උකුස්සාගෙන් පටන් අරන් ඩ්‍රෝනවලින් බෙදන කුඩු

822

කුඩු සුද්දියි පොඩ්ඩියි තොටළඟ වනසද්දී පොලිසිය අල්ලන හාල් කෑලි

කොළඹ වතුවලින් බිහිවන නොනවතින කුඩු පාතාලය

අද කුඩු ජාවාරම ඉහළින්ම කෙරෙන්නේ තොටළඟදී

ශ්‍රී ලංකාවට ඩ්‍රෝන යානා මගින් කුඩු ගෙන ඒමට බැහැ
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ

ගෙවී ගිය සති තුනක කාලය තුළ අවස්ථා දෙකකදී රටේ අනාගත පරපුර විනාශ කරමින් කොළඹ නගරය කේන්ද්‍රීයව ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමේ මර්මස්ථාන කිහිපයක් පිළිබඳව ‘ඉරිදා දිවයින’ මගින් පැහැදිලි අනාවරණයක් කිරීමට අපි කටයුතු කළෙමු. එය සිදු කරනු ලැබුවේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ නවතම ප්‍රවණතා පිළිබඳවද සඳහන් කරමිනි.

එහිදී අරාබි ලෝකය වනසමින් ධනවත් තරුණයන් අතරේ පැතිර යන ශ්‍රී ලංකාවටද ළඟා වීමේ දැඩි අවදානමක් ඇති අලුත්ම මත්ද්‍රව්‍යයක් වන ‘කැප්ට..’ පිළිබඳව අප හෙළිකරද්දී කිසිවකුත් නොසිතූ පරිදි ලොව ධන කුවේරයන් අතරේ ප්‍රචලිත 4-එම්එම්සී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රථම වතාවට දෙහිවල ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී සොයා ගන්නට පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු පිරිසක් සමත් වූහ.

එකක් අප පෙන්වා දෙද්දී ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ පවතින තවත් අලුත්ම වසංගතයක් මෙරටට ඇතුළු වී තිබුණේ එසේය. එහිදී ජාවාරම්කරුවන් බවට පත්ව සිටියේ කිසිවකුත් නොසිතන පුද්ගලයන් පිරිසකි.

මෝදර මට්ටක්කුලියේ සිට වැල්ලවත්ත හා තිඹිරිගස්යාය දක්වා විසල් ප්‍රදේශයක් පුරා විහිදී යන කොළඹ නාගරික සීමාව මෙන්ම අවිස්සාවේල්ලේ සිට මොරටුව දක්වා විහිදෙන කොළඹ දිස්ත්‍රික් සීමාව ගෙන බැලුවද අද කොළඹ මත්ද්‍රව්‍ය ජාවාරමේ බොහෝ මුදුන් මුල් පවතින්නේ වතු ජනාවාස ආශ්‍රිතවය.

එසේම රට වටා ගිනි අවි ගෙන ශිල්ප දක්වන ජාතික ව්‍යසනයක් දක්වම ඔඩු දුවා තිබෙන පාතාලයේ හෙවත් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ තිඹිරි ගෙය පවතින්නේද කොළඹ නාගරික වතු සංස්කෘතිය කේන්ද්‍රීයව ය.

කුඩු ජාවාරම සහ පාතාලය යනු චිරාත් කාලයක සිටම ඝෝර සපුන් සහ විෂ දළ සේ එකිනෙකට බැඳී තිබෙන්නකි. නාවල නිහාල්, සොත්ති උපාලි සහ කඩුවෙල වසන්ත ආදී ලෙසින් අතීත කුඩු ජාවාරමුන්ගේ සිට මාකඳුරේ මධූෂ් මෙන්ම අංගොඩ ලොක්කා, කංජිපානි ඉම්රාන්, මිදිගම චින්තක, පානදුර සළිඳු, සෙල්ලිගේ පුතුන් ආදී ලෙසින් එකී නොකී මෙකී මෙරට ජාවාරම්කරුවන් අති බහුතරයක් ගෙන බැලීමේදීද එය මැනවින් පැහැදිලි වන්නකි.

කිඹුලා ඇළේ ගුණා, වැල්ලේ සාරංග, වැල්ලේ සුරංග, ගනේමුල්ල සංජීව, අන්නාසි මොරිල්, ලාල්, ප්‍රංශ රූබන් වැනි වර්තමානයේ විදේශගතව සිටිමින් මෙරට කුඩු ජාවාරම මෙහෙයවනු ලබන පුද්ගලයන් අති බහුතරයක් දෙනා ක්‍රියාත්මක වෙමින් සිටින්නේද පාතාල කෙරුමන් ලෙසින්ය.

කලකට ඉහතදී මෙරට අංක එකේ කුඩු ජාවාරමුන් දෙදෙනා ලෙසින් ඔටුනු දරා සිටි මොහොමඩ් සිද්ධික් හා වෙලේ සුදාගේ කතාවද එසේය. ඔවුන්ද සිය ජාවාරමේදී පාතාලය හෙවත් සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධ නොවුණා යැයි කීමට නොහැකිය. කිහිප දෙනකු හැරෙන්නට මෙකී සියලු දෙනා මෙරට කුඩු පාතාලයේ කෙරුමන් ලෙස කරළියට පැමිණියේ කොළඹ නාගරික සීමාව සහ තදාසන්න ප්‍රදේශයන්හි පැවති සංස්කෘතිය තුළිනි.

එම තත්ත්වය එදා සිට මේ දක්වාම පවතින්නකි. කොළඹ නගරය මෙන්ම තදාසන්න ප්‍රදේශවල පිහිටි මෙම වතු ජනාවාස යනු වෙනස්ම ජීවන රටාවකින් යුතු මිනිසුන්ගෙන් ගහන භූමීන්ය. ඒවායේ හැදෙන වැඩෙන කුඩා දරුවනට කුණුහරුප ආදී නොමනා දේ පත්තියන්ය. මතට ඇබ්බැහි වී කුඩු හෝ වෙනත් මතකින් සප්පායම්ව කිරා වැටෙන වැඩිහිටින්ගේ දර්ශන එම දරුවන්ගේ දෙනෙත්වලට සුලබය.

යම් ගැටලුවක් ඉදිරියේ එකිනෙකා ගහමරා ගන්නා අන්දම, ප්‍රකෝපකාරීව හැසිරෙන ආකාරය වැනි දේ ඔවුන් නිතර දකින්නේය. දරුවන් එසේ හැදී වැඩෙද්දී දැනෙන පීඩනය සමඟ අවසානයේ එතුළින් බිහිවන්නේ නිසි අධ්‍යාපනයක් නොලද විරැකියාවෙන් පෙළෙන තාරුණ්‍යයකි.

මුරණ්ඩු සහ ප්‍රකෝපකාරීත්වය තුළින් ගොඩ නැගෙන එකී තාරුණ්‍යය නීති විරෝධී දේ සඳහා යොමු වන්නේ නිරායාසයෙනි. ඇතැම්විට ඔවුන් වත්ත තුළින්ම බිහිවූ කිසියම් ජාවාරම්කරුවකුගේ ඉත්තකු බවට පත්වන්නේ ඔවුන්ද නොදැනුවත්වය. එසේ තාරුණ්‍යයට පා තබන වතු සංස්කෘතියෙන් බිහිවන තරුණයන් බහුතරයක් කරන නීති විරෝධී දේ හමුවේ වරක් දෙවරක් සිරගත වීමෙන් පසු නැවත එළියට පැමිණෙන්නේ අපරාධ විෂයෙහි විශේෂවේදී උපාධියද දිනා ගැනීමෙන් පසුවය.

ඉතා සරලව කිවහොත් රට තුළ කුඩු පාතාලය ගොඩ නැගෙන්නේ එසේය. මේ තත්ත්වය තුළ රටේ කුඩු ජාවාරම සහ පාතාලය යම්තාක් දුරට මර්දනය කිරීමට නම් කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශයන්හි වතු සුද්ධ කිරීමේ ක්‍රියාන්විතයක් අරඹන ලෙස වරක් අපි බලධාරීන්ට පෙන්වා දුන්නෙමු. එහෙත් සිදු කෙරුණු දෙයක් නැත.

මෙරට කුඩු ජාවරම පිළිබඳව කතා කිරීමේදී ප්‍රබල මර්මස්ථාන ලෙසින් ප්‍රදේශ තුනක් පෙන්වා දිය හැකිය. ඉන් පළමුවැන්න වන්නේ දෙහිවල බඩෝවිට ප්‍රදේශය ය. අතීතයේ බඩෝවිට වෙල ආශ්‍රිත ජනාවාස සංස්කෘතිය තුළ ක්‍රියාත්මක වූ කසිප්පු ජාවාරමක පහස සමඟ තාරුණ්‍යයට පිවිසි වෙලේ සුදා මෙරට අංක එකේ කුඩු ජාවාරමකු ලෙසින් මතු වූයේ එය තුළිනි.

එතැන් සිට වෙලේ සුදා බඩෝවිට යුව රජු බවට පත් වෙද්දී එම ප්‍රදේශය පැවතියේ වෙනම රාජ්‍යයක් ලෙසිනි. එහි බහුතරයක් වැසියන්ගේ එකම ආදායම් මාර්ගය හෙවත් ස්වයං රැකියාව බවට පත්වූයේ එකල වෙළෙඳ ලකුණක්ද සහිතව රට පුරා බෙදා හැරුණු වෙලේ සුදාගේ කුඩු පැකට් කිරීමය.

කුඩු ජාවාරම නිසාම එල්ලවූ චෝදනාවක් හමුවේ අද වෙලේ සුදා මරණීය දණ්ඩනය නියම වී සිරගතව සිටියද බඩෝවිට කතාව තවමත් ඇත්තේ පෙර පරිදිමය. එකල පැවති පැල්පත් වෙනුවට නිවාස ඉදිවී යම් වෙනසක් සිදුව තිබුණද හෙරොයින් මත්කුඩු සමඟ ඔවුන්ගේ පැවති ඇයිහොඳයිය තවමත් නිමා වී නැත. එසේම සිරගතව සිටින වෙලේ සුදා අදටත් කුඩු ජාවාරමේ යෙදෙන බව බූස්ස බන්ධනාගාරයෙන් වාර්තා වන්නේය. අලුත්ම ක්‍රමවේදයන් සහ උපක්‍රම යොදා ගනිමින් වෙලේ සුදා අද කුඩු ජාවාරම සිදුකරගෙන යන අන්දම මෑතකදී ‘දිවයින ඉරිදා සංග්‍රහය’ මගින්ද අනාවරණය කරනු ලැබීය.

ඉහත කී මර්මස්ථාන ත්‍රිත්වයෙන් දෙවැන්න වන්නේ තොටළඟය. අද තොටළඟ 75 වත්ත සහ නිවාස සංකීර්ණ ආශ්‍රිතව සිටිමින් තොටළඟ පොඩ්ඩී සහ කුඩු කුමාරි හෙවත් සුද්දී හිතේ හැටියට හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අන්දමද පසුගිය දිනවල අපි හෙළි කළෙමු.

එහෙත් තොටළඟ කුඩු පොඩ්ඩී සහ කුඩු කුමාරි ඉදිරියේ පොලිසියේ ඇතැමුන්ගේ දෙපා වෙව්ලීම නිසාදෝ ඔවුන් තවමත් කිසිදු බාධාවකින් තොරව ජාවාරමේ යෙදෙන්නාහ. අප හඳ පෙන්වූ විට පොලිසිය ඇඟිල්ල දෙස බැලුවාක් පරිදි සිදු වෙමින් තිබෙන්නේ දිනකට රුපියල් කෝටි ගණනක ජාවාරමක් සිදු කරන පොඩ්ඩී සහ කුඩු කුමාරි පසෙක සිටියදී විවිධ තැන්වලට කඩා වදින පොලිසිය කුඩු ජාවාරමේ හාල් කෑලි කොටුකර ගැනීමය.

එකී වැටලීම් පොලිස් පොත්වල සටහන් වන්නේ කුඩු ග්‍රෑම් 2 සහ පහේ වැටලීම් ලෙසින්ය. තොටළඟ කේන්ද්‍රකර ගනිමින් කුඩු පොඩ්ඩී සහ කුඩු කුමාරි දිනකට රුපියල් කෝටි ගණනක් වූ කුඩු සහ අයිස් කිලෝ හතඅටක ජාවාරමක යෙදෙද්දී පොලිසියේ කුඩු වැටලීම් පවතින්නේ එවැනි තැනකය.

කොළඹ මාලිගාවත්ත ප්‍රදේශය අප පෙන්වා දෙන කුඩු ජාවාරමේ ප්‍රබල මර්මස්ථාන අතරින් තෙවැන්න ලෙසින් සඳහන් කළ හැකිය. විදේශයකට පැන ගිය කංජිපානි ඉම්රාන්ගේ ජාවාරම අදටත් මාලිගාවත්තේ ක්‍රියාත්මකව ඇත.

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගෙන මාසයකට පමණ පසු මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි රජය කටයුතු කළේය. ඒ මධූෂ්ද සමඟය. පසුව මෙරටදී අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා අතරින් මාකඳුරේ මධූෂ් පරලොව ගියේය.

මධූෂ් එසේ පරලොව ගියද බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි කංජිපානි ඉම්රාන්ට මුලදී එල්ල කෙරුණු චෝදනා එකින් එක ලිහිල් වෙමින් අධිකරණයෙන් ඇප ලැබෙන තත්ත්වයක් නිර්මාණය වී තිබිණි.

මේ අතරේ ඔහුව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹට රැගෙන ඒමේදී සියලු බුද්ධි අංශ වෙත ඒ බව වාර්තා කළ යුතු යැයි නියෝගයක් පැනවී තිබුණද අවසානයේ සිදුවූයේ එකී නියෝග පසෙක තබා රහසේ ගෙනවිත් කංජිපානි ඉම්රාන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමය.

එසේ ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණයෙන් ඇප නියම වූ කංජිපානි ඉම්රාන් හැමෝටම ටටා කියා මුහුදු මාර්ග ඔස්සේ එදිනම රටින් පලා ගියේය. එසේ පැනගිය කංජිපානි යළි කුඩු ජාවාරම අරඹද්දී ඔහු පැන යෑම පිළිබඳ ඇතැම් දේශපාලනඥයන් සහ විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරනු ලැබුවේ බුද්ධි අංශවලටය. එහෙත් නියෝග නොතකා කංජිපානිව රහසේ අධිකරණයට ගෙන ආවේ ඇයිදැයි අසන්නට කිසිවකුත් නොවීය.

කංජිපානි ඉම්රාන්ගේ ජාවාරම මෙන්ම මොහොමඩ් සිද්ධික්ගේ ජාවාරමද අද මාලිගාවත්ත කේන්ද්‍රීයව ක්‍රියාත්මකව ඇත. මේ වන විට සිද්ධික් වෙනුවට ඔහුගේ ඥාති සහෝදරයකු විදේශගතව සිටිමින් සියල්ල මෙහෙයවන බව බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත.

සිද්ධික්ගේ කුඩු ජාවාරම තවදුරටත් ව්‍යාප්ත කරමින් උණ්ඩියල් සහ රත්‍රන් ජාවාරමක් දක්වාම එය වැඩි දියුණු කිරීමට එකී ඥාති සොහොයුරා දැනටමත් ක්‍රියාත්මක වී අවසන් බවත් කුඩු ජාවාරම සමඟ උණ්ඩියල් ජාවාරමේ යෙදීමේදී මුදල් ගනුදෙනුවලට එය පහසුවක් වීම හේතු වී තිබෙන බවද සඳහන් වන්නේය. එසේම සිද්ධික්ගේ රත්‍රං ජාවාරම ඩුබායි රාජ්‍යය හරහා සිදුවන්නක් බවටද බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත.

මතට තිත තැබීම සඳහා ආරක්‍ෂක අංශ සහ පොලිසියේ සිටින අවංක නිලධාරීන් ඇතුළු පිරිස් අද අඛණ්ඩ මෙහෙයුම් සිදු කරමින් සිටින්නේ අධිකරණයෙන් ඇප ලැබෙන කංජිපානි ඉම්රාන් වැනි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රටින් පැනයෑමට හැකිවන පරිදි
වගකිවයුතු ඇතැම් කණ්ඩායම් කටයුතු කරමින් සිටියදීය.

එසේ කටයුතු සිදුවෙද්දී මතට තිත කෙසේ වෙතත් මෙරට රට මතින් ස්වයංපෝෂිත වීම හැර අන් යමක් සිදුවනු ඇතිද? මෙරට මත පිළිබඳ කතාව එසේ වෙද්දී ඉන්දීය බුද්ධි අංශ මගින් සිදු කරනු ලැබූ එක්තරා සුවිශේෂී මෙහෙයුමක් ඉකුත් සතියේ වාර්තා විය.

එම සිදුවීම වන්නේ ඉන්දියාවේ සිට පකිස්තානයට ගිය එරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනකු පාකිස්තානයේ සිට ඩ්‍රෝන යානාවක් මගින් ඉන්දියාවේ කාස්මීර ප්‍රදේශය ඔස්සේ ඉන්දියාවට කුඩු තොග පොම්ප කිරීමේ ජාවාරමක් ඉන්දීය බුද්ධි අංශ මගින් අනාවරණය කරගැනීම විය.

පාකිස්තානයේ සිට ඩ්‍රෝන තාක්‍ෂණය ඔස්සේ ඉන්දියාවට කුඩු එවීමේ සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාවද මෙය විය. එම සිදුවීමත් සමඟ මෙරට මත්කුඩු ජාවාරම්කරුවන් ඩ්‍රෝන තාක්‍ෂණය භාවිත කරමින් මුහුදේ යම් තැනක සිට මෙරටට කුඩු තොග එවීමේ හැකියාවක් සහ අවදානමක් නොමැති දැයි අප ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහගෙන් විමසීමක් කළෙමු.

නැහැ. එවැන්නක් කිරීමට ඇති ඉඩකඩ ඉතාම සීමිත එකක්. ශ්‍රී ලංකාව දූපතක් නිසා මුහුදේ සිට එවැන්නක් කිරීමට නම් පැහැදිලි බරක් රැගෙන යා හැකි විශාල ඩ්‍රෝන යානාවක් ඒ සඳහා භාවිත කළ යුතුයි. එවැනි යානාවක් මුහුදේ තිබෙන ධීවර යාත්‍රාවක සිට හැසිරවිය නොහැකියි.

එසේම එවැනි යානාවක් යොදා ගැනීමට කටයුතු කළත් ශ්‍රී ලංකාව දූපතක් බැවින් එය ක්‍රියාත්මක කරන්නා ගොඩබිම පෙනෙන සීමාව දක්වා මුහුදෙන් ළඟා විය යුතුයි. අපට ඩ්‍රෝන යානා හසුකර ගැනීමේ රේඩාර් තාක්‍ෂණය නැහැ. එහෙත් මුහුදේ තිබෙන නාවික හමුදාවට අයත් නෞකාවල රේඩාර් පද්ධතිවලට හසු නොවී එවැනි යානාවකට ගමන් කිරීමේ හැකියාවක්ද නැහැ. මෙරට මුහුදු කලාපය ආවරණය වන පරිදි නාවික හමුදා නෞකා ක්‍රියාත්මකව තිබෙන්නේ. එනිසා එවැනි අවදානමක් ශ්‍රී ලංකාවට ඇතිවිය නොහැකියි. ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ අප කළ විමසීමට පිළිතුරු දුන්නේ එලෙසිනි.

දුෂාන් විජේසිංහ මහතා පැහැදිලි කළ පරිදි මුහුදේ සිට ඩ්‍රෝන තාක්‍ෂණය ඔස්සේ මෙරටට කුඩු තොගයක් පොම්ම කිරීමේ හැකියාවක් ජාවාරම්කරුවන්ට නොතිබුණද උකුස්සකු යොදාගෙන කුඩා මත්කුඩු ප්‍රවාහනය කිරීමේ සිදුවීමක් ඉකුත් 2020 වසරේදී මෙරටින් වාර්තා විය.

එය සිදු කර තිබුණේ ඉන්දියාවේදී මියගිය පාතාල ප්‍රබලයකු වූ අංගොඩ ලොක්කාය. මෙම උකුස්සා අල්ලා ගැනීමට පසුව පොලිසිය කටයුතු කරනු ලැබූ අතර අතුරුගිරිය ප්‍රදේශයේදී පොලිසිය මගින් සොයා ගත් එම උකුස්සා දෙහිවල සත්වෝiානයට භාර දෙනු ලැබීය.

ඒ අන්දමට මත්කුඩු ප්‍රවාහනයට යොදාගත් බවට සැකකෙරෙන උකුස්සකු මෑතකදී ද සොයාගනු ලැබීය. එසේම කොළඹ මැගසින් බන්ධනාගාරයට කුඩු ගෙන ගිය පූසකු පිළිබඳවද ඉකුත් කාලයේ වාර්තා විය.

මෙරට කුඩු ජාවාරමුන් ඒ අන්දමට කුඩු ප්‍රවාහන සඳහා ඉපැරණි ක්‍රම භාවිතයට යෙදුණේ නම් ඉදිරියේදී ඔවුන් නවීන තාක්‍ෂණය වෙතට යොමු නොවනු ඇතිද? රට තුළ ගුවන් ගත කරන ඩ්‍රෝන යානාවක් හඳුනා ගැනීමේ රේඩාර් තාක්‍ෂණය මෙරට තුළ නැත. එය ඉතා ඉහළ තාක්‍ෂණයකි.

අධි ආරක්‍ෂිත කලාප තුළ තහනම් පැනවීම සහ එවැන්නක් ගුවන් ගත කරන්නේ නම් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අවසරය ලබාගත යුතු වීම දැනට මෙරට තුළ ඩ්‍රෝන යානා නියාමනය සඳහා පවතින ක්‍රමවේදය බවට පත්ව ඇත.

එම තත්ත්වය තුළ ඉදිරියේදී කැමරා සහිත ඩ්‍රෝන යානා මගින් මෙරට කුඩු ජාවාරමුන් තැනක සිට තවත් තැනකට පොලිසියේ වහලටත් උඩින් කුඩු ප්‍රවාහනය නොකරනු ඇතිද?

මහා පරිමාණ කුඩු ජාවාරමුන් රට වනසද්දී මතට ලොල්වූ එකා අල්ලා ගනිමින් ග්‍රෑම් 2 සහ 5 නඩු උසාවියට ගෙනයන ක්‍රමවේදයක් රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබියදී ඉදිරියේදී එවැන්නක් සිදු වුවහොත් අප පුදුම වියයුතුද නැත. මන්ද මේක පුදුම රටක් නිසාය.

පැතුම් රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment