ඉන්දියාව කලබලයට පත්කළ ෂි යැන් 6 බටහිර මුහුද මැන බලයි

420

චීන ලංකා සබඳතා දෙස දිල්ලි ආණ්ඩුව බලා සිටියේ කනස්සල්ලෙන් බව රහසක් නොවේ. චීනයේ ‘සබ්මැරීන්’ දේශපාලනය ගැන වැඩි අවධානයක් යොමුවුණේ 2014 වසරේ අගභාගයේදීය. චීන සබ්මැරීන් යාත්‍රා දෙකක් 2014 ඔක්තෝබර් 31 වෙනි දින කොළඹ වරායට ළඟා වූ අතර එමගින් ඉන්දු- ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීය සබඳතා කෙරෙහි ඇති කළ හැකි බලපෑම සම්බන්ධයෙන් බරපතළ කතාබහක් ඇති විය.

මධ්‍යගත ස්ථානයක පිහිටීම මුහුදු ගමන්වල යෙදීමේදී අවශ්‍ය පහසුකම් සැපයීම යන අර්ථයෙන් ඉතාම වැදගත් සාධකයකි. එය කොතරම් මධ්‍යගත පිහිටීමක්ද යත් මෙරට පුරාණ මහා නැව්තොට වූ මහාතිත්ථයේ සිට චීනයේ බෙයිජිං නුවරට සහ මහාතිත්ථයේ සිට රෝමයට ඇති දුර සමාන විය. අතීත අනුරාධපුර රාජධානිය පැවති කාලය තුළම, පෙරදිග හා අපරදිග මුහුදු මාර්ගයේ යන එන නාවිකයන්ට ප්‍රධාන පහසුකම් සපයන්නා වූයේ ලංකාවයි. ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙඳාම කෙරෙහි ද මේ කරුණ ප්‍රයෝජනවත් විය. ඇත්තෙන්ම මෙරට වැසියන් චීනපට සිල්ක් දැන සිටියා මෙන්ම මෙරට රාජරාජ මහාමත්‍යාදීන් ඇතුළු සහ අන්ත:පුර ප්‍රභූ ස්ත්‍රීන් එම වටිනා පටපිළි ඇඟලන්නට ඇති බව සත්‍යකි. එසේම තවත් පැත්තකින් සීගිරි සිතුවම් සිතුවම්ගත කිරීමේ දී භාවිත කරන ලද තාක්ෂණික ක්‍රම විධි සඳහා සිල්ක් භාවිතයට දේශීය ශිල්පියා තුළ තිබූ පරිචය මැනවින් කැපී පෙනේ. ඓයිතිහාසික අභයගිරි විහාරය සම්බන්ධයෙන් හැදෑරීමට ඇති වැදගත්ම මූලාශ්‍රයක් වන්නේ ෆාහියන් වාර්තාවයි. ක්‍රි. ව. 410-412 අතර කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණ අනුරාධපුර අභයගිරි විහාරයේ වසර දෙකක් වැඩ සිටි චීන ජාතික ෆාහියන් හිමියන් පෙරළා චීනයට යෑමෙන් පසුව උන්වහන්සේ විසින් රචිත දේශාටන වාර්තාව තුළින් අභයගිරි විහාරයේ සමෘද්ධිය, අධ්‍යාපන තත්ත්වය, ආගමික කටයුතු වැනි වැදගත් තොරතුරු රැසක් හෙළිකර ඇත. එමඟින් මෙම විහාරය ක්‍රි. ව. 05 වන සියවසේ ලබා තිබූ දියුණුව මනාව පෙන්නුම් කෙරේ. මේ වසර 1600කට පෙර කතාවකි.

කෙසේනමුත් අද මේ ඉතිහාසය සිහි කරන්නේ පසුගිය 25 වැනිදා ලංකාවට පැමිණි ෂි යැන් 6 නමැති චීන පර්යේෂණ නෞකාව ගැන නැවතත් ආන්දෝලනයක් ඇතිව තිබෙන නිසාය. මේ ගැන වඩා කලබලයට පත්ව සිටින්නේ අසල්වැසි භාරත මාතාවයි. දිල්ලි ආණ්ඩුව මෙහෙයවන බ්‍රාහ්මණයන් කලබල වී ඇති නිසා ඇමෙරිකාවද චීන නැවේ ලංකා ගමන ගැන විරෝධය පළ කර තිබිණි. ලංකාවට පැමිණෙන ඕනෑම චීන යාත්‍රාවක් ඉන්දියාව දකින්නේ ඔත්තු සොයන නැවක් ලෙස වීම බරපතළ ප්‍රශ්නයකි. ධීවර යාත්‍රාවක චීන කොඩියක් දැක්කද ඉන්දියාව කලබල වෙයි. පසුගිය වසරේ අගෝස්තුවේ ලංකාවට පැමිණි “යුවාන් වැන්ග්” නැව පිළිබඳවද ඉන්දියාව බලවත් ලෙස කලබලයට පත්වූ බව අපට මතකය. නමුත් ඉන්දියාවට අවශ්‍ය ලෙස අපේ වරායන් මෙහෙයවීමට ඉඩ දිය යුතු නැත. 21 වන සියවසේ විශාලම භූ දේශපාලන බල එදිරිවාදිකම්වලින් එකක් වන චීනය සහ ඉන්දියාව අතර බල අරගලය හේතූවෙන් ශ්‍රී ලංකාවේ අනාගතය සහ නැවත යථා තත්ත්වයට පත්වීම අවහිරව තිබෙන බව නම් රහසක් නොවේ. දෙපාර්ශ්වයම වඩා හොඳින් කළමනාකරණය කිරීමට කොළඹ ආණ්ඩුව වඩා විචක්ෂණශීලී විය යුතුය. 2022 අගෝස්තු මාසයේ හම්බන්තොට වරායට පැමිණි යුවාන් වැන්ග් නැව පිළිගැනීම සඳහා රාජතාන්ත්‍රික උත්සවයක් පැවැත්විණි. එහිදී හිටපු අමාත්‍ය සරත් වීරසේකර මෙලෙස අදහස් පළකර තිබිණි. “බටහිර ජාතීන්ට ශ්‍රී ලංකාව, චීනය හා ඉන්දියාව අතර ඇති බැඳීම වටහා ගත නොහැකියි. අප ජාතීන් ත්‍රිත්වය බුද්ධ ධර්මය, වෙළෙඳාම හා ආධාර, උපායශීලී සම්බන්ධතා හා ජාත්‍යන්තර සබඳතා මත වර්ධනය වී ඇත. ආසියාව ශක්තිමත් කිරීමට ආසියානුවන් එකමුතු වී වැඩ කළ යුතුයි. චීනය ශ්‍රී ලංකාවට අත්හළ නොහැකි සහ විශ්වාස කළ හැකි මිතුරෙකි.” (උපුටනය අවසන්) මෙය වඩා වැදගත් අදහසක් බව සටහන් කළ යුතුය.

චීන ලංකා සබඳතා දෙස දිල්ලි ආණ්ඩුව බලා සිටියේ කනස්සල්ලෙන් බව රහසක් නොවේ. චීනයේ ‘සබ්මැරීන්’ දේශපාලනය ගැන වැඩි අවධානයක් යොමුවුණේ 2014 වසරේ අගභාගයේදීය. චීන සබ්මැරීන් යාත්‍රා දෙකක් 2014 ඔක්තෝබර් 31 වෙනි දින කොළඹ වරායට ළඟා වූ අතර එමගින් ඉන්දු- ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීය සබඳතා කෙරෙහි ඇති කළ හැකි බලපෑම සම්බන්ධයෙන් බරපතළ කතාබහක් ඇති විය. මේ යාත්‍රා කොළඹට පැමිණීම ගැන ඉන්දීය ආණ්ඩුව කොහෙත්ම කැමති වූයේ නැත. එය දිල්ලි ආණ්ඩුවේ බ්‍රාහ්මණවංශිකයන්ගේ ඇස් රතුකරන්නක් විය.

චැන්ග්චෙන් – දෙක (Changchen-2) නම් චීන සබ්මැරීනය චැන් ග්ෂින්ග්ඩාඕ (Changxingdao) නම් තවත් සබ්මැරීනයක් ද සමඟ එම වසරේ ඔක්තෝබර් 31 වෙනිදා කොළඹ වරායට සේන්දු වූ අතර නොවැම්බර් පස් වෙනි දින කොළඹින් පිටත්ව ගොස් තිබිණි. ඉන්ධන ලබා ගැනීම සහ කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා ගැනීම සංචාරයේ අරමුණ හැටියට ප්‍රකාශයට පත් කෙරුණු අතර ශ්‍රී ලංකා නාවික හමුදාව කියා සිටියේ ලංකාවට පැමිණීම සඳහා ඉන්දියාවේ අනුමැතිය අනවශ්‍ය බවයි. චීන සබ්මැරීන් ශ්‍රී ලංකාවට ළඟා වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය ගැන විමසීමක් කළ විට ආරක්ෂක තොරතුරු පිළිබඳ ජේන් වීක්ලි බි්‍රතාන්‍ය සඟරාවේ වාර්තාකරු රාහුල් බේඩි බීබීසියට පවසා තිබුණේ මේ පිළිබඳව ඉන්දියානු බලධාරීන් ඒ ගැන කනස්සල්ල පළ කරන බවයි. ඇත්තෙන්ම 2015 ජනවාරි වෙනසට මේ ‘සබ්මැරීන්’ ගමනද බෙහෙවින් බලපෑවේය. දේදුනු සන්ධානය සඳහා ඉන්දියාවේ නොමසුරු ආධාරය ලැබුණේ චීන බලයට එරෙහිවය. 2015දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයට එක් හේතුවක් ලෙස ඇතැම් විශ්ලේෂකයන් දැක්වූයේ චීන වරාය නගර ව්‍යාපෘතියයි.

2020 වසරේදී මෙරටට යුද නෞකා 43ක් පැමිණ ඇති අතර ඉන් නෞකා 15ක් ඉන්දියාවෙන් ද, තවත් නෞකා 09 ක් ජපානයට අයත් බව ද නාවික හමුදාව විසින් නිකුත්කළ දත්ත වල සඳහන් වේ. එමෙන්ම 2021 වසරේදී මෙරටට පැමිණි යුද නෞකා සංඛ්‍යාව 36ක් වන අතර ඉන් නෞකා 12ක් අයත් වන්නේ ඉන්දියාවටය. මේ අතර එම වර්ෂයේදී රුසියාවට අයත් ඊ-274 සහ ඊ-603 යන විශාල ප්‍රමාණයේ සබ්මැරීන් දෙකක් කොළඹ වරයාට පැමිණ ඇත.2022 වසරේදී යුද නෞකා 31ක් මෙරටට පැමිණ ඇති අතර ඉන් නෞකා 14ක් අයත් වන්නේ ඉන්දියාවටය. 2023 වසරේ අගෝස්තු දක්වා යුද නෞකා 16ක් පැමිණ ඇති අතර ඉන් නෞකා 04ක් ඉන්දියාවට අයත් වන අතර නෞකා තුනක් ඇමෙරිකාවට අයත් වේ. කවරක් නමුත් ඉන්දියාව කලබල වන්නේ චීන යාත්‍රා ගැන පමණි. එය කුහකකමද? කොළඹ වරායේ නවතා ඇති චීන පර්යේෂණ යාත්‍රාව සමග එක්ව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ එනම් නාරා ආයතනයේ විද්‍යාඥයන් කණ්ඩායමක් ඒකාබද්ධ දෙදින සමීක්ෂණයක් අද දින ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. මේ සඳහා රුහුණ විශ්වවිද්‍යාලයට අනුබද්ධ නියෝජිත කණ්ඩායමක්ද ඊට සම්බන්ධ වීමට නියමිත බව දැනගන්නට ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් කණ්ඩායම දින කිහිපයක් ‘බටහිර මුහුද’ මැන බැලීම සඳහා කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී පසුගිය පෙබරවාරි 07 වැනිදාට 66 වසරක් සම්පූර්ණ වූ අතර චීන ශ්‍රී ලංකා රබර් – සහල් ගිවිසුමට අත්සන් තබා වසර 71ක් සපිරේ. චීනයත් ශ්‍රී ලංකාවත් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වන්නේ 1957 පෙබරවාරි මාසයේදීය. චීන අගමැති චව් එන් ලයි මහතා සහ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එදින ප්‍රකාශයට පත් කළේ, දෙරටේ සිතුම් පැතුම් පිළිගෙන ඒවාට ගරු කරමින් සහයෝගිතාව වර්ධනය කරගත යුතු බවයි.

ශ්‍රී ලංකාවේ 7 වැනි නිදහස් දින සමරුවට සහභාගි වීමට ලංකාවට පැමිණි චීන අගමැති චව් එන් ලායි මහතා සම්බන්ධ සිදුවීමක් දෙරටේ ජනතා හදවත් තුළ මුල් බැස ගෙන තිබේ. නිදහස් දිනය වෙනුවෙන් චීන අගමැතිවරයා ලංකාවේ ජනතාව ආමන්ත්‍රණය කරමින් සිටින විට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට පටන් ගෙන තිබේ. ඒ අසල සිටි ආරක්ෂකයකු චීන අගමැතිවරයාට කුඩයක් ඇල්ලීමට සැරසුන අවස්ථාවේ අගමැතිවරයා ප්‍රකාශ කළේ, මහ ජනතාව වැස්සෙන් තෙමෙන විට මට කුඩයක් අවශ්‍ය නැත. මම ද මහජනතාව මෙන්ම වැස්සෙන් තෙමෙමි, යන්නයි.

චීනයේ බෞද්ධ විහාර තිස්තුන්දාහක් ඇති අතර එරට වෙසෙන මිලියන ගණනක් වූ බෞද්ධ ජනතාව පසුගිය සමයේ මෙරට ජනතාව ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින නිසා අවශ්‍ය ආධාර ලබා දී තිබිණි. පසුගිය ජනවාරියේ දී චීන බෞද්ධයන් විසින් මෙරටට පරිත්‍යාග කළ ඩොලර් මිලියනයක් එනම් රුපියල් කෝටි 40ක් වටිනා වියළි ආහාර පාර්සල් පනස්දහසක් බෙදා දීම සිදුකළ බව අපට මතකය. ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත් සංගමය විසින් මේ වැඩසටහන සංවිධාන කර තිබිණි. මෙවන් තත්ත්වයක් යටතේ චීනය හා ලංකාව අතර පවතින යහපත් සබඳතාව අසල්වැසි මහා රාජ්‍යයට අවශ්‍ය ලෙස පාලනය කළ නොහැකිය, අපට ඉන්දියාව තරහ කර ගැනීම කළ නොහැකි අතර ඉන්දියාවට අවශ්‍ය ලෙස චීනය සමග තරහ වීමටත් නොහැකිය. වඩා හොඳින් රාජතාන්ත්‍රික සබඳතා සමබරව පවත්වාගෙන යා යුතුය. චීන සමාගම් වර්ජනය කිරීමට ඉන්දියාවට හැකි වුවද අපට එසේ කළ නොහැකිය. එය අවශ්‍ය නොවේ. ඉන්දියාව ටික්ටොක් තහනම් කළේද චීනයට පහර ගැසීමටය. අපට අවශ්‍ය චීනය සමග එකට සිටගෙන රට වෙනුවෙන් තවත් සහාය ලබා ගැනීමටය.


● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment