පරණ කෝට් පුරාණය තවමත් ජීවමාන එදා කාපිරි මුඩුක්කුව අද පිටකොටුව රෝහිණී පටුමඟ

599

රුපියල් හාරදහසක් දීල අලුතින් කලිසමක් ගන්නව වෙනුවට ඒ මුදලට කලිසම් හතරක් අපි දෙනවා…
හොර බොරු නෑ සෝදල මැදල විකුණන්නෙ. ඇන්දට පස්සේ සාප්පුවෙන් ගත්ත වගේ තමයි.…
වතුකරේ ජනතාව වැඩිපුර ම අඳින්නේ ඇඳපු ඇඳුම්. කොළඹින් තමයි ඒ පළාත්වලට බඩු දෙන්නෙ.…
ඩෙනිමට තමයි වැඩිම ඉල්ලුම…
කෝට් එක සාප්පුවෙ 15000 යි අපි ළඟ 1500 යි.…
 

වාහන කන්කරච්චලයේ අඩුවක් නැත. ඊට වෙළෙඳ කන්කරච්චලය ද එක්වූ විට පිටකොටුව යනු එකම කන්කරච්චලයක් ය. පිටකොටුව මල්වත්ත පාර මතින් අපි ඇවිද යමින් හිඳින්නේ එවැනි වට පිටාවක ය. හිරු මුදුන් වීමට තවත් හෝරාවක් දෙකක් පමණ ගතවිය යුතුය. දැඩිව පතිතවන හිරු රැස් යට අප ඇවිද යමින් සිටින්නේ පිටකොටුව මල්වත්ත පාර ඔස්සේ මඳ දුරක් ගිය තැන හමුවන රෝහිණී පටුමඟට පිවිසීම පිණිස ය. මේ වනවිට රෝහිණී පටුමඟ නමින් හඳුන්වන එම පෙදෙස එකල හැඳින් වූවේ කාපිරි මුඩුක්කුව නමින්ය. දැන් එය ව්‍යවහාරයෙන් ඈත්කර තබා ඇති හැඳින්වීමක්ය. මල්වත්ත පාර ඔස්සේ වරාය ප්‍රධාන පිවිසුම දෙසට ගමනේ යෙදෙන අපට ‘රෝහිණී පටුමඟ නමින් නම් කොට ඇති පටු මාවතට පිවිසීම පිණිස ගතවූවේ කෙටි වේලාවක්ය. දැන් අපි ඇවිද යමින් හිඳින්නේ කලක් කාපිරිමුඩුක්කුව නමින් හඳුන්වන ලද පටු මං පෙත ඔස්සේ ය. එකල කාපිරි ජනතාව ජීවත්වූ පෞරාණික නිවාස කීපයක් තවමත් ඒ අයුරින්ම දැකගත හැක. එම නිවාස කුරා කුහුඹියන් බවට පත් කරමින් ඉහළ නැඟී නවීන ගොඩනැඟිලි ආදියෙන් සෙවණ වී ඇති රෝහිණී පටුමඟ ඔස්සේ මඳ දුරක් ඇවිද ගිය පසු එතෙක් වේලා අපව වෙහෙසට පත් කළ ගමන මඳකට නතර විය.

පළමුව මගේ ගමන් සගයා අත වූ කැමරාව ක්‍රියාත්මක විය. කැමරා කාචයේ සටහන්වූ ඡාරූප අතර ගෝනිවල අසුරන ලද කමිස, කලිසම්, ටී ෂර්ට් ඇතුළු පාව්චිචියෙන් ඉවත් කරන ලද නිමි ඇඳුම් සමූහයක් විය. පටුමඟෙහි අනික් පස එලෙස ගෙන එන නිමි ඇඳුම් ගොඩ ගසන ලද අලෙවි සැලක් දැකගත හැක. එවෙලෙහි එහි පාරිභෝගිකයන් කිසිවෙක් නොවූ අතර අලෙවි සැලහි හිමිකරු යැයි අනුමාන කළ හැකි කඩවසම් තරුණයකු එම ඇඳුම් වර්ග කරමින් ඇත. මෙතෙක් වේලා අප සොයමින් පැමිණි ස්ථානය මෙය විය යුතුය. තවත් පමාවිය යුතු නැත. කඩිසරව වැඩෙහි යෙදීහුන් තරුණයා සමග කතාබහ ආරම්භ කළ යුතුය.

‘මොකක්ද, මල්ලී මේ බිස්නස් එක’

ඊට පිළිතුරු දීම මඳකට පමා කළ තරුණයා අප දෙස විමසිලිමත් බැල්මක් හෙළීය. ඔහු මුහුණ මත අප ඔහුගේ ගනුදෙනුකරුවන් නොවන බව හඟවන බැල්මක් රැඳී ඇති අයුරු හොඳින් කියවා ගත හැක. තම වෙළෙඳාමේ රහස් වෙනත් පාර්ශ්වයක් වෙත ලබාදීම පිණිස ඔහු තුළ කැමැත්තක් නැත. අපි සතුව කැමරාවක්ද පැවැතීම එම අකමැත්තට තවත් හේතුවක් වී ඇත.

‘මේක මගේ බිස්නස් එකක් නොවෙයි අයියා. තාත්තා තමයි මේ බිස්නස් එක කරගෙන යන්නේ… එයා මේ වෙලාවේ ගෙදරට ගිහින්. තාත්තගෙන් තමයි විස්තරයක් දැන ගන්න වෙන්නේ…’

එසේ පැවසූ තරුණයා නැවතත් ඇඳුම් වර්ගීකරණය පිණිස යොමුවිය. අප ද එම ස්ථානයේ තවදුරටත් රැඳී සිටින්නට විය. ‘පල නොකියා පලා බෙදුව ද’ අප ඉන් ඉවත් නොවන බව වටහාගත් හෙයින්දෝ අප සමීපයේ වන නාඳුනන තරුණයා නැවතත් හඬ අවදිකරන්නට විය.

‘මොකක්ද මේ බිස්නස් එක ගැන ඔයාලට දැන ගන්න තියෙන්නෙ…’

අපගේ අරමුණ සාර්ථක වෙමින් පවතින බවට ඉඟි පළවෙමින් ඇත. අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත් අප එහි පැමිණි හේතුව ඔහු හා පවසා සිටියහ.

‘…මගෙ පින්තූර එහෙම පත්තරේ දාන්න එපා. මම විස්තරේ කියන්නම්. මේක කුඩු, ගංජා බිස්නස් එකක් නොවෙයි. ඒ හින්දා මේ බිස්නස් එක මොකක්ද කියල කියන්න බය වෙන්න ඕන නෑ.

’මෙහෙමයි… මෙතැන මේ ගොඩගහල තියෙන්නෙ පරණ ඇඳුම්. කමිස, කලිසම්, ටී ෂර්ට්, ෂෝර්ට් ඔය හැම එකක්ම මෙතැන තියෙනවා. මේව අපි ළඟට ගේන්නේ පරණ කෝට්කාරයන්. ඒ අය ගෙයක් ගෙයක් ගාණේ ඇවිදගෙන ගිහින් එකතුකරන බඩුවලින් ඇඳුම් ටික ගෙනැත් දෙන්නෙ අපිට. අපි ඒකට සාධාරණ මුදලක් ඒ අයට ගෙවනව. එහෙම මිලදී ගන්න ඇඳුම් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි ඒ පරණ ඇඳුම් ටික ඒ ඒ වර්ග යටතේ කොටස් කරනවා. එහෙම කරල ඊළඟට සෝදන්න දානවා. හෝදලා මැදල ගත්තට පස්සෙ අර පරණ ඇඳුම්වලට හොඳ පෙනුමක් එනවා. එහෙම සෝදල පිරිසිදු කරල ගන්න පරණ ඇඳුම් තොගයට අලෙවි කරන එක තමයි අපේ බිස්නස් එක බවට පත්වෙලා තියෙන්නේ.’

කෙටියෙන් වුවද ඔහු විසින් කරන ලද පැහැදිලි කිරීම ප්‍රමාණවත්වය. ඒ ඔස්සේ යමින් තවත් බොහා් දේ අනාවරණය කරගත හැක. රටේ ආර්ථිකය බින්දුවට පල්ලම් බැස ඇති බැවින් මේ දිනවල අලුතින් ඇඳුමක් පැළඳුමක් මිලදී ගැනීම බොහෝ දෙනකුට කළ නොහැකි දෙයක් බවට පත්වී ඇත. පිටකොටුවේ රෝහිණී පටුමඟ කේන්ද්‍ර කර ගනිමින් පැරණි ඇඳුම් අලෙවිය ආරම්භ වන්නේ ඊට විකල්පයක් වශයෙන් ද? එලෙස අලෙවි කරනු ලබන පරණ ඇඳුම් මිලදී ගන්නේ කවුරුන් විසින් ද? මේ ආදී ප්‍රශ්න රැසක් වූ හෙයින් ඒ වනවිට අපහා තරමක් මිතුරුකම් පාන ලද තරුණයාගෙන් ම ඒ පිළිබඳ විමසා සිටින්නට සිත් පහළ විය. ඒ පිළිබඳව ඔහුගෙන් කරන ලද විමසීමෙන් අනතුරුව ලබාදුන් පිළිතුරෙහි මෙසේ සඳහන් විය.

‘මේ බිස්නස් එක රටේ සල්ලි නෑ කියල පටන් ගත්ත එකක් නොවෙයි. මගේ සීයගෙන් තමයි තාත්තට මේක ආවේ. සමහර විට ඉදිරියට මේක මගෙත් බිස්නන් එක වේවි. ඊට අමතරව මහත්තයල ඇහුවනේ මේ පරණ ඇඳුම් කවුද ගන්නෙ කියලා. මේ බිස්නස් එක කරන තවත් හය හත් දෙනෙක් විතර මේ පටුමඟේ ඉන්නවා. ඒ අයත් එක්කත් කතා කරල බලන්න. එතකොට තව විස්තර හොයා ගන්න පුළුවන්. අපේ බිස්නස් එක ගැන කතා කරනවනම් මේ ඇඳුම් වැඩිහරියක් යන්නෙ හැටන්, මස්කෙළිය, නුවරඑළිය වගේ පළාත්වලට. ඒ පළාත්වල ජීවත්වන වතු කම්කරු ජනතාවට අලුතින් ඇඳුම් මිලට ගන්න හයියක් නෑ. අලුතින් කමිසයක් ගන්න රුපියල් දාහක් යනවනම් අපෙන් රුපියල් දෙතුන් සීයකට ඊට සමාන කමිසයක් ගන්න පුළුවන්. මේ බිස්නස් එක කරන වෙනම පිරිසක් ඒ පළාතේ ඉන්නවා. ඒ අය අපෙන් තොග වශයෙන් අරගෙන ගිහින් සිල්ලරට විකුණනවා. ඉරුණු දියවුණු ඇඳුම් කෑල්ලක්වත් මෙතැන නෑ. මේකත් කාටවත් කරදරයක් නැති සාධාරණ වෙළෙඳාමෙන් පමණයි.’

ඔහුගෙන් සමුගත් අප තරමක් අප්‍රකට පටුමඟක් වූ රෝහිණී පටුමඟ ඔස්සේ තවත් ඉදිරියට ගමන් කරන්නට වූහ. කොළඹ කොටුව අනිකුත් ප්‍රදේශ මෙන් රෝහිණී පටුමඟ ජනාකීර්ණ නැත. එබැවින් අපහසුවකින් තොරව පා ගමනින් එහි ඇවිද යා හැක. මඳ දුරක් ඇවිද ගිය පසු ඉහත විස්තර කළ ආකාරයේ තවත් වෙළෙඳ සැලක් දැකගත හැකි වූහ. එය මුළුමනින්ම වෙන්ව පැවැතියේ පරණ කාන්තා ඇඳුම් අලෙවිය පිණිස ය. ඒ වනවිට ද එහි ගනුදෙනුකාරියන් කීපදෙනෙක් වූ බැවින් වෙළෙඳ සැල හිමි කාන්තාව තරමක් කාර්ය බහුල වී ඇත. පදික වේදිකාවේ සිට මඳ වේලාවක් වෙළෙඳ සැල දෙස බලා සිටීමේ දී නිරීක්‍ෂණය වූවේ පරණ ඇඳුම් තෝරමින් සිටි කාන්තාවන්ගෙන් කීපදෙනෙක් තම තෝරා ගැනීම් ආදියෙන් අනතුරුව මුදල් ගෙවා එම ඇඳුම් මිලදී ගැනීමෙන් අනතුරුව එම ස්ථානයෙන් සතුටින් පිටව යන ආකාරයක්ය.

එම ප්‍රදේශය පසුකර තවත් පියවර කීපයක් පසුකළ පසු පැරණි කෝට් කලිසම් ආදිය අලෙවි පිණිස තබා ඇති තවත් වෙළෙඳ සැලක් දැකගත හැක. චකිතයකින් තොරව එම වෙළෙඳ සැලට ගොඩවූ අප අලෙවිය පිණිස තබා ඇති කෝට් එකක මිල විමසන්නට විය.

‘බලල ගන්න මහත්තයා. ඕනම කෝට් එකක් එක්දහස් පන්සීයයි. කෝට් එකට හරියන කලිසමත් ඕන නම් ඒකත් අපි ළඟ තියෙනවා. රුපියල් තුන්දාහක් දෙනකොට ෆුල් කිට් එක ගන්න පුළුවන්. ඕන මඟුල් ගෙදරකට කැත නැතුව අඳින්න පුළුවන් බඩු තමයි අපි ළඟ තියෙන්නේ.

වෙළෙඳ සැල හිමිකරු යැයි අනුමාන කළ හැකි පුද්ගලයාගේ කතාවේ සත්‍යයක් ඇත. විවිධ මාදිලියේ කෝට් කලිසයම් එම ස්ථානයෙන් මිලදී ගත හැක. තවත් කවුරුන් විසින් හෝ මීට පෙර අඳින පලඳින ලද එම කෝට් කලිසම් නැවත අලෙවිය පිණිස තබා ඇත. ඒවා මිලදී ගැනීමට පාරිභෝගිකයන් ද වරින් වර පැමිණෙමින් ඇත. මේ දිනවල කෝට් කලිසම් සඳහා එතරම් ඉල්ලුමක් නැතත් නැකැත් සමයන්හී ටයි, කෝට්, කලිසම් මිලදී ගැනීම පිණිස විශාල පිරිස් එහි යන එන බව අප හා පවසා සිටියේ ඒ අසල පෙට්ටි කඩයක් පවත්වාගෙන යන වෙනත් පුද්ගලයකු විසින්ය. රෝහිණී පටුමඟෙ හි වටයක් කරක් ගැසූ අපට පැහැදිලි වූ එක් කරුණක් වූවේ පරණ සපත්තු පිණිස මල්වත්ත පාර ප්‍රසිද්ධ යම් සේ ද ඒ තරමට ම පැරණි ඇඳුම් අලෙවිය සඳහා රෝහිණී පටුමඟ ප්‍රසිද්ධියක් උසුලන බවක්ය. ලොකු කුඩා බාල මහලු ඕනෑම කෙනකු වෙනුවෙන් සෝදා පිරිසිදු කරන ලද නිමි ඇඳුම් මෙන්ම රැගෙන ගොස් සෝදා පිරිසිදු කිරීමෙන් අනතුරුව පාවිච්චියට ගතහැකි අයුරින් ද එම වෙළෙඳ පොළ ක්‍රියාත්මකය. එම වෙළෙඳ පොළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ යම් වැටහීමක් සහිතව එම ප්‍රදේශයේ නික්මුණ අපි ඉන් අනතුරුව ළඟා වූවේ මල්වත්ත පාර ආරම්භයේ බොහෝ දෙනකුට දකින්නට ලැබෙන පැරණි ඩෙනිම් කලිසම් අලෙවි සැලක් වෙතය. එහි ළඟාවූ අපට දැකගත හැකි වූවේ ඩෙනිම් පමණක් නොව නොයෙක් මාදිලියේ කලිසම් මිලදී ගැනීම සඳහා එය කදිම වෙළෙඳ පොළක් වී ඇති ආකාරයක්ය. පාරිභෝගික ප්‍රජාව ද එහි අඩුවක් නැත. එම ස්ථානයේ අලෙවි කටයුතුවල නිරත අලෙවි සහායකයකු අප හා කතා බහට එක්වූවේ එම ස්ථානයේ වූ ගනුදෙනුකරුවන් කීපදෙනෙකු එහා මෙහා වීමෙන් අනතුරුවය.

‘අපෙන් කලිසම් මිලදී ගන්න එන පිරිස අතරින් වැඩිහරියක් ඉන්නේ රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාලවල වැඩකරන මහත්වරු. ඒ අයට දවස් පහට අඳින්න කලිසම් පහක් ඕන කියල හිතමු. කලිසම් පහක් මහන්න මාසේ පඩිය මදිවෙනවා. මාසෙකට දෙකකට වරක් හෝ එක කලිසමක් අලුතින් මිලදී ගන්න වෙනවා කියල හිතමු. ඒකට රුපියල් හාර පන්දහසක් යනවා.

ඒ අය මොකද කරන්නෙ අපි ළඟට එනවා. අද අලුතින් රුපියල් තුන්හාර දාහක් දීලා ගන්න කලිසම අපි ළඟ රුපියල් අටසීයි. හාරදාහකට අපෙන් කලිසම් හතරක් පහක් ගන්න පුළුවන්. කොල්ලො කෙල්ලො අඳින්නෙ ඩෙනිම්. සාප්පුවේ රුපියල් දහදාහක් වෙන ඩෙනිම අපි ළඟ තුන්දාහයි. ඇවිල්ල ගන්නව. කැම්පස්වල ළමයි පවා බඩු ගන්නෙ අපෙන්. අරන් ගිහින් ඇන්දට පස්සෙ කවුරුවත් අහන්නෙ නෑනේ ඕක පරණ කෝට් කඩයකින් ගත්ත ද කියල. රටේ තියෙන ආර්ථිකයත් එක්ක මිනිස්සුන්ට හරි අමාරුයි. නමුත් කන්න, අඳින්න නැතුව ඉන්න බෑනෙ. ඒ හින්ද අපේ බිස්නස් එක හොඳයි. ලස්සන නෝනල පවා වටපිට බලල දන්න අඳුනන අය පේන්න නැත්නම් අපෙන් ඩෙනිමක් කොට කලිසමක් අරන් යන තත්ත්වයක් තමයි දැන් තියෙන්නෙ. ඉස්සර අපෙන් වැඩි හරියක් බඩු ගත්තෙ පිට පළාත්වලින්. කොළඹ එන මිනිස්සු, දැන් ඒ තත්ත්වය වෙනස්. කොළඹ ඉපදිල කොළඹ ජීවත් වෙන අයත් දැන් දැන් තමන්ගෙ විළි වහගන්න ඔය කීයක් හරි අඩු ගාණක් දීල පරණ ඇඳුම් ගන්න එක දැන් දැන් වැඩිවෙමින් තියෙනවා. මොනව කරන්නද? කන්න බොන්න වියදම් කරාට පස්සෙ අඳින්න පලඳින්න කෝ සල්ලි…’

පිටකොටුව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්ම පරණ ඇඳුම් නැවත අලෙවි වන වෙළෙඳාම සිදුවන්නේ ශීත කළ කඩ සාප්පු තුළ නොව පදික වේදිකාව මත හෝ අවම ඉඩ පහසුකම් සහිත කුඩා කඩ කාමර තුළ ය. පිටකොටුව රෝහිණී පටුමඟ සහ ඒ අවට සංචාරයක නිරතවූ අපට ඒ බව හොඳින් දැකගත හැකි වූහ. අනුන්ගේ කිලිකුණු සහිත ඇඳුම් සෝදා පිරිසිදු කර තවත් පිරිසක් වෙත අලෙවි කිරීමත් ඉන් ලැබෙන ආදායමින් තම තමන්ගේ දරු පවුල් රක්‍ෂා කිරීමත් තම වෘත්තීය බවට පත්කරගත් මිනිසුන් කීපදෙනෙකු හා කතා බහ කිරීමටත් එහිදී අපට අවස්ථාව ලැබුණ අතර ඔවුන් සියලු දෙනා සඳහන් කර සිටියේ කුඩු ගංජා සඳහා ඉහළ ඉල්ලුමක් පවතින කොළඹ නගරය තුළ තම තමන් යහපත් කර්මාන්තයක නිරත වන බවත් ඒ තුළින් තම දරු පවුල් රක්‍ෂා වන සේම සමාජයේ තවත් පිරිසක් වෙත සේවයක් ද සිදුවන බැවින් ඔවුන් සතුටු සිතින් තම තමන්ගේ බිස්නස් කරගෙන යන බවත් ඉදිරියේ දී රටේ අනිකුත් කර්මාන්තවලට මෙන්ම තම තමන්ගේ බිස්නස් ආදියටත් නපුරු කල දවසක් උදාවීමේ අවධානමක් ද පවතින බවය. ඒ කුමන හේතුවක් මතද යන පැනය ඔවුන් වෙත යොමු කිරීමෙන් පසු ඔවුන් පවසා සිටියේ මෙවැන්නක්ය.

‘ඉස්සර වගේ දැන් පාවිච්චි කරපු ඇඳුම් ගෙවල්වලින් එළියට දාන්නෙ නෑ. සපත්තු සෙරෙප්පු වගේ තමයි. පට්ට ගහනව. දැන් ගෙවල් ගාණේ යන පරණ කෝට්කාරයෝ ගොඩක් වෙලාවට එන්නෙ හිස් අතින්…’

වෙනසක් නැත. රටේ අර්බුදය පැල්පතට මෙන්ම මාලිගයට ද දැනෙමින් ඇත.

රුවන් ජයවර්ධන
ඡායාරූප: කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment