දෙවන ලෝක යුද්ධයෙන් මියගිය විදේශිකයන් නිදන අපි නොදන්න ලෝකය දන්න සොහොන් බිම

846

සැදෑ හිරු රැස් විසින් මුළු ත්‍රිමල අහසම ලා රත් පැහැ ගන්වා ඇත. හාත්පස අඳුර තව තවත් පැතිරෙන්නට පෙර අපි ත්‍රිකුණාමලය යුද සොහොන් පිටිය නොහොත් පිටකන්දේ යුද සොහොන් පිටිය බලා පිටත් වීමු. ඒ බොහෝ කලකට ඉහතදී මළ අභීත මිනිසුන්ගේ නොමළ ආත්මයන් සොයමින්ය.

ත්‍රිකුණාමලය නගරයේ සිට කිලෝමීටර හයක් පමණ ගමන් කොට නිලාවේලි පාරේ පිහිටි මෙම යුද සොහොන් පිටියට මිනිත්තු කිහිපයකින් ළඟා විය. තරමක් සවස් වී තිබුණ නිසාදෝ කිසිවකුත් එහි නොවීය. අගුළු ලා නොතිබුණු සුවිසල් යකඩ ගේට්ටුව මත 1939 – 1945 කාල වකවානුව සටහන්ව තිබුණි. ඉන් ඇතුළු වුණු අප ඒ අභීත මිනිසුන් නිදන භූමියට පා තැබුවෙමු. පිළිවෙළකට කැපූ තණ, සෑම සොහොන් කොතක් ඉදිරිපසම වූ සාරවත්ව වැඩුණු මල් පඳුරු එහි අලංකාරය කියා පෑවේය. අලුත් බවක් පෙනෙන්නට තිබුණ ද මෙහි නිදන අභීත මිනිසුන්ගේ කතාව දශක කිපයක් ඈතට දිව යන්නේය.

මේ සා විශාල මිනිසුන් සංඛ්‍යාවකට එකවර මෙහි සැතපීමට තරම් ඔවුනට අත් වූ ඛේදනීය ඉරණම කුමක්ද? සියල්ල සිදු වූයේ ලොවම බියෙන් සලිත කළ දෙවන මහා ලෝක සංග්‍රාමයේදීය. ක්‍රි. ව. 1931 සැප්තැම්බර් සිට ක්‍රි. ව. 1945 අගෝස්තු දක්වා පුරා වසර 6ක් පැවැති මෙම ගැටුම පළමුව ඇති වූයේ යුරෝපා රටවලය. පසුව 1941 දී නට්සි ඒකාධිපතිවාදය, ජපානයේ සහභාගිත්වයත් සමග මෙය ලෝක මහා සංග්‍රාමයක් බවට පත් විය. හිට්ලර්ගේ නට්සි ඒකාධිපතිවාදය, ඉතාලියේ මුසෝලිනීගේ ෆැසිස්ට් ඒකාධිපතිවාදය, ජාතීන්ගේ සංගමයේ දුර්වලතා, වර්සෙල්ස් ගිවිසුමේ ප්‍රතිපත්ති සහ ජපානයේ ආක්‍රමණකාරී ප්‍රතිපත්තිය මෙයට මූලික හේතු විය. ඒත් සමගම ක්‍රි. ව. 1939 සැප්තැම්බර් 01 දින හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීම මගින් ජර්මනිය දෙවන ලෝක යුද්ධයට පළමු පියවර තැබුවේය.

දෙවන ලෝක යුද්ධයෙන් මියගිය විදේශිකයන් නිදන අපි නොදන්න ලෝකය දන්න සොහොන් බිම

මෙහිදී සහභාගි වූ පාර්ශ්වකරුවන් අතර මිත්‍ර පක්ෂය ලෙස අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, රුසියාව, ප්‍රංශය සහ චීනය යන රටවල් කටයුතු කළ අතර අක්ෂය පක්ෂය ලෙස කටයුතු කළේ ජර්මනිය, ජපානය, ඉතාලිය, රුමේනියාව සහ හංගේරියාවයි. එවකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක්ව පැවතුණි. බලවත් රටවල් මෙසේ ගැටුමට සහභාගි වී සිය බලය පෙන්වමින් යුද්ධයේ නියැලෙන විට එවක බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිත රටවල් කිහිපයකටම එය ඉතා අවාසනාවන්ත ලෙස බලපෑවේය.

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව ද ඒ අතර විය. ඒ අනුව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබූ බැවින් යුද්ධයේදී සිය අකැමැත්තෙන් වුව බ්‍රිතාන්‍ය පාර්ශ්වයට සහාය දැක්වීමට ශ්‍රී ලංකාවට සිදු විය. මෙහිදී බ්‍රිතාන්‍යයට සහාය දැක්වීමට ශ්‍රී ලාංකික පුරවැසියෝ බ්‍රිතාන්‍ය රාජකීය යුද්ධ හමුදාවට, ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට බඳවාගනු ලැබූහ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වන්නේ 1942 වසරේදී ය.

එය ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන්ට සුවිශේෂිත වූ දිනයකි. එනම් පාස්කු ඉරිදා යෙදී තිබුණේ 1942 අප්‍රේල් මස 5 වැනිදා ය. හිටිහැටියේම ජපන් ප්‍රහාරක ගුවන් යානා කොළඹ වරාය ඉලක්කකොට ගනිමින් බෝම්බ හෙළන්නට විය. එහිදී කොළඹ වරායට නුදුරින් නවතා තිබූ රාජකීය හමුදාවේ ප්‍රහාරක නෞකා දෙකක් ද කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ යුද නැව් දෙකක් ද විනාශයට පත් විය. අත්වැරදීමකින් ජපනුන් අංගොඩ මානසික රෝහලට හෙළුෑ බෝම්බයක් නිසා එහි සිවිල් වැසියන් රැසකට සිය ජීවිත අහිමි විය. එදින කොළඹ ජාවත්ත පල්ලියට සහ දෙමටගොඩ පල්ලියට පැමිණි කිතුනු බැතිමතුන්ට යළි සිය ආදරණීයයන් හමුවීමට කිසිදු අවස්ථාවක් නොවීය.

ඉන් නොනැවතුණු ජපනුන් 1941 අප්‍රේල් 9 වැනි දා සිංගප්පූරුවට බෝම්බ හෙළා ආපසු යන අතරතුර ත්‍රිකුණාමලය වරායට ද බෝම්බ ප්‍රහාරයක් දියත් කරන්නේ අහිංසක මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බිලි ගනිමිනි. එදින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක හමුදා නිලධාරීන් සහ විවිධ වෘත්තිකයන් එහි සේවයේ යෙදී සිට ඇත. ත්‍රිකුණාමලය වරායේ නවතා තිබූ නැව් 23ක් අතරින් 15ක් මුහුදු බත් වී 7කට සුළු හානි සිදු වී ඇත. වරායට කිලෝමීටර 60ක් පමණ මෑතින් නවතා තිබී මුහුදුබත් වුණු HMS Hermes බ්‍රිතාන්‍ය නෞකාව අදට ද මඩකලපුවේ ඇති අතර එය මහජනතාවට දැකබලා ගැනීමට හැකිය. මුහුදු බත් වූ HMS Hermes නෞකාව මෙන්ම Airbus, සහ Birmingham යන නෞකා ද ඒ අතරින් අදට ද කතාබහට ලක් වේ. මෙහිදී අප්‍රේල් 9 දා ජපන් බෝම්බ ප්‍රහාරයට ලක්ව මියගිය දෙස් විදෙස් නිලධාරීන්ගේ සහ සිවිල් වැසියන්ගේ සිරුරු නිලාවෙලි පාරේ පිහිටි ජාත්‍යන්තර යුද සොහොන් පිටියෙහි තැන්පත් කරන්නේ ඒ අනුවය.

දෙවන ලෝක යුද්ධයෙන් මියගිය විදේශිකයන් නිදන අපි නොදන්න ලෝකය දන්න සොහොන් බිම
ප්‍රදීප් අබේසිංහ

අප සොහොන් කොත් අතර එහා මෙහා ඇවිදින විට එම ස්ථානය නඩත්තු කරමින් රැකබලා ගන්නා අප හමුවට පැමිණියේ සිනාමුසු මුහුණින් යුතුවය. වසර තුනක් තිස්සේ ත්‍රිකුණාමලය යුද සුසාන භූමිය රැකබලා ගන්නා ඔහු ප්‍රදීප් අබේසිංහය. ඔහු දැඩි උනන්දුවකින් සහ කැමැත්තකින් මල් පැළ නඩත්තු කිරීම සහ පිරිසිදු කිරීමේ කාර්යයන්හි නියැලෙන බව අපට පසක් විය. වසර තුනක සේවයේ ඔහුගේ අත්දැකීම පිළිබඳව ඔහු අපට පැවසුවේ මෙවැන්නකි.

“1940 සිට මේ දක්වාම මේ සොහොන් පිටිය නඩත්තු වෙන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය මගින්. මෙතැන මියගිය අයගේ සොහොන් කොත් 364ක් තියෙනවා. බ්‍රිතාන්‍ය ජාතිකයන් 225ක්, ශ්‍රී ලාංකිකයන් 13ක්, ඔස්ටේ්‍රලියානුවන් දෙදෙනෙක්, ඉන්දියානුවන් 48ක්, එවක සිරකරුවන් 4ක් සහ එක් පාකිස්තානු නිලධාරියකු ඇතුළු තවත් පිරිසකගේ සිරුරු මේ ස්ථානයේ තැන්පත් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ගනේමුල්ල, ගම්පහ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල අයගේ සොහොන් ස්මාරක කිහිපයක්ම මෙතැන තියෙනවා… සොහොන් කොත් අතර ඇවිද යන විට ඒ මත සටහන් කොට ඇති ඇතැම් වැකි එහි පැමිණ යන්නන්ගේ දෑස් කඳුළින් පුරවාලීමට සමත්ය. ලා දම් පැහැ මල් පඳුරක් අසල තනිවුණු එක් සොහොන් කොතක මෙසේ සංවේදී සටහනක් විය. “ආදරය යනු අවසාන ත්‍යාගයයි.” විසි දෙහැවිරිදි, බ්‍රිතාන්‍ය ජාතික සිය එකම පුතුගේ වියෝව දරාගත නොහැකි වූ දෙමාපියන් ඔහු නිදන සොහොන් කොත මත එසේ ලියා යන්නට ඇත. ලොවක් හැඬවූ මෙම ජපන් ප්‍රහාරයෙන් තනිවුණු දෙමාපියන්, බිරින්දෑවරුන්, සැමියන්, පෙම්වතුන් – පෙම්වතියන්, සහ හිත මිතුරන් සිය ආදරණීයයා වෙනුවෙන් හෙළුෑ කඳුළු බොහෝ වන්නට ඇත. ඒ කඳුළු කැට අදට ද සොහොන් බිම මත පිපෙන මල්පෙති මත තැවරී ඇති බවට නොඅනුමානය.

මෙහි දිස්වන තවත් සුවිශේෂී කරුණක් වන්නේ සෑම සොහොන් ස්මාරකයක්ම එක හා සමාන හැඩයක් නොගැනීමයි. එම ස්මාරක මත දමා ඇති හැඩ මගින් අනාවරණය වන තොරතුරු රැසකි. එවක සේවයේ යෙදී සිටියදී මියගිය නිලධාරීන් සහ සිවිල් වැසියන් සේවයට බැඳුණේ ස්වේච්ඡාවෙන්ද, නැතිනම් පොදු රාජ්‍ය මණ්ඩලීය නිලධාරියකු ලෙසදැයි හඳුනාගත හැකිය.

ස්මාරක රැසක් පසුකරමින් මදක් ඈතට යනවිට දකින්නට ඇති තවත් විශේෂ වූ ලකුණකි. 1942 අප්‍රේල් 9 ප්‍රහාරයෙන් මෙලොවින් සමුගත් දෙස් විදෙස් නිලධාරීන්ගේ සිරුරු එකම ස්ථානයකත් එම ප්‍රහාරයෙන් ලැබූ තුවාල නිසා ආබාධිතව සිට පසුව මියගිය අයගේ සිරුරු ඉන් මදක් ඔබ්බට වන්නටද තැන්පත් කොට තිබුණි. ඊටත් බොහෝ ඈතට වන්නට තැන්පත් කරන ලද මළ සිරුරකි. එය විසි හය හැවිරිදි පාකිස්තානු තරුණයකුගේ සොහොන් ස්මාරකයකි. මේ සියල්ල අතර යුද්ධය පිළිබඳව කිසිදු හරියාකාර වැටහීමක් නොවූ කුඩා පිරිමි දරුවකුගේ ද සොහොන් කොතකි. අවුරුදු දහයක කුඩා වෝරික් සිය පියා සමග ලංකාවට පැමිණෙන්නට ඇත්තේ ඇතැම් විට මුහුදු ගමනක් අත්විඳින්නට විය හැකිය. එහෙත් 1931 න් පසුව රට පුරා ව්‍යාප්ත වූ වසූරිය හෝ මැලේරියාව සෑදීමෙන් ඔහු මියගොස් ඇත. සිය ආදරණීය පුතු දෙවියන් අතරට යන්නට ඇතැයි කුඩා වෝරික්ගේ දෙමාපියන් ඔහු නිදන සොහොන් කොතෙහි සටහන් කර ගොස් ඇත.

මෙම සොහොන් ස්මාරක අතර ඇති තවත් අනුවේදනීය කතා කිහිපයකි. “ජීවත්ව සිටින විට මෙන්ම මියයන විටද අපට අපගේ සමීපතමයන් හා එක්ව මියයෑමට ඇත්නම්?” යයි අප ද බොහෝ විට සිතන්නකි. මුහුදු බත් වුණු HMS Hermes නෞකාවේ සේවයේ යෙදී සිටි ඇතැම් නිලධාරීන් තමා සමග එකට සේවයේ නියුතු සිය මිතුරාගේ දෑත තදින් අල්ලාගෙන අවසන් හුස්ම පොද මහා සාගරය පතුළට හෙළා ඇත. රාජකාරිය අකුරටම ඉටු කළද දිවි ගමනේ අවසන් ගමන් එක්ව යන්නට ඔවුන් සිය මිතුරාට පොරොන්දු නොවන්නටද ඇත. එසේ එකට දෑත් පටලාගෙන මියගිය කිහිප දෙනෙකුගේ සොහොන් ස්මාරක එකම තැනක එකිනෙකට සම්බන්ධ කොට ගොඩනගා ඇත්තේ ඔවුන්ගේ ආත්මයන් නැවත එකිනෙක මුණගස්වන්නට මෙනි.

දෙවන ලෝක යුද්ධයෙන් මියගිය විදේශිකයන් නිදන අපි නොදන්න ලෝකය දන්න සොහොන් බිම

මියගිය බොහෝ පිරිසකගේ නම් සහ තොරතුරු ඔවුන්ගේ සොහොන් ස්මාරකවල තැන්පත් කොට තිබුණද ඇතැමුන්ගේ නම්, ගම් අදට ද කිසිවකුත් නොදනී. තවත් ඇතැම් ස්මාරක කිහිපයක නම් ගම් ලියැවුණද ඒ තුළ ඔවුන්ගේ සිරුරු නම් තැන්පත් වී නොමැත. කිසිදා සොයාගත නොහැකි වූ මළසිරුරු මහා සාගරය පතුලෙහිම සදා වැළලෙන්නට ඇත.

අවසන් වරට මෙම සොහොන් භූමියට පැමිණ සිය සමීපතමයා හෝ ආදරණීයයා වෙනුවෙන් මල් කළඹක් තබා ගියෝ කවරහුදැයි අපි එම ස්ථානය රැකබලා ගන්නා ප්‍රදීප්ගෙන් විමසුවෙමු.

“2021 දෙසැම්බර් මාසෙ තරුණ නෝනා කෙනෙක් ආවා. අර අතන තියෙන සොහොන් කොත ළඟින් මල් පොකුරක් තියලා එයා යන්න ගියා.” ප්‍රදීප් අත දිගු කළේ G. Downs ගේ සොහොන් ස්මාරකය දෙසටය. සිදුවීමෙන් වසර බොහෝ ගණනකට පසුව වුවද සිය සමීපතමයා අමතක නොකිරීමට තරම් ඔවුන්ගේ හදවත් පොහොසත්ය.

මෙම භූමියෙහි නිහඬව නිදන දෙස් විදෙස් විරුවන්ට සෙවණ සලසන එක යායට වැඩුණු කොහොඹ රුක් රැසකි. බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජිනගේ සහ පිලිප් කුමරුගේ දෙවන දරුවා සහ එකම දියණිය වන ඈන් කුමරිය වරක් 1995 දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ඇති අතර ඇය මෙම ජාත්‍යන්තර යුද සුසාන භූමිය නැරඹීමට ද අමතක කොට නැත. එහිදී ඇය විසින් රෝපණය කරන ලද කොහොඹ ගසක් ද අද වන විට අතුපතර විහිදා එහි පැමිණෙන්නන්ට ද එහි නිදන්නන්ට ද සෙවණ සලසයි.

පසු කාලීනව ශ්‍රී ලංකාවේ පැනනැගුණු සිවිල් යුද්ධය හේතුවෙන් මෙම සුසාන භූමිය විනාශ නොවී පැවතියේ පොදු රාජ්‍ය මණ්ඩලීය දේපොලක් වන මෙහි ආරක්ෂාව එවකට ශ්‍රී ලංකා හමුදාව විසින් තර කොට තිබූ නිසාය. එහෙත් එල්ලවූ සුළු ප්‍රහාර හමුවේ කැඩී ගිය සොහොන් ස්මාරක පසුකාලයේදී නැවත ඉතා උසස් මට්ටමෙන් පිළිසකර කොට ඇත. වර්තමානය වන විට අදාළ අංශ නිසියාකාරව මුදල් ගෙවමින් සිදුකරන නඩත්තුව නිසා මෙම භූමිය ඉතා පිරිසිදු සහ ආකර්ෂණීය ලෙස පවත්වාගෙන යෑමට එය රැකබලාගන්නන්ට හැකියාව ලැබී ඇත. සුන්දර ත්‍රිකුණාමලය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ මෙම ජාත්‍යන්තර යුද සුසාන භූමිය නැරඹීමට ද අමතක නොකරති. නිසියාකාරව තණකොළ කපා අලංකාරවත් ලෙස මල් පිපී ඇති කාලවල ඇතැම් තරුණ පිරිස් මෙහි පැමිණ ඡායාරූප ලබාගනිති. පැය විසි හතර පුරා මහජනතාවට විවෘත වන මෙම භූමිය නැරඹීමට පැමිණෙන සියල්ලෝම මෙය ජාත්‍යන්තර උරුමයක් ලෙස සිතා තවදුරටත් කටයුතු කළ යුතුය. එසේම මෙහි නඩත්තු කටයුතු නිසියාකාරව සිදු කරමින් එය රැකබලා ගන්නා කාර්ය මණ්ඩලයට ද අප බෙහෙවින් ස්තුතිවන්ත විය යුතුය.

සදුනි තිලකරත්න

advertistmentadvertistment
advertistmentadvertistment