ණය ගෙවන්න දරුවන්ටත් බදු

214

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දරුණු කුණාටුවකට හසු වී හමාරය. කර්මාන්ත හා ව්‍යාපාර ආයතන විශාල ප්‍රමාණයක් බෙලහීන තත්ත්වයට පත්ව ඇත. පොදු ජනතාවගේ ජීවන මටට්ම පහතට වැටී තිබේ. ලක්ෂ ගණනක ගේ රැකියා අහිමි වී ඇති අතර දෙස් විදෙස් පර්යේෂකයෝ දුප්පත්භාාවයට පත් පිරිස ගැන ඉලක්කම් ඉදිරිපත් කරමින් සිටිති. තරගකාරී ප්‍රවාහයක් තුළ මෙතෙක් ගමන් කරන ලද අවිද්‍යානුකූල ක්‍රමවේදය අවසානයේ දී ණය, අධික පොලී අනුපාත, දැරිය නොහැකි බදු, අවිනිශ්චිත විනිමය අනුපාතික තුළින් අතෘප්තියක් සහ අවිශ්වාසයක් ගොඩනැගී ඇති බව පෙනේ. සිස්ටම් වෙනස්කරන ලෙස බලකරමින් ඇති වූ අරගලය මෙහි උච්චතම අවස්ථාව බව සඳහන් කළ හැකිය. පරිවර්තනයක් අපේක්ෂා කරමින් නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට ඇතුළු වූ නමුත් විසඳුම පෙනෙනතෙක් මානයක නැත. මෙහෙයවන්නට සූදානම් බව දක්වන කප්පිත්තෝ බහුලය. නායකයන්ට එවැනි අධිශ්ඨානයක් තිබිය යුතුය. ප්‍රකාශ තරමට සැලැස්මක් අනාවරණය නොවීම කිසිම දේශපාලන පක්ෂයකට ජනතාව අකැමැත්ත පළ කිරීම තුළ තිබේ.

දැනට මුහුණ පා සිටින ආර්ථික ව්‍යාකූලතා එක රාත්‍රියකින් හටගත් සිද්ධියක් නොවේ. නිදහස ලැබීමෙන් පසු ගමන් කළ වසර හැත්තෑ පහක කාල පරිච්ඡේදය තුළ ආණ්ඩු අනුගමනය කරන ලද වැරදි හා නිවැරදි මාර්ග සමූහයේ සමස්ත ප්‍රතිඵලයකි. අන්තරාදායක තැනක් කරා ප්‍රවේශවීම සඳහා වැරදි සෑහෙන ප්‍රමාණයක් ප්‍රමාණවත් බව මෙම මොහොතේ අවබෝධ කරගත යුතුය. සංවර්ධන තීර්ථයක් කරා ළඟාවීම ඉලක්කය විය යුතුව තිබේ. දැනට භාවිත කර ඇති නැංගුරම අනාගතය සඳහා කෙසේවත් ප්‍රමාණවත් නැත.

● දේශීය අර්බුදය හඳුනා ගැනීම වැදගත්ය

ණය ගෙවන්න දරුවන්ටත් බදු

මහා භාණ්ඩාගාරය දේශීය හා විදේශීය වශයෙන් ගනුදෙනු කළ යුතුව ඇත. දේශීය ගනුදෙනු සඳහා රුපියල් අවශ්‍ය කෙරේ. විදේශීය ගනුදෙනු පියැවීමට විදේශ විනිමය විශේෂයෙන් ඇමරිකානු ඩොලර් ප්‍රමාණවත්ව උපයා ගත යුතුය. ඉතිහාසයේ සිට අය වැය හිඟයක් පවතී. අය වැය පියැවීම සඳහා දේශීය වශයෙන් ණය ගැනේ. මෙම ණය ප්‍රමාණය හා ගෙවන පොලිය ගැටලුවකි. ඒ හා සමාන්තරව රජය කරන ප්‍රධාන වැය එනම් රජයේ සේවය කරන කණ්ඩායමට ගෙවන වියදම සංකීර්ණ ප්‍රශ්නයකි.

මහා භාණ්ඩාගාරයේ දත්ත අනුව රජයේ ආදායමෙන් සියයට හැත්තෑවක් පමණ රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් ගෙවන්නට සිදුවී ඇත. 2023 අය වැය මගින් අවුරුදු 60 විශ්‍රාම වයස වශයෙන් යෝජනා කළ නමුත් විශ්‍රාම යන සෑම පුද්ගලයෙකුටම මහජනතාවගෙන් අය කරන බදුවලින් ජීවිත කාලය දක්වා ගෙවිය යුතු බැවින් දිනපතා එය වියදමක් බවට පත්වේ. දේශීය ණය පොලිය අනෙක් කාරණයකි. වාණිජ බැංකුවලින් ලබාගත් ණය සඳහා ජාතික ආදායමෙන් තවත් සියයට හැත්තෑ පහක පමණ ප්‍රතිශතයක් වැය වේ. ණය ගෙවීමට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලින් තව තවත් ණය ගන්නා අතර මෙම දරුණු චක්‍රය නතර කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දී ඇත.

රජයේ සේවයට ගෙවන හා ණය පොලිය සඳහා වැය කරන පසු ආණ්ඩුවට ලැබෙන ජාතික ආදායම සම්පූර්ණයෙන් අවසන්ව ජාතික ආදායමෙන් තවත් සියයට පනහක පමණ හිඟයක් ඇතිවේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, සමාජ සේවා කටයුතු යනාදිය සඳහා ගෙවන්නට ආණ්ඩුවකට ධනය නැත. ණය නොගෙන පැවැත්මක් නැති තැනට දේශීය වශයෙන් අර්බුදයකට මුහුණ පා සිටී.

● විදේශීය පීඩනය පැනනැගුණ අන්දම

විදේශීය අංශය අනෙක් කාරණයකි. මෑතක් දක්වා විදේශ ආදායම හා වියදම අතර පරතරය ඇමරිකානු ඩොලර් බිලියන දහය ඉක්මවා තිබුණි. ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන එකොළහක් වන විට රටට ගෙන්වන දේ සඳහා ඇමරිකානු ඩොලර් විසි එකක් වැය කරන්නට සිදුවිය. මෙම හිඟය කළමනාකරණය කරගත්තේ ආධාර, ආයතනික ණය හා වරින්වර ලබාගන්නා සංවර්ධන බැඳුම්කර වලින්ය. පාස්කු ඉරිදා ප්‍රහාරය හා ඒ සමගම ඇති වූ කොවිඩ් ලොක්ඩවුන් තත්ත්වය ශ්‍රී ලංකාවේ විනිමය ලැබෙන මාර්ග අවහිර කරන ලද අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුව කරගෙන ගිය විනිමය ඇමිනුම ඇන හිටියේය. රථ වාහන ඇතුළු ආනයන ද්‍රව්‍ය හාරසියයකට වඩා ගෙන්වීම සීමා කරන ලද පසුබිම තුළ පවා විනිමය හිඟය පාලනය වූයේ නැත.

අලුත්ම දත්ත අනුව ජනවාරි සිට අප්‍රියෙල් දක්වා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.8 කි. 2022 වසරේ එම කාලසීමාවේ දී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.2 ක් ව තිබුණි. ආනයන වියදම පසුගිය වසරේ ජනවාරි සිට අප්‍රියෙල් දක්වා ඇ. ඩො. බිලියන 7.4 ක සිට 2023 වසරේ සමාන කාලය තුළ ඇ. ඩො. 5.3 දක්වා සීමා වී තිබේ. වෙළෙඳ පරතරය ඇ. ඩො. 3.1 ක සිට 1.4 දක්වා පාලනය වීම එහි ප්‍රතිඵලයකි. අනෙක විදේශ සංචිත අප්‍රියෙල් මාසයේ ඇ. ඩො. මිලියන 2,761 ට වඩා මැයි මාසසේ දී ඇ. ඩො. 3,483 තෙක් ඉහළ ගොස් ඇත. මෙම සංචිතය තුළ චීනයෙන් සපයන ලද ඇ.ඩො. මිලියන 1,400 ක ණය මුදලක් ද ඇති බව සඳහන් කිරීම අවශ්‍යය.

2022 වසරේ අප්‍රියෙල් මාසයේ දී ශ්‍රී ලංකාව විදේශ රටවලට හා වාණිජ ණයවලට ගෙවිය යුතු වාරික හා පොලිය ගෙවීම කළ නොහැකි බව නිල වශයෙන් දන්වා සිටියේය. විනිමය සංචිතය බිංදුවට වැටුණ පසු විකල්පයක් නොතිබිණි. එතැන් සිට ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියක් ආරම්භ කර තිබේ. ණය නොගෙවීම හේතුවෙන් විනිමය පීඩනය පාලනය වී තිබේ. ඉල්ලුම තෘප්තිමත් කළ හැකි හේතුවෙන් රුපියලේ අගය ශක්තිමත් වී ඇත. මාස හයකට පමණ කලින් විකිණුම් මිල

රු.370.00 ඉක්ම වූ ඇමරිකානු ඩොලරය දැන් රු.285.00 දක්වා පැමිණීම එහි ප්‍රතිඵලයකි. මෙම පසුබිම තාවකාලික බව බ්ලූම්බර්ග් අනතුරු අඟවා ඇත. පසුගිය සතියේ ප්‍රකාශ කරන පරිදි ණය ගෙවන හා ආනයන ඉහළ යන කරුණු අනුව ඉදිරියේ දී ඇ. ඩො. මිල රු. 350.00 ක් විය හැකිය.

● වාසි තුරුම්පු හැමදාම ලැබෙන්නේ නැත

ණය නොගෙවන අතර විදේශ වලින් ලැබුණ සහන, ලෝක බැංකුවේ ආධාර හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සංචිතය හේතුවෙන් ශ්‍රී ලංකාව අස්වැසිල්ලක පසුවේ. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් හා ගෑස් මිල ගණන් අඩු වී තිබේ. විදුලිය, ඉන්ධන හා ගෑස් මිල අඩු කරන්නට හැකියාව ලැබී ඇත. බලශක්ති පිරිවැය අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබිය යුතුවේ. නමුත් වෙළඳ සලට යන මහජනතාවට මිල අඩුවක් දැනෙන්නේ නැත. විනිමය අනුපාතිකයෙන් හා බලශක්ති වියදමෙන් ලැබුණ සහනය ජනතාවට ලැබෙන්නේ ශත ගණන් වලින්ය. අඩුම තරමින් බස් ගාස්තු හෝ ත්‍රීවීලර් ගාස්තු හෝ අඩු නොකිරීම ගැටලුවකි. ත්‍රිරෝද රථ කර්මාන්තය නියාමනය කරන බව ප්‍රකාශ වන අතර බස් ගාස්තු අඩු කිරීමට බලපා ඇති ගැටලු කුමක් ද යන්න අපැහැදිලිය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල ණය ආපසු අය කරගැනීමට සැලැස්මක් සකස් කරන තාක්ෂණික කණ්ඩායම ඉකුත් සිකුරාදා (09දා) මුණ
ගැසෙන්නට නියමිතව තිබුණ අතර එහි දී ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය ගැන තීන්දු ගැනෙන බවට තොරතුරු පළවිය. මෙම තීරණ අවසානයේ දී ශ්‍රී ලංකාවට විදේශ ණය ආපසු ගෙවන ක්‍රියාදාමයට ඇතුළත් වන්නට සිදුවේ. අවුරුද්දකට ඇ. ඩො. බිලියන හතක් පමණ ණය හා ණය සේවා ගෙවන්නට සිදුවිය හැකි බවට තක්සේරුවක් ඇත. පසුගිය වසරේ අපනයන ආදායම ඇ. ඩො. බිලියන 13.1 කි. මෙම ආදායම ම ලැබුණහොත් ණය ගෙවීමෙන් පසු මෙරට සම්පූර්ණ අවශ්‍යතා සඳහා ඉතිරිවන මුදල බිලියන හයකි. එය රටට අවශ්‍ය ඉන්ධන ආනයනයට පවා ප්‍රමාණවත් කිසිසේත් නොවේ.

එවැනි වාතාවරණයක් මැද විනිමය සංචිතය තරමක් වාසිදායක තැනක පවතින රාමුව අනුව, ආනයන සඳහා පනවා තිබුණ නීති ලිහිල් කරන්නට ආණ්ඩුව සූදානම් වේ. රුපියල ශක්තිමත්වීමේ වාසිය අනෙක් පැත්ත හැරෙන්නට මෙම තීරණ සෑහෙන ප්‍රමාණවත්ය. මුලින් ද සඳහන් කළ පරිදි ඩොලරයේ ගැනුම් මිල වාර්තාගත අගයක් ගන්නට ඉඩ තිබේ. එය නැවත වතාවක් ආර්ථිකයට ඉතාම අනතුරුදායක විපාක ඇති කරනු නිසැකය. දැනට පවතින සැහැල්ලුව විනාශ කරනු ඇත.

● ණය නොවී අය වැය පියවන්නට දරුවන්ටත් බදු

දේශීය ණය ගැනීම අඩුකරන අතර මුදල් අච්චු ගැසීම නතර කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දී තිබේ. ආදායම ප්‍රමාණවත් නැති බව ඔවුන්ගේ තරවටුවකි. ආණ්ඩුව අරමුදලේ කුණුවලට එකඟ වී ඇති අතර සරල කරන ලද එකතු කරන ලද බද්ද අහෝසි කිරීමට තීරණය කර ඇත. ඒ වෙනුවට පනවන අලුත් බද්ද තවත් ආදායම නංවන අතර ඒවා එකතු කරගන්නේ දුක්විඳින ජනතාවගෙන් බව පෙන්වා දිය යුතුය. වෘත්තිකයන්, ව්‍යාපාරයක් ලියාපදිංචි කර ඇති පිරිස, වාහනයක් මිල දී ගෙන ඇති අය සහ 2018 වසරට පසු දේපළක් මිල දී ගත් පුද්ගලික බදු ලිපිගොනු ආරම්භ කළ යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාලන ආයතනයකින් නිවාස සැලසුමක් අනුමත කරගත් ඕනෑම අයෙකු, ස්වෙච්ඡාවෙන් බදු ලිපිගොනු ආරම්භ කළ යුතුවේ. 2024 වසරේ ජනවාරි පළමුවැනිදා වයස දහ අට සම්පූර්ණ වන දරුවන් ද බදු ලිපිගොනු ඇරඹිය යුතු පිරිස අතර බව නිවේදනය තවදුරටත් දක්වයි.

2023 අය වැය යෝජනා ඉදිරිපත් කරමින් වයස දහ අටට වැඩි පිරිසට බදු ලිපිගොනු ආරම්භ කිරීම ගැන ජනාධිපති හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහසක් පළ කළේය. ඔහුට අනුව එය ප්‍රායෝගික නැත.

ආණ්ඩුවේ අධික බදු පැනැවීමට එරෙහිව දැනටමත් වෘත්තීයවේදීහු සටන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණව සිටින අතර අධිකරණයේ පනවන ලද නඩු ද තිබේ. නඩු පවරන ලද පාර්ශ්වවලින් බදු අය කරන්නේ නැත. මැති ඇමැතිවරු ද බදු ලිපිගොනු විවෘත කළ යුතු බව දැක්වේ. මැතිවරණයකදී තරග කරන විට, ඡන්දයෙන් පත් වූ පසු මැති ඇමැතිවරු සිය වත්කම් ප්‍රකාශ කළ යුතු බවට නීතියක් පවතින නමුත් එය නොසලකා, පැහැර හැර සිටින මහජන නියෝජිතයන් පිරිස සුළු පිරිසක් නොවේ. නීති හා ප්‍රතිපත්ති සකස් කරන ව්‍යවස්ථාදායකය ඔවුන්ගේම අණ පනත් නොසලකන ක්‍රමය තුළ බදු ලිපිගොනුව හා බදු බර සාමාන්‍ය ජනතාවට වැටෙන තවත් විලංගුවකි.

සෘජු බදු ආදායම සියයට හතළිහ දක්වා නංවන අතර වක්‍ර බදු අනුපාතිය සම්පූර්ණ බදුවලින් සියයට හැට දක්වා අඩු කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. සෘජු බදු වැඩිවේ වක්‍ර බදු අඩු කරන්නේ ද නැත. ආහාරපාන ඇතුළු සියලුම අත්‍යවශ්‍ය දේ වලින් බදු අය කරන ආණ්ඩුව එම ධනය පැවැත්මට භාවිත කරමින් සිටී.

● සියයට දහය අමතක කර දැමීම සුදුසු නැත

2022 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 7.4 කින් පහතට වැටිණ. ඝෘන අගයක් ගත්තේය. ලෝක බැංකුව ගණන් බලා ඇති පරිදි මෙම වසරේ අවසන් වන විට තවත් ඝෘන 4.3 කින් පහතට වැටේ. අවුරුදු දෙකක් තුළ ඝෘන 11.7 කින් දළ වශයෙන් සියයට දහයකින් වැටුණු ආර්ථිකය ගොඩනැගීම පහසු නැත.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා හෙළිදරව් කරන ලද පරිදි ව්‍යවසායකයන්ගේ දේපළ ඒකක හාරසියයක් වෙන්දේසි කිරීමට වාණිජ බැංකු තීරණය කර ඇත. බැංකුවලින් ලබාගත් ණය ආපසු නොගෙවීම මෙයට හේතුව බව දැක්වේ. බලය ඇති ප්‍රබල පිරිස් ලබාගත් ණය ගිණුම්වලින් ඉවත් කරන බොල් ණය වශයෙන් දක්වන නමුත් සාමාන්‍ය ව්‍යවසායකයන්ට අත්පත් වී ඇති ඉරණම දරුණුය. ණය ගෙවා ගත නොහැකි වූයේ ආර්ථික අර්බුදය හේතු කොට ගෙන බව පැහැදිලිය. ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්තකරුවන් දක්වන පරිදි අමුද්‍රව්‍ය හිඟය හා අධික මිල හේතුවෙන් විශාල බිඳ වැටීමක් පවතී. ලක්ෂයකට රැකියා අහිමි වී ඇත. ඇඟලුම් කර්මාන්තයේ රැකියා අහිමි වූ පිරිස පනස් දහසක් බව ක්ෂේත්‍රයේ නිරත පිරිස දක්වති. ප්‍රකට හයිඩ්‍රාමනී කම්හල වසා දැමීය. අපනයනයෙහි නිරත තවත් කම්හලක එක කොටසක් වසා දමා ඇත. අවුරුදු විසි පහක ඉතිහාසයේ අඩුම අපනයනය තේ කර්මාන්තය වාර්තා කරයි. පොහොර මිල, ශ්‍රම හිඟය හේතුවෙන් කුඩා තේ වතු හිමියෝ දුර්මුඛව සිටිති. මෙරට තේ වගාවෙන් සියයට හැටක් කුඩා තේ වතු බව දැක්විය යුතුය.

සියයට දහයක කඩාවැටීම නතර කර ආර්ථිකට සියයට එකකින් පමණ 2024 දී වර්ධනය විය හැකි බව දැක්වේ. මෙම කාලය තුළ දුප්පත් භාවය තවත් වැඩි දියුණු වනු ඇති අතර ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය වේගයෙන් පිරිහෙනු ඇත. මැදි ආදායම් රටක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව නැවතත් දිළිඳු රටක ස්වභාවයට හැරේ. එය කිසිසේත් වාසිදායක තත්ත්වයක් නොවේ.

● කසාය ඉක්මනින් බිව්වොත් තිත්ත දැනෙන්නේ අඩුවෙනි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්වන පරිදි මිහිරි වචන නැත. වැල් පාලමේ පරෙස්සමෙන් ගමන් කරන්නට සිදුවේ. තිත්ත තීරණ ගැනීමට සිදුවිය හැකිය. අමිහිරි, තිත්ත කසාය, රස කරමින් හෙමිහිට පානය කරන පුරුද්දක් නැත. උගුරට දෙකට බී මුව සෝදා ගනී. ආණ්ඩුව අවුරුද්දක් තිස්සේ කරන ප්‍රතිසංස්කරණ තිත්ත බෙහෙත් බොන සමාජයකට ඉවැසිය නොහැකි බව පාලකයෝ අවබෝධ කරගත යුතුය. රටට ආදායම් සොයන ආයෝජන කැඳවිය යුතු අතර ධනය විනාශ කරන රාජ්‍ය දේපළ ගැන තීන්දුවක් ගැනීම අවශ්‍යය. ඛනිජ තෙල්, විදුලිය, ගුවන් සේවය, මාර්ග සංවර්ධන අධිකාරිය වශයෙන් අංශ කිහිපයක් ඉස්මතු කර තබන නමුත් රාජ්‍ය ව්‍යවසාය විශාල පිරිහීමකය. ඒවායේ ණය, අකාර්යක්ෂමතාව, දූෂණ විශාල ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙහෙයුම් ලාභ ලබන බව ප්‍රකාශ කරයි. ආණ්ඩුව හැසිරෙන ආකාරයටම ව්‍යාපාර කිරීමකි. ආණ්ඩුව ද ණය නොගෙවා, පොලිය පැත්තකට කර රුපියල ශක්තිමත් බව ප්‍රකාශ කරන ආකාරයට එයාර් ලංකා ගුවන් සේවය ද පැරණි ණය හෝ ගුවන් යානා නඩත්තුව අවම තත්ත්වයක පවත්වා ගෙන සිටී. එය නිෂ්ප්‍රයෝජන ප්‍රචාරයකි. ඛනිජ තෙල් හා විදුලිය යන රාජ්‍ය ව්‍යවසායවල ගෙවන්නට ඇති ණය වලින් කොටසක් මහා භාණ්ඩාගාරය භාරගෙන තිබේ. මහජනතාවට පවරන බදු මෙම පවරාගත් අලාභවලට හිලව් කරනු ඇත. රාජ්‍ය බැංකුවලට රජයට අයත් ව්‍යවසාය ගෙවන්නට ඇති ණය විශාල ප්‍රමාණයකි. මේවායේ අධික පොලිය තෙල් ගාස්තුවට, විදුලිය බිලට ඇතුළත්ය.

රටක් ගොඩනගන්නට කර්මාන්ත හා ව්‍යාපාර දියුණු කළ යුතුවේ. පුද්ගලික අංශයේ ව්‍යවසායකයන්ට ආර්ථිකයෙන් බැට වැදී ඇති අතර තාවකාලික ණය අයිරාවක් හෝ ලබාගත නොහැකි පරිදි අධික පොලියක් බැංකුවලින් අය කරයි. ජනතාවගේ තැන්පත්වලට සියයට 20.25 අතර පොලියක් ගෙවන විට ව්‍යවසායකයෙකු ප්‍රාග්ධනය සපයා ගන්නේ කෙසේද? නොගැළපෙන නීති, ආයෝජකයන් අධෛර්යයට පත් කරන දේශපාලන බලපෑම්, ලෝකයේ දරුණුම බදු, ශ්‍රම හිඟය, බලශක්ති පිරිවැය යනාදී කරුණු සලකන පසු රටට ආයෝජන කැඳවීම පහසු නැත. මෙම සමස්තය සලකා බලා ඉක්මන් පරිවර්තනයක්, ඉක්මන් කසායවේලක් ගතහොත් ස්වභාවය වෙනස් කළ හැකිය. එයට ද ශක්තිමත් දේශපාලන බලයක් තිබිය යුතුවේ. බලයට එන්නට සූදානම් වන දේශපාලන පක්ෂ වලට ද වෙනම ගමනක් නැත. රට දුර්වල කර බලය අල්ලා ගැනීමට වඩා මිනිසුන් නගා සිටුවන තීරණවලට හවුල් වී තමන්ගේ තරම පෙන්වන්නට විපක්ෂ දේශපාලන පක්ෂ තීරණය කළ යුතුය.

ගාමිණී එස්. කන්දෙගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment