හරක් කටා කුඩු සලිඳු පනින තැතෙන් පසු CID ආරක්ෂාවට STF කැඳවයි

696

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන හරක් කටා සහ කුඩු සලිඳු මුදා ගැනීම සඳහා යුද හමුද කොමාන්ඩෝ බළකායේ හිටපු සාමාජිකයන් පිරිසක් විසින් කළ සැලසුම අනාවරණය වීමෙන් පසු එම දෙපාර්තමේන්තු අභ්‍යන්තරයට පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්‍ෂාවක් ලබාදී ඇත.

මෙම ප්‍රහාරය සඳහා යුද හමුදා කොමාන්ඩෝ බලකායේ දැනට රාජකාරි කරන සෙබළුන් සිව් දෙනෙකුද සම්බන්ධ වීමට සිටින බවට ලැබී ඇති තොරතුරු මත එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා සැලසුම් කළ හිටපු කොමාන්ඩෝ සෙබළුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී දැනට සක්‍රීය සේවයේ සිටින සෙබළුන් සිව් දෙනා පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පොලිස් ආරංචි මාර්ග පැවසීය. මෙම සෙබළුන් පිළිබඳව යුද හමුදා ප්‍රධානීන් දැනුවත් කර ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

යුද හමුදා කොමාන්ඩෝ බලකායේ සෙබළුන් ලෙස නිල ඇඳුම් ඇඳගෙන හෝ පොලිස් නිලධාරීන් ලෙස නිල ඇඳුම් ඇඳගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට කඩා වැදී එහි ආරක්‍ෂකයන්ට ගෑස් ප්‍රහාර එල්ල කර වෙඩි තබා සිර මැදිරිවල රඳවා සිටින කුඩු සලිඳු සහ හරක් කටා රැගෙන යෑමට හිටපු කොමාන්ඩෝ සෙබළුන් දෙදෙනකු සැලසුම් කර තිබිණි. බුද්ධි අංශවලට ලැබුණු තොරතුරු මත එම හිටපු කොමාන්ඩෝ සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර මේ වන විට ඔවුන් දින 90 ක් රැඳවුම් නියෝග යටතේ තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.

මෙම ප්‍රහාරය හෙළි වීමෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත දැඩි ආරක්‍ෂාවක් ලබාදීමට කටයුතු කර ඇත.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ බලඇණි දෙකක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂාවට යොදවා තිබේ.

ඊට අමතරව විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අවට ආරක්‍ෂාවට යොදා තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගවල මාර්ග බාධක යොදා සැකකටයුතු පුද්ගලයන් පරීක්‍ෂා කිරීම මෙන්ම බුද්ධි තොරතුරු ලබා ගැනීමට බුද්ධි අංශයේ සිවිල් නිලධාරීන්ද යොදා ඇත.

මීට ඉහතදීද හරක් කටා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂකයන්ට වෙඩි තබා පලා යෑමට කළ උත්සාහයක් ව්‍යර්ථ වී තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment