බයිලා වෙනුවට හොඳ සින්දු

1326

හැමදාම නැති බණේම කියන පාලකයන්ද නැති බණේම අහන ජනතාවක් ද සිටින රටක කිසිවෙක් නැහැ වෙනුවට තිබේ යැයි කිව්වොත් එය දිව්‍යමය වචනයක් බවට පත්වෙයි. වැඩිපුර කෑම බීමක් නැතිව අතේ සතේත් නැතිව වැඩිවන බඩු මිලට ගෙවීමට ක්‍රමයකුත් නැතිව අප ළතවෙමින් සිටියදී මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ දිව්‍යමය ප්‍රකාශයක් කර ඇත. රටේ උද්ධමනය දරුණු නොවනු ඇතැයි ආචාර්ය වීරසිංහ පවසා තිබේ. ඒ අතර ඉදිරියේදී ආර්ථිකය ස්ථාවර වන ලකුණු ද තිබෙන බව ඔහු කියයි. පසුගිය කාලයේදී මහ බැංකුව විසින් කරන ලද අධ්‍යයනයන්ට අනුව රටේ උද්ධමනය 70% ක් පමණ ඉහළ නැඟීමට නියමිතව තිබුණත් ඒ තරම් වැඩිවීමක් ඇති නොවන බව ද ආචාර්ය වීරසිංහ කියා තිබේ. මේ රටේ විදුලි බිල මේ මාසයේ සිට 70% කින් වැඩි වීමට නියමිතය. ආචාර්ය වීරසිංහ කියන්නේ එවැනි වැඩිවීමක් සිදුවුවද උද්ධමනය පාලනය කර ගත හැකි බවයි. මේ තත්ත්වයට හේතු වී ඇත්තේ පසුගිය කාලයේදී මහ බැංකුව විසින් ගන්නා ලද තීන්දු කීපයකි. රටේ ආනයන වියදම් අඩු කිරීමට රජය පියවර ගත්තේය. එසේම අපනයන ආදායම් ද යම් තරමකට වැඩි විය. ආචාර්ය නන්දලාල් කියන පරිදි වෙනදා ආර්ථික අර්බුදයක් ඇතිවන විට එදිනෙදා වියදම් පියවා ගැනීමට කෙටි කාලීන ණය ගත්ත ද, පසු කාලයේදී එවැනි ණය ගැනීමක් නොමැතිව ම රටේ කටයුතු පිරිමසා ගැනීමට හැකි විය. මෙය ධනාත්මක වර්ධනයක් බව ආචාර්ය වීරසිංහගේ හැඟීමය. මේ වන විට ශ්‍රී ලංකාවේ උද්ධමනය 60% කි. රජය මගින් රටේ මූල්‍ය ප්‍රතිපත්තිය වෙනස් කොට බදු ප්‍රතිපත්තිය නැවත සකස් කොට අලුත් අයවැයක් ඉදිරිපත් කළ විට තත්ත්වය වඩාත් යහපත් අතට හැරෙන බව ආචාර්ය වීරසිංහගේ මතයයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ වුණේ ඇයි? එයට කොරෝනාව පමණක් වගකිව යුතු නැත. පසුගිය ආණ්ඩුවේ වැරදි ආර්ථික පරිපාලනය ද එයට හේතු විය. කොරෝනාවෙන් පසු විදේශ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එවන ඩොලර් ආදායම අඩු වී අපනයන ආදායම් කඩා වැටී ඇඟලුම් ආදායම ද පිරිහෙන්නට පටන් ගත් විට ඉදිරි විදේශීය ණය වාරික ගෙවා ගැනීමට නොහැකි බව මහ බැංකුවට වැටහිණි. මෙය මහ බැංකුවට පමණක් නොව ඒලෙවල් විභාගයට ආර්ථික විiාව කරන ළමුන්ට පවා වැටහෙන කාරණයකි. එබඳු අවස්ථාවකදී විදේශ ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුය. එසේ ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඊට අදාළ සාකච්ඡා ණය වාරික ගෙවීමට මාස 6 කට පමණ පෙර පටන් ගත යුතුය. එහෙත් එවකට මහ බැංකුවේ සිටි ලොක්කෝ එවැනි පියවරක් ගත්තේම නැත. කරකියා ගැනීමට දෙයක් නැති තැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදලක් ලබාගෙන වැඩේ යම් තරමකට හෝ ගොඩ දමා ගැනීමේ ක්‍රමවේදයක් තිබුණ ද එවකට සිටි මහ බැංකු ලොක්කන්ගේ මතය ඉතා දරදඬු විය. ඔවුන් පොළොවේ අඬු හප්පමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබා ගත යුතු තරම් තත්ත්වයකට ඇද වැටී නැති බවය. ඒත් අන්තිමේදී ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවා ගැනීමට නොහැකිව බ්ලැක් ලිස්ට් වන තත්ත්වයක් ඇති විය. අන්තිමේදී විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහාත් අයිඑම්එෆ් යෑම සඳහාත් සාකච්ඡා පටන් ගන්නා ලදි. එසේ සාකච්ඡා පටන් ගන්නා විට විදේශ ණය වාරික ගෙවීම DEFAULT වී තිබිණ. ඒ නිසා ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකාවට ණය දුන් ආයතනයක් අපට විරුද්ධව නඩු මඟටද පිවිසියේය. එම ණය හිමියාගේ ඉල්ලීම වූයේ ණය වාරිකය සහ පොලිය නඩු ගාස්තුත් සමඟ සම්පූර්ණයෙන් ම ගෙවා දමන ලෙස ය. මෙවැනි නඩුවක් අපට ඉතා අවාසිදායක ය. එයට පළමුවැනි හේතුව වන්නේ එම නඩුවෙන් අප පරාජයට පත්වීමේ ඉඩකඩ බහුල වීමය. දෙවනුව මෙවැනි එක නඩුවක් වැටුණු විට ඉතිරි විදේශ ණය හිමියෝ ද නඩු දමන්නට පටන් ගනිති. ඒ බව ආරංචි වූ විට ලෝකයේ කිසිම රටක් හෝ ජාත්‍යන්තර ණය දෙන ආයතනයක් අපට ණයට මුදල් දීමෙන් වැළකී සිටීමට ප්‍රවේශම් වෙයි. මේ සියලු සිද්ධීන්ගේ අවසන් ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැනසී ඇති බවටත් රටේ ජනතාව කන්න නැතිව නන්නත්තාර වී සිටින බවටත්, ඒ නිසා FOOD RIOTS හෙවත් ආහාර කොල්ලකෑම් පටන් ගන්නා බවටත් පිටරටවල ආරංචි පැතිර යෑමය. මේ ආරංචිවලින් වැටී සිටින රට තවත් නන්නත්තාර වෙයි. එනම්, ශ්‍රී ලංකාව සංචාරයට නුසුදුසු රටක් බවට පිටරටවල් ප්‍රකාශයට පත්කරයි. කොයි මොහොතක හෝ ශ්‍රී ලංකාව තුළ සිවිල් යුද තත්ත්වයක් හටගැනීමට ඉඩ ඇති බැවින් රට උඩින් ගුවන් යානයකින් යෑම පවා භයානක බවට සිතුවිල්ලක් ලොව පුරා ජනිත වෙයි.

මේ තත්ත්වයට මුහුණදීම සඳහා පසුගිය ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන තිබුණේ නැත. ඒ කාලයේදී මහ බැංකුව කළේ කතා කරමින් සිටීම පමණි. අන්තිමේදී රජයට සිදුවූයේ දිගින් දිගටම සල්ලි අච්චු ගසමින් රට තුළ උද්ධමනය තව තවත් වර්ධනය කර රජයේ සේවකයන්ට පඩි ගෙවීමය. ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා ප්‍රකාශයට පත් කළ කාරණාවලට අනුව තවදුරටත් රට හැර යෑමේ මානසිකත්වයකින් පසුවීමට මේ රටේ ජනතාවට අවශ්‍ය නැත. රට ගොඩගැනීම සඳහා සියලු දෙනාටම එක්වී වැඩ කිරීමේ පරිසරය තවදුරටත් දියුණුකර දීමට හැකිනම් ආණ්ඩුවට එමගින් වැදගත් ඵලප්‍රයෝජන නෙළාගත හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පටන් ගෙන ඇති සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා තිබේ. අයිඑම්එෆ් සංවිධානයේ නියෝජිතයන් පිරිසක් අගෝස්තු අගදී මෙටට පැමිණෙනු ඇත. එම පිරිස ශ්‍රී ලංකාව සමග මූලික ගිවිසුමක් අත්සන් කරන බවත්, ඊළඟට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පටන් ගන්නා බවත් ආචාර්ය වීරසිංහ තවදුරටත් පෙන්වා දී තිබේ. මේ තරම් ධනාත්මකව කතා කරන මහ බැංකු අධිපතිවරයකු ගැන අපට අහන්නට ලැබෙන්නේ දශක කීපයකට පසුය. මෙබඳු හොඳ කතා ගිය ආණ්ඩුව යටතේ ද අප අසන ලද නමුදු අන්තිමේදී ඒවා බයිලා බවට පත් විය. එසේ තිබියදී හොඳ ශාස්ත්‍රීය සංගීතයක් අපට සැපයීම ගැන අපි මහ බැංකු අධිපතිතුමා පසසමු.

advertistmentadvertistment
advertistmentadvertistment