ශ්‍රී ලංකාවේ මෙන්ම චීනයේද සාතිශය බහුතර ජනතාවගේ ශාස්තෘවරයාණන් වන්නේ බුදුරජාණන් වහන්සේය. එබැවින් බුදුන් වහන්සේ පිළිබඳවත්, බුද්ධ ශාසනය චීනය තුළ ස්ථාපිත වීම පිළිබඳවත් එරට ඉතිහාස පොත්වල සඳහන් වන්නේ කුමන කරුණු කාරණාවන්ද පිළිබඳව විමසා බැලීමට අපි අදහස් කළෙමු. අප ඒ පිළිබඳව විමසා සිටියේ, චීනයේ යුවෙන්හාම් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය මෙන්ම හොන්වා ආයතනයේ අධ්‍යක්‍ෂවරයා ලෙස ද කටයුතු කරන මහාචාර්ය හව් වේ මිං මහතාගෙනි. ඒ මහතා චීන ඉතිහාසයේ බුදුන්වහන්සේ පිළිබඳව සඳහන්වී ඇති ආකාරය පිළිබඳව දැක්වූ කරුණු මෙසේයි.

ප්‍රශ්නය – අපගේ දීපවංශය මහාවංශය ඇතුළු ඉතිහාස කෘතිවල සඳහන් වනවා මේ රටට බුද්ධාගම රැගෙන ආවේ මිහිඳු හිමියන් විසින් බව. අපි දන්නවා චීනයෙත් බුද්ධාගම අදහන විශාල පිරිසක් සිටින බව. චීන ජාතිකයන් බෞද්ධයන් බවට පත්වෙලා තිබෙන්නේ මොන ආකාරයටද?

පිළිතුර – චීනයට බුද්ධාගම පැමිණීම පිළිබඳව ජනප්‍රවාදවලත් පොත්පත්වලත් සඳහන් වෙලා තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ ආරම්භක යුගයේදී 6 වන වර්ෂයේදී හං රජ පෙළපතට අයත් මිං ති නමැති රජු සිහිනයෙන් දැකලා තිබෙනවා දිලිසෙන පිළිමයක්. එදා සිට චීනයට බුද්ධාගම පැමිණියා කියලා එක මතයක සඳහන් වෙනවා.

ඊට පෙර ක්‍රිස්තු පූර්ව යුගයේදී භික්ෂූන් වහන්සේලා පිරිසක් චීනයට වැඩම කළා කියලත් සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ රටේ දේවානම්පියතිස්ස රජතුමා රජකම් කර කාලයට සමාන කාලයේදී. එම කාලයේදී තමයි චීනයේ පළමු අධිරාජ්‍යයා වන චින් ෂු වන රජකම් කරලා තිබෙන්නේ. කෙසේ වුවත් ලංකාවට බුද්ධාගම පැමිණි ආකාරය පිළිබඳව මෙරට ඉතිහාස පොත්වල සඳහන් වෙලා තිබෙන ආකාරයේ පැහැදිලි සටහනක් චීනයේ ඉතිහාස පොත්වල නැහැ. මේ රටේ දීපවංශය, මහාවංශය ඇතුළු ඉතිහාස පොත්වල නම් මිහිඳු හිමියන් ඇතුළු දූත පිරිසක් දේවානම් පියතිස්ස රජුගේ කාලයේදී මේ රටට වැඩම කළ බව පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. නමුත් චීනයේ ඉතිහාස පොත්වල එතරම් පැහැදිලි විස්තරයක් නැහැ. එසේ වුවත් චීනයත් පැරණි බෞද්ධ රටක් කියලා එරට බෞද්ධයන් ආඩම්බර වෙනවා.

ප්‍රශ්නය – අපගේ ඉතිහාස පොත්වල බුදුරජාණන් වහන්සේ මේ රටට අවස්ථා කිහිපයකදීම වැඩම කළ බව සඳහන් වෙනවා. චීනයටත් බුදුරජාණන් වහන්සේ වැඩම කළ බව එරට ඉතිහාස පොත්වල සඳහන් වෙලා තිබෙනවාද?

පිළිතුර – බුදුරජාණන් වහන්සේ චීනයට වැඩම කළ බව චීන ඉතිහාස පොත්වල සඳහන් වන්නේ නැහැ. නමුත් අශෝක අධිරාජ්‍යයා චීනයේ සමහර ප්‍රදේශවල ස්ථූප ඉදිකළ බවට නම් මතයක් තිබෙනවා. ඒ පිළිබඳ පැහැදිලි සාක්ෂි සොයාගෙන නැහැ. නමුත් ඒ පිළිබඳ ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඒ වගේම සමහරුන් බුදුන් වහන්සේ චීනයටත් වැඩිය කියලා කියන්න උත්සාහ දරනවා.

ප්‍රශ්නය – ඉන්දියාවේ සෙල්ලිපිවල පවා අශෝක අධිරාජ්‍යයාගේ නම සඳහන් වන්නේ දේවානපිය මහදිසි යනුවෙන්. චීන ඉතිහාස පොත්වල අශෝක අධිරාජ්‍යයා හඳුන්වා ඇත්තේ කුමන නමකින්ද?

පිළිතුර – අශෝක අධිරාජ්‍යයාගේ නමේ අර්ථය සහ ශබ්දය අනුව තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. අශෝක යන නමේ තේරුම තමයි ශෝකය නැති කළා කියන එක. එය චීන භාෂාවේ හු යු වං කියන වචනවලට අනුව හදපු වචනයක් තිබෙනවා. ඒ අනුව නම් හු යු වං කියලා කියන්නේ අශෝක කියන එක තමයි. දේවනපිය කියල නම් නමක් සඳහන් වන්නේ නැහැ.

ප්‍රශ්නය – එම බෞද්ධ ග්‍රන්ථවල සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිදුවූ ස්ථානය ලෙස සඳහන් වන්නේ කුමන ස්ථානයද?

පිළිතුර – වර්තමානයේදී නේපාලයට අයත් ලුම්බිණියේදී සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදුවූ බව එම ග්‍රන්ථවල ඉතා පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. එම උපත සැමරීම සඳහා ඈත අතීතයේ සිට උත්සවයක් පවත්වා තිබෙනවා. චීනය එම ස්ථානයේ චීන පන්සල නමින් ලස්සන පන්සලක් ඉදිකර තිබෙනවා. එම උත්සවය චන්ද්‍ර මාස ක්‍රමයට හතරවන මාසයේ 8 වන දිනයේදී පැවැත්වෙනවා. මේ වසරේදී නම් මැයි 15 වැනිදාට තමයි ඒ දිනය යෙදිලා තිබෙන්නේ. මුළු චීනයේම එම උත්සවය පැවැත්වෙනවා. එදිනට සිද්ධාර්ථ කුමාරයාගේ ප්‍රතිමාව නාවනවා.

එහෙත් මම කලින් සඳහන් කළ යුවන් නෑම් පළාතේ නම් වෙසක් උත්සවය ලොකුවට සමරනු ලබනවා. නමුත් මහායාන සම්ප්‍රදාය තිබෙන ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම සමරනු ලබන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ උපත තමයි. චීනයේ බේජින්වල තිබෙන ප්‍රධාන පන්සලේ පැවැත්වෙන එම උත්සවයට ලංකාව ඇතුළු අග්නිදිග ආසියාතික රටවල භක්ෂූන් වහන්සේලාටත් ආරාධනා කරනවා.

ප්‍රශ්නය – දීපවංශය, මහාවංශය යන කෘතීන් පිළිබඳව වගේම මෙරට සම්බුද්ධ ශාසනය පිළිබඳව චීනය තුළ මොනවගේ පිළිගැනීමක්ද තිබෙන්නේ?

පිළිතුර – දීපවංශය සහ මහාවංශය චීන භාෂාවටත් පරිවර්තනය කරලා තිබෙනවා. ඒ වගේම විමුක්ති මාර්ගය වැනි තවත් පොත් චීන භාෂාවට පරිවර්තනය කරලා තිබෙනවා. පාලි භාෂාවෙන් ලියූ පැරැණි පොත් චීනයේ තිබෙනවා. එම පොත් මේ රටේ සිට චීනයට වැඩිය භික්ෂූන් වහන්සේලා විසින් රැගෙන ගිය බවට විශ්වාසයක් තිබෙනවා.

මහා විහාරය වගේම අභයගිරියත් ථෙරවාදී සම්ප්‍රදායට අයත් පන්සල් වුවත් එම විහාරයේ අලුත් අදහස්. ඒ කියන්නේ මහායාන අදහස් පිළිබඳව පර්යේෂණයන් වගේම ප්‍රචාරයකුත් කරලා තිබෙනවා. මම ඒ පිළිබඳ පර්යේෂණ කරනවා. පළමුවෙන්ම මහා විහාරයේ සම්ප්‍රදාය චීනය තුළ පැතිරිලා තිබෙනවා. නමුත් පසුව අභයගිරියේ අලුත් අදහසුත් චීනයට බලපාලා තිබෙනවා. ඉන්දියාවේ සිට චීනයට වැඩිය භික්ෂූන් වහන්සේලා පවා ලංකාවට ඇවිත් තමයි චීනයට ගිහින් තිබෙන්නේ. ගුණවර්ණ සහ ගුනභද්ද්‍ර නම්වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඉන්දියාවේ සිට චීනයට වැඩම කරලා තිබෙනවා. නමුත් උන්වහන්සේලා දෙනමක් ලංකාවට පළමුවෙන්ම වැඩම කරලා තමයි, ඉන් අනතුරුව ඉන්දියාවට වැඩලා තිබෙන්නේ. උන්වහන්සේලා දෙනම ටික කාලයක් ලංකාවේ වැඩ සිට තිබෙනවා. චීනයට උන්වහන්සේලා දෙනමගෙන් විශාල සේවයක් සිද්ධවෙලා තිබෙනවා.

චීන බුද්ධාගම හැඩ ගැසීම සඳහා තතාගත ගර්භ සංකල්පය, එසේත් නොමැති නම් ධර්මකාය, ධර්ම ධාතු යන සංකල්ප විශාල වශයෙන් බලපාලා තිබෙනවා. නමුත් මාධ්‍යමික ධර්මය, යෝගාචාර ධර්මය, විඥාන ධර්මය තිබිලා තියෙනවා. තතාගත ගර්බ යන සංකල්පයෙන් කියවෙන්නේ සියලු දෙනාගේ සිත් තුළ බුද්ධත්වයක් තිබෙනවා කියන එක තමයි. එම සංකල්පය තදින් චීනයට බලපාලා තිබෙනවා. බුද්ධ ධර්මය චීන කරණය වෙලා තිබෙන්නේ එම සංකල්පයත් සමග තමයි. ඒ වගේම කම්පියුසියස් ධර්මය, තාවෝ ආගම සමග බුද්ධ ධර්මයත් සම්මිශ්‍රණය වෙලා තමයි චීන සංස්කෘතික සම්ප්‍රදාය බිහිවෙලා තිබෙන්නේ.

ප්‍රශ්නය- පාහියන් නමැති බෞද්ධ භික්ෂුවක් අනුරාධපුර යුගයේදී අභයගිරි විහාරයට පැමිණ වසර 2 ක කාලයක් එම විහාරයේ වැඩ සිටිය බව උන්වහන්සේ විසින්ම රචනා කර ඇති කෘතියේ සඳහන් කර තිබෙනවා. එම ඓතිහාසික සිදුවීම පිළිබඳව චීන ඉතිහාසයේ සඳහන් වෙලා තිබෙනවාද?

පිළිතුර – මම ලිපියකින් සඳහන් කළා පාහියන් හිමියන් ක්‍රි.ව. 403 දී ඉන්දියාවට ගිය බව. උන්වහන්සේ 406 වන විට මගධ දේශයේ තමයි වැඩ සිටින්නේ. එම ස්ථානයේ රැඳී සිටිමින් බෞද්ධ ග්‍රන්ථ පිළිබඳව සොයාබලා තිබෙනවා. එක පන්සලක තමයි බෞද්ධ ග්‍රන්ථ තිබිලා තියෙන්නේ. භික්ෂූන් වහන්සේලා ධර්මය ආරක්ෂා කරලා තිබෙන්නේ මතක තබාගෙන තමයි. පාහියන් හිමියන් එහිදී සංස්කෘත භාෂාව ඉගෙන ගෙන බෞද්ධ ග්‍රන්ථ පිටපත් කරගෙන තිබෙනවා. එක දායකයෙක් පරිනිර්වාන සූත්‍ර නමැති ග්‍රන්ථය පාහියන් හිමියන්ගේ අතටම දීලා චීනයට ගෙනිහින් එම භාෂාවට පරිවර්තනය කරලා ප්‍රචාරය කරන්න කියලා ඉල්ලා තිබෙනවා.

ෆාහියන් හිමියන් චීනයේ සිට ආවේ ‘විනය පිටකය’ සොයා ගැනීම සඳහාය. නමුත් ඊට අමතරව සූත්‍ර ග්‍රන්ථත් එකතු කරගෙන තිබෙනවා. පරිනිර්වාන සූත්‍ර කියලා කියන්නේ ඒ තරම් ලොකු පොතක් නොවෙයි. නමුත් එම පොතේ තතාගත ගර්භ යන සංකල්පය අන්තර්ගතව තිබුණා.

චීනයේ මහායාන පන්සලක තිබෙන මහායාන ග්‍රන්ථයක සඳහන් වනවා රටස්වාමී කියලා. මම ඒ පිළිබඳව පර්යේෂණ කළා. රටයන වචනයේ ශබ්දය අනුව පෙනී යනවා එහි සිංහල ව්‍යවහාරයක් තිබෙන බව. එම පන්සලේ විදේශීය හිමිනමක් වැඩසිටිය බව තමයි එයින් හැඟෙන්නේ. මම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා එම විදේශීය හිමිනම සිංහල භික්ෂුවක් වෙන්න පුළුවන් බව.

බුදුන් ගැන චීනයෙත් ලංකාවෙත් ඇත්තේ එකම තොරතුරු - මහාචාර්ය හව් වේ මිං

ෆාහියන් හිමියන් ක්‍රිස්තු වර්ෂ 409 දී තමයි මේ රටට වැඩම කරලා තිබෙන්නේ. මං හිතන්නේ මගධ දේශයේ වැඩ සිටි භික්ෂූන් වහන්සෙලා සහ දායකයින් විසින් තමයි ෆාහියන් හිමියන්ට උපදෙස් දෙන්න ඇත්තේ, තවත් පොත් සොයාගැනීම සඳහා ලංකාවට වඩින්න කියලා. ෆාහියන් හිමියන් තනියෙන්ම නැවෙන් සිංහලද්වීපයට වැඩම කළා. ෆාහියන් හිමියන් සමග තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් චීනයේ සිට වැඩම කළා. නමුත් සමහර භික්ෂූන් වහන්සේලා ආපසු හැරී ගියා. සමහර භික්ෂූන් වහන්සේලා අපවත්වූවා. මගධ දේශයේ ෆාහියන් හිමියන් සමග වැඩ සිටි භික්ෂූන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා අපවත් වෙනතුරුම එහි වැඩ සිටිය යුතු බව. නමුත් ෆාහියන් හිමියන් සිංහලද්දීපයට තනියෙන්ම වැඩම කිරීමට තීරණය කරලා තිබෙනවා. උන්වහන්සේ අවුරුදු දෙකක් මේ රටේ වැඩ සිටියා. සමහරුන් තර්කයක් මතුකරනවා ෆාහියන් හිමියන් සිංහලද්වීපයට ආවේ, ඉන්දියාවේ සිට චීනයට කෙළින්ම වැඩම කළා නම් හිමකඳු සහ වගුරු බිම් සහිත ප්‍රදේශ පසු කිරීමට සිදුවන නිසා එම ප්‍රදේශ මගහැර කෙළින්ම නැව් මගින් චීනයට වඩින්න කියලා. නමුත් මම කියනවා ඒක එක අදහසක් පමණයි කියලා. ඒ වගේම මම කියනවා උන්වහන්සේ සිංහලද්වීපයට වැඩම කළේ අනෙකුත් රටවල දී සොයාගැනීමට නොහැකි වූ ධර්ම ග්‍රන්ථ සොයාගැනීමට කියලා. ෆාහියන් හිමියන්ට මගධයෙන් සර්වස්ති මාර්ග විනය පිටකය නම් සොයාගැනීමට හැකි වූවා. නමුත් උන්වහන්සේට මහීශාසක විනය පිටකය නම් සොයාගැනීමට හැකි වූයේ මේ රටින්.

අපි විශ්වාස කරනවා අභයගිරි විහාරයෙන් කියලා එම ධර්ම ග්‍රන්ථ ලබාගත්තේ.

ක්‍රි. ව. 412 වන විට ෆාහියන් හිමියන් නැවතත් චීනයට වැඩම කරලා අරන් ගියපු පොත් පරිවර්තනය කිරීම ආරම්භ කරලා තිබෙනවා. උන්වහන්සේ එම කටයුත්ත කරලා තිබෙන්නේ ඒ වන විට චීනයේ අග නගරය ලෙස පැවැති නංචිං වල තිබුණු පන්සලක වැඩ වාසය කරමින්. එම අවස්ථාවේදී මහී ශාසක විනය පිටකය වගේම පරිනිර්වාන සූත්‍රයන් පරිවර්තනය කරලා තිබෙනවා. එම පරිවර්තන කටයුත්ත ෆාහියන් හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුවෙලා තිබෙන අතර එම කටයුත්තට භද්‍ර නමැති වෙනත් රටකින් වැඩම කරන ලද නායක හිමිපාණන් වහන්සේ නමකුත්, චීන ජාතික භික්ෂූන් වහන්සේලා දෙනමකුත් සම්බන්ධ වෙලා තිබෙනවා.

ෆාහියන් හිමියන් මේ රටට වැඩම කරලා තිබෙන්නේ ක්‍රි. ව. 409 හේමන්ත කාලයේදී. ඒ කියන්නේ එම වර්ෂයේ අගදී. ක්‍රි. ව. 410 සිට 432 දක්වා සිංලද්වීපයේ රජු ලෙස කටයුතු කරලා තිබෙන්නේ මහානාම රජු. එම කාලයේදී රජවරු දෙදෙනකු චීනය පාලනය කරලා තිබෙනවා. ඒ වනවිට චීනයේ අගනගරය ලෙස භාවිතා කරලා තිබෙන්නේ නංචිං නගරය. ඒ වන විට රජු ලෙස කටයුතු කරලා තිබෙන්නේ නං රාජ වංශයේ සුංති නමැති රජතුමා විසින්. එම රජතුමා මහානාම රජතුමා සමග ඉතා හොඳ සම්බන්ධයක් ඇතිකර ගත්තා. එම කාලයේදී සිංහලද්වීපයේ සිට චීනයට දූත පිරිසක් ගිහින් තිබෙනවා. එම පිරිසට භික්ෂූන් වහන්සේලා, උපාසකයන් වගේම ගිහියනුත් ඇතුළත් වෙලා තිබෙනවා. එම දූත පිරිස චීන රජතුමාට බුදු පිළිම වහන්සේ නමක් සහ සංදේශයක් රැගෙන ගොසින් තිබෙනවා.

ඒ වගේම ක්‍රි. ව. 428 දී තවත් දූත පිරිසක් චීනයට ගිහින් තිබෙනවා භික්ෂුණි ශාසනය ඇති කිරීම සඳහා. එම පිරිසට 8 දෙනෙකු ඇතුළත් වෙලා තිබෙනවා. චීනයේ වැඩ සිටිය ගුණ වර්ණ භික්ෂූන් වහන්සේ එම අවස්ථාවේදී ප්‍රකාශ කරලා තිබෙනවා භික්ෂුණි ශාසනය ඇති කිරීම සඳහා 10 දෙනෙකු අවශ්‍ය බව. එම අවස්ථාවේදී තවත් පිරිසක් සිංහලද්වීපයෙන් පැමිණෙන තුරු කලින් කියපු 8 දෙනා පන්සලක නැවතිලා චීන භාෂාව ඉගෙන ගෙන තිබෙනවා. එම කටයුතු සිද්ධ වෙලා තිබෙන්නේ මහානාම රජු සමයේදී තමයි. ෆාහියන් හිමියන් මේ රටේ සිට යළි චීනයට ගියාට පසුව තමයි එම සියලුම කටයුතු ආරම්භ වෙලා තිබෙන්නේ. එම නිසා මම ප්‍රකාශ කරනවා ෆාහියන් හිමියන් මේ රටේ වැඩ සිටිය වසර දෙකක කාලය තුළ ගුණවර්ණ හිමියනුත් උන්වහන්සේ සමග මේ රටේ වැඩ සිටියා කියලා.

මම හිතන්නේ ෆාහියන් හිමියන්ට මහානාම රජතුමා මුණ ගැසෙන්න ඇති. ෆාහියන්ගේ දේශාඨන වාර්තාව කියන්නේ හරි ප්‍රසිද්ධ කෘතියක්. එම කෘතියේ සඳහන් කරලා තිබෙනවා මහානාම රජු අභයගිරි විහාරයට පැමිණි අවස්ථාවක් පිළිබඳව. එම අවස්ථාවේදී රජතුමා අභයගිරියේ ගබඩාව පරීක්‍ෂා කරලා තිබෙනවා. එම ගබඩාවේ මුදල්, මිණි මුතු පිරිලා තිබිලා තියෙනවා. ගබඩාව පරීක්‍ෂා කරපු අවස්ථාවේදී ඒ පිළිබඳව රජතුමාට තණ්හා සිතක් ඇතිවී තිබෙනවා. ඉන්පසුව මාළිගයට ගිය රජතුමා ඒ පිළිබඳව පාපොච්චාරණයක් කරලා යළිත් අභයගිරි විහාරයට පැමිණ තිබෙනවා. රජතුමා එම අවස්ථාවේදී අභයගිරියේ නායක හිමියන්ට ප්‍රකාශකරලා තිබෙනවා තමා ඇතුළු කිසිවෙකුට යළි එම ගබඩාවට යන්න දෙන්න එපා කියලා. ඒ වගේම 40 වන විය ඉක්මවූ භිකෂූන් වහන්සේලාට පමණක් එම ගබඩාවට යන්න අවසර දෙන්න කියලා ඉල්ලා තිබෙනවා.

ෆාහියන් හිමියන්ගේ දේශාඨන වාර්තාවේ අන්තර්ගත එම තොරතුරුවලින් පැහැදිලි වෙනවා ෆාහියන් හිමියන්ට මහානාග රජතුමා සමග පවා සම්බන්ධයක් තිබූ බව. මහා විහාරයේ වගේම අභයගිරියේ නායක හිමියනුත් රජ මාළිගය සමග සම්බන්ධ වෙන්න ඕන. ඒ අනුව චීනයේ සිට පැමිණි සම්භාවනීය අමුත්තෙකු වූ ෆාහියන් හිමියනුත් රජතුමා සහ මාළිගාව සමග සම්බන්ධ විය යුතුයි.

එම තොරතුරු දැක්කහම මට සිතුණා ෆාහියන් හිමියන්ගේ දේශාඨන වාර්තාව පිළිබඳව වාර්තා චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීම සඳහා එම තොරතුරු ඇති කියලා. නමුත් එම කටයුත්ත තවම කරගන්න බැරිවුණා. කෙසේ වුවත් ෆාහියන් හිමියන් අතීතයේදී චීනය සහ සිංහලද්වීපය අතර පාලමක් සේ කටයුතු කර තිබෙන බව පැහැදිලිවම සඳහන් කිරීමට පුළුවන්කම තිබෙනවා.

ප්‍රශ්නය – ෆාහියන්ගේ දේශාඨන වාර්තාව සිංහල භාෂාවට පරිවර්තනය කරලා තිබෙනවා. එම කෘතිය සහ ෆාහියන් හිමියන් විසින් රචනා කරන ලද කෘතිය යන කෘති දෙකම ඔබ පරිශීලනය කරලා තිබෙනවාද? එම කෘති දෙක අතරේ යම් වෙනස්කමක් තිබෙනවාද?

පිළිතුර – ඇත්තටම කිහිප සැරයක්ම බලලා තිබෙනවා. විමල් ජී. බලගල්ල මහතා ෆාහියන්ගේ දේශාඨන වාර්තාව සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට පෙර වෙනත් පුද්ගලයකු විසිනුත් එම කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කරලා තිබෙනවා. ඒ 1930 ගණන්වල කියලා තමයි දැනගන්න තිබෙන්නේ. බලගල්ල මහතාගෙන් පසුවත් තවත් පුද්ගලයන් දෙදෙනකුත් ෆාහියන්ගේ දේශාඨන වාර්තාව සිංහල භාෂාවට පරිවර්තනය කරලා තිබෙනවා. ඒ අනුව බැලුවහම අවස්ථා හතරකදී එම කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කරලා තිබෙනවා. නමුත් මම දැකලා තිබෙන්නේ තුනයි.

බලගල්ල මහතා ෆාහියන්ගේ දේශාඨන වාර්තාවේ ඉංග්‍රීසි පිටපත තමයි සිංහල භාෂාවට පරිවර්තනය කරලා තිබෙන්නේ. ෆාහියන්ගේ දේශාඨන වාර්තාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා තිබෙන්නේ චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් විසින් තමයි. ඒ වගේම උන්වහන්සේ විසින් භික්ෂූණි චරිතාපදාන නමැති කෘතියක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා තිබෙනවා.

ප්‍රශ්නය – බුදුන් වහන්සේ පිළිබඳව දීපවංශය, මහාවංශය ඇතුළු මෙරට ඉතිහාස කෘතිවල සඳහන් වී තිබෙන තොරතුරු සහ චීන ඉතිහාස පොත්වල බුදුන්වහන්සේ පිළිබඳව සඳහන්වී තිබෙන තොරතුරු එකිනෙකට ගැළපෙනවාද? එසේත් නොමැති නම් පරස්පර විරෝධීද?

පිළිතුර – බුදුන් වහන්සේ පිළිබඳව දෙරටේම ඉතිහාස පොත්වල සඳහන්වී තිබෙන්නේ එකම තොරතුරු තමයි කියලා මම විශ්වාස කරනවා. මහායාන බෞද්ධ ග්‍රන්ථවල පරිනිර්වාණ වර්ෂ පිළිබඳව යම් මතභේද තිබුණත් අනෙකුත් තොරතුරුවල වෙනසක් නැහැ. පසුකාලීනව මහායාන බුද්ධාගමේ වෙනස් බුදුවරු පිළිබඳව සඳහන් වුවත් මුල් වෙලා තිබෙන්නේ ශාක්‍යමුණි බුදුන්වහන්සේ තමයි. පන්සල්වල තිබෙන බුදුපිළිම දෙස බැලුවහමත් මහායානද, ථෙරවාදද, තන්ත්‍රයානද කියල හඳුනාගන්න පුළුවන්කම තිබෙනවා. නමුත් ඒ තුනේම මූලය එකක්.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනප්‍රිය
ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment