‘අරගලය’ පරාජය කිරීමේ පළමුවන සංවත්සරය

572

තව දින හතරකින් (ජුලි 20) රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ පළමු සංවත්සරය සමරනු ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව පලවා හැර කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ නායකත්වයෙන් අන්තර්වාර පාලනයක් පිහිටුවීමට සැලසුම් කළ දෙස් – විදෙස් කණ්ඩායම තමන්ට වැරදුණේ කොතැනදැයි සිතමින් පසුගිය වසර පුරාම තැවුණ බව රහසක් නොවේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ එම කණ්ඩායමේ පළමු තේරීම වූවානම් ජනාධිපති ලේකම් කාර්යාලය (පරන පාර්ලිමේන්තුව) සියතට ගෙන සිටි කණ්ඩායම එයින් ඉවත් කිරීමට ආරක්ෂක හමුදා යෙදවීමට එතුමාට සිදුවන්නේ නැත.

ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 16 දී පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ලබා ගත් වසර පහෙන් ඉතිරි කාලය සම්පූර්ණ කිරීමට පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන් තේරී පත්වූ වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පළමුවන රාජකාරිය වූයේ ආරක්ෂක හමුදා සහ පොලිස් බලය යොදා ජනාධිපති ලේකම් කාර්යාලය ‘අරගලකරුවන්ගෙන්’ මුදා ගැනීමයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයා නව තනතුරේ දිවුරුම් දී පැය 24 යෑමට පෙර ගත් එම ක්‍රියාමාර්ගය ජනාධිපති ධුරයේ අඩිතාලම බව අවධාරණය කළ යුතුමය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ජනතාව මෙහෙයවූ දෙස් -විදෙස් කණ්ඩායම වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගත් හමුදාමය ක්‍රියාදාමයට විරුද්ධව කළ ප්‍රකාශ එජාප නායකයා නොසලකා හැරියේය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය ‘අරගලයට’ කකුල් මාට්ටුවක් දැමූ බවට අර්ථකථනය කළ හැක. භූමියේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ස්ථාවර වීමත් සමඟ බටහිර බලවතුන් සහ ඉන්දියාව වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ දිගු ගමනක් යෑමට සූදානම් බව පැහැදිලිය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා තම බලය ස්ථාවර කර ගැනීම තුළ විපක්ෂය ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇත. එම ගැටලුකාරී තත්ත්වය අර්බුදයක් දක්වා වර්ධනය වීම වැළැක්වීම විපක්ෂයේ වගකීමයි. නමුත් විපක්ෂය ජනාධිපතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිව පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත කරන ප්‍රකාශවලට අමතරව සංවිධානාත්මක දේශපාලන වැඩපිළිවෙළකට තවමත් අවතීර්ණ වී නැත.

විපක්ෂය තුළ වර්ධනය වෙමින් පවතින ගැටලුකාරී තත්ත්වය, අසමගිය සහ දුර්වලතා වික්‍රමසිංහ ජනාධිපතිවරයා මත ඇති පීඩනය තව දුරටත් ක්‍රමානුකූලව අඩු කරනු ඇත.

එලෙසම තමාව වසරකට පෙර ජනාධිපති ධුරයට පත්කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීම පරිදි අමාත්‍යධූර ලබා නොදීම එම පක්ෂය මුහුණ දී සිටින තීරණාත්මක අභියෝගයකි. බරපතළ ගැටලුවක් අවධාරණය කිරීමකි. පොහොට්ටු පක්ෂ නායකත්වය මෙන්ම සමස්ත පාර්ලිමේන්තු කණ්ඩායම ම අසරණ කර ඇති අවස්ථාවකි. පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත සිදුවන ක්‍රියාදාමය තව දුරටත් ජනාධිපතිවරයාව ශක්තිමත් කිරීම උදෙසා බව අවධාරණය කළ යුතුය. නමුත් අවාසනාවකට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කෙටිකාලීන වාසි තකා ක්‍රියාකිරීම සහ කෙසේ හෝ මාධ්‍යයේ අවධානය දිනා ගැනීමට යුහුසුළු වන බව පෙනේ. ජනාධිපතිවරයාගේ සට කපට වැඩපිළිවෙළට අභියෝග කිරීමට අවශ්‍ය උපාය මාර්ගික සැලැස්මක් විපක්ෂයට නැත.

වික්‍රමසිංහ එජාප නායකයා ලෙස 1994 පත් වූවායින් පසුව ඔහුගේ දේශපාලන දිවියේ සාර්ථකම වසර 2022 ජුලි – 2023 ජුලි ලෙස කීවත් වරදක් නැත. පස් වරක් අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට 1993 සිට 1994, 2001 සිට 2004, 2015 සිට 2018, 2018 සිට 2019 සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ලැබූ ආරාධනාවක් මත 2022 මැයි සිට ජුලි දක්වා නායකත්වය දුන් වික්‍රමසිංහ දේශපාලන භූමිය තමන්ට රිසි පරිදි සකස් කිරීම යම් බාධා කිරීම් මධ්‍යයේ කරනු බව පෙනේ.

ඒ විධායක බලතලවලට අමතරව මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර්ය ඉටු කරමින් මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථානුකූලව හිමි බලතල සියතට ගැනීමෙනි. පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන ‘යුතුකම’ සිවිල් සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා අනුගමනය කරන අතිශය අනර්ථකාරී ක්‍රියාදාමය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත අවධාරණය කර ඇත. ඊට අමතරව පොහොට්ටු ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සහ සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රී එම පක්ෂයේ පළාත් මැතිවරණයේදී කොළඹ පුරපති අපේක්ෂක මුජුබර් රහුමාන්ද වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඒකාධිපති ගමන ගැන ජනතාව දැනුවත් කර නැත.

නමුත් වික්‍රමසිංහ ගැටයට හසුවී සිටින පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම එජාප නායකයා සමඟ සිටින තුරු ඔහුට පාර්ලිමේන්තුව තුළ ගැටලුවක් නැත. ජනාධිපතිවරයා සමඟ සිටිනවා හැර පොහොට්ටු පාර්ලිමේන්තු කණ්ඩායමට වෙන විකල්පයක් ද නැත.

● ආන්දෝලණාත්මක තීරණයක්

වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු කොමිටි තම අණසකට ගැනීමට ගත් ක්‍රියාමාර්ගය සහ වික්‍රමසිංහ – රාජපක්ෂ රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොළොත්භාවයට හේතු සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම ජුලි හය වෙනිදා සිදු විය. ප්‍රශ්නය වූයේ එම කාරක සභාවේ සභාපතිත්වය පොහොට්ටු පක්ෂයේ මහා ලේකම් නීතිඥ සාගර කාරියවසම්ට පැවරීමයි. එලෙසෙම එම කාරක සභාව පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් පිරවීමයි.

ඒ අනුව පොහොට්ටු මන්ත්‍රීවරුන් වන නීතිඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි, ඩී. වී. චානක, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රදීප් උඳුගොඩ, රංජිත් බණ්ඩාර, සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ සහ නාලක බණ්ඩාර කොට්ටෙගොඩ සහ සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉරාන් වික්‍රමරත්න, අශෝක් අබේසිංහ සහ හර්ෂණ රාජකරුණා ද, ජවිපෙ වෙනුවෙන් විජිත හේරත් සහ ද්‍රවිඩ ජාතික පෙරමුණේ ශානික්‍යන් රාසමනික්කම් සමන්විත විය.

විජිත හේරත් මන්ත්‍රීවරයා එම කාරක සභාවෙන් ඉවත් වී පය 24 ක් යෑමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද තම නියෝජිතයන් ද එම පරීක්ෂණයට සහභාගි නොවන බව ප්‍රකාශ කළේය. එතුමා අවධාරණය කළේ තමන්ගේ නායකත්වයෙන් යුතුව විපක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමකට එම කටයුත්ත කිරීමට හැකි බවයි. නමුත් එම ප්‍රකාශ දෙකටම වඩා මෙම ලියුම්කරු දේශපාලනිකව වැදගත් යැයි සලකන්නේ ‘කෝපා’ කමිටුවේ (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් කළ ප්‍රකාශයයි.

නවල පිහිටි ‘නිදහස් ජනතා සභාව’ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හේරත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ කථානායකවරයා ප්‍රකාශයට පත් කළ කාරක සභාව මෙන්ම විපක්ෂ නායකවරයා යෝජනා කළ විමර්ශනයට අමතරව තමන් හිටපු ‘කෝපා’ කමිටුවේ සභාපතිවරයා ලෙස වෙනමම පරීක්ෂණයක් කිරීමට කටයුතු කරන බවයි. මහාචාර්යවරයා නොපැවසුවත්, එම ප්‍රකාශය නැවතත් අවධාරණය කළේ විපක්ෂයට සැලසුම් සහගත ක්‍රියාවලියක් තවමත් නොමැති බවයි. නීති සම්පාදක චරිත හේරත්ට ඒකාබද්ධ විපක්ෂය පත් කිරීමට යෝජනා කර ඇති කමිටුව සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව පැවසුවත් එහි වරදක් නැත.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා ‘අරගලය’ දේශපාලන භූමියෙන් ඉවත් කර තමන් වසරක විධායක තනතුරේ සිටීම සමරන මෙම අවස්ථාවේ රට බංකොළොත් බවට පත් වූ ආකාරය නිසි ලෙස විමර්ශනය කිරීමට නිසි යාන්ත්‍රණයක් විපක්ෂයට නොමැති වීම එසේත් නැතහොත් ඒ පිළිබඳව එකඟතාවයක් නොමැති වීම අවාසනාවන්ත තත්ත්වයක් නොවේද?

පොහොට්ටු නායකත්වයට සහ ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට කථානායකවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනතාව කිසිසේත් පුදුම වන්නේ නැත. කථානායකවරු තමන් එම තනතුරට පත් කරන දේශපාලන බල අධිකාරියට එරෙහිව යන්නේ නැත. එවැනි හදිසි තත්ත්වයක් උද්ගත වුවහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ දේශපාලන අධිකාරිය කිසිසේත් පසු බට වන්නේ නැත. ඒ සම්බන්ධයෙන් දිය හැකි හොඳම උදාහරණය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා තමන්ට එරෙහිව එවකට කථානායක එම්. එච්. මොහමඩ් භාරගත් දෝෂාභියෝගය ‘අතුරුදන්’ කිරීමට ගත් ක්‍රියාමාර්ගයයි. ඒ 1991 අගභාගය කම්පනයට පත් කළ දේශපාලන සිදුවීම විය. නමුත් සමගි ජනබලවේගය නායකත්වය දෙන විපක්ෂයට සියලු පක්ෂ සහ කණ්ඩායම්වල එකඟත්වයෙන් එක වැඩපිළිවෙළකට ඒමට බාධාවක් තිබිය නොහැක.

කෙසේ වෙතත් මහාචාර්ය හේරත් අවධාරණය කළේ ජුලි 15 දින සිට මාස තුනකින් රට බංකොළොත් කළ කණ්ඩායම සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් ජනතාව ඉදිරියේ තබන බවයි. එතුමා අවධාරණය කළ පරිදි 2010 සිට 2022 අප්‍රේල් 12 (වර්තමාන මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රට බංකොළොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ දිනය) ආර්ථිකය වළපල්ලට ගෙන ගිය ආකාරය විමර්ශනයට ලක් කළහොත් වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව පමණක් නොව ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය ද අනතුරේ බව කිව යුතුය.

යහපාලන ආණ්ඩුවට නායකත්වය දුන් එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ සමයේ විදේශ මූල්‍ය වෙළෙඳ (ජාත්‍යන්තර බැඳුම්කර) පොළෙන් අධික පොලියට ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 ගැනීම රට බංකොළොත් වීමට හේතු වූ බව රහසක් නොවේ. මේ ආකාරයෙන් ණය ගැනීම මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ වුවත්, ශ්‍රී ලංකාව ගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 16න්, 12.5 යහපාලන සමයේ (2015-2019) ලබා ගැනීම විමර්ශනය කළ යුතු බව ආචාර්ය හේරත් ගේ ස්ථාවරයයි. එවැනි තත්ත්වයක් තුළ එදා යහපාලන කැබිනට් මණ්ඩලය නියෝජනය කළ සමගි ජනබලවේගය නායකයන් අතහැර පරීක්ෂණයක් කළ නොහැක.

● දෙස් – විදෙස් සාධක

හිටපු ‘කෝප්’ කමිටු සභාපතිවරයා ලෙස ආචාර්ය චරිත හේරත් ඉදිරිපත් කරන වාර්තාවකට වර්තමාන පාර්ලිමේන්තුවේ පිළිගැනීමක් ලැබෙන්නේ නැත. නමුත් රාජ්‍ය බලය සැමදා තමන්ට අවශ්‍ය ආකාරයට යෙදවිය නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තේරුම් ගන්නා විට ජනතාව ජනාධිපති මන්දිරය වටලා හමාරය. ආණ්ඩු බලය ව්‍යවස්ථානුකූල නොවන ආකාරයට වෙනස් කිරීමට යොදාගත් හේතු සාධක අමතක කර හේරත් මන්ත්‍රීවරයා අවධාරණය කළ පරිදි ජාතික විගණන කාර්යාලය 2022 ජුලි නිකුත් කළ ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ණය පිළිබඳ විශේෂ විගණන වාර්තාව (2018 – 2022) සහ අනෙකුත් ආර්ථිකමය වන කරුණ කාරණා මත පමණක් සාර්ථක විමර්ශනයක් කිරීමට අවස්ථාවක් නැත.

ප්‍රසිද්ධ දේශපාලන විචාරක සහ ජාතික සාහිත්‍ය සම්මානලාභී සේන තෝරදෙණිය මෑතකදී ඉංග්‍රීසි බසින් නිකුත් කළ ‘ගෝල් ෆේස්’ ක්‍රියාදාමය තියුණු විමර්ශනයකට ලක් කරන ග්‍රන්ථය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවම මුහුණු දුන් එම තත්ත්වය අවධාරණය කරයි. එම ජාත්‍යන්තර මැදිහත් වීම කොළඹ පොර පිටිය තුළ පිළිඹිඹු වූයේ කොරියානු සම්භවයක් ඇති ජූලි චන්ග් ඇමෙරිකානු තානාපතිවරිය කටයුතු කළ ආකාරය තුළයි. තෝරදෙණිය සමස්ත ඇමෙරිකානු මැදිහත්වීම අපූරුවට ජනතාව ඉදිරියේ තබා ඇත. මෙය මහාචාර්ය චරිත හේරත් කියවිය යුතුම පොතකි. රට බංකොළොත් කිරීම සම්බන්ධයෙන් 2010 සිට පක්ෂ දේශපාලන ක්‍රමය තුළ අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කිරීම සිදු වූවාදැයි සැකයක් මතුවන තරමටම මෙම ආණ්ඩු සියල්ලේම හැසිරීම ප්‍රශ්නකාරීය.

විධායක බලය කවුරු දැරුවත්, තීන්දු තීරණ ගැනීමේ සමස්ත ක්‍රියාවලිය විදේශීය බලවේගවලට හසු වුවාදෝ යන සැකයක් ඇතිවීම කොරහේ කිඹුලන් දැකීමක් නොවේ. ජපානයේ මූල්‍ය ශක්තියෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය 2020 මහා මැතිවරණයෙන් සති කීපයකට පසුව හදිසියේම අයෝජකයාටත් නිල වශයෙන් නොදන්වා අවලංගු කර දැමීම සම්බන්ධයෙන් අදටත් පැහැදිලි හේතුවක් දක්වා නැත. එම තීරණය ගත් ආකාරය සම්බන්ධයෙන් ජපානය උරණ වූ බව රහසක් නොවේ. වර්ධනය වෙමින් පැවති මූල්‍ය අර්බුදයට පිලියමක් ලෙස රාජපක්ෂ ජනාධිපතිවරයා ජපානයෙන් බලාපොරොත්තු වූ හදිසි මූල්‍ය ආධාර කවදත් ශ්‍රී ලංකාවට හිතවත් වූ ජපානයෙන් නොලැබුණේ විශේෂයෙන්ම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීම නිසාය. ආචාර්ය හේරත්ට ජපානය සමඟ ඇතිවූ අර්බුදකාරී තත්ත්වයට හේතු සොයා බැලිය හැක. එදා පොහොට්ටු ආණ්ඩුව ගත් තීරණයට යම් විදේශීය බලපෑමක් තිබුණාද ? එම සිද්ධිය ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක කළ මෙහෙයුමේ කේන්ද්‍රස්ථානයක් විය හැක.

තෝරදෙණිය සමස්ත තත්ත්වය සම්බන්ධයෙන් අපූරු විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. ජපානය විරසකවූ එම සිද්ධිය සමඟ තෝරදෙණිය අවධාරණය කර ඇති ශ්‍රී ලංකාව සහ රුසියාව අතර මිත්‍රත්වය බිඳ දැමීමට කළ දේශද්‍රෝහී උත්සාහය විමර්ශනය කළ හැක. බස්නාහිර වාණිජ අධිකරණයේ නියෝගයක් වැරදි ආකාරයට නිර්වචනය කර රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානයක් 2022 ජුනි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රඳවා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය කළේය. ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව බලමුළු සංවිධානය වෙමින් තිබූ තීරණාත්මක අවස්ථාවකදීය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම අවස්ථාවේදී ගනු ලැබූ ස්ථාවරය අතිශය ප්‍රශ්නකාරී විය. බොහෝ ආන්දෝලණාත්මක කරුණු කාරණා සම්බන්ධයෙන් විගස නිවේදන නිකුත් කරන නීතිඥ සංගමය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. තත්ත්වයේ වෙනසක් නැත. රට බංකොළොත් වීමට හේතු සහ එම තත්ත්වයට වගකිවයුතු පුද්ගලයන් නිශ්චිතව හෙළිදරව් කරනා තුරු ශ්‍රී ලංකාවට ඉදිරියට යෑමට නොහැකිය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment