ඉඩම් පොලිස් බලතල පළාත්වලට දෙන්න රනිල් සූදානම්ලු ඒත් ඒ සඳහා ඔබට බලය නෑ…

454

ගෙවිඳුගෙන් අභියෝගයක්

2023 පළාත් පාලන මැතිවරණය සඳහා මේ රටේ බහුතරයක් දේශපාලන පක්ෂ දැන් සූදානම් වී අවසන්ය. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුතු ජාතික ජනබලවේගය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් මෙහෙයවන සමගි ජන බලවේගය මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හා සංවිධාන කටයුතුවල ඉස්මත්තටම පැමිණ ඇති බව පැහැදිලිය. එහෙත් තවමත් පැහැදිලි නැත්තේ මැතිවරණය පවත්වන්නට රජය පැත්තෙන් ඇති සූදානමයි.

මැතිවරණ කොමිසම හා මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව ද මේ ප්‍රශ්නය නිසා බරපතළ ගැටලුවකට මුහුණපා සිටියේ සමාජයෙන් මැතිවරණය පවත්වන්නයි කියා නැඟෙන පීඩනය නිසාය. දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන, ස්වාධීන ආයතන හා විවිධ බලවත් පුද්ගලයන් මැතිවරණය පවත්වන්නැයි කියා මෙම ආයතනවලට කොතරම් බලපෑම් කළත් ඔවුන්ට තිබෙන ගැටලුව වූයේ ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමට රජය අපොහොසත් වීමයි.

රජය මේ පිළිබඳව මැතිවරණ කොමිසමට පසුගියදා ලිඛිතව දන්වනු ලැබුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මුදල් ලබාදීමට ඇති අසීරුව පවසා දිවුරුම් ප්‍රකාශයක් ලබාදීම තුළිනි. ඒ අයුරින් බලන විට ඡන්දය පැවැත්වීම සඳහා රාජ්‍ය මට්ටමේ නිවේදනය ලබා දී හමාර විය. එහෙත් ප්‍රශ්නය වූයේ දේශපාලන පක්ෂ තවමත් මැතිවරණය අත්හැර නොතිබීමය. එම දේශපාලන පසුබිම තුළ තවත් සතියක් ගෙවී ගියේය.

● පක්‍ෂ නායක වුණත් ජනපති ස්වාධීනයි

ජනාධිපති රනිල් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුවද එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැතිවරණ මෙහෙයුම් කටයුතුවලට සම්බන්ධ වූයේ නැත. ඔහු නිතරම කීවේ ජනාධිපතිවරයාව සිටියදී එම කටයුතුවලට සම්බන්ධ වීම කළ නොහැකි බවය. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඇතුළු පක්ෂයේ නිලධාරීන්ට ඔහු එම කටයුතු සියල්ල භාරදී තිබිණි. මේ නිසා පසුගිය සෙනසුරාදා රුවන් විජයවර්ධන සාගල රත්නායක ඇතුළු පක්ෂයේ නිලධාරීන් මැතිවරණ මෙහෙයුම් කටයුතු බලා කියා ගත්හ. ඒ අනුව ඉකුත් සෙනසුරාදා රුවන් ඇතුළු කණ්ඩායම පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පක්ෂයේ නාමයෝජනා භාරදීමේ කටයුතුවලට සම්බන්ධ වූහ. රුවන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල නාමයෝජනා ලැයිස්තු ගණනාවක්ම භාරදීම සිදුවිය.

පසුගිය අඟහරුවාදා හවස ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයට ගියේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමකට සහභාගි වීමටය. රටේ වර්තමාන ආරක්ෂක තත්ත්වය රට පුරා ඇතිවෙමින් පවතින උද්ඝෝෂණවල සැබෑ තත්ත්වය ආදී කරුණු ගැන මෙහිදී ආරක්ෂක ප්‍රධානීන් ජනාධිපතිවරයා හමුවේ විශේෂ හෙළිදරව්වක් කළේය…

ඒ අතර එදින හවස එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුවේ රැස්වීමක්ද පැවැත්වෙමින් තිබිණි. ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම නිමවූ පසු ජනාධිපතිවරයා කළමනාකරණ කමිටුවේ රැස්වීමට ගියේය. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් රංගෙ බණ්ඩාර, සභාපති වජිර, ජාතික සංවිධායක සාගල ඇතුළු ඉහළ නිලධාරීන් සියලුම දෙනා ඊට සහභාගී වී සිටියහ.

මෙහිදී මහ ලේකම්වරයා ජනාධිපතිවරයා හමුවේ විස්තර කළේ පක්ෂයේ නාමයෝජනා ලැයිස්තු භාරදීම සම්බන්ධවයි. ඉන් පසුව පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධුර වෙනුවෙන් අලුතින් පත්වීම් ලබාදීම ගැන ද රංගේ විස්තරයක් කළේය.

“මට දැන් ඔයගොල්ලන්ගේ වැඩ ගැන පැහැදිලියි. දැන් ඉතින් වැදගත්ම දේ ඡන්දෙට ලෑස්ති වෙන එක…”

රනිල් එසේ කියද්දී රුවන් විජයවර්ධන විමතියෙන් යුතුව මෙසේ අසා සිටියේය…

“ඒ කියන්නේ සර් දැන් අපි මොන ඡන්දෙටද ලෑස්ති වෙන්න ඕනේ…” ඇඟට පතට නොදැනී රුවන් එසේ අසන විට හැමෝම හිනාවෙන්න පටන් ගත්හ…

“ඇත්තටම සර් ඡන්දය තියෙනවද.. අපි නම් හිතුවෙ සර් ඡන්දෙ කල් දමාවි කියලා…” හිනාව අතරතුරම රංගේ බණ්ඩාර ද එසේ කීවේය…

“ඇයි මම කොතැනකවත් කියලා තියෙනවද ඡන්දය කල්දානවා කියලා. ඡන්දය පවත්වන එක වත් කල් දාන එක වත් ජනාධිපතිගේ කටයුත්තක් නෙවෙයි. ඒක කරන්න තමයි මැතිවරණ කොමිසමක් හා මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවක් ඉන්නේ. පක්ෂයක් වුණාම අපි ඕනම වෙලාවක ඕනම මොහොතක පැමිණෙන ඕනෙම ඡන්දයකට මුහුණ දෙන්න සූදානමින් ඉන්න ඕන.” රනිල් උපදේශාත්මක ස්වරයෙන් එසේ කීවේය.

මෙම සාකච්ඡාවෙන් පසුව පහුගිය සතියේ දී සිරිකොත මන්දිරයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වාර ගණනාවක්ම ඇතිවිය. රුවන්, වජිර, සාගල හා රංගේබණ්ඩාර මෙම සාකච්ඡාවන් මෙහෙයවනු ලැබූහ.

● ජනබලවේග දෙකක් කරට කර සටනක

මැතිවරණ කටයුතු ගැන කතා කරන විට රට පුරාම ඉතා පුළුල් මට්ටමින් සංවිධාන ජාලය ශක්තිමත් කළ කණ්ඩායම වූයේ සමගි ජනබලවේගයේ කණ්ඩායමයි. විපක්ෂයට ඉතා පුළුල් ජනතා සහයෝගයක් තිබෙන බව ඔවුන්ගේ සෑම රැළියකදී ම ලොකු කුඩා සෑම රැස්වීමක දීම කැපී පෙනෙන කාරණාවක් විය. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායම කිසිදු විවේකයක් නොමැතිව රට පුරා පවතින රැස්වීම්වලට සහභාගි වෙමින් සංවිධාන ජාලය සකස් කරමින් නාම යෝජනා ලැයිස්තු සකස් කරමින් හා ඒවා භාර දෙමින් වෙනදාට වඩා නව ජවයකින් යුතුව වැඩ කරන බව පැහැදිලි වූහ.

ජාතික ජනබලවේගයේ ප්‍රචාරක වැඩකටයුතු ද සමගි ජනබලවේගය ට දෙවැනි වූයේ නැත. ඔවුන්ගේ ප්‍රචාරක ව්‍යාපෘති වඩාත් ප්‍රබල වූහ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය යොදාගෙන කරන ප්‍රචාරක හා මාධ්‍ය මෙහෙයුම්වලින් ඔවුන් ඉහළින්ම පසුවන බව පෙනෙන්නට තිබිණ.

සමාජ මාධ්‍ය මගින් ගෙනයන ප්‍රචාරක ව්‍යාපාරවලට අනුව නම් පළාත් පාලන ඡන්දය තාම පවත්වා නැතත් දැනටමත් එහි සියලු ජයග්‍රහණ ජාතික ජනබලවේගය සතු බව පෙනෙන්නට විය.

● හෙලිකොප්ටර් ඇතුළේ අත උඩට එසවේ

මේ සියල්ල අතරේ කැපී පෙනෙන කාරණාව වූයේ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ ගැටුමයි.

හෙලිකොප්ටර් ලකුණෙන් ඉදිරි මැතිවරණ සඳහා තරග වදින්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ දේශපාලන සංවිධාන කිහිපයක් සන්ධානගත වී වෙනම බලවේගයක් සාදා ගත්තේ පසුගිය 11 වැනිදාය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ, තිලංග සුමතිපාල, අනුර ප්‍රියදර්ශන යාපා, ශාන් විජයලාල් සිල්වා, දයාසිරි ජයසේකර, අතුරලියේ රතන හිමි, චන්න ජයසුමන, චරිත හේරත් වැනි දේශපාලනයේ ප්‍රබල චරිත ගණනාවක් එක් වී ශ්‍රී ලංකා නිදහස් සන්ධානය නමින් වෙනම බලවේගයක් පිහිටුවා ගන්නා විට ලංකාවේ දේශපාලන කරලිය එක්තරා අන්දමක දේශපාලන තැතිගැන්මකට ලක් වූ බව බොරුවක් නොවීය. මෙම සන්ධානයට නායකත්වය දෙමින් හෙලිකොප්ටරයෙන් හරි මොකක් හරි ලකුණකින් වහාම සන්ධාන ගත විය යුතු යැයි ඔබ නැඟූ කෙනා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි.

සන්ධානය පිහිටුවා ගත්තේ එකොළොස් වැනිදාය. දොළොස් වැනිදා මෛත්‍රිපාල සිරිසේනට එරෙහි පාස්කු නඩුවේ තීන්දුව එළියට ආවේය. එහි තීන්දුව තරමක් විවාදාත්මක එකක් විය. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නිලධාරීන් ක්‍රියා නොකිරීම හේතුවෙන් එම නිලධාරීන් එම වගකීම්වලට පත් කළ ජනාධිපතිවරයාට ද වන්දි ගෙවන්නට සිදු විය.

මෙම තීන්දුව පැමිණියායින් පසු හිටපු ජනාධිපතිවරයා ගේ දේශපාලන දැක්ම පුළුල් පරිවර්තනයකට ලක් විය. හෙලිකොප්ටර් සන්ධානය පටන් ගන්නට පුරෝගාමී වූ ඔහුම අවසානයේ ඒ ගැන වගේ වගක් නැතුව ක්‍රියා කරන්නට පටන් ගත්තේය.

පක්ෂය අභ්‍යන්තරයේ පැවති තීරණාත්මක රැස්වීම්වලදී හෙලිකොප්ටරය සමග කටයුතු කරනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඉදිරියේදී වෙනම කටයුතු කරනවාද කියා පුළුල් සාකච්ඡාවක් ඇති විය.

“අපි තිලංග සුමතිපාලව සන්ධානයේ ලේකම් කරලා එයාව ඉස්සරහට දාගෙන වැඩකරාට මැතිවරණ කොමසාරිස් පිළිගන්නේ වෙන නමක්. එතන සඳහන් වෙලා තියෙන්නෙ නිමල් කුමාර කියලා කෙනෙක්ගෙ නමක්. මේ තත්ත්වය ඇතුළෙ අපට නොමිනේෂන් ලබාගැනීමේදී අනාගතයේ ප්‍රශ්න වෙනවා…” ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් ගණනාවක්ම මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නට වූහ.

“මම නම් පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරග කරන්නේ අත ලකුණින්. අනිත් අය ඒ ඒ තැන්වල කැමති දෙයක් සාකච්ඡා කරලා කරන්න” හෙලිකොප්ටරෙන් ඡන්දය ඉල්ලන්නට ඕනෑ කියා මුලින්ම යෝජනා කළ මෛත්‍රී එසේ කියන විට සෙසු නායකයෝ විපිළිසර වූහ.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් දෙයක් සිදුවිය. ගාල්ලේ හබරාදුව සංවිධායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ තම කණ්ඩායම අත ලකුණෙන් තරග කරවන්නට තීරණය කළේය. ඒ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ බලයලත් නිලධාරියා වූ ශාන් විජයලාල් සිල්වා විදේශගතව සිටියේය. ශාන් ප්‍රබලව හඬක් නඟා තිබුණේ හෙලිකොප්ටර් ලකුණෙන් සන්ධානගතව ඡන්දය ඉල්ලීමටයි.

එහෙත් ඔහු විදේශගතව සිටින අතරවාරයේ පක්ෂ අභ්‍යන්තරයේ කෙරුණු සාකච්ඡාවලට අනුව වැඩබලන බලයලත් නිලධාරි තනතුර තිසර ගුණසිංහට හිමිවිය. ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් සංවිධානය කර අත ලකුණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග වදින්නට තීරණයක් ගත්හ. ඒ අනුව ඔහු කළේ අත ලකුණෙන් තරග වදින්නට ගාල්ලේ පළාත් පාලන ආයතනවලට වෙන වෙනම කණ්ඩායම් ඉදිරිපත් කිරීමය…

ශාන් විජේලාල් පැමිණ මෙය දැනගත් පසුව ලොකු ගාලගෝට්ටියක් ඇතිවිය. ඔහු පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් වන්නට තීරණය කළේය…

බොහෝදෙනෙක් සමඟ දුරකථනයෙන් කතා කළ ශාන් සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් තම නොසතුට පළ කර සිටියේය. තමන් ඉල්ලා අස්වන බව ද කියා තිබිණි.

තිසර මේ බව දුරකථනයෙන් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දුන්නේය. ඒ වන විට ශාන්ගේ හිත හොඳටම පෑරී තිබුණේන් ගැටලුව නිරාකරණය කරන්නට මෛත්‍රීපාලට මැදිහත් වන්නට සිදුවිය. ඔහු උදේ පාන්දරම ශාන්ගේ නිවසට ගොස් සාකච්ඡා කර ප්‍රශ්නය නිමා කළේ ගාල්ලේ ජ්‍යෙෂ්ඨයා වන ශානුත් ගාල්ලේ තරුණ නායකයා වන තිසරත් එකට මුණගස්වා කරන ලද කතාබහකින් අනතුරුවයි.

● දයාසිරිගේ අත්සනත් හොරට ගහලලු

මේ අතර තවත් ගැටලුවක් මතු වූයේ පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකරගේ පැත්තෙනි. දෙහිවල ගල්කිස්ස නගර සභාවට හෙලිකොප්ටර් ලකුණෙන් කණ්ඩායමක් ඉදිරිපත් කර තරග වදින්නට මුලදී එකඟතාවක් තිබිණි. එහෙත් පසුව එය වෙනස් විය. අන්තිමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් දෙහිවල-ගල්කිස්සට තරග වදින්නට කණ්ඩායමක් නාම යෝජනා ඉදිරිපත් කළේය.

දයාසිරි ජයසේකර මෙය හැඳින්වූයේ කුමන්ත්‍රණයක් ලෙසයි. මෙය තිසර ගුණසිංහගේ මෙහෙයවීමෙන් සිදුවන කුමන්ත්‍රණයක් යැයි සිතූ දයාසිරි දුරකථනයෙන් ඔහුට බැණ වදින්නට පටන් ගත්තේය.

තමන්ගේ අත්සන හොරට ගසා නාමයෝජනා ඉදිරිපත් කළේ යැයි කියමින් ඔහු ලොකු ගෝරනාඩුවක් කළේය. තමන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා මේ කාරණාව රටට කියන්නටත් සීඅයිඩීයට පැමිණිල්ලක් කර නඩු දමන්නටත් සූදානම් බව දයාසිරි තිසරට කීවේය.

ඒ වන විට පක්ෂ නායකයා සිටියේ පොලොන්නරුවේ ය. තිසර දුරකථනයෙන් දයාසිරි ගිය ප්‍රශ්නය නායකයාට කීවේය…

ඒ අනුව එම නඩුව බේරන්නටත් මැදිහත් වන්නට මෛත්‍රිපාලට සිදුවිය. මාධ්‍ය සාකච්ඡා කැඳවා පක්ෂයට නොගැළපෙන ලෙස කටයුතු නොකරන්න මෛත්‍රී දයාසිරිගෙන් ඉල්ලා සිටියේය.

“ඔයාගේ අත්සන හොරට ගහලා තියෙනවා නං නීත්‍යානුකූලව කටයුතු කරන්න. ඒකට කමක් නෑ..” මෛත්‍රී දයාසිරිට උපදෙස් දුන්නේය. අන්තිමේ එම ප්‍රශ්නය ද නිරාකරණය කර දෙන්නට මෛත්‍රිට හැකිවිය.

මේ විලන්බෑසි සියල්ලට පසුව හෙලිකොප්ටර් ලකුණෙන් ඡන්දය ඉල්ලන්නට බලා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෝ අන්තිමේ පළාත් පාලන ආයතනය දෙසීයකට අධික සංඛ්‍යාවකට අත ලකුණින් තරග කරන්නට නාමයෝජනා ඉදිරිපත් කර අවසන් විය. සන්ධානගතව හෙලිකොප්ටරයෙන් ඉල්ලන ආයතන සංඛ්‍යාව 130 දක්වා පල්ලම් බැස්සේය.

● ඡන්දය කල් දාන්න ඔන්න තවත් හේතුවක්

පළාත් පාලන මැතිවරණය පිළිබඳ කතාබහ උණුසුම්ව තිබියදී බදාදා රාත්‍රියේ තව අලුත් ආරංචියක් එළියට පැමිණියේය. ඒ මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් වන පී. එම්. එස්. චාල්ස් මහත්මිය ඉල්ලා අස් වූයේ යැයි කියන පුවතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ ආරංචිය රැගෙන එන්නේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක බදාදා හවසය.

“මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර ප්‍රශ්නයක් තියෙනවා, ඒගොල්ලො ඉන්නේ මත දෙකක කියලා අපි කිව්වම විපක්ෂය අපිට හිනා වුණා. දැන් පැහැදිලියිනේ ඒගොල්ලො අතර ප්‍රශ්නයක් තියෙනවා කියලා… චාල්ස් කියන්නේ කීර්තිමත් පරිපාලන නිලධාරියෙක්.” ඒ ආරංචිය ගේන විට එතන වජිර අබේවර්ධන ද සිටියේය. ආරංචිය අසා ඔහු එසේ කීවත් ජනාධිපති රනිල් කිසිවක් කීවේ නැත. බ්‍රහස්පතින්දා උදේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මැති ඇමැතිවරුන්තිවරුන් මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වීමේ සිද්ධිය ගැන විශේෂයෙන් කතාබහ කරන්නට පටන් ගත්හ.

“මැතිවරණ කොමිසම කොටස් දෙකකට බෙදිලා කියන කථාව දැන් රහසක් නෙමෙයි. මේක අහලා වැඩිපුරම කලබල වෙලා ඉන්නේ විපක්ෂය..” ප්‍රසන්න කීවේය.

“මැතිවරණ කොමිසම ඒකමතික තීරණයක ඉන්නවා කියලා සභාපති මෙතෙක් දවසක් කිව්වෙ බොරු. ඇත්තම කියනවා නම් මැතිවරණ කොමිසම වැඩ කරල තියෙන්නෙ විපක්ෂය කියන කියන විදියට.” බන්දුල ගුණවර්ධන කීවේය.

● සුමන්තිරන්ලා 13+ අත ඇරලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සති කීපයකට පෙර පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවමින් උතුරු නැගෙනහිර ජාතික ප්‍රශ්නය ගැන විසඳුමක් සොයන්නට උත්සාහයක් ගත්තා අපට මතකය. එදා එම සාකච්ඡාව ඉක්මනින් අවසන් වුවත් සාකච්ඡාව තව තවත් ඉදිරියට ගෙන යන්නට ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ කැඳවා තිබුණේ ජාතික ප්‍රශ්නය ගැන කතා කරන්නට එදා කැඳවා තිබූ රැස්වීමේ දෙවැනි අදියරයි…

මේ සඳහා සියලුම පක්ෂවලින් පක්ෂ නායකයන් හා නියෝජිතයන් සහභාගි කරවන්නයි ජනාධිපතිවරයා සියලුම පක්ෂවලට විවෘත ආරාධනයක් කර තිබිණි. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සුමන්තිරන්, මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් රවුෆ් හකීම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි ලේකම් සාගර කාරියවසම්, උත්තර ලංකා සභාගය නියෝජනය කරමින් අතුරලියේ රතන හිමි හා ගෙවිඳු කුමාරතුංග යනාදී වශයෙන් පක්ෂ නියෝජිතයන් රැසක්ම පැමිණ සිටියහ.

රාජිත සේනාරත්න පැමිණ සිටියත් ඔහු පැමිණියේ සමගි ජන බලවේගය නියෝජනය කරමින් දැයි පැහැදිලි නැත. රිෂාඩ් බදියුදීන් කුමාර වේල්ගම ඇතුළු ලොකු කුඩා පක්ෂවල කැපීපෙනෙන නියෝජිතයෝ රැසක් සිටියහ. ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කිසිවෙක් සහභාගි වී නොසිටීම විශේෂත්වයකි. ඒ හැරුණු විට සමගි ජන බලවේගය සෘජුව නියෝජනය කරමින් කිසිවෙක් ද ඊට පැමිණ සිටියේ නැත.

සාකච්ඡාව ආරම්භයේදී මුලසුනේ හිටියේ ජනාධිපති රනිල් හිටපු ජනාධිපති මහින්ද හිටපු ජනාධිපති මෛත්‍රී හා අගමැති දිනේෂ් ගුණවර්ධන යි. මුලින්ම රනිල් යෝජනා කළේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට මේ රටේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සංහිදියාව තහවුරු කිරීමට මෙතෙක් කල් රජයෙන් ගෙන ඇති පියවරයන් සම්බන්ධ සමාලෝචනයක් කරන ලෙසයි.

ඒ අනුව විජයදාස රාජපක්ෂ උතුරු නැගෙනහිර පළාත්වලින් හමුදාව ඉවත් කර ගැනීම, සාමාන්‍ය ජනතාව යළි පදිංචි කරවීම, උතුරු නැගෙනහිරට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මැතිවරණ පැවැත්වීම ආදී කරුණු කාරණා රැසක් ඇතුළත් ඉතා හොඳ පැහැදිලි කිරීමක් කළේය. පක්ෂවලින් පැමිණි සාමාජිකයන්ට දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් තම තමන්ගේ අදහස් දක්වන්නට අවස්ථාව හිමි වූයේ හිමි වූයේ ඉන් පසුවයි.

13 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා ක්‍රියාත්මක කිරීම හා පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබාදීම සම්බන්ධයෙන් තම මතය නියෝජනය කරමින් එහි දී එකහෙලාම විරෝධය පාමින් සරත් වීරසේකර අදහස් පළ කරන්නට පටන් ගත්තේය.

රාජිත සේනාරත්න සිය විවෘත අදහස ප්‍රකාශ කළේ පළාත් සභාවලට 13 සංශෝධනයෙන් ලබාදෙන බලතල කිසිවක් අඩු නොකර ලබාදිය යුතු බව පෙන්වා දෙමිනි.

කුමාර වෙල්ගම ද විවෘතව අදහස් ප්‍රකාශ කළේය. දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිය සතුට පළ කළේය.

ඉන් අනතුරුව සුමන්තිරන් සිය අදහස් පළ කළේය. මීට පෙර සුමන්තිරන්ලගේ යෝජනාව වූයේ දහතුන්වන සංශෝධනය ඉක්මවා ගිය බලතල (13ූ) පළාත් සභාවලට අවශ්‍ය බවය. එහෙත් ඔහු මෙහිදී දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම ගැන සතුට පළ කරමින් පමණක් කථා කළේය.

“දහතුන්වන සංශෝධනය තුළින් පළාත් සභා වලට ඉඩම් හා පොලිස් බලතල ලබාදෙනවා. හැබැයි මෙතෙන්දි මේ තීන්දුවක් ගන්නේ අපේ රටේ අනාගතය සම්බන්ධයෙන් බව අමතක කරන්න එපා. උතුරු නැගෙනහිරට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම සම්බන්ධයෙන් මීට වඩා කල්පනා කරලා කටයුතු කරන්න කියන එක තමයි මගේ අදහස…” පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් නීතිඥයකු ලෙස එහි ඇති බැරෑරුම් බව පෙන්වා දුන්නේය.

● ජනපති රනිල්ට ගෙවිඳුගෙන් අභියෝග

“මීට පෙර මගේ නායකත්වයෙනුත් මේ ගැන කමිටුවක් පත් කරලා යෝජනා ලබා ගත්තා. ඒ ගැනත් සලකලා බලන්න.” තිස්ස විතාරණ කීවේය.

“ඒක මතක් කරපු එක හොඳයි, ගෝඨාභය ජනාධිපති තුමාගේ කාලය පත්කරපු රොමේෂ් සිල්වා කමිටුවේ මතුවුණු අදහස් ගැනත් සලකා බලන්න ඕන. මේ පිළිබඳ තීරණයක් ගන්න කමිටුවට ජයම්පති වික්‍රමරත්න කමිටුවේත් රොමේෂ් සිල්වා කමිටුවේත් තිස්ස විතාරණ කමිටුවේත් මතුවුණු වැදගත් කරුණු සලකා බලන්න බාරදෙනවා…” ජනාධිපති රනිල් කීවේය.

“ජනාධිපතිතුමනි… ඔබතුමා දහතුන්වන සංශෝධනය බලාත්මක කරනවා කියන්නේ ඉඩම් හා පොලිස් බලතල ලබාදෙන එක. නමුත් ඒක බොහොම සංවේදීයි. විශේෂයෙන්ම කිසිදු පරිහරණයට නොගත් සංවේදී වනාන්තර සහිත ඉඩම්වලින් තුනෙන් දෙකක් ම තවම තියෙන්නේ උතුරු නැගෙනහිර. ඒවා පරිහරණය කරන්න බලතල ලබාදෙන එක භයානකයි…” රතන හිමියෝ කීහ.

“ඒ විතරක් නෙවෙයි… පලාලි ගුවන් හමුදා කඳවුර හා අවට කඳවුරු පරිශ්‍රයට පිටින් තියෙන සංවේදී ඉඩම් ආපහු බාර දෙන එක ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක්…” සරත් වීරසේකර පෙන්වා දුන්නේය.

“ඒවා අපි කරනව නම් කරන්නේ හමුදා අංශවලින් උපදෙස් අරගෙන.” රනිල් වික්‍රමසිංහ කීවේය.

“දැන් කොච්චර කාලයක් බලාගෙන හිටියා ද… කොච්චර කතා කළත් මේවා අන්තිමේ කරන්න වෙනවා” කුමාර වෙල්ගම ඒ අදහස කීවේ දහතුන්වන සංශෝධනයට පක්ෂපාතීව ය. මේ අවස්ථාවේ ගෙවිඳු කුමාරතුංග නැගී සිටිමින් කරන ලද ප්‍රකාශය ඉතාමත්ම වැදගත් විය…

“ඔබතුමා දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කතා කරනවා. හැබැයි ඔබතුමාට ඒ සඳහා ජනවරමක් තියනවද කියන එක ප්‍රශ්නයක්. ඔබතුමා මේ ජනාධිපති ධුරය හොබවන්නේ 69 ලක්ෂයක් එකතුවෙලා ගෝඨාභය රාජපක්ෂට ලබා දීපු ජනවරමේ ඉතුරු කොටස. අපි ගෝඨාභය රාජපක්ෂව දිනෙව්වේ එතුමා මේ රටට දීපු පොරොන්දුවක් නිසා. එතුමා පොරොන්දු වුණා දහතුන්වැනි සංශෝධනය වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඒ තුළින් හැමෝටම පිළිගත හැකි විසඳුමක් ලබා දෙන්න. ඒකටයි ජනවරම ලැබුණේ. ඒ ජනවරම ඉතුරු ටික භාරගත්ත ඔබතුමා දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කරනවා කියනවා නම් ඒක වැරදියි.

ඔබතුමාට දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න වුවමනා නම් ඊළඟ ජනාධිපතිවරණයේදී ඒ සඳහා රටට පොරොන්දුවක් දීලා ජනතාවගෙන් වරමක් ගන්න…”

ගෙවිඳු එසේ ඉදිරිපත් කළේ බරපතළ තර්කයකි…

“ඔයා ජනවරමක් ගැන කතා කරනවා. හැබැයි ඉතින් ඔයාටත් ජනවරමක් නෑ මටත් නෑ. ඔයා ඇවිල්ලා ඉන්නේ මං වගේම ලැයිස්තුවෙන්…” ජනාධිපතිවරයා මෙසේ කියන විට මුළු සභාවම සිනාසෙන්නට පටන්ගත්හ. ඒ අතර ජනාධිපති රනිල් තව ටිකක් කීවේය…

“මම ජනාධිපති කරවන්න හැටනම ලක්ෂයේ ජනවරම ඉවහල් වුණා කියනවා. හැබැයි ඉතින් අන්තිමේ මාව ජනාධිපති කරන්න පොහොට්ටුවේ අයත් දුන්නා. ටී එන් ඒ එකේ අයත් ඡන්ද දුන්නා. ඔයගොල්ලත් දුන්නා. මෙය මුස්ලිම් අයත් දුන්නා. ඒ වගේම මතක තියාගන්න ඔය අතරේ ඉන්න විශාල සංඛ්‍යාවක් මට විරුද්ධවත් ඡන්දය දුන්නා.”

“ඉස්සර අපිත් පළාත් සභාවලට විරුද්ධව පිටකොටුවේ බෝගහ යට මැතිනි එක්ක උද්ඝෝෂණ කළා. කඳුළු ගෑස් කෑවා. තරුණ කාලයේ ඔහොම තමයි ” කියා ඒ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන කීවේ ඉස්සර කළ වැරදි දැන් තමයි තේරෙන්නේ කියන්නා සේය… ඔහු කතා කළේ 13ට පක්ෂවය. මේ අවස්ථාවේ සුමන්තිරන් ලා රිෂාඩ් බදුර්දීන් ලා සහ හකීම්ලා පෙන්නුම් කළ ගුප්ත නිහඬතාව කාටත් කැපී පෙනෙන කාරණාවක් විය. එය කලින් ඇතිකරගත් සම්මුතියක් බඳු විය. රිෂාඩ් අතරමැදදී නැගිට යන්නට ද ගියේය. කෙසේ වුවත් අවසානයේ දී මේ පිළිබඳව සමාලෝචනයක් කරමින් ජනාධිපති රනිල් පළ කළ අදහස මේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් ඉතා වැදගත් වූවකි….

“මතක තියාගන්න… 13 වන සංශෝධනය කියන්නේ මේ රටේ නීතියක්. මම විධායකය. විධායකය ඉන්නේ නීති ක්‍රියාත්මක කරන්න. දහතුන්වන සංශෝධනය නීතියක් විධායකයේ වගකීම ඒක ක්‍රියාත්මක කරන එකයි.

13 ප්ලස් කියා 13 න් එහාට ගියොත් ඒක භයානක වෙන්න පුළුවන්. හැබැයි 13 ක්‍රියාත්මක කරන එක මේ රටට ප්‍රශ්නයක් නෑ කියලා මම විශ්වාස කරනවා.

හැබැයි ඕයගොල්ලො හිතනවා නම් ඒක එපාය කියලා… ඔයාලට පුළුවන් ව්‍යවස්ථාදායකය විදියටත් අලුත් නීතියක් හදන්න. ඒ කියන්නෙ සංශෝධනයක් ගෙනල්ලා 13 වෙනස් කරන්න…”

දහතුන්වන සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව සර්වපාක්ෂික හමුව අවසන් වූයේ ජනාධිපතිවරයාගේ එම සමාලෝචනයත් සමගය.

● තාත්තගේ නඩු අහන්න දුව උසාවි ආපු හැටි

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව පවරනු ලැබූ තවත් නඩුවක් පසුගිය සිකුරාදා ද කොටුව මහාධිකරණයේ කැඳවනු ලැබීය. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් මෛත්‍රිපාල සිරිසේන ඇතුළු කණ්ඩායමකට එරෙහිව මේ නඩුව මහාධිකරණයේ පවරා තිබුණේ සිරිල් ගාමිණී පියතුමා ය.

මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් ෆයිසර් මුස්තාපා තිසර ගුණසිංහ, මියුරු භාෂිත ඇතුළු කීප දෙනෙක් උසාවියේ පෙනී සිටියහ. උසාවියේ එම නඩුවට පෙනී සිටි අය අතර තවත් කැපී පෙනෙන නීතිඥවරියක් ද විය. ඕ මෛත්‍රීපාල සිරිසේනගේ බාල දියණිය වන ධරණි සිරිසේනයි. පියාගේ නඩුව වෙනුවෙන් පෙනී සිටින්නට දියණිය උසාවියට පැමිණ සිටීම මෙහිදී කැපී පෙනෙන කාරණාවක් විය.

මෙම නඩුව කැඳවනු ලැබූ මහාධිකරණය මෙම ප්‍රශ්නය හා සමාන්තරව තවත් නඩුවක් අභියාචනාධිකරණයේ මේ දිනවල විමසන බැවින් එය අවසන් වන තුරු මේ නඩුව මාස කීපයකට කල්තබන්නට තීරණය කළේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment