රීතිය තීව්‍ර කළ, ගෙවුනු සමයේ තමන් අතින් තම සහෝදරයාට, සහෝදරියට විරුද්ධව සිදුවූ යම් වරදක් නිසාවෙන් සිදුවූ නොහොඳ නෝක්කාඩු අමතක කර දමා ඒවාට සමාවදී නව ජීවිතයක් සඳහා මුල පුරන සමයකි.

2019 වර්ෂයේ අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයත් සමගින් විශේෂයෙන් අප රට තුළ උද්ගත වූයේ අභාග්‍ය සම්පන්න සමයකි. 2020 මාර්තුවේ ඇරඹි කොවිඩ්-19 ලෝක වසංගතයත් සමගින් ජනතාව නිවසට කොටු කරමින් ආගම් ඇදහීමට තිබූ පන්සලට, පල්ලියට යන්න තිබූ ඉඩ අහුරමින්, අධ්‍යාපන ක්‍ෂේත්‍රය කඩා වැටෙමින්, රැකියා අහිමි කරමින්, දරිද්‍රතාවන්ට ඇද දමමින් මිනිසුන් අතර තිබූ අන්‍යොන්‍ය බැඳීම් දුක-සැප බෙදාගැනීම් සියල්ලට තිත තබමින් අලුත් සංස්කෘතියක් නිර්මාණය විය. 2020, 2021 වර්ෂවල සැක සංකා සහිතව නත්තල සමරන්නට යෑමට සිදුවිය. 2022 මැයි වන විට රටපුරා දේශපාලන අර්බුදයක් ඩීසල්, පැට්‍රල්, ගෑස් අර්බුදයක් සමගින් ඇතිවූ අරගලයන් නිසාවෙන් රටේ නායකයන්ට සිය තනතුරු හැරදමා යන්නට සිදුවිය. මුළු ආර්ථිකයම මහත් කඩා වැටීමකට ලක්විය. ක්‍රම ක්‍රමයෙන් අභියෝගාත්මක කාලපරිච්ඡේදයකට මේ වන විට ජනතාව මුහුණදී සිටිති. ‘නත්තල’ වනාහි අධ්‍යාත්මයට, ඇතුළාන්තයට මුල් තැනක් දිය යුතු බාහිර අරුමෝසමෙන් තොර උළෙලක් වුවද, කවුරුත් හැකි අයුරින් බාහිර ප්‍රීතියකින් යුක්තව සැමරීමට මහත් අපේක්‍ෂාවෙන් සිටියද අද වන විට දෙමව්පියෝ තම දූ දරුවන් වෙනුවෙන් එලෙසම තම වැඩිහිටියන් වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න නොහැකි තත්ත්වයකට මුහුණදී සිටිති.

‘නත්තල’ බෙදාගැනීමේ සහෝදරත්වය පතල කිරීමේ උත්සවයකි. ඔබට වැඩිපුර කෑම තිබේද එයින් කොටසක් කුසගින්නේ සිටින්නන්ට දෙන්න ඔබට ඇඳුම් දෙකක් තිබේද? එයින් එකක් නැති අයකුට දෙන්න ක්‍රිස්තුන් වහන්සේ අපට කියා දුන්හ. හුදෙක් තමන් ගැනම පමණක් සිතන ආත්මාර්ථකාමයට මුල්තැන දුන් මිනිසුන් සිටින එවන් සමාජයක් යළි ඇවැසි යුගයකි.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

නත්තලේ අරුත තේරුම් ගැනීම
advertistmentadvertistment
advertistmentadvertistment