රටක් කම්පා වූ මරණයක්! එන්නතක් කළ හදියක්!

456

මේ වගේ බෙහෙතක් විද්දේ ඇයි දෙවියනේ

මුන් මගේ රත්තරන් දුව උදුර ගත්තා

මට හිටියේ එක දුවයි

දුවට කිසිම ලෙඩක් තිබුණේ නෑ

චමෝදී සංදීපනී මධුෂිකා ගැන නොදන්නා කෙනෙක් දැන් නැත. නමුත් ඒ තරම් ප්‍රසිද්ධියට පත් වූ ඇය දැන් මිහිපිට නැත. චමෝදි රූමත් ය. විසිඑක් හැවිරිදි වියේ පසු වූ ඇය මියගිය අයුරු දුටු අපේ නෙත් අග මතු වූ කඳුළු කැට තාමත් කඩා හැලේ. චමෝදිගේ මවත්, පියාගෙත් සොයුරාගෙත් නෙතින් ගලාගිය කඳුළු දුටු මේ රටේ හිත් පිත් ඇති කාගෙත් නෙත් කඳුළින් තෙත්ව නොගියේ නම් උන් මිනිසුන් නොවන බව ද කිව යුතුමය.

චමෝදිට ඉහෙන් බහින රෝගයක් තිබුණේ නැත. ඉකුත් 09 වැනිදා රාත්‍රි චමෝදිත් පවුලේ උදවියත් රාත්‍රියට කැවේ කොත්තුවකි. එය පොලිස් කොත්තුවක් දැයි අප දන්නේ නැත. ඒ කොත්තුව ආහාරය ලෙස ගත් පවුලේ උදවියට උදරාබාධයක් ඇති වූයේ කොත්තුවේ ප්‍රමිතියේ අවුලකිනි. කොත්තු කා නින්දට ගිය චමෝදිගේ උදරාබාධය දරුණු අතට පත් වූ නිසා 10 වැනිදා ඇය කැටපිටිය රෝහලට ගෙන ගියේ උදරාබාධය දරුණු වූ නිසාය. කැටපිටිය රෝහල පිහිටා තිබුණේ මේ පවුල පදිංචි පොත්තපිටිය, අලගල්ලට කිට්ටුවකය. කැටපිටය රෝහල යනු පහසුකම් අඩු රෝහලකි. එහි වෛද්‍යවරු චමෝදිගේ තත්ත්වය බලා ගිලන් රථයක නංවා ඇයව පේරාදෙණිය රෝහලට යැව්වේ එහි පහසුකම් වැඩි නිසා ය. ඇය සමඟ කැටපිටිය රෝහලට ගොස් සිටි ඇගේ මව ද ඒ ගිලන් රථයේම නංවා පේරාදෙණියට යැව්වේ මේ තරුණ දියණියගේ තනි නොතනියටය.

පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ චමෝදිගේ ජීවය මාරයාගේ අතට යන්නට ගත වූයේ විනාඩි පහළොවකි. ඒ කියන්නේ ඇයට මාරාන්තික එන්නත විද්දේ එදින රාත්‍රි 8.00 ට ය.

“අම්මේ අත රිදෙනවා. ඉන්න බෑ” ඇය ළඟ සිටි මවට කීවාය.

මව ඒ බව වාට්ටුවේ හෙදියන්ට දැනුම් දුන්නේ දියණය ගේ විළාපය නිසාය. දෙවැනි එන්නත දුන්නේ 8.15 ට ය.

එය මාරාන්තික එන්නතකැයි හෙද නිලධාරිනිය ද දැන සිටියේ නැත. අම්මේ….. අම්මේ…. මට ඉන්න බෑ. මොකක්දෝ වෙනවා. එසේ කී ඒ දියණිය දිව ගියේ රෝහල් වැසිකිළි පද්ධතිය වෙත ය. මව ද පිටුපස දිව ගියාය. ඒ වනවිට දියණිය වැසිකිළි පද්ධතියේ සින්ක් එක උඩ හිස තබාගෙන මාරයා වැළඳගෙන සිටියේ මුළු වාට්ටුවම තැති ගන්වමිනි. වාට්ටුවේ සිටි රෝහල් කාර්ය මණ්ඩලය ඇයව ඔසවාගෙන ඇඳ මත තබන විට ඇගේ සිරුර නිල් පැහැ ගැන්වී තිබිණි. මාරයා ඇය රැගෙන ගියේ සිරින්ජරයක පිහිටෙනි.

“මගේ දුවේ….. රත්තරන් දුවේ නැගිටපන්. මොකක්ද මේ රත්තරන් දුවට වුණේ.” මව වැළහින්නියක මෙන් හඬාවැටෙද්දී රෝහල් කාර්ය මණ්ඩලය ගොළු වූයේ මේ රටට සිදු වී තිබෙන නස්පැත්තිය ගැන කෙලෙස නම් පවසන්න ද කල්පනා කරමිනි.

චමෝදි දියණිය මියගියේ එලෙසිනි. දැන් ඇය නැත. ඇය පමණක් නොව පසුගිය මාස දෙකක කාලයේ දී නිර්වින්දනය කළ රෝගීන් හත්දෙනෙකුම මියගියේ නිර්වින්දන එන්නතක් නිසා ය. රාගම රෝහලට ගිය තවත් කාන්තාවක් ද මියගියේ අනපේක්‍ෂිත ලෙසිනි. කොළඹ ජාතික රෝහලට ගොස් ප්‍රතිකාර ගත් රෝගීන් කිහිපදෙනෙකුම අන්ධයන් බවට පත් ව ඇතැයි ද කිය වේ.

චමෝදිගේ මරණයට වගකිව යුත්තේ කවරහුද? පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ යම් වරදකින් මේ මරණය සිදු වී තිබේද? නැත. එසේ නම් ඇයට ලබාදුන් එන්නත ප්‍රමිතියෙන් තොර ද? එය තාමත් විසඳී නැති කරුණකි.

මේ වනවිට රජයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන් නිස්කාරණේ මියැදෙන්නේ රටට බාල ඖෂධ, එන්නත් ආදිය පැමිණ තිබෙන නිසා යැයි සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෛද්‍ය හා අනෙකුත් වෘත්තීය සමිතිවල චෝදනාවකි.

හදිසි මිලදී ගැනීම් යැයි කියමින් මෙරට ලියාපදිංචිය නැති සමාගම් හරහා ඖෂධ මෙරටට ගෙන එන බව ද කිය වේ. ඒ ඖෂධවල හා එන්නත්වල ප්‍රමිතිය පිළිබඳව තිබෙන ගැටලු නිසා මිනිස් ජීවිත මාරයා පිළිගන්නා බව ද චෝදනාවකි. ඒ චෝදනා ප්‍රතික්‍ෂේප කළ නොහැකි තැනට පත්ව ඇත්තේ ඉකුත් මාස දෙකේදී මියගිය රෝගීන් කිහිපදෙනෙකුම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයම කළඹවා තිබෙන නිසා ය.

මෙහි තවත් බිල්ලක් පානදුර රෝහලෙන් ද වාර්තා විය. ඒ ඉකුත් බ්‍රහස්පතින්දා (12 වැනිදා) ය. ජාතික ඖෂධ අධිකාරියේ සේවකයෙක් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණේ ඩෙංගු වැළඳීම නිසාය. එම රෝගයට ප්‍රතිකාර ගෙන සුවවී නිවසට පැමිණි ඒ සේවකයා නිව්මෝනියා තත්ත්වයට පත්ව පානදුර රෝහලට ඇතුළත් කර තිබුණේ ඉකුත් 05 වැනිදා ය. හෘද රෝග දැඩි සත්කාර ඒකකයකට යැවිය යුතුව තිබූ එම රෝගියා පානදුර රෝහලේදීම මියයෑම ද මේ වනවිට ආන්දෝලනයක් රට තුළ ඇතිකර ඇත.

චමෝදිගේ මරණය මේ මරණ මාලාවේ අතිශය තීරණාත්මක මරණයකි. කොත්තු කා උදරාබාධය වැළඳී රෝහල් ගත කළ මේ දැරිවි මියයෑමට හේතුව තාමත් සොයමින් සිටී.

චමෝදිගේ හදිසි මරණය පිළිබඳව පේරාදෙණිය රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදය රළපනාව මහතාගේ අදහස මෙබඳුය.

“මෙකී තරුණියගේ සිරුරේ යම්කිසි විෂබීජයක් වර්ධනය වෙමින් තිබිණි. යම් රෝගීන්ට ආසාත්මිකතාවක් ඇති වෙන්න පුළුවන්. මේ තරුණිය රෝහල් ගතව ඇත්තේ උණ හා උදරාබාධයක් හේතුවෙන්. ඇයට මීට පෙර ආසාත්මිකතා තිබී නැත. උදරාබාධය සුව නොවීම සම්බන්ධයෙන් රුධිර සාම්පල ලබාගෙන ක්‍ඡඍ පරීක්‍ෂණයකට යොමු කර තිබිණි. ඒ අනුව ඇගේ සිරුරේ යම්කිසි විෂබීජයක් වර්ධනය වන බවට වෛද්‍ය නිගමනය විය. එහිදී රුධිරයේ විෂබීජ තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදිය යුතුව තිබිණි. ක්‍ැරෙස්ංදබැ නමැති ප්‍රතිජීවකය ග්‍රෑම් දෙකක ප්‍රමාණයක් ඇයට ලබාදීමට වෛද්‍යවරුන් තීරණය කර ඇත්තේ අදාළ ක්‍රමවේදයට යටත්වය. ප්‍රතිජීවක ඖෂධ රෝහලට ලැබී ඇත්තේ ග්‍රෑම් එක එක බැගිනි. ඒ අනුව ග්‍රෑම් එක බැගින් එන්නත් දෙකක් දෙවරකදී ලබා දී ඇත. රුධිර පීඩනය මැන රෝගියා ඇඳ මත තබා ලබා දිය යුතු එන්නත් දෙක ලබා දී ඇත. ඒ දෙවන එන්නතෙන් පසු රෝගී තරුණියට වමනය කිරීමට අවශ්‍ය විය. ඇයට ඒ සඳහා කෝප්පයක් ලබාදීමට සැරසෙද්දී එය ප්‍රතික්‍ෂේප කළ ඇය නාන කාමරය වෙත දිවගිය බව ද වෛද්‍යවරයා පවසා ඇත. ඒ මොහොතේ ඇගේ රුධිර පීඩනය දරුණු වෙනස්වීමකට ලක්ව සිරුර අප්‍රාණික වී ඇත. එය සිංහලෙන් ම විග්‍රහ කළ විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ආසාත්මිකතා කම්පනය ලෙස ය. වෛද්‍ය විද්‍යාවට අනුව ්බ්චයහක්ංසි ියදජන ලෙස එය හැඳින්වේ. ඇයට එය දරුණුව බලපා ඇත. මියගියේ එනිසාය. ඒ වෛද්‍ය මතය ය.

ඇත්තටම වෛද්‍ය මතය හරිය. නමුත් මේ තරුණිය මිය ගොසිනි. මියයෑමට හේතුව කරුමය යැයි වෛද්‍යවරයකු නොවන අයකුට සිතීමට පුළුවන. නමුත් උදරාබාධයක් වැළඳී ප්‍රතිකාර ගැනීමට රෝහල් ගත වන අයකු මිනී පෙට්ටියකින් නිවසට එන්නේ නම් මේ වෛද්‍ය කෙරුවාවෙන් වැඩක් නැතැයි ද යමෙකුට තර්ක කළ හැකිය.

ඇත්ත හරි තිත්තය. හරියට තිත්ත බේත්වලටත් වඩා ඇත්ත තිත්ත විය හැකිය. රෝහල්වල ඖෂධ නැත. ලබාදිය යුතු පෙත්ත වෙනුවට වෙනින් වර්ගයක පෙත්තක් ලියන තැනටම වෛද්‍යවරු පත්කර හමාරය. රජයේ රෝහලකට යන්නේ අන්ත දුප්පතෙකි. අතේ සතේ නැතිව රෝහල් ගත වන අය වෛද්‍ය පරීක්‍ෂණ කර ගත යුත්තේ පුද්ගලික රසායනාගාරවලිනි. ඒ ඒ රසායනාගාරවලට අනුව ඉල්ලන

ගණන්වල පාලනයක් නැත. ඖෂධ මිලදී ගත යුත්තේ පුද්ගලික ෆාමසි වලිනි. මේ වනවිට රෝහල්වල ඖෂධ නැති බව කියන්නේ අප නොව වෛද්‍ය හා සෞඛ්‍ය අංශවල වෘත්තීය සමිතිමය.

ඉන්දියන් ණය පහසුකමට යටත්ව ලියාපදිංචි නොමැති සමාගම් හරහා ගෙන එන ඖෂධවල ප්‍රමිතියේ ප්‍රශ්න ගැන ද කියති. වෛද්‍ය සැපයුම් අංශය, ජාතික ඖෂධ අධිකාරිය ආදියේ නිලධාරීන් මුදල් සෙවීම සඳහා ඖෂධ ජාවාරම් කරන බවට ද චෝදනා ඇත. සෞඛ්‍ය ඇමැතිවරු ද මේ ඖෂධ ජාවාරමට හවුල් බවට ද චෝදනා ඇත. රටට සිදු වී තිබෙන විපත දෙස බලන විට මැති ඇමැතිවරු මේ ජාවාරමට හවුල් නැතැයි කිසිවෙකුට සහතික ද ලබාදිය නොහැකිව ඇත. ඒ අනුව පෙනී යන්නේ චමෝදිගේ මරණයට හේතුව අභිරහසක් බවට පත්ව යෑම පමණකි. එය හරියට මහ දවාලේ බොරැල්ල කනත්තේදී ඝාතනය වුණු කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය මෙන් අභිරහසක් බවට පත්ව යා හැකිය.

නමුත් අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දමා ඇත. නිර්වින්දන එන්නතක් නිසා හත් අට දෙනෙකු මියගිය පසු ඒ සැකසහිත එන්නත භාවිතයෙන් ඉවත්කර ඇත. ඒ වෙනුවට ඉන්දියාවෙන් අලුත් නිර්වින්දන ඖෂධයක් ගෙනැවිත් ඇත.

චමෝදී නමැති විසිඑක් හැවිරිදි දියණියගේ මරණින් පසු ක්‍ැරෙස්ංදබැ නමැති ප්‍රතිජීවක ඖෂධය ද රෝගීන්ට ලබාදීම නතර කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත. ඒ බැව් කියන්නේ පේරාදෙණිය රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා ය. ඒ මහතා කියන්නේ මෙකී ප්‍රතිජීවක ඖෂධය අඩංගු කුප්පි 2700ක් රෝහල්වල රෝගීන්ට ලබා දී තිබෙන බවකි. ඒ ඖෂධය ගත් අනෙක් පිරිස මියගොස් නැත. ඒ කියන්නේ ඖෂධයේ අවුලක් නොමැති බවය. එලෙස නම් තහනම් කළේ මන්ද? එකෙක් දෙන්නෙක් මළවුන් අතරට යනතෙක් මේ ඖෂධය පරීක්‍ෂණයට ලක් කරන්නේ නැතිද යන ප්‍රශ්නය ද කාට හෝ මතුවිය හැකිය. රසායනාගාර පරීක්‍ෂණයකින් තොරව මේ ඖෂධ රෝගීන්ට ලබා දෙන්නේ දැයි අප දන්නේ නැත. ටිකක් වස කෑවට කමක් නැතැයි කීවේ ප්‍රමිති ආයතනයේ ලොක්කියකි. ඖෂධ නිසා එකෙක් දෙන්නෙක් මියගියාට කමක් නැතැයි සෞඛ්‍ය ලොක්කෙක් කීවත් කවුරුත් දැන් පුදුම වනු එකක් නැත.

මේ සටහන අවසන් කළ යුත්තේ චමෝදී සංදීපනී මධුෂිකාගේ මවගේ මේ වචන ටිකෙනි.

බේත් දෙක විදිනකොටම මගෙ රත්තරන් දුවගේ ඇස් දෙක මොකක්ද වුණා. එයා ඇඳ උඩ ඉඳන්ම අම්මේ මොක්දෝ වෙනවා කියලා. එහෙම කියපු දුව රෝහලේ බාත්රූම් එකට ගියා. ළමයා සිනික් එකේ ඔලුව තියාගත්ත විතරයි. අතපය නිල් වෙලා එහෙම්මම කඩාගෙන වැටුණා. මම කෑ ගැහුවා මගේ රත්තරන් දුවේ මොකද වුණේ කියලා. මිසීලා දුවගෙන ඇවිත් දරුවව ඇඳට ගෙනත් දැම්මා. ඔයාලා මොනවද මගෙ දරුවට විද්ද බේත මොකක්ද කියලා මම ඇහුවා. මගේ දරුවගේ ජීවිතය උදරා ගත්තා. මට එක කෙල්ලයි හිටියේ. එයාගේ ජීවිතයම නෑ. මගේ ළමයට වෙන ලෙඩක් තිබුණේ නෑ. මේ වගේ බෙහෙත් විද්දේ ඇයි දෙවියනේ. මට මේක වාවගන්න බෑ. මගේ දරුවාගේ ජීවිතය මුන් උදුර ගත්තා. ඇයි මේ වගේ බෙහෙතක් විද්දේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment