මතීෂ එළියට මහේල ඉන්දියාවට – මහීෂ් සුව අතට

503

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය සඳහා ඇතුළත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට නියමිතව ඇතැයි කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

දකුණු අතේ උරහිසේ ආබාධයක් හේතුවෙන් මතීෂට ඒ අනුව තරගාවලියේ ඉදිරි තරග අහිමි වන අතර ඔහු නොබෝ දිනකින් යළි ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ද එම ආරංචිමාර්ග පැවසීය.

මතීෂගේ ආබාධ තත්ත්වය පිළිබඳව සහ ඔහුගේ ආදේශකයා සම්බන්ධයෙන් ලෝක කුසලාන තාක්ෂණික කමිටුවට දැනුම් දී ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය තාක්ෂණික කමිටුවේ අනුමැතිය මේ වනවිට බලාපොරොත්තුවෙන් පසුවන බවත් අදාළ ආරංචි මාර්ග තවදුරටත් කීය.

මෙවර තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාව සහ පකිස්තානය අතර පළමු තරග දෙකට සහභාගි වූ මතීෂ එහිදී පකිස්තානය සමඟ තරගයෙන් අනතුරුව ආබාධයට ලක් විය.

එම තරග දෙකේ මතීෂ පතිරණගේ පන්දු යැවීම පිළිවෙළින් සටහන් වූයේ පන්දු වාර 10 කදී ලකුණු 95 කට එක් කඩුල්ලක් සහ පන්දු වාර 10 කදී ලකුණු 90 කට එක් කඩුල්ලක් ලෙසිනි.

ශ්‍රී ලංකා ප්‍රධාන සංචිතයෙන් පිටත සිටින අතිරේක ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර සහ දසුන් ශානක යන තිදෙනාගෙන් එක් අයකු මතීෂ වෙනුවට කණ්ඩායමට කැඳවීමට නියමිතය.

කෙසේ වෙතත් දසුන් තවම පූර්ණ සුවය ලබා නොමැති නිසා ඇන්ජලෝ මැතිව්ස් හෝ දුෂ්මන්ත චමීර දෙදෙනා ගෙන් අයකුට ප්‍රධාන සංචිතයේ දොරටු විවර වනු ඇත.

මේ අතර නෙදර්ලන්තය සමග පැවති තරගය අතරතුර පාදයේ ආබාධයකට ලක් වූ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවද කණ්ඩායමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තීක්ෂණගේ ආබාධය පිළිබඳව පෙරේදා සිදු කළ ස්කෑන් පරීක්ෂණයේ වාර්තාව ඊයේ ලැබී තිබූ බවද ඒ අනුව ඔහු එංගලන්තය සමග ලබන 26 වැනිදා පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එම ආරංචිමාර්ග පැවසීය.

මෙවර තරගාවලියේ තෙවැනි තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා ඊයේ (23 වැනිදා) යළි කණ්ඩායම සමග එක් වූයේය.

පසුගිය ඔස්ටේ්‍රලියා තරගයෙන් පසු පෞද්ගලික අවශ්‍යතාවයක් මත මහේල කණ්ඩායමෙන් වෙන්ව ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය සමග තරගයට සහභාගි වූයේ මහේල ලංකාවේ සිටියදීය.

ඊයේ ඔහු යළි බෙංගලූරු බලා පැමිණ කණ්ඩායම සමග එක් වී තිබුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ හවස බෙංගලූරු හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වූයේය.
කුෂාන් සුබසිංහ බෙංගලූරු සිට

advertistmentadvertistment
advertistmentadvertistment