අඩු වයසෙන් මැරෙන්නේ කොවිඩ් එන්නත නිසා නෙමෙයි මිනිස්සුන්ගේ බඩජාරිකම නිසයි

644

තරුණයන්ට හාට් ඇටෑක් හැදෙන්නෙ සිගරැට්, බීඩි, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම නිසා…
කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් රෝග ඇති වේ නම් වෛද්‍යවරු එම එන්නත් ගනීද?
මෑතක ඉඳලා අධි රුධිර පීඩන තත්ත්වයන්ට පත්වන තරුණ පිරිස වැඩි වෙලා…

තරුණ මරණ සම්බන්ධයෙන් ඛේදජනක කතා නිතර ඇසේ. වයස අවුරුදු විසිගණන්වල තරුණයෝ ද හෘදයාබාධ වැළඳී මියයෑමේ පුවත් සුලබව ඇසේ. හෘදයාබාධ වැළඳී අකාලයේ මිය යෑමට කොරෝනා එන්නත්වල බලපෑමක් ඇති බවට ද සමාජයේ මතයක් පැතිරෙමින් තිබේ. කොරෝනා වසංගතය මර්දනය කිරීම අරබයා මෙරට ජනතාවට ලබාදුන් එන්නත් නිසා එවැනි තත්ත්වයක් මතු වී ඇත්නම් එය සැබැවින්ම අවදානමකි.

එහෙත් කොරෝනා වසංගතය පැතිර යෑමට පෙර සිට මෙරට වැඩිහිටියන් මෙන්ම තරුණයන් ද හෘදයාබාධ වැළඳී මියගිය බව සැබෑය. හෘදයාබාධ වැළඳී රෝහල්ගත වන සෑම රෝගීන් දසදෙනකුගෙන් එක් අයෙක් මිය යන බව ද වෛද්‍ය මතයයි. එමෙන්ම හෘදයාබාධවලට හේතුව රුධිරය කැටි ගැසීමය. මිනිසුන්ගේ රුධිරය කැටි ගැසීම සම්බන්ධයෙන් කැනඩාවේ පර්යේෂණයක් කර තිබේ. එම පර්යේෂණ වාර්තාවට අනුව කැනඩාවේ පුරවැසියකුගේ රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාව 0.13 කි. එරට මිලියනයකින් පුද්ගලයන් එක්දහස් දෙසිය අනූවක් රුධිරය කැටි ගැසීමේ රෝගී තත්ත්වයට ගොදුරු වේ. එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ රුධිරය කැටි ගැසීමේ සම්භාවිතාව 14.7 කි. උපත් පාලන පෙති භාවිත කරන පුද්ගලයන්ගේ රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාව 0.9 කි. සිගරැට්, බීඩි පානය කරන පුද්ගලයන්ගේ රුධිරය කැටි ගැසීමේ සම්භාවිතාව 0.18 කි. කොරෝනා එන්නත් ලබාගෙන ඇති පුද්ගලයන්ගේ රුධිරය කැටි ගැසීමේ සම්භාවිතාව 0.004 කි. අතිශය අවම ප්‍රතිශතයකි. එමෙන්ම කොරෝනා එන්නත් ලබාගෙන සිටින පුද්ගලයකුට එම වෛරසය ආසාදනය වුවද, නිව්මෝනියා තත්ත්වයට පත්වීම, රුධිරය කැටි ගැසීම, හදවත ඉදිමීම සහ බැක්ටීරියා ඇතිවීමෙන් රුධිර නහර අවහිරවීමේ ප්‍රවණතාව ඉතාම අවමය. එහෙයින් කොවිඩ් එන්නත් ලබාගෙන සිටින පුද්ගලයන්ට රුධිරය කැටි ගැසීම, දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩන වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවක් වැඩි බවට සමාජය තුළ පැතිරෙමින් තිබෙන කතාවේ කිසිදු සත්‍යතාවක් නැත. හුදෙක් එය දුර්මතයක් පමණි.

“මාස තුන, හතරක කාලයක සිට කොරෝනා රෝගීන් වාර්තාවීමත් විශාල වශයෙන් අඩු වී තිබෙනවා. ඒ වගේම කොරෝනා ආසාදනය වන පුද්ගලයන්ගෙන් දැඩිසත්කාර ප්‍රතිකාර ලබන තත්ත්වයට පත්වන රෝගීන් සංඛ්‍යාවෙත් පැහැදිලි අඩුවීමක් පෙන්නුම් කරනවා. කොරෝනා මරණ වාර්තා වෙන්නෙත් සතියකට හතරක්, පහක් වැනි අවම සංඛ්‍යාවක්. මේ තත්ත්වයට කොරෝනා වසංගතය පාලනය වෙලා තියෙන්නෙ රටේ ජනතාවට එන්නත් ලබාදීම නිසා. ඒ වගේම කොවිඩ් එන්නත ලබාදීමෙන් අනතුරුව රට පුරා සිදු කළ පසු විපරමේදීවත් එන්නත් ලබාදීම නිසා බෝ නොවන රෝග වැළඳීම වැඩි වී ඇති බවක් වාර්තා වුණේ නෑ. ඒ වගේම අපේ රටේ කොවිඩ් එන්නත් ලබාදීමේ දී සංකූලතා තත්ත්වයන්ට පත් වූ පුද්ගලයන් වාර්තා වුණෙත් ඉතාම අඩුවෙන්…” කොළඹ ජාතික රෝහලේ කායික විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතා කොවිඩ් එන්නත සම්බන්ධයෙන් පමණක් නොව මෙරට බෝ නොවන රෝගවල වර්ධනය සම්බන්ධයෙන් ද දීර්ඝව කරුණු පැහැදිලි කළේය.

කොරෝනා වසංගතයෙන් පසු ලෝකයේ වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රම ද අලුත් වී ඇති බව වෛද්‍ය මතයකි. එමෙන්ම දැනට ලෝකයේ පවතින විශාලතම දත්ත එකතුව ඇත්තේ කොරෝනා එන්නත් සම්බන්ධයෙනි. ඒ කොරෝනා ලෝක වසංගතයක් වූ බැවින් එම වෛරසය මර්දනය කිරීමට එන්නත් සෙවීමට ලෝකයේ බොහෝ රටවල් පර්යේෂණ කිරීමට උත්සුකවීම තුළ සොයාගත් දත්තවල එකතුවකි. එමෙන්ම ලෝකය පුරා ජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම ආරම්භ වූයේ 2021 වර්ෂයේ ජනවාරි මාසයේදීය. එන්නත් ලබාදීම ආරම්භ වී මේ වනවිට වසර දෙකක් සම්පූර්ණ වී අවසානය. මේ වන තෙක් කොවිඩ් එන්නත්වල බලපෑමකින් බෝ නොවන රෝග තත්ත්වයන් වර්ධනය වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෝ විවිධ රටවල සෞඛ්‍ය සංවිධානවල විවාදයක් හෝ නැත. ඇමෙරිකාවේ කොවිඩ් එන්නත් මිලියන හත්සියයක් ලබාදී මේ වනවිට පස්වෙනි මාත්‍රාව ද ලබාදෙමින් තිබේ. මෙරට කොවිඩ් එන්නත සම්බන්ධයෙන් පැතිර යන විවිධ මතවාද නිසා මිලියන දහහතරකට පමණ ලබාදීමට සැලසුම් කරගෙන සිටි බූස්ටර් එන්නත මේ වෙනකොට ලබාගෙන ඇත්තේ මිලියන අටක් පමණි. ප්‍රථමයෙන් ලබාදුන් ප්‍රාථමික එන්නත් දෙක ලබාගත් පුද්ගලයන්ට ලැබුණු ප්‍රතිදේහ මට්ටම ක්‍ෂයවීම සහ බූස්ටර් එන්නත ලබාගෙන ප්‍රතිදේහ වර්ධනය නොකරගැනීම තුළ නැවත රට තුළ කොවිඩ් වසංගතය හිස එසවීමේ ඉඩකඩ ඇති බව ද වෛද්‍යවරු පෙන්වා දෙති. එමෙන්ම චීනය, ඇමරිකාව වැනි රටවල අලුත් කොවිඩ් ප්‍රභේද වේගයෙන් පැතිරෙමින් තිබෙන බව ද සැබෑය. සංචාරකයන්ගේ පැමිණීමත් සමඟ එම ප්‍රභේද මෙරටට ඇතුළුවීමේ ඉඩකඩ නැතුවාම නොවේ. දැනට ද එම ප්‍රභේද පැමිණීම පාලනය වී ඇත්තේ ලෝකය පුරා රටවල මිනිසුන්ට කොවිඩ් එන්නත් ලබාදී ඇති නිසාය. පෙළගැසෙන කතාවට කායික විශේෂඥ වෛද්‍ය හිමාල් ඕෂධ මහතා ද කරුණු ඉදිරිපත් කළේය.

“අපේ රටේ සියලුම බටහිර වෛද්‍යවරු කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබාගෙන තියෙනවා. කොවිඩ් එන්නත් ලබාගැනීම හේතුවෙන් බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාවක් තියෙනවා නම් වෛද්‍යවරු එම එන්නත් ගනීද? ඒ වගේම රට පුරා කොරෝනා වෛරසය පැතිරිලා විශාල වශයෙන් අසාධ්‍ය කොරෝනා රෝගීන් වාර්තා වූ පසුබිමක කොරෝනා ආසාදනය වෙච්ච වෛද්‍යවරු මියගියේ හයදෙනයි. හෙද, හෙදියො මිය ගියේ දහයක්, දොළහක් අතර සංඛ්‍යාවක්. ආසාදන මාත්‍රාව වැඩිම පිරිස තමයි වෛද්‍යවරු, හෙද, හෙදියො. කොවිඩ් එන්නත් ලබාගෙන හිටපු නිසා තමයි වෛද්‍යවරු, හෙද හෙදියෝ පරිස්සම් වුණේ. ඒ වගේම අපේ රට තුළ පමණක් නෙමෙයි, ලෝකය පුරා කොවිඩ් වෛසරය මේ තරමට හෝ පාලනය වෙලා තියෙන්නෙ එන්නත් නිසයි. ලෝකයට කොවිඩ් එන්නත් හඳුන්වාදුන් කාලයේ සිට අපේ රටේ විවිධ කණ්ඩායම් එම එන්නත් සම්බන්ධයෙන් දුර්මත සමාජගත කිරීම නිසා විශාල ජීවිත සංඛ්‍යාවක් රටට අහිමි වුණා. අදටත් ඒ දුර්මත වැපිරීමේ අඩුවක් නෑ. බොරු කතාවලට රැවටෙන මිනිස්සු අපේ රටේ වැඩියි. ඒ වගේම ඕපදූප අහන්න අපේ මිනිස්සු හරි කැමැතියි. මිනිස්සු පිළිගන්න තරමට බොරු කතා පැතිරවීමත් වැඩි වෙනවා…”

“හාට් ඇටෑක් හැදිලා මිය යන තරුණ පිරිස වැඩිවෙලා තියෙන්නෙ සිගරැට්, බීඩි, මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වන තරුණ පිරිස වැඩිවීම නිසා. දියවැඩියාව, කොලෙස්ටරෝල්, ෆ්‍රෙෂර් තියෙන අය සිගරැට්, බීඩි, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනකොට හාට් ඇටෑක් හැදෙන ප්‍රවණතාව වැඩියි. ඒ වගේම ගෙදර කෙනෙක්, නිතර ඇසුරු කරන හිතවතෙක් සිගරැට්, බීඩි බොනවා නම් ඒ දුම ශරීරගතවන වෙනත් පුද්ගලයන්ටත් හෘදයාබාධ වැළඳීමට ඉඩ තියෙනවා. මේ මෑතක අපේ රෝහලට හෘදයාබාධයක් වැළඳී වයස අවුරුදු හතළිහක පිරිමි කෙනෙක් ගෙනවා. රෝහලට ගේනකොටත් මැරිලා වගෙයි. අපි ගොඩක් මහන්සි වෙලා රෝගියාගේ ජීවිතය බේරගත්තා. හොයලා බලනකොට ඒ පුද්ගලයා දවසකට බීඩි දහයක්, සිගරැට් තුනක් බොනවා.

කාලයක ඉඳලා ඒ පුද්ගලයා සිගරැට්, බීඩි බීමට ඇබ්බැහි වෙලා ඉඳලා තියෙනවා. දියවැඩියාව, කොලොස්ටරෝල්, ෆෙෂර් තුනම තිබිලා. ඒත් ඒ මනුස්සයා දැනගෙන ඉඳලා නෑ. ශරීර සෞඛය ගැන සැලකිලිමත් නොවීමත් මාරාන්තික තත්ත්වයට පත්වෙන්න ප්‍රධාන හේතුවක්. ඒ වගේම කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් සමාජය තුළ පැතිර යන දුර්මත නිසාම ජීවිතේට දියවැඩියාව, කොලෙස්ටරෝල්, ෆ්‍රෙෂර් පරීක්‍ෂා නොකරපු අයත් පරීක්‍ෂා කරන්න ගත්තා. ඒ පරීක්‍ෂණ තුළින් කාලයක් තිස්සේ පැවැති බෝ නොවන රෝග හඳුනාගන්න පුළුවන් වුණා. ‘කොවිඩ් එන්නත් විද්දට පස්සෙ තමයි සීනි හැදුණේ… කොලෙස්ටරෝල් හැදුණේ… ෆ්‍රෙෂර් හැදුණේ…’ කියලා ඒ මිනිස්සු කියන්න ගත්තා. වැරැදි ජීවන රටාව නිසා වැළඳුණු බෝ නොවන රෝග කොරෝනා වෛරසය, එන්නත් පිට පටවල මිනිස්සු සුදනන් වෙනවා. ඒ මේ රටේ බහුතරයකගේ හැටි. තමන්ගේ වැරැදි, අනුන් පිට පටවලා නිදහස් වෙන්න අපේ මිනිස්සු හරිම දක්‍ෂයි…”

අඩු වයසෙන් මැරෙන්නේ කොවිඩ් එන්නත නිසා නෙමෙයි මිනිස්සුන්ගේ බඩජාරිකම නිසයි

“ඒ වගේම පහුගිය කාලයට සාපේක්‍ෂව මෑතක සිට මෙරට අධිරුධිර පීඩන තත්ත්වයට පත්වන තරුණ පිරිස වැඩි වෙලා තියෙනවා. දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග වැළඳීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. එහෙම වෙලා තියෙන්නෙ කොවිඩ් එන්නත් ලබාදීම නිසා නෙමෙයි. වැරැදි ජීවන රටාව නිසා. දියවැඩියාව වැඩිවීමට ප්‍රධාන හේතුව ඒ ඒ පුද්ගලයන් ලබාගන්නා කාබෝහයිඩ්රේට් ප්‍රමාණය වැඩිවීම. ශරීරයට ව්‍යායාම නැතිකම. වෛද්‍ය උපදෙස් ලබානොගැනීම. වෛද්‍ය පරීක්‍ෂණ කරනොගැනීම නිසා තමන්ගේ ශරීරය තුළ බෝ නොවන රෝග තියෙනවා කියලා බොහෝ අය දන්නෙ නෑ. රෝගය හඳුනාගන්නකොට මොළයේ ලේ ගැලීමක් ඇති වෙලා, නහරයක් බ්ලොක් වෙලා අසාධ්‍ය තත්ත්වයට පත්වෙලා තියෙන්න පුළුවන්. කොවිඩ් එන්නත් ලබාගැනීමට පෙර සිට පැවැති බෝ නොවන රෝග, එන්නත් ලබාගැනීමෙන් පසුව උත්සන්න වෙලා අසාධ්‍ය තත්ත්වයන්ට පත් වෙන්නත් පුළුවන්. ඒක වෙන්නෙ කොවිඩ් එන්නත නිසා නෙමෙයි. කාලයක සිට ශරීරය තුළ ක්‍රමයෙන් වර්ධනය වෙච්ච රෝගී තත්ත්වයන් නිසා. ඒ නිසා වයස අවුරුදු තිහ පසුවීමත් සමඟ බෝ නොවන රෝග ගැන අවධානයෙන් ඉන්න ඕනෑ. මාස හයකට වතාවක්වත් එම රෝග සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්‍ෂණ සිදු කරගන්න ඕනෑ…” කායික විශේෂඥ වෛද්‍ය හිමාල් ඕෂධගේ කරුණු දැක්වීම ද අවසානය.

මේ වනවිට දකුණු ආසියානු කලාපය තුළින් දියවැඩියා, කොලොස්ටරෝල්, අධිරුධිර පීඩන තත්ත්වන්යට පත් වූ රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් තිබේ. බටහිර රටවලට සාපේක්‍ෂව දකුණු ආසියානු කලාපයේ මිනිසුන්ට බෝ නොවන රෝග වැළඳීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරනුයේ ජානමය බලපෑම නිසාය. මෙරට නගරබද ප්‍රදේශවල දියවැඩියා රෝගීන්ගේ වාර්තාවීම 20% ට වැඩිය. ග්‍රාමීය ප්‍රදේශවලින් වාර්තාවන දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව 15% ක් පමණය. එමෙන්ම දියවැඩියා තත්ත්වයට පත්වෙමින් සිටින පුද්ගලයන් මෙරට ජනගහනයේ 40% ට ආසන්නය. එය ඉතාම අවදානම් තත්ත්වයකි. පාලනය නොකිරීම තුළ දියවැඩියාව යනු මාරාන්තික රෝගයකි. එමෙන්ම දැනට පවතින දියුණු වෛද්‍ය විද්‍යාව තුළ බෝ නොවන රෝග පාලනය කරගැනීම පමණක් නොව, නිට්ටාවටම සුවපත් කරගැනීමට ප්‍රතිකාර තිබේ. එමෙන්ම බෝ නොවන රෝගවලින් වැළකී සිටීමට බෙහෙත් මත ම යැපීමට අවශ්‍ය නැත. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු වී සිටීම තුළ බෝ නොවන රෝගවලින් වැළකී සිටීමට හැකිය.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් යනු යහපත් කල්ක්‍රියාවකින් යුක්තව ජීවත්වීමය. අවශ්‍ය ප්‍රමාණයට ආහාර ලබාගැනීම, විශේෂයෙන්ම බත් වැඩිපුර අනුභව කිරීමෙන් වැළකී සිටීම, ශරීරයට හිතකර සහ අහිතකර කෑම හඳුනාගෙන අනුභව කිරීම, ශරීරයට අවශ්‍ය ව්‍යායාම ලබාදෙන අතරේ සිගරැට්, බීඩි, මත්පැන්, මත්ද්‍රව්‍යවලින් වැළකී සිටීමය. එමෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් තුළ වුවද ජානමය බලපෑම මත බෝ නොවන රෝග වැළඳීමට ඉඩ තිබේ. නිවැරැදි වෛද්‍ය උපදෙස්, ප්‍රතිකාර මත එම රෝග වුවද පාලනය කරගත හැකිය. පවතින තත්ත්වය තුළ වයස අවුරුදු තිහට වැඩි සෑම පුද්ගලයෙක්ම බෝ නොවන රෝග හඳුනාගෙන නිවැරැදි සෞඛ්‍ය උපදෙස් මත ජීවත්වීම අත්‍යවශ්‍යය.

එමෙන්ම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීම මෙරට ජනතාවට අරුමයක් නොවේ. මෙලොවට බිහිවන බිලිඳාට මාස දෙකෙන් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දෙන්නේය. මාස හයෙන්, අවුරුද්දෙන් තවත් එන්නත් දෙකක් ලබා දෙන්නේය. වසර දෙකෙන්, පහෙන් නැවත එන්නත් ලබා දෙන්නේය. ඒ එකදු එන්නතක්වත් තම දරුවන්ට ලබා නොදී ප්‍රතික්ෂේප කළ මවුපියන් ගැන මෙරටින් වාර්තා නොවේ. පෝලියෝ රෝගය වැළඳෙන ළමයි අදට ද ඉන්දියාවේ මියයති. මෙරට ළමයින්ට පෝලියෝ රෝගය වැළඳීම බින්දුවට අඩු වී ඇත්තේ නියම කාලයට, නිවැරැදි මාත්‍රාවට පෝලියෝ එන්නත ලබාදෙන නිසාය. රුබෙල්ලා, කම්මුල්ගාය වැනි රෝග පාලනය වී ඇත්තේ එන්නත් ලබාදීම නිසාය. ප්‍රතිශක්තිකරණ එන්නත් යනු ලෝකයේ වෛද්‍ය විද්‍යාව වෙනස් මාවතකට රැගෙන ගිය ප්‍රතිකාර ක්‍රමය ලෙස හැඳින්වීම අතිශෝක්තියක් නොවේ. එමෙන්ම ප්‍රතිශක්තීකරණ එන්නත් භාවිතය නිසා ලෝකයේ ආයු අපේක්‍ෂාව වැඩි වී ඇති බව ද විශේෂඥ වෛද්‍ය මතයකි. එවැනි පසුබිමක කොවිඩ් වෛරසය පාලනයට හඳුන්වා දුන් ප්‍රතිශක්තීකරණ එන්නත් නිසා බෝ නොවන රෝග වැළඳෙන බවට පැතිර යන කතා විහිළු සහගතය. එවැනි හාස්‍යජනක කතා පිළිගැනීම ද බුද්ධියේ දුර්වලතාවකි.

එහෙයින් එන්නත් සම්බන්ධයෙන් සමාජය තුළ පැතිර යන දුර්මතවලට නොරැවැටී කොවිඩ් එන්නත් ලබාගැනීම ඔබගේ වගකීමකි. එන්නත් ලබාගැනීම තුළ කොරෝනා වෛරසය ආසාදනයවීම, කොවිඩ් ආසදනය වීමත් සමඟ ඇතිවන සංකූලතා අඩුවීම, කොරෝනා ආසාදිතයකුගෙන් තව කෙනෙකුට බෝවීම 60% න් අවම වනු ඇත. අදටත් බූස්ටර් එන්නත ලබා නොගෙන සිටින ඕනෑම කෙනෙක්ට රජයේ රෝහලකින් සයිනොෆාම් එන්නත ලබාගත හැකි බව පෙළගැසෙන කතාවට කරුණු ඉදිරිපත් කළ විශේෂඥ වෛද්‍යවරු විශේෂයෙන් මතක් කර සිටියහ.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment