නූලෙන් මිස් වුණු කොළඹ වරායේ පැය විසිහතරේ කුණු වෙන්දේසිය

615

ඇප මුදල ලක්‍ෂ 33 කළේ කවුද?

සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරයත් නැහැ

සුදුලූනු වංචාවේ මහ මොළකරුවන් වෙන්දේසියට ඇවිත්

කොළඹ වරාය යනු මෙරට ආර්ථිකයේ එක් ප්‍රධාන මර්මස්ථානයකි. එහෙත් එසේ ප්‍රධාන මර්මස්ථානයක් වුවද අද කොළඹ වරායෙන් රටේ ආර්ථිකයට සිදු විය යුතු මෙහෙවර මුළුමනින්ම සිදු වන්නේද? කාලයක සිටම එය ප්‍රශ්නගත කරුණක් බවට පත්ව තිබෙන්නකි.

දීර්ඝ කාලයක පටන් කොළඹ වරාය පාතාල ජාවාරමුන්ගේ, පගාකාරයන්ගේ, කොමිස් කාක්කන්ගේ, දූෂිතයන්ගේ, හොරුන්ගේ සහ තක්කඩින්ගේ රජදහනක් බවට පත්ව තිබීම එවැනි ගැටලුවක් මතුවීමට එකම හේතුව වී ඇත. එකී මාෆියාව වරායේ සේවය කරන ඇතැම් නිලධාරීන්ගෙන් සහ පිටතින් වරාය තුළට රිංගන විවිධ සට්ටඹීන්ගෙන් සැදී තිබෙන්නකි. මේ නිසා වාර්ෂිකව රාජ්‍ය භාණ්ඩාගාරයට අහිමි වන මුදල රුපියල් කෝටි ගණනකි.

අප මාධ්‍යයක් ලෙසින් මේ සම්බන්ධයෙන් රාජ්‍ය බලධාරීන්ට පෙන්වා දුන් අවස්ථා බොහෝය. එහෙත් සිදුවූ කිසිත් නැත. ඇතැම්විට වරින් වර වරාය භාර ගන්නා දේශපාලනඥයන්ද මෙකී මාෆියාවේ කොටස්කරුවන් බවට පත්වීම එයට හේතු වී තිබේද යන්න සැකසහිතය.

වරෙක කොළඹ වරායේ තිබෙන නැව් තරම් විශාල පැරණි යෝධ දොඹකර කුණු කොල්ලයට යකඩවලට විකිණෙන්නේය. සාමාන්‍ය වෙළඳ පොළේ යකඩ කිලෝවක මිල රුපියල් සියයක්ව තිබියදී එකී දොඹකරවල යකඩ කිලෝ ග්‍රෑම් විශාල ප්‍රමාණයක් එහිදී අලෙවි කෙරෙන්නේ රුපියල් හතළිහට පනහටය. පසුගිය කාලයේ එවැනි දොඹකර හතඅටක්ම ඒ අන්දමට විකුණා දැමීය.

රත්තරන්, තඹ, පිත්තල පමණක් නොව මෙරටට ආනයනය කෙරෙන සෑම භාණ්ඩයක්ම වරාය වෙන්දේසියකට හෝ ටෙන්ඩරයකට ඉදිරිපත් කෙරුණහොත් සිදුවන්නේ එකී සන්තෑසියමය.

එවන් සිදුවීමක් ඉකුත් බ්‍රහස්පතින්දා ද කොළඹ වරායේදී සිදුවිය. මෙරටට ආනයනය කිරීමෙන් පසු වරායෙන් රැගෙන නොගිය ටින්මාළු, කැකුළු සහල් සහ විවිධ ධාන්‍ය වර්ග ඇතුළු භාණ්ඩ තොගයක් සහිත කොළඹ වරායේ සීඅයිසීටී සහ යූසීටී ගබඩාවල තිබූ බහාලුම් හතළිස් තුනක් වෙන්දේසියේ විකිණීමට ඉකුත් බ්‍රහස්පතින්දා වරාය බලධාරීහු සූදානම් වූහ.

මේවා වෙන්දේසි කිරීමට නියමිතව තිබුණේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහායි යන ලේබලය යටතේය. සාමාන්‍යයෙන් මෙවැනි වෙන්දේසි සිදු කිරීමේදී පිළිගත් ක්‍රමවේදයක් කාලයක සිටම වරායේ ක්‍රියාත්මකය. එහෙත් මේ වෙන්දේසිය සිදු කෙරුණේ එකී ක්‍රමවේදයෙන් බැහැරව කදුරු ගෙඩිය පශ්චාත් භාගයේ සිරවූ ගොන් වස්සාගේ සිස්ටම් එකටය.

ගොන් වස්සාගේ පශ්චාත් භාගයේ කදුරු ගෙඩිය සිරවූ කල්හි ඌ දැඩි ලෙස කලබලයට පත්ව කුලප්පු වන්නේය. එකී ගොන් න්‍යාය අනුගමනය කළ වරාය බලධාරීහු ඉකුත් බදාදා රජයේ මාධ්‍යයකම මේ වෙන්දේසිය පිළිබඳ පුවත්පත් දැන්වීමක් පළකර ඊට පසුදා එනම් බ්‍රහස්පතින්දා වෙන්දේසිය සිදු කිරීමට සූදානම් විය. කොළඹ වරාය ඉතිහාසයේ මේ අන්දමට පැය විසිහතරක් තුළ බහාලුම් හතළිස්තුනක තිබූ භාණ්ඩ තොගයක් වෙන්දේසි කිරීමට සූදානම් වූ ප්‍රථම අවස්ථාවද මෙය වන්නේය.

මෙම පැය විසිහතරේ වෙන්දේසියේදී දැනගැනීමට ලැබුණු හොඳම කතාව වූයේ වෙන්දේසියට ඉදිරිපත් වන්නන් රුපියල් ලක්‍ෂ තිස්තුනක ඇප මුදලක් තැන්පත් කළයුතු බවට කොන්දේසියක්ද පැනවී තිබීමය. සාමාන්‍යයෙන් එතරම් විශාල මුදලක් වෙන්දේසියකදී ඇප වශයෙන් තැන්පත් කිරීමක් මීට පෙර සිදුව නැත. රුපියල් ලක්‍ෂ තිස්තුනක මුදලක් ඇප වශයෙන් තැන්පත් කරන්නට යැයි වරාය වෙන්දේසියකදී සඳහන් වූ පළමු අවස්ථාවද මෙය බව මෙවැනි වෙන්දේසිවලට සහභාගි වන්නෝම සඳහන් කරන්නාහ. මෙකී ඇප මුදල ගැන කියැවෙන හාස්‍යජනකම කතාව වන්නේ ඉකුත් බදාදා සවස කොළඹ කොටුවේ බාර් එකක අඩියක් ගසමින් එක්තරා බලධාරීන් කිහිපදෙනකු සමග සමීප සබඳතා පවත්වන පාතාල හෙංචයියන් දෙදෙනකු මතින් මත්වී අපි තමයි මචං ඇප ගාණ වැඩි කළේ කියමින් වහසි බස් දොඩවා තිබීමය.

නූලෙන් මිස් වුණු කොළඹ වරායේ පැය විසිහතරේ කුණු වෙන්දේසිය

ඔවුන් මෙසේ කටයුතු කරනු ලැබුවේ කතිකා කරගත් පරිදි කිසියම් සැලසුමකට අනුව තෝරාගත් කිසියම් කණ්ඩායමකට බහාලුම් හතළිස්තුනක තිබූ අදාළ භාණ්ඩ තොගය ලබාදීම සඳහාද? මෙහි අවසන් ඉලක්කය වූයේ සත්ව ආහාර නිෂ්පාදනයට යැයි කියමින් වරායෙන් පිටතට යැවෙන මේ කුණු තොග ආර්ථීක අර්බුදයෙන් හෙම්බත්ව සිටින රටේ ජනතාව මුළාකර එළැඹෙන උත්සව සමයේ ලාභෙට අලෙවි කිරීමද? එයට පිළිතුරු දිය යුත්තේ මේ පැය විසිහතරේ වෙන්දේසිය සැලසුම් කෙරුවෝ සහ එයට ඉදිරිපත් වූවෝය.

එහෙත් එකී බරපතළ ගැටලුවට පිළිතුරු දීම වෙනුවට මෙකී වෙන්දේසිය සැලසුම් කළ වරාය කෙරුමෝ දැන් කරමින් සිටින්නේ ‘මොන මාධ්‍යවලින් මේවා එළියට දැම්මත් අපිට ගහන්න බැහැ බං අපි බේරිලා තමයි වැඩ කෙරුවේ’ කියමින් වරායේ පුටුවලට වී වහසි බස් දෙඩවීම වන්නාහ. එහෙත් පව් කරන කලට මී සේ මිහිරිය. මේ අයියලා නොදන්නේ විඳින කලට දුක් ගිනි සේ දැඩිවන බවය.

වරාය බලධාරීන් මේ පැය විසිහතරේ වෙන්දේසිය ප්‍රකාශයට පත් කිරීමත් සමග කඩිනමින් රුපියල් ලක්‍ෂ තිස්තුනක ඇප මුදල තැන්පත් කරමින් එයට ඉදිරිපත් වන්නට එකොළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සමත් විය. ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරුව වන විට ඔවුන් එකී ඇප මුදල තැන්පත් කරමින් වෙන්දේසියට ඉදිරිපත් වී තිබුණේ පෙර දැනුම්දීමකට අනුව රුපියල් ලක්‍ෂ තිස්තුන සාක්කුවේ දමාගෙන සිටියාක් පරිදිය. ඔවුන් එසේ සැණෙකින් වෙන්දේසියට ඉදිරිපත් වුවද වරාය වෙන්දේසිවලට කාලයක සිට සහභාගි වන්නන්ට කඩිනමින් රුපියල් ලක්‍ෂ තිස්තුනක් වැනි විශාල මුදලක් සොයාගත නොහැකි වීම නිසා එයට ඉදිරිපත් වීමට ඔවුහු අපොහොසත් වූහ.

ගොන් වස්සා සහ කදුරු සිස්ටම් එකට වරාය බලධාරීන් කළ මේ වෙන්දේසි කතාවේ සියල්ල වරාය ගේට්ටුවෙන් එළියට එන්නේ ඉන් පසුවය. ඒ කතාව සමග එළියට ආ තවත් කතාවක්ද විය. එය වූයේ මේකෙන් සියයට විසිපහක් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ට (කස්ටම් ඩීජී ට) යි යන්නය. මෙහිදී මේකෙන් යැයි කියැවුණේ කුමක්දැයි අපි නොදනිමු. ඇතැම්විට එය සැලසුම්සහගතව සිදුවූවේ යැයි සිතෙන මේ වෙන්දේසියට ඉදිරිපත් වූවන් වරායේ අයට ගෙවන්නට පොරොන්දු වූ අල්ලසද විය හැකිය. මේ සිද්ධිය ගැන ඇතැම් දේ දන්නා සමහරුන් නම් කියන්නේ ඒ මුදල රුපියල් කෝටි තුනක් යැයි කියාය. ඒවා කියන කතාය. එය ඇත්තක්ද බොරුවක්ද යන්න දන්නේද වෙන්දේසියට ඉදිරිපත් වූවන් සහ වරායේ අයය.

වේගයෙන් තටු ලැබුණු මේ සියයට විසිපහේ කතාව බොහෝ විට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාටද දැනගැනීමට ලැබුණා විය හැකිය. එය කෙසේ වෙතත් අවසානයේ සිදුවූයේ කුමක්ද? වරායේ පිරිස පැය විසිහතරේ වෙන්දේසියට සැරසෙද්දී වහාම ක්‍රියාත්මක වූ රේගු දෙපාර්තමේන්තුව එය අත්හිටුවනු ලැබීය. මෙහිදී රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා එයට ඍජුවම මැදිහත් වූ බවද වාර්තා විය. එකී මැදිහත්වීම වෙනුවෙන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට සහ මාධ්‍ය ප්‍රකාශකවරයාට අපි අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්නෙමු.

පැය විසිහතරේ වෙන්දේසියක් තුළින් සියලු දෙනා මෙහිදී සූදානම් වූයේ උත්සව සමයේ මේ දහජරාව කවා රටේ ජනතාවගේ බඩවල් පිරවීමට නම් ඒ කාලකණ්ණි උත්සාහය වළක්වමින් රේගු දෙපාර්තමේන්තුව කරනු ලැබුවේ මහත්ඵල මහානිශංස ගෙන දෙන පුණ්‍ය කර්මයක් බවද මෙහිදී සඳහන් කළ යුතුය.

රේගුව මෙසේ එය අත්හිටුවනු ලැබීමත් සමග දැඩි ලෙස කම්පනයට හා කලබලයට පත්වූයේ මෙම පැය විසිහතරේ වෙන්දේසියට ඉදිරිපත්ව සිටි එකොළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායම වූහ. ඔවුහු ඇතැමුන්ට දෙස් දෙවොල් තබන්නට වූහ. මේ එකොළොස් දෙනා අතර සිටියෝ කවරහුද?

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් සතොස සුදුලූණු වංචාවේ මහ මොළකරුවන්ද එකී එකොළොස් දෙනා අතර සිටියේය. එසේම ෆාම් ඔයිල් ජාවාරමේ කෙරුමාද එහි විය. ඇතැම් කුඩු පාතාලයන්ගේ කළු සල්ලි සුදු කරන්නන් මෙන්ම කොළඹ පාතාලයේ සූපින් කෑලිද ඒ අතර සිටියේය. අප මේ කලු සල්ලි සුදු කිරීමේ සහ පාතාලයේ කතාව මෙහිදී පෙන්වා දෙන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ ආරක්‍ෂක අංශවල අවධානය කඩිනමින් වරාය වෙන්දේසි වෙත යොමු කරනු පිණිසය.

මෙකී එකොළොස් දෙනා මේ වෙන්දේසියට ඉදිරිපත්ව සිටියේ රටේ පිළිගත් සත්ව ආහාර නිෂ්පාදන සමාගම්වල බලපත්‍රද රැගෙනය. එහෙත් කඩිනමින් වෙන්දේසිය කරන්න සූදානම් වුවද එයට ඉදිරිපත් වූවන් රැගෙන ආ අදාළ බලපත්‍ර සත්‍ය ඒවාදැයි එම සමාගම්වලින් විමසා බැලීමටවත් වරායේ මහත්වරු කටයුතු කර නොතිබුණු බව වරාය වෙන්දේසිවලට ඉදිරිපත් වන්නෝම සඳහන් කළහ.

වෙන්දේසියට ඉදිරිපත් වූ මේ පිරිස අදාළ භාණ්ඩ තොගය ලබාගෙන වැදගත් මහත්වරු ලෙස ඒවා කිසිත් සාමාන්‍ය වෙළෙඳ පොළට නොදමා සියල්ල සත්ව ආහාර සඳහාම මෙරට සත්ව ආහාර නිෂ්පාදන සමාගම් වෙත අලෙවි කළේ නම් ලබන ලාභය අති විශාල එකකි. මෙහිදී එසේ වෙනකෙකුගේ සාක්කුවට යන්නේ වරාය බලධාරීන් නිවැරදිව කටයුතු කළේ නම් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායමක් නොවේද? ඇතැම් කෑලි වෙන වෙන අයට ලබාදී තිබුණද කොළඹ වරාය යනු රජයට අයත් රාජ්‍ය දේපළක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

එසේ නම් මේ අන්දමට පැය විසිහතරේ වෙන්දේසි තබා රජයට ලැබිය යුතු මුදලක් වෙනකෙකුගේ සාක්කුවට දැමීමට පෙර මෙරට තිබෙන පිළිගත් සත්ව නිෂ්පාදන සමාගම් කැඳවා මෙවැනි වෙන්දේසි පවත්වන්නට වරාය මහත්වරුන්ට නොහැකිව තිබෙන්නේ ඇයි? වරාය බලධාරීන් ඒ මගහැරීම සිදු කරන්නේ ඍජුව ගනුදෙනුව සිදු කළහොත් තමන්ට කිසිවක් නොලැබෙන නිසාද? වරාය මගින් සිදු කරනු මෙවැනි වෙන්දේසිවලදී එසේ අදාළ සමාගම් සමග ඍජුව කටයුතු කෙරෙන්නේ නම් මේ කුණු ජරාව වෙළෙඳ පොළට පැමිණීමේ අවදානමද මගහැරෙන්නේය. එමගින් රටටත් ජනතාවටත් සිදුවන යහපත අතිවිශාලය. අප මේ ටික මෙහි සඳහන් කරනුයේ වත්මන් වරාය ඇමැතිවරයාට සහ සභාපතිවරයාට වහාම ඒ පිළිබඳ සොයා බලනු පිණිසය. ඉකුත් කාලයේ කොළඹ වරායේ තිබී නරක්වීම හේතුවෙන් විනාශ කිරීම පිණිස විවිධ පුද්ගලයන්ට දුන් ආහාර ද්‍රව්‍යද වෙළෙඳ පොළට පැමිණි අවස්ථා වාර්තා විය. එසේ නම් සත්ව ආහාර සඳහා යැයි කියමින් මෙවැනි වෙන්දේසි පවත්වා අදාළ භාණ්ඩ තෙවැනි පාර්ශ්වයක් අතට ලබාදීමේදී ඒවා වෙළෙඳ පොළට නොපැමිණෙන්නේ යැයි වරායේ මහත්වරුන්ට සහතික දිය හැකිද?

සත්ව අහාර නිෂ්පාදනයට යැයි කියමින් වරාය මගින් වෙන්දේසි කරන්නට සූදානම් වූ මෙකී බහාලුම් හතළිස් තුන තුළ සහල් තිබිණි. ටින් මාළු තිබිණි. එසේ විවිධ ධාන්‍ය වර්ගද තිබිණි. මෙවැනි දේ රට ඇතුළට ගැනීමේදී අනුගමනය කළ යුතු නීති රීතිද ඇත. අවසර ලබාගත යුතු අංශද ගණනාවකි.

විශේෂයෙන් ධාන්‍ය වර්ග තිබේ නම් ඒ සඳහා ශාක නිරෝධායතනයේ අවසරය තිබිය යුතුය. සත්ව ආහාර නිෂ්පාදනය පිණිස යැයි කියමින් මේවා රට තුළට ගත්තද ඊට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අවසරයද ලබාගත යුතුය. එසේම මේවායින් සත්ව ආහාර නිෂ්පාදනය කෙරෙන නිසා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරයද තිබිය යුතුය. එය මේ රටේ පවතින නීතිය ය.

එහෙත් වරාය බලධාරීන් මේ පැය විසිහතරේ වෙන්දෙසිය පවත්වන්න සූදානම් වූයේ මේ කියන කිසිවක් නොමැතිවය. එය පැහැදිලිවම නීති විරෝධී ක්‍රියාවලියකි. එසේ නැතහොත් රටේ නීතිය අතට ගැනීමකි. වරාය බලධාරීන්ට එවැනි බලයක් දුන්නේ කවරෙක්ද? වරාය භාර නිමල් සිරිපාල ඇමැතිවරයාද? මේවා බරපතළ ගැටලුය.

මේ වෙන්දේසියට පෙර වරාය බලධාරීන් අදාළ බහාලුම් හතළිස්තුන වෙන්දේසි කිරීම සඳහා පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ලිඛිතව ඉල්ලා ඇතත් ඒ අවසරය ලැබෙන්ට පෙර ඔවුන් වෙන්දේසිය සිදුකිරීමට සූදානම් විය. ඔවුන් ඒ අන්දමට ක්‍රියාත්මක වූයේ ඇයි?

පැහැදිලිවම මෙකී වෙන්දේසිය සහ ඒ පසුපස තිබූ කුමන්ත්‍රණය විය හැක්කේ එළැඹෙන උත්සව සමයේ සියලු භාණ්ඩ නැවත අසුරා දින වෙනස් කරමින් වෙළෙඳ පළට යොමු කිරීම විය හැකිය. ඒ සැකය මෙහිදී වඩාත් මතුවන්නේ කොළඹ වරායෙන්ම ලබාගත් එසේ කල් ඉකුත් වූ සැමන්, සහල්, පරිප්පු ආදී ආහාර ද්‍රව්‍යවල දින වෙනස් කරමින් නැවත ඇසුරුම් කර වෙළඳ පොළට එවීමට සූදානම් කරමින් සිටියදී පාරිභෝගික අධිකාරිය මගින් වටලනු ලැබූ වත්තල හැඳල ප්‍රදේශයේ ගබඩාවක හිමිකරුවකුගේ ගෝලබාලයන්ද වෙන්දේසියට ඉදිරිපත්ව සිටීම නිසාය. අද මේ රටේ ජනතාව අතරින් අති බහුතරයක් දෙනා රෝගීහුය. මහරගම අපේක්‍ෂා රෝහල පිරී ඉතිරී යන තරමට රටේ පිළිකා රෝගීන්ය. රටේ ජනතාවට වස විස සහ මෙවැනි කුණු දහජරාව කන්නට සිදුවීම එවන් තත්ත්වයක් ඇතිවීමට ප්‍රබලම හේතුව බව වෛද්‍ය වෘත්තිකයෝ පවසන්නාහ. කිසියම් රෝගයකට බෙහෙත් පෙත්තක් හෝ අහුරක් දෛනිකව ලබා නොගන්නා අයකු අද මෙරටින් සොයා ගැනීමටත් අපහසු තත්ත්වයකට මුළු රටම පත්ව ඇත. ලොව වසවිස කන ජාතීන් අතර අද ශ්‍රී ලංකාව ඇත්තේ අංක එකේය.

රටත් ජනතාවත්, පාලකයෝත් බලා සිටියදී කොළඹ අහස යට තිබෙන රටේ ආර්ථිකයේ එක් මර්මස්ථානයක් වූ කොළඹ වරාය තුළ මෙවැනි දේ සිදු වන්නේ සමස්ත ජනතාව එවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දී සිටියදීය. රට පාලනය කරන මහත්වරුනි මෙවැනි තිරිසන් වැඩවලට තිත තැබෙන්නේ කවදාද?

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment