අශිෂ්ටත්වයට එරෙහි ශිෂ්ට අරගලයට මල් මිටක්

95

අන් කවරදාකටවත් වඩා භයානක ලෙසත්, කනගාටුදායක ලෙසත් අපේ මාතෘභූමිය ඛේදවාචකයක සිරවී සිටී. ජනතා පීඩනය නොවැටහෙන පාලකයෝ ජනතාව වෙතම පීඩනය වපුරමින් සිටිති.

ජනතාව අපේක්ෂා භංගත්වයට පත්ව සිටී. තාරුණ්‍යය වේදනාබරව සිටී. නොදරුවන් කඳුළු පුරවාගෙන සිටී.

තර්කයක් නැත. ආණ්ඩුව අශිෂ්ටය. පළමු තත්පරයේම මේ ආණ්ඩුව නෙරපා හැරිය යුතුය. ඒ වෙනුවෙන් පෙළ ගැසෙමින් සිටින සියලූදෙනාට ගෞරවය පිදිය යුතුයි. දිරිදිය යුතුය. ඒ අතර ඔබට දයාබරව ආයාචනා කරන්නෙමි. ඔබේත්, මගේත් මාතෘභූමිය කඳුළු සලන පරාදීසයක් නොකර, බලාපොරොත්තුවේ ක්‍ෂේමභූමියක් කර ගනිමු. ඔව්, අශිෂ්ට පාලනය, ශිෂ්ට සම්පන්නව, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව නෙරපා හැරිමට පෙළ ගැසෙමු.

යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් කි‍්‍රයාවන් හේතුකොටගෙන මෙන්ම යහපත් මිනිසුන් අවශ්‍ය අවස්ථාවන්හිදී නිහඬ වීම හේතුවෙනි. කලබලකාරී ලෙසින් සහ හැඟීම්වලින් මුසපත්ව තීන්දු තීරණ ගැනීම්වලට වඩා නිවැරදිව, සාමුහිකව තීන්දු තීරණ ගැනීම්වලට යෑම ඉතා වැදගත්ය. එවැනි ප‍්‍රවේශයකට රට යොමුවිය යුතු මොහොත පැමිණ තිබේ.

දේශපාලන නායකයන්, බුද්ධිමතුන්, සියලූ ආගමික නායකයන් මෙන්ම අපේ රටේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය, රට අද මුහුණ දී ඇති බැ?රුම්, අභියෝගාත්මක තත්ත්වය තේරුම් ගත යුතුව තිබේ. විශේෂයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හසුරුවන සියලූදෙනා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්ථය තුළ අන්තර්ගතව තිබෙන අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස මෙන්ම ඒ හා බැඳී ඇති වගකීම් සහිත බවේ බරපතළ බව ද මෙවන් මොහොතක හොඳින් සිහි කටයුතුය.

අපේ මාතෘභූමිය නිදහසින් පසු කාලයෙන් අඩකට වඩා කාලයක් ගත කර ඇත්තේ ප‍්‍රචණ්ඩත්වයන් සමගිනි. දශක ගණනක යුද්ධය මෙන්ම රටේ උතුර සහ දකුණ වැලඳගත් තරුණ කැරලිවලින් අපි දහස් ගණන් පියවරුන්, මව්වරුන්, දරුවන්, සොයුරු සොයුරියන් අහිමි කරගෙන ඇත. අද මේ මහමඟට බැස ඇති පියවරුන්, මව්වරුන්, දරුවන්, සොයුරු සොයුරියන් නඟන හඬ පිටිපස ඇති දුක, වේදනාව, කඳුළු වගකිවයුත්තන් තේරුම් ගත යුතුව ඇත. පාලකයන් ගමන් කරන උද්ධච්ච. දූෂිත ගමනට එරෙහිව ඔවුන් නඟන සාමකාමී හඬ මර්දනයෙන් යටපත් කළ හැක්කක් නොවනු ඇත.

පසුගියදා මිරිහානේ පැවති ආවේගාත්මක එහෙත් සාමකාමී විරෝධය දැක්වීමේදී, විරෝධතාකරුවන් මැදට පැමිණ ඇති කඩාකප්පල්කාරින් පිරිසක් බස් රථයකට ගිනි තබා පලා යන ආකාරය ගැන කියන ඡායාරූප සමාජ ජාලාවල සංසරණය වීම දකින්නට ඇත. මෙවැනි ස්වභාවිකව මතු වෙමින් සහ වැඩි වෙමින් පවතින ජනතා විරෝධය දක්වන අවස්ථාවන් වැරදි ප‍්‍රවේශයට යොමු කිරීමේ සැලසුම් සහගත උත්සාහයන්ගෙන් ප‍්‍රවේශම් වීම ඉතා වැදගත්ය.

පාලකයන්ගේ අදූරදර්ශී, දූෂීත, උද්ධච්ච කි‍්‍රයාමාර්ග, ප‍්‍රතිපත්ති සහ තීන්දු තීරණ හේතුවෙන් නිර්මාණය වී ඇති මේ ඛේදවාචකය ලේ විලක් බවට පත් කර, තම අරමුණුවලට යන්නට මාන බලන විවිධ හස්තයන්ගෙන් අප ප‍්‍රවේශම් විය යුතු ඇත.

ලොව මෙවැනි අර්බුදවලට මුහුණදුන් රටවල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙසින්, නිවැරදි දැක්මකින් යුතු ගමනකට ප‍්‍රවේශ වී නැවත තම ආර්ථිකයන් ගොඩනඟා ගත් සාර්ථක කතාවන් අපි ආසියාව තුළින්ම දකින්නෙමු. එවන් අර්බුදවලට එම රටවල් පත්වීම, රටවල්වල අදූරදර්ශී, දූෂිත පාලකයන්ගේ කි‍්‍රයාමාර්ග මෙන්ම එම රටවල් අස්ථාවර කර එම රටවල ග‍්‍රහණය තම අතට ගන්නට මාන බලන විදේශ න්‍යාය පත‍්‍රයන් හේතුවෙන් ද සිදුවීම අපි ලොව ඉතිහාසය තුළ දැක ඇත්තෙමු.

එම නිසා උද්ගතව ඇති මේ ඛේදවාචකය, විපතක් තුළින් සැපතක් ජනතාවට ලබාදිය හැකි අවස්ථාවක් බවට පෙරළා ගැනීමට දුරදැක්මකින් සංයමයකින් ජාතියක් ලෙස කටයුතු කිරීම අද ඉතා අත්‍යවශ්‍යය. මේ සඳහා අප සමාජයේ සියලූ වගකිවයුත්තන්, රට මේ ඛේදවාචකයෙන් ගොඩ ගැන්ම සඳහා සියලූ ආගම්, ජාති, දේශපාලන සීමාවකට කොටු නොවී, කට්ටිවාදයන් සහ කල්ලි වාදයන් තුළින් එකිනෙකාට මඩ ගැසීම් අවලාදයකට නොගොස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවේශයක් තුළින් අවබෝධයක්, සම්මුතියක්, විවිධත්වය තුළ එකමුතුවක් ඇති කරගත යුතුය.

පාලකයන් ද තවදුරටත් ජනතා හඬට කන් නොදී තවදුරටත් තම පැවැත්ම ගැන සිතීම නතර කර, ජනතා හඬට කන්දිය යුතුව ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙසින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය තුළ ශී‍්‍ර ලංකාවට තිබූ කීර්ති නාමය යළි ගොඩනඟා ගනිමින් අභියෝගාත්මක ඉදිරි කාලය ඵලදායී ලෙස යොදා ගැන්ම උදෙසා ජනතාවට රටේ ඉදිරි ගමන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙසින් තීන්දු තීරණ ගැනීමට අවස්ථාව අප‍්‍රමාදව ලබාදීමට කටයුතු කිරීම පාලකයන්ට අද ඇති හොඳම තේරීමයි. ජනතාවගේ ඉවසීමේ සීමාව උච්ච ස්ථානයකට පැමිණ ඇති මේ මොහොතේ ජනතාවට ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට අවකාශය සලසා රට තවදුරටත් ඉතා කනගාටුදායක තත්ත්වයකට පත් නොකර නිවැරදි තීරණයක් ගැන්ම රටේ නායකයා විසින් සිදු කිරීම, ඔහුට අද ඇති හොඳම සහ ගෞරවනීය තේරීමයි.

ඉම්තියාස් බාකීර් මාකාර්.

advertistmentadvertistment
advertistmentadvertistment