පාර්ලිමේන්තුව හෑල්ලු කරන්නේ විපක්ෂය…රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

204

ඒ අය ආණ්ඩු කරන කාලයේ විපක්ෂය මර්දනය කළා

විපක්ෂය චෝදනා නිර්මාණය කරනවා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධයෙන් අභූත චෝදනා නඟනවා

අය – වැය විවාදය අතරතුර දී ඇති වූ සිදුවීමක් පදනම් කර ගනිමින් පසුගිය සතියේදී සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කළේය. ඒ සම්බන්ධයෙන් විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් එක් කතාවක් කියන අතර ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කියන්නේ තවත් කතාවකි.

සැබවින්ම පාර්ලිමේන්තුව තුළ දී සිදුවූයේ කුමක්ද යන්න විමසා බැලීම සඳහා අප ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගෙන් මෙන්ම විපක්‍ෂය නියෝජනය කරන මනුෂ නානායක්කාර මහතාගෙන් එම සිදුවීම පිළිබඳව විමසා සිටියෙමු. පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට හේතු වූ කරුණු කාරණා පිළිබඳව ඔවුන් පළ කළ අදහස් මෙසේය.

ප‍්‍රශ්නය – විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් ප‍්‍රකාශ කරනවා ඔවුන්ට ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් පහර දීමට සූදානම් වූ බවට. ඒ චෝදනාව පිළිබඳව මොකක්ද කියන්න තිබෙන්නේ.

පිළිතුර – ඇත්තටම පාර්ලිමේන්තුවේ ඔය වැනි කලබගෑණියක් ඇති වූයේ ඔය කියන සිද්ධිය ඇති වීමට කලින්. ඔය සිදුවීම ඇතිවීමට දින 3 ක 4 කට පෙර තිස්ස කුට්ටිආරච්චි මන්ත‍්‍රීවරයාට පහරදීම සඳහා විපෂයේ චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයා සහ හේෂා විතාන මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ පැත්තට ආවා. එම අවස්ථාවේ දී ආරවුලක් ඇති වන ස්වභාවයක් ඇති වුවත් දෙපාර්ශ්වයටම කතා කරලා දෙපැත්තට වුණා. ඊට පසුව අභූත චෝදනා කරන එක ගැන නිතර නිතර කතා කරලා. මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා තම කතාවෙන් දවස් දෙකකට පසු වෙලාව මදියි කියලා දිගින් දිගටම ඉල්ලා සිටියා. අය වැය විවාදය විපක්‍ෂයේ විවාදයක් නේ. විවාදයකදී ආණ්ඩු පක්‍ෂයේ හෝ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයාගෙන් වෙලාව ඉල්ලා ගන්නේ නැතිනම් කථානායකතුමා නියමිත වෙලාවට පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කරනවා. එලෙස පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කිරීමට සුළු මොහොකක් තිබිය දී මනුෂ නානායක්කාර මන්ත‍්‍රීතුමා කථානායකතුමා ළඟට දුවගෙන ආවා. එලෙස දුවගෙන ඇවිත් කථානායකවරයකුට කතා නොකළ යුතු ආකාරයේ භාෂාවෙන් කතා කළා. සභාව පවතිද්දී තමයි ඒ ආකාරයට කතා කළේ.

පාර්ලිමේන්තුව හෑල්ලු කරන්නේ විපක්ෂය…රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

එම අවස්ථාවේදී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා එතනට ගියා. ඒ සමඟම නැවතත් ආරවුලක් ඇති වූවා. තුන් වන සිදුවීම ඇති වූයේ කංචන විජේසේකර ඇමැතිවරයාට බොරු ලිපි ලේඛණ සභාගත කරමින් චෝදනා එල්ල කිරීම නිසා එම අවස්ථාව වන විට දිවා ආහාරය සඳහා 12.30 ට පාර්ලිමේන්තුවේ කටයුතු නතර කළ යුතුව තිබුණා. 12.30 න් පසුව දිවා ආහාරය ගැනීම සඳහා ගමන් කරමින් සිටිය දී තමයි මෙම සිද්ධිය ඇති වූයේ. මනුෂ නානායක්කාර මන්ත‍්‍රීතුමා කෑම කන්න යන්න ආවේ නැහැ. නමුත් අනෙක් මන්ත‍්‍රීවරුන්ට කිව්වා මේ ආකාරයට කටයුතු දිගින් දිගටම සිද්ධ වුවහොත් එම කටයුතු පාර්ලිමේන්තුවේදී විසඳා ගන්නේ නැතිනම් එළියේදී හරි විසඳා ගැනීමට සිදුවන බව ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරු සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම දිගින් දිගටම බොරු කිව්වොත් නීත්‍යානුකූලව හරි කටයුතු කිරීමට සිදුවන බවත් දැනුම් දුන්නා. ඔය දේ තමයි එදා සිද්ධ වූයේ.

ප‍්‍රශ්නය – මනුෂ නානායක්කාර මන්ත‍්‍රීතුමා අපත් සමඟ ප‍්‍රකාශ කළා එතුමා කථානායකතුමා සමඟ වෙලාව වෙන් නොකිරීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටියදී කථානායකතුමාගේ අසුන පිටුපසින් පැමිණි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් තමන්ගේ පෞද්ගලික කාරණා පිළිබඳව සඳහන් කළේ ඇයිද යනුවෙන් විමසීම නිසා මෙම ගැටලූව පැන නැඟුන බව.

පිළිතුර – ජෝන්ස්ටන් ඇමැතිවරයාගේ පෞද්ගලික කාරණා පිළිබඳව කතා කිරීමක් එහි දී සිද්ධ වූයේ නැහැ. පාර්ලිමේන්තුවේ අප විපක්‍ෂයේ සිටිය දී පවා පාර්ලිමේන්තුවේ කටයුතු තමන්ට අවාසිදායක ලෙස සිදුවෙද්දී සෙංකෝලය පවා පැහැර ගෙන ගිය අවස්ථා තිබුණා. එබඳු අවස්ථාවල දී කථානායකතුමාට හෝ මූලාසනයේ සිටින මන්ත‍්‍රීවරයාට කතා කරලා පාර්ලිමේන්තුවේ කටයුතු නවතා ගැනීමට තමයි උත්සාහ කරන්නේ. මනුෂ ඒ වෙලාවේ උත්සාහ කළේ ඒ වැඬේ කරන්න. විපක්‍ෂයේ සිටින මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් එම කටයුත්ත කරනවා. මම හොඳාකාරවම දන්නවා රංජන් රාමනායක පිහි දෙකක් අරගෙන කථානායකතුමා ළඟට ආවා. විපක්‍ෂයේ සිටිය අපට පහර දෙන්න තමයි එම පිහි අරගෙන ආවේ. එය කැමරාවල සටහන් වී තිබුණා. එම නිසා එම දර්ශන ප‍්‍රසිද්ධියට පත් වූවා, පුවත්පත්වල පළවූවා.

එම හේතු සාධකයන් නිසා මනුෂ මන්ත‍්‍රීතුමා, ජොන්ස්ටන් ඇමැතිවරයා සම්බන්ධයෙන් කරන චෝදනාව අප ප‍්‍රතික්‍ෂේප කරනවා. කොහොමත් මනුෂ ඇතුලේ දී එක ප‍්‍රවෘත්තියක් හදනවා එළියේ දී තව එකක් නේ. පාර්ලිමේන්තුව ඇතුලේ දී කියන දේවල්වලින් 2% ක් වත් එයා එළියේ දී කියන්නේ නැහැ. ඒ වගේම එම මන්ත‍්‍රීවරයා එක මතයක හිටපු කෙනෙකුත් නොවෙයි. එකම පක්‍ෂයක හිටපු කෙනෙකුත් නොවෙයි. එම මන්ත‍්‍රීතුමා හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන කතා කියනවා. ඒ වගේම පක්‍ෂ දෙක තුනක හිටියානේ.

ප‍්‍රශ්නය – මනුෂ නානායක්කාර මන්ත‍්‍රීතුමා සඳහන් කළා ඔහුගේ හිටපු බිරිඳ සහ ඇයට ලැබුණු දරුවා පිළිබඳව පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම සඳහන් කරන බවත් එදිනත් ලොහාන් රත්වත්තේ මන්ත‍්‍රීවරයා ඒ පිළිබඳව සඳහන් කළ එම අවස්ථාවේදී, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා මෙන් තැන තැන දාල යන්න ළමයින් තමන් හදා නොමැති බවත් තමන් ප‍්‍රකාශ කළ බවත් අපත් සමඟ ප‍්‍රකාශ කළා.

ඒ ආකාරයට පෞද්ගලික කරුණු සඳහන් කරමින් වාග් ප‍්‍රහාර එල්ල කිරීම නිසා නේද මෙබඳු ගැටලූ මතු වන්නේ.

පිළිතුර – ඇත්තටම පාර්ලිමේන්තුව තුළදී පෞද්ගලික කාරණා සඳහන් කරමින් කතා කරන එක පිළිබඳව එකඟ වන්නේ නැහැ. මොකද ජොන්ස්ටන් ඇමැතිවරයාගේ පෞද්ගලික ජීවිතය පාර්ලිමේන්තුව ඇතුලේ නැහැනේ. එම නිසා එම කරුණු මනුෂ වෙනුවෙන් කිව්වත්, ජොන්ස්ටන් වෙනුවෙන් කිව්වත් මම වෙනුවෙන් කිව්වත් වැරදියි. එය නොවිය යුතු දෙයක්.

එහෙත් ශුද්ධවන්තයන් ලෙස කතා කරන සමහර අයගේ සැබෑ ජීවිතය එහෙම නොවෙයි. එහෙම අය කතා කරන කොට සමහර මන්ත‍්‍රීවරු වාග් ප‍්‍රහාර එල්ල කරනවා. කෙසේ වුවත් පාර්ලිමේන්තු විවාදවලදී මන්ත‍්‍රීවරුන්ගේ පෞද්ගලික ජීවිත පිළිබඳව සඳහන් කරන එක සුදුසු නැහැ.

ප‍්‍රශ්නය – මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙන්ම විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු චෝදනා කරනවා ඔවුන් ආණ්ඩුවේ වංචා දූෂණ හෙළදරව් කිරීම වැළැක්වීම සඳහා ඔවුන්ගේ කට වැසීම සඳහා මෙබඳු ප‍්‍රහාර එල්ල කරන බව. ඒ වගේම මනුෂ මන්ත‍්‍රීතුමා සඳහන් කරනවා එය සාර්ථක නොවුන හොත් ඔහුගේ ජීවිතයට පවා අනතුරක් කිරීමට ඉඩ තිබෙන බව.

පිළිතුර – මම පැහැදිලිවම කියනවා මේ අවස්ථාව වන විට විෂයන්ට ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට හෝ ඇමැතිවරයෙකුට එරෙහිව ඉදිරිපත් කිරීමට කිසිදු චෝදනාවක් නොමැති බව චෝදනා තිබෙනවා නම් ඒවා විපක්‍ෂයට කිය කියා ඉන්න ඉඩ නොතබා අප විසින්ම විසදනවා.

එසේ වූවත් විපක්‍ෂය විවිධ චෝදනා නිර්මාණය කිරීමට හදනවා. විපෂයට පසු ගියදා මට චෝදනාවක් කළා. මම මේ වන විට ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් සිටිනවා. හේෂා විතාන මන්ත‍්‍රීවරයා මගේ නම සඳහන් නොකරමින් තමයි එම චෝදනාව කළේ. එසේ වූවත් අමාත්‍යාංශ මට්ටමින් සිදු වූ අපහාසය පිළිබඳව සලකා නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා.

අය – වැය විවාදයක් කියන්නේ විපක්‍ෂයේ විවාදයක්. එම විවාදය මේ ආකාරයට මගහරිනවා කියන්නේ විපක්‍ෂයට උත්තර නැහැ කියන එකනේ. එතකොට මේ සිදුවීම් පිට සිට බලන අය දැන ගන්න ඔනී අපි විපක්‍ෂයේ කටවහන්න හදනවා ද එසේත් නොමැති නම් විපක්‍ෂයට උත්තර නැති නිසා පාර්ලිමේන්තුවට මගහරිනවා ද කියන එක නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවැති දවසේ තමයි විපක්‍ෂය පළමුවෙන්ම පාර්ලිමේන්තුව මග හැරියේ. සජිත් පේ‍්‍රමදාස සිටිය සමයේදී නිවාස අමාත්‍යාංශයේ කිසිදු වරදක් සිදුනොවන නම් දැන් වැරදි සිදුවෙනවා. නම් සජිත් පේ‍්‍රමදාසඑ එදා තිබුණනේ සිංහාසනාරූඩ වෙලා වගේ කතා කරන්න. විපක්‍ෂයට උත්තර දෙන්න. නමුත් රෙදි ගැලවෙන නිසා සජිත් පේ‍්‍රමදාස එදා පාර්ලිමේන්තු ආවේ නැහැ. මම ඊට දින කිහිපයකට පෙර පුළුවන් නම් උත්තර දෙන්න කියලා. සජිත් පේ‍්‍රමදාසට ප‍්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළා. එම ප‍්‍රශ්නවලට උත්තර නැති නිසා විපක්‍ෂය දවස් දෙකක් පාර්ලිමේන්තුව මගහැරලා තුන් වන දවසේ ආවා. ඒකයි අපි අහන්නේ පාර්ලිමේන්තුවේ පුස්තකාලයට ඇවිත් තොරතුරු ගන්න පුළුවන් නම් ආපන ශාලාවට ඇවිත් කෑම කන්න පු්ළුවන් නම් ඇයි එම දිනවල දී සභාවට ආවේ නැත්තේ කියන කියන එක ඔය සිදුවීම ඩයනා මන්ත‍්‍රීතුමියගේ පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් සජිත් පේ‍්‍රමදාස විපක්‍ෂනායකතුමා ආරක්‍ෂා කර ගැනීමට නිර්මාණය කළ එකක්.

ප‍්‍රශ්නය – විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් ඔවුන්ව ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් පහරදීමට සූදානම් වූ බව විස්තරයක් සංවිධානවලට පවා පැමිණිලි කර තිබෙනවා.

එසේ කටයුතු කිරීම ආණ්ඩුවේ කටයුතුවලට ඉදිරියේ දී කෙසේ බලපාවි ද?

පිළිතුර – ඒ අය ආණ්ඩුකරන කාලයේදීත් විපක්‍ෂය මර්දනය කිරීම සඳහා ජාත්‍යන්තරයට ගියා. මොකද ඒ වෙලාවේ දීත් ජනතාවට …. කියන්න ගියා නම් ජනතාව ගහලා පනිනවා. ඔවුන් මේ වෙලාවේ ජාත්‍යන්තරයට යන්නෙත් ආණ්ඩුව අපකීර්තියට සහ අපහසුතාවයට පත් කිරීම සඳහා එසේ වූවත් ඔවුන් දන්නේ නැහැ. මෙම කටයුතු නිසා සිද්ධ වන්නේ රට අපකීර්තියට පත්වීම සිදුවන බව අද අපි ආණ්ඩු කරනවා. හෙට ඒ අය ආණඩු කරන්න පුළුවන්. එතකොට ඔය විපක්‍ෂය කරන කටයුතු නිසා රට අපකීර්තියට පත් වූ විට එම තත්ත්වය කවුරු ආණ්ඩු කළත් බලපානවා. රටේ අනාගතයට බලපානවා. නමුත් ඒ අය සිතන්නේ රටේ අනාගතය නොවෙයි ඒ අයගේ පැවැත්ම.

මේ ඒ අය ජාත්‍යන්තරයට ගිය පළමු අවස්ථා නොවෙයි. එල්. ටී ටී ඊ සංවිධානය පැවැති සමයේදී පවා ඒ අය උත්තර බැන්දේ ජාත්‍යන්තරයට තමයි. ඔවුන් ජනතාවට උත්තර බැන්දේ නැහැ.

ප‍්‍රශ්නය – පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අති විශාල මුදලක් වැය වන බව නිරන්තරයෙන්ම වාර්තා වෙනවා. එම පසුබිම තුළ ජනතා ඡන්දයෙන් එක්වන සමහර ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේද මන්ත‍්‍රීවරුන්ගේ ක‍්‍රියා කලාපය නිසා ජනතාව තුළ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කලකිරීමක් ඇතිවීමට ඉඩ තිබෙනවා නේද?

පිළිතුර – පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීම පාර්ලිමේන්තුවට ඇතුලත් වන මන්ත‍්‍රීවරුන් 225 දෙනාගේම වගකීමක් ඒ පිළිබඳ වගකීම ආණ්ඩු පක්‍ෂයට වගේම විපක්‍ෂයටත් තිබෙනවා.

කාංචන විජේසේකර මන්ත‍්‍රීවරයාගේ පියා පිළිබඳව සඳහන් කරමින් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූවා. ඕනෑම පුද්ගලයෙකුට අනවශ්‍ය දේවල් සඳහන් කළොත් එම පුද්ගලයන් ඊට සමාන ආකාරයකින් පිළිතුරු දීමට පෙළබෙනවා. ජනතාව තමන්ට විශ්වාස අය තමයි පත් කරලා එවලා තිබෙන්නේ. එම විශ්වාසය ආරක්‍ෂා කර ගනිමින් ඔවුන් කටයුතු කරන්නේ නැත්නම් ඒක ඔවුන්ගේ ජනතාව මන්ත‍්‍රීවරයෙකුට ලබාදෙන්නේ පස් අවුරුදු බලයක් පමණයි. එය තාවකාලික එකක්. දැන් බලන්න. බෞද්ධ ආගමට මේ රටේ ප‍්‍රධාන තැන දෙන්න මිස කියපු අය අද පාර්ලිමේන්තුවේ නැහැනේ. සජිත් පේ‍්‍රමදාස මහතාට හම්බන්තොට දාලා කොළඹ එන්න වෙන්නේ නැහැනේ. එම ප‍්‍රදේශයේ ජනතාවට සාධාරණයක් කළා නම් ඒ වගේම මනුෂ නානායක්කාරට පක්‍ෂ මාරු කිරීමට සිද්ධ වෙන්නෙත් නැහැනේ. ඒ වගේම හරින් ප‍්‍රනාන්දු බදුල්ල දිස්ත‍්‍රික්කයේ ජනතාවට මේවත් කළා නම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න වෙන්නේ නැහැ. මේ රටේ ඡන්ද දායකයන් අතර බස් පාර්සලයට ඡන්දය දෙන අය සිටින්නේ ටික දෙනයි. ඡන්ද දායකයන් අතරින් බහුතරයක් ඡන්දය දෙන්නේ තමන් වෙනුවෙන් කතා කරන ජනතා මුදල් අවභාවිතා නොකරන අපේක්‍ෂකයන්ට එසේ නොවන අයට දිගටම රැඳී සිටීමට නොහැකි වෙනවා.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment