අසරණ රෝගීන්ගේ ගිණුම්වලින් මුදල් අදින මඩකලපුවේ අයි. ටී. පප්පා… ඔබවත් රැවටුවා නම් සීඅයිඩියට දන්වන්න…

363

මඩකලපුව එරාවුර් ප‍්‍රදේශයේ පදිංචි මොහොමඞ් රිනොස් දැනට වසර කිහිපයකට පෙර සිංගප්පූරු බලා පිටත් විය. ඔහු එලෙස සිංගප්පූරු බලා පිටත් වූයේ පරිගණක තාක්ෂණය පිළිබඳ පාඨමාලාවක් හැදෑරීම සඳහාය. මාස කීපයක් එම පාඨමාලාව හදාරා යළි ඔහු මෙරටට පැමිණියේ දැනට වසර දෙකකට පමණ ඉහතදීය. සාර්ථකව පාඨමාලාව නිම කළත් ඔහු මෙරටට පැමිණ රැකියාවක් කිරීමට උත්සුක වූයේ නැත. ඔහුට උවමනා වූයේ තමා උගත් පරිගණක තාක්ෂණය උපයෝගී කරගනිමින් වංචනික ලෙස මුදල් ඉපයීමට ය. ඒ සඳහා සුදුසු ක‍්‍රමයක් ඔහු කල්පනා කර බැලූවේය. අවසානයේ මෙම මුස්ලිම් ජාතික තරුණයා වෙනත් පුද්ගලයන්ගේ ගිණුම්වලින් හොර රහසේ මුදල් ලබාගත හැකි ක‍්‍රමයක් ගැන අධ්‍යයනය කළේය.

පරිගණක තාක්ෂණය උපරිමයට දන්නා ඔහු එය උපයෝගී කරගනිමින් අන් අයගේ ගිණුම්වලින් මුදල් ලබා ගැනීමේ ක‍්‍රමයක් සොයා ගත්තේය. ඒ සඳහා මෙම නරුමයා තෝරා ගත්තේ මෙරට විවිධ රෝගවලට ලක්වූ අහිංසක මිනිස්සුන්ගේ ගිණුම්වලට වැටෙන මුදල්ය.

අවස්ථා කිහිපයකදීම මෙරට විවිධ ප‍්‍රදේශවල එවැනි පුද්ගලයන්ගේ ගිණුම්වලින් විශාල මුදලක් මෙම සිත් පිත් නැති නරුමයා ලබා ගත්තේය. ඉන්පසු එම මුදල්වලින් ඔහුගේ අවශ්‍යතාවයන් ඉටු කර ගත්තේය. කාලය එලෙස ගෙවී ගියේය. හොරණ ප‍්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හැදෑරූ දැරියකට පිළිකා රෝගයක් වැලඳී තිබුණි. එය සුව කර ගැනීම සඳහා විශාල මුදලක් වැය වන බව වෛද්‍යවරු නිර්දේශ කර තිබුණහ. එම මුදල ඇයගේ දෙමව්පියන්ට දරාගැනීමට නොහැකි විය.

එම සිසුවියගේ විදුහලේ ගුරුවරු, දෙමව්පියන් සහ ආදි සිසුන් ඇය පිළිබඳ තොරතුරු මුහුණු පොත හරහා පළ කළහ. ඒ මුදල් ආධාර ලබාගැනීම සඳහාය. එහි ඇතුළත් කර තිබුණේ දැරියගේ පියාගේ ගිණුම් අංකයයි. මුහුණු පොත හරහා මෙම දැන්වීම මෙරට බොහෝ පුද්ගලයන් අතර හුවමාරු වී තිබුණි. එය දුටු පින්වත් උදවිය මෙම වසංගත සමයේ වුවද එම අහිංසක දැරියගේ ජීවිතය බේරා ගැනීම සඳහා හැකි අයුරින් මුදල් උපකාර කර තිබුණහ.

ඉහත සඳහන් කළ එරාවුර් ප‍්‍රදේශයේ පදිංචි මුසල්මානුවා ද මෙම දැන්වීම දුටුවේය. එය හොඳින් කියවා බැලූ ඔහු සිතුවේ එම ගිණුමේ විශාල මුදලක් එකතු වී ඇති බවයි. ඒ අනුව එම නරුමයා මෙම ගිණුමෙන් ද සුපුරුදු පරිදි හොර රහසේ මුදල් ලබා
ගැනීමට තීරණය කළේය. ඒ අනුව එහි සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබාදී ඔහු දැරියගේ පියාට මෙලෙස පැවසුවේය.

”හෙලෝ මම කතා කරන්නේ කොළඹින්. මම දැක්කා ඔයාගේ දුව අසනීපයෙන් ඉන්නවා කියලා.”

”ඔව් මහත්තයෝ ඒක ඇත්ත. මගේ දුවට පිළිකාවක් හැදිලා ඉන්නේ. ඒකට විශාල මුදලක් වැය වෙනවා. අපි ළඟ එච්චර සල්ලි නැහැ. ඒකයි ආධාර මුදල් එකතු කරන්නේ.”

”ඔව් මට තේරෙනවා. මමත් කැමතියි ඒ දැරිවියට උදව් කරන්න.”

”ගොඩාක් පින් මහත්තයට.”

”ඒක ප‍්‍රශ්නයක් නැහැ. දැනට මම රුපියල් විසිදාහක් දාන්නම්. එච්චරයි මේ දවස්වල මට දෙන්න පුළුවන්.”

”කමක් නෑ මහත්තයට පුළුවන් ගාණක් දෙන්න මගේ කෙල්ලව සනීප කරගන්න.”

”හරි මම කියපු මුදල අද එකවුන්ට් එකට දාන්නම්. ආයි මම පස්සෙත් උදව්වක් කරන්නම්.”

”හරි මහත්තයෝ. ආයි කියන්න තියෙන්නේ ගොඩාක් පින් ඔබතුමාට.”

”ඒක නොවෙයි. මුදල් දාන්න මට ඔයාගේ අයිඩෙන්ටි කාඞ් නම්බර් එක ඕනා. කරුණාකරලා එක මට දෙන්න පුළුවන්ද?”

”ඒක සුළු දෙයක්. මහත්තයට ලියාගන්න පුළුවන්ද?”

”හරි කියන්න මම ලියා ගන්නම්.”

ඒ අනුව රෝගාතුර දැරියගේ පියා එම මුසල්මානුවාට ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය ද ලබා දුන්නේය. ඒ සමඟම ඔහු තම බිරිඳට ”දැන් කෝල් එකක් ආවා කොළඹ පැත්තෙ මහත්තයෙක්ගෙ රුපියල් 20,000 ක් ද එකවුන්ට් එකට දාන්නම් කිව්වා” යැයි පැවසුවේය. ඉහත සඳහන් කළ මුසල්මානුවා ඇමතුම ලබා දී පැය භාගයක් පමණ ගත විය. ඉන්පසු ඔහුගේ ගිණුමෙන් සත 56 ක මුදලක් අඩු වූවා යැයි පවසා අදාළ බැංකුවෙන් ඔහුගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණේය. ඔහු එය එතරම් ගණන් ගත්තේ නැත. යළි මුසල්මානුවා ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී මුදල් ලැබුණා දැයි විමසුවේය. එවිට ඔහු තවම මුදල් ලැබුණේ නෑ සත පනස් හයක් ගිණුමෙන් අඩු වුණා යැයි පැවසුවේය. එහෙනම් තව ටිකකින් මුදල් වැටෙයි කියා යළි ඔහු පැවසුවේය.

පැයක් පමණ ගත විය. නොසිතූ ලෙස අවස්ථා නවයකදී ඔහුගේ ගිණුමෙන් මුදල් අඩු විය. සියලූ විස්තර ඔහුගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් මගින් ලැබුණේය. මෙයින් පුදුමයට පත්වූ ඔහු පොල්ගස් ඕවිට ප‍්‍රදේශයේ මුදල් ලබාගැනීමේ යන්ත‍්‍රයකින් තම ගිණුමේ ශේෂය පරීක්ෂා කර බැලූවේය. එහිදී මුදල් ශේෂය වශයෙන් සටහන් වූයේ රුපියල් දාහත් දාහක් පමණි. ඒ අනුව ඔහුගේ ගිණුමෙන් ලක්ෂ තුන හමාරකට ආසන්න මුදලක් අඩු වී තිබුණි. තම දියණියගේ පිළිකා රෝගය සුවකර ගැනීම සඳහා විවිධ පුද්ගලයින් පරිත්‍යාග කළ මුදල් එලෙස අඩුවීම ගැන ඔහු ඉතාමත් කම්පාවට පත්විය. ඒ පිළිබඳව ඔහු පොලිසිය සහ අදාළ බැංකු ශාඛාව දැනුවත් කළේය. එහිදී ඔහුගේ සැකය යොමු වූයේ ඉහත සඳහන් කළ මුසල්මානුවා වෙතයි.

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මූල්‍ය වංචාව සෙවීම සඳහා පරීක්ෂණයක් සිදු කළේය. ඉතාමත් රහසිගතව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර වයස 25ක් වන මුසල්මානුවා එරාවුර් ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීහු සමත් වූහ. එලෙස අත්අඩංගුවට ගත් මුසල්මානුවා ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ කලක සිට මොහු මෙම වංචනික ක‍්‍රියාව සිදු කර ගෙන යන බවයි. එයට අමතරව ඒ සඳහා භාවිතා කළ ජංගම දුරකථන, සිම්පත් සහ දත්ත රැස් කිරීමේ උපකරණ කීපයක් ද සොයා ගැනීමට හැකි විය.

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රෝගීන්ට ආධාර කරන මුවාවෙන් ඔවුන්ගේ ගිණුම්වල ඇති මුදල් ඉතා සූක්ෂම ලෙස ලබාගන්නා මෙම මුසල්මානුවාට රැවටුන අයෙක් වෙතොත් කොළඹ අපරාධ කොට්ඨාසයට ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසයි.

ඉතාමත් අසරණව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන මෙවැනි රෝගීන්ගෙනුත් මුදල් වංචා කළ මෙම පුද්ගලයාට දිය හැකි උපරිම දඬුවම් ලබා දිය යුතුය. එසේ නොවුණහොත් මොහු කිසිදු හිරිකිතයකින් තොරව යළි මෙවැනි වංචනික ක‍්‍රියා සිදු කරනු ඇත.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment