ඔන්ලයින් පනත ගැන මට ඇත්තේ කනස්සල්ලක්

තෛපොංගල් උත්සවයේ රජයේ වියදම රු. ලක්‍ෂ 5 යි

නිවාස ප්‍රශ්නය එක රැයකින් විසඳිය නොහැකියි

මගේ හිතවත්කම රටට…

වතු කම්කරු වැටුප රු.1500-1700ක් වෙන්න ඕනා

උඩරට විතරක් නෙවෙයි රටේම ඡන්ද ටික රනිල්ට අරන් දෙන්න මට පුළුවන්

පොරොන්දු එක ඡන්ද දෙක…

ජාතික තෛපොංගල් උත්සවය පසුගියදා පැවැතියේ හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේදී ය.

උත්සවශ්‍රීයෙන් පැවැති එම සැමරුම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව චෝදනා එල්ල කරන්නේ රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති මොහොතක විශාල වියදමක් දරා එකී උත්සවය පැවැත්වූ බවත් එය දේශපාලන වාසි ලබා ගැනීම සඳහා සංවිධානය කරන ලද්දක් බවත් කියමිනි. එකී උත්සවය සඳහා දකුණු ඉන්දියානු සුරූපී නිළියන් පිරිසක් කැන්දාගෙන විත් තිබීමද කතා බහට ලක්වූ සිදුවීමක් වී ඇති පසුබිමක විශාල වියදමක් දරා එවැනි උත්සව සංවිධානය කළේ ඇයිද යන්න ඇතුළු තවත් දේශපාලන කරුණු කාරණා ගණනාවක් පිළිබඳව විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමැති ජීවන් තොණ්ඩමන් මහතාව සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තෙමු.

පහතින් පෙළ ගැසෙන්නේ ඒ මහතා සමග සිදුකළ එම සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – වතුකරයේ ජනතාව දරිද්‍රතාවයෙන් සහ නිවාස නොමැතිව දිගින් දිගටම දුක් විඳිද්දී ජාතික තෛපොංගල් සැමරුම සඳහා විශාල වියදමක් දරා ඇති බවට ඔබට චෝදනා එල්ල වෙනවා. එසේම දකුණු ඉන්දියානු නළු නිළියන් හතර දෙනෙක් ඒ සඳහා එක්කරගෙන තිබීමද කතාබහට ලක්ව තිබෙනවා. මිනිසුන් ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මොහොතක එවැනි උත්සව සංවිධානය කිරීම කොතරම් දුරට සාධාරණද ?

පිළිතුර – තෛපොංගල් උත්සවය කියන්නේ ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම දෙමළ ප්‍රජාවට සංස්කෘතික වැදගත්කමක් ඇති උත්සවයක්. එය අස්වැන්න නෙළන කාලය සැමරීම සනිටුහන් කරනවා වගේම නව ආරම්භයන් සංකේතවත් කරනවා. උත්සවය සංවිධානය කිරීමේ අපගේ අරමුණ වූයේ ජනතාව අතර ප්‍රීතිය පැතිරවීම සහ ධනාත්මක මානසිකත්වයක් ඇති කිරීමයි.

මෙම කටයුත්ත අප අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද්දක්. ඇතැම් අය චෝදනා කරන විදිහට මෙම උත්සවය සඳහා රජයේ මුදල් අප වැය කළේ නැහැ. ඇත්තටම මේ සඳහා වැය වූ මුළු මුදල රුපියල් මිලියන පහක් පමණයි. එතැනදී විශේෂයෙන්ම කියන්න ඕන කාරණය වන්නේ, ආණ්ඩුව පාර්ශ්වයෙන් වියදම් කළේ රුපියල් ලක්ෂ පහක මුදලක් පමණක් බව. ඉතුරු මුදල් අප සපයා ගත්තේ පුද්ගලික අංශයේ දායකත්වය තුළින්.

මෙම අවස්ථාවට දෙමළ ප්‍රේක්ෂකයන් දන්නා ඉන්දියානු නිළියන් හතර දෙනකු සහභාගි වුණා. මෙම නිළියන්ගෙන් එක් නිළියක් දුෂ්කර පසුබිමකින් පැමිණ ඇති කෙනෙක්. කඳුකරයේ තරුණ තරුණියන්ට චිත්‍රපට ක්ෂේත්‍රය ගැන උනන්දුවක් තිබෙන නිසා අපි තරුණ තරුණියන් 100ක් පමණ සම්බන්ධ කරගෙන චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ වැඩමුළු හතරක් සංවිධානය කළා. මෙම සැසිවාරයේදී, නිළියන් ඔවුන්ගේ ජීවිත කතා බෙදාහදා ගත්තා. එය අපේ දමිළ තරුණියන්ට සුවිශේෂී අවස්ථාවක්. නිළියන් මේ වෙනුවෙන් සහභාගි වුණේ ස්වෙච්ඡාවෙන්. ඔවුන්ගේ වියදම් රජයෙන් නෙමෙයි පුද්ගලික අනුග්‍රාහකයන් විසින් ආවරණය කරනු ලැබුවා.

ප්‍රශ්නය – දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් එය ඔබේ ප්‍රදේශයක සංවිධානය කළ බවටත් චෝදනා එල්ල වෙනවා.

පිළිතුර – ඒ දේශපාලන වාසි ලබා ගැනීම අරමුණින් කළ දෙයක් නෙවෙයි. අපි එය එසේ කළේ තේ දලු නෙළීමේ ඒකාකාරී රටාවෙන් ඔබ්බට ගොස් උඩරට දෙමළ ජනයාගේ වැදගත්කම පිළිගනිමින් ඔවුන් කෙරෙහි අවධානයක් යොමු කිරීමටයි. අපි උත්සාහ කළේ එයයි. අපගේ අවංක උත්සාහය නොතකා, උත්සවයට සහභාගි නොවූ පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල කරනවා. ඔවුන් බොරු චෝදනා කළත් උත්සවයට පැමිණ සිටි අය සැබෑ සතුටක් අත්වින්දා.

මේ කාලය දුෂ්කර කාලයක් බැවින් ඇයි උත්සව පවත්වන්නේ කියලා ඇතැමුන් අහනවා. ජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දුන් පෙර වසරේ පවා මෙම තෛපොංගල් ජාතික උත්සවය පැවැත්වූවා. අපේ ජනතාව කෙරෙහි අසමාන ලෙස නොබැලිය යුතුයි. පසුගිය වසරේ දී උඩරට දෙමළ ජනයාගේ ආගමනයට වසර දෙසීයක් සපිරීම නිමිත්තෙන් නාම් 200 උත්සවය පැවැත්තුවා. ඒ සඳහා ඉන්දියාවේ ප්‍රභූවරුන් ඇතුළු විශාල පිරිසක් එක් වුණා. ජාතික පොංගල් උත්සවය සහ NAAM 200 (අපට 200) උත්සවය යන දෙකම අවම රාජ්‍ය අරමුදල්වලින් ක්‍රියාත්මක වූ බව කියන්න ඕන.

ප්‍රශ්නය – කඳුකරයේ දෙමළ ජනතාවගේ අනෙකුත් ප්‍රශ්න සඳහා මේ වගේම සංවේදී ද? විශේෂයෙන්ම නිවාස ප්‍රශ්නය බරපතළයි. එතැන ප්‍රශ්නයක් තිබෙනවා නේද ?

පිළිතුර – වතුකරයේ දමිළ පවුල් දෙලක්ෂ තිස් එක්දහසක් තිබෙනවා. ඉන් පවුල් එක් ලක්ෂ හැත්තෑ දහසකට නිවාස අවශ්‍යව තිබෙනවා. පසුගිය වසරේ නොවැම්බර් දෙවෙනිදා පර්චස් දහයක් සහිත ඉඩම් අයිතිය ලබාදීම සම්බන්ධයෙන් අපි කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගත්තා. ඒ සඳහා රුපියල් මිලියන 4000ක් අපි වෙන් කරගෙන තිබෙනවා. මෙම නිවාස ප්‍රශ්නය එක රැයකින් විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කර තිබෙනවා. එය ක්‍රම ක්‍රමයෙන් පිළිවෙළට විසඳන්න අප කටයුතු කරනවා. අපේ මිනිසුන් විඳවන දුෂ්කරතා පිළිගන්නවා වගේම ඔවුන්ට සතුටු වෙන්න ඇති අවස්ථා අපට ප්‍රතික්ෂේප කරන්න බැහැ. එසේ වුවහොත් එය අසාධාරණයි.

ප්‍රශ්නය – මෙය මැතිවරණ වසරක්. දේශපාලන පක්ෂ සන්ධාන වැඩිපුර ගොඩනැගෙන වසරක්. ලංකා කම්කරු කොංග්‍රසය ඡන්ද ප්‍රතිඵල සඳහා ලොකු බලපෑමක් කළ හැකි පක්ෂයක්. මීළඟ මැතිවරණ ඉලක්ක කරගෙන ඔබ කොංග්‍රසයට යම් යම් ආරාධනා ලැබී තිබෙනවාද? වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද ?

පිළිතුර – වත්මන් දේශපාලන තත්ත්වය ඉතාම රසවත්. දැන් තියෙන පාර්ලිමේන්තුව දිහා බැලුවොත් මන්ත්‍රීවරු මොන පැත්තද කියලා හිතාගන්න බැහැ. මොන මන්ත්‍රීවරයා මොන පක්ෂයට සහයෝගය දෙනවාද කියලා කවුරුත් දන්නේ නැහැ.

රනිල් එක්ක දුර යන්න පුළුවන්…- ඇමැති ජීවන් තොණ්ඩමන්

ජනාධිපතිවරයාට සහාය දැක්වීම සම්බන්ධයෙන් විවිධ ස්ථාවරයන් තිබෙනවා. ආර්ථික අර්බුදයකින් රට ගොඩ ගැනීමට ඔහු සාර්ථක ලෙස මග පෙන්වූ බවට සැකයක් නැහැ. ගෝලීය තත්ත්වය හා සසඳන විට මෙම ජයග්‍රහණය ඇත්තටම විශේෂයෙන් කැපී පෙනෙනවා. උදාහරණයක් වශයෙන්, පකිස්තානය ආර්ථික අර්බුදයකට ගියේ අප අර්බුදයට ගිය කාලයේදී. ආර්ථික අර්බුදයත් එක්ක ඔවුන් දේශපාලන අර්බුදය ගියා. අපි ආර්ථික අර්බුදයට ගිය වෙලාවේ අපිට කලින් ණයක් දීපු බංගලාදේශය දැන් ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. ඉන්දියාවේ පවා විරැකියා ප්‍රශ්නයක් පවතිනවා. නමුත් ආර්ථිකය අතින් ඔවුන් තරමක් ශක්තිමත්. කලාපයේ සියලුම රටවල් දුෂ්කර කාලයකට මුහුණ දී සිටිනවා.

මම මෑතකදී ලන්ඩනයේ සංචාරයක නියැලුණා. මම එහි මහජන මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් සමඟ අදහස් හුවමාරු කර ගත්තා. ඔවුන් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් නැවත නැගී සිටීමට ඇති හැකියාව පිළිබඳව ප්‍රසාදය පළ කළා.

දේශපාලනය පැත්තෙන් මගේ හිතවත්කම තියෙන්නේ මේ රටට. ඒ නිසා මගේ හිතවත්කම තියෙන්නේ මේ රට බේරාගත්තු කෙනාට. මේ වන විට ඔහු පොරොන්දු වූ සියල්ල ඉටු කර තිබෙනවා. ඔහු පොරොන්දු වූ පරිදිම මේ රට ගොඩගැනීමේ මාවතට ගෙන ආවා. ජනාධිපතිතුමා නිවාස 10,000ක් ඉදිකරමින් වතු දෙමළ ජනතාව සඳහාම නිවාස වැඩසටහනක් ආරම්භ කළා. උඩරට දෙමළ ප්‍රජාවගේ වැදගත්ම ජයග්‍රහණය වූයේ ජනාධිපතිවරයා විසින් ලබාදුන් පොරොන්දුවක් වූ ඉඩම් හිමි අයිතිය ලබා ගැනීම. ඒ සඳහා ඔහු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක් සඳහාම රුපියල් බිලියන 10ක පමණ මුදලක් වෙන් තිබෙනවා.

2003 දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස වතු දෙමළ ජනතාවට ලක්ෂ 3කට පුරවැසිභාවය ලබා දුන්නා. ඒ වගේම වතුකරයේ පාසල් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සඳහා කොටගම ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ඇතුළු අධ්‍යාපනික ආයතන ලබා දී තිබෙනවා.

අපි මෙච්චර දුරක් ආවා. අපිට තව ගොඩක් දුර යන්න තියෙනවා. අපි කැමති එතුමාගේ නායකත්වය යටතේ යන්න. ඒ දිගු ගමනක් යෑමට නම්, අපි කරුණු දෙකක් දෙස බැලිය යුතුයි. එකක් නම්, ඉඩම් අයිතිය සඳහා ඇති අයිතිය, කම්කරුවන්ට ඔවුන්ගේ ඉඩම්වල ජීවත් විය හැක්කේ ඔවුන් වෙනුවෙන් වැඩ කළහොත් පමණි යන වතු සමාගම්වල මානසිකත්වයට තිත තැබීම. වතු සමාගම්වල අවසරයකින් තොරව මීට පෙර තමන්ට කළ නොහැකි වූ වැසිකිළියක් තමන් විසින්ම සාදා ගැනීමට අද වතු කම්කරුවන්ට හැකියාව ලැබී තිබෙනවා. එය ඉඩම් හිමිකම අයිතිය වෙනස් කිරීම සඳහා උත්ප්‍රේරකයක්.

දෙවැන්න වැටුප් ප්‍රශ්නය. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් මගේ අදහස ඉදිරිපත් කිරීම ගැන මම සතුටු වෙනවා. වතු කම්කරුවන්ගේ මේ දෛනික වැටුප් ක්‍රමයේ අවසානය දකින්නටත් අපි යා යුතුයි. පසුගිය වසර දෙක තුළ සමාගම් ලාභ උපයා ඇතත් වැටුප් වැඩි කිරීමට එකඟ වී නැහැ. අපි මාසයක් ඇතුළත වැටුප් මණ්ඩලය කැඳවනවා. සෑම වතු කම්කරුවෙකුටම දෛනික වැටුප රුපියල් 1500 ත් 1700 ත් අතර වැඩිවීමේ විසඳුමක් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එය තාවකාලික විසඳුමක් පමණයි, ස්ථිර විසඳුමක් සඳහා අපි කටයුතු කරනවා.

ප්‍රශ්නය – එසේනම් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උඩරට ඡන්ද ලබා දෙන බවට ඔබ පොරොන්දු වෙනවාද?

පිළිතුර – උඩරට ඡන්ද විතරක් නෙවෙයි රටපුරා තියෙන ඡන්දත් එතුමාට දෙන්න මට පුළුවන්කම තියෙනවා කියන එකයි මම කියන්නේ. මම ජල සම්පාදන ඇමැති නිසා රටපුරා ජනතාවට අලුතින් ජල සම්බන්ධතා ලක්ෂයක් ලබාදී තිබෙනවා. ජල සම්පාදන මණ්ඩලය තිරසාර ආයතනයක් බවට පත් කිරීමට අපි ජල ගාස්තු සූත්‍රයක් ඉදිරිපත් කළා. ජනගහනයෙන් සියයට 50 කට ජලය ලබා ගැනීම සහතික කෙරෙන ග්‍රාමීය පානීය ජල ව්‍යාපෘති සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා. දැනට අපට එම සම්බන්ධතා ඇත්තේ සියයට 11කට පමණයි.

ඡන්දය ලබා ගැනීම මගේ මූලික අවශ්‍යතාවක් නෙමෙයි. එයට මගේ ඇත්තේ ද්විතියික සැලකිල්ලක්. මගේ මූලික අවශ්‍යතාව අපි ජනතාවට පොරොන්දු වූ දේ ලබා දීම. ස්මාර්ට් පන්ති කාමර සහිත දරුවන්ට නිවාස, ඉඩම් අයිතිය, අධ්‍යාපනය පිළිබඳ අපගේ පොරොන්දු අපි ඉටු කර තිබෙනවා.

ප්‍රශ්නය – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉතා ළඟ සම්බන්ධයක් තිබෙන බව ඔබ නිතර ප්‍රකාශ කරනවා. එසේම ඔබගේ ප්‍රජාව සුබසාධනය සම්බන්ධයෙන් ඉන්දියාව අඛණ්ඩ සැලකිල්ලක් දක්වා ඇති බව රහසක් නෙවෙයි. චීන සහ එක්සත් ජනපද මැදිහත්වීම සහ මාලදිවයින සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් පවතින පසුබිමක ඉන්දීය ශ්‍රී ලංකා සබඳතාවේ තත්ත්වය පිළිබඳව අදහස කෙසේද ?

පිළිතුර – ඉන්දියාව කෙරෙහි අහිතකර මානසිකත්වයක් තිබූ අතීතයක් මෙරට ජනතාවට තිබුණා. ඒ ඉන්දියානු ඇඟිලි ගැසීම් තිබූ අතීතය යුද්ධය නිසා. දැනට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ අසල්වැසියා පළමු ප්‍රතිපත්ති නිසා අපගේ සබඳතා යළි ගොඩනගා ගැනීමට උපකාර වී තිබෙනවා. අපේ රටවල් දෙක අතර සම්බන්ධය වසර දහස් ගණනක් ඈතට දිව යන්නක්. ඒ එක්සත් ජනපදය හා චීනය සමඟ අපගේ සබඳතාවලට බොහෝ කලකට පෙර. නමුත් පසුගිය වසර 50 තුළ සියල්ල පිරිහී තිබෙනවා. දැන් එය නැවත ගොඩනැගීමට කාලයයි. ඉන්දියාව භූගෝලීය හා සංස්කෘතික වශයෙන් අපගේ සමීපතම මිතුරා වෙනවා. අපගේ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමේදී, හිටපු ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලි මහතා විශාල කටයුත්තක් කළා. වසංගත, ආර්ථික අර්බුද සහ වෙනත් ගැටලු තිබියදීත්, අපගේ සබඳතාව නව තලයකට ගෙන ඒමට ඔහුට හැකි වුණා. මේ වන විට ගෝලීය තලයේදී ඉන්දියාව සුපිරි බලවතෙක්. ඒක අපේ වාසියට යොදා නොගන්නේ නම් එය අවාසනාවන්ත තත්ත්වයක්. වත්මන් මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඔහුගේ පෙර මෙහි සේවය කිරීමේ අත්දැකීම් සමඟ අප රටේ තත්ත්වය ගැන හොඳින් දන්නවා. අපගේ දිවි පාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කිරීමට මම හිතන්නේ ඔහු විශිෂ්ට කාර්යයක් කරාවි.

ප්‍රශ්නය – රටේ ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙමින් සිටිනවා. භාණ්ඩි මිල ඉහළ යෑම, බදු ප්‍රතිශතයන් ඉහළ දැමීම සම්බන්ධයෙන් ඔවුන් ආණ්ඩුවට දැඩි චෝදනා එල්ල කරනවා.

පිළිතුර – රටේ ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව ඇත්ත. රට වැටී තිබූ මොහොතේ වත්මන් ජනාධිපතිවරයා දුෂ්කර තීරණ සමග රට ස්ථාවර කර තිබෙනවා. රට පත්ව තිබූ අවුලෙන් ගොඩ ඒමට එතුමාට හැකි වුණා.

පසුගිය කාලය තුළ ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්ති ගැන ජනතාව සතුටු වුණා. දේශපාලන පත්වීම් ගැන සතුටු වුණා. මහජන මුදල් නාස්ති කළාට කමක් නැහැ වගේ ගැඟීම් ඇතැමුන්ට තිබුණා. දැන් අපි පත්වෙලා තියෙන ආර්ථික අර්බුදය ට අපිත් දායක වුණා කියලා අපිට තේරුණේ නැහැ. දැන් අපට ඉදිරියට යන්න අවස්ථාවක් තියෙනවා. අප අර්බුදයෙන් මිදී තිබෙනවා. නමුත් බදු, භාණ්ඩ මිල ඉහළ වැනි තවත් බොහෝ දුෂ්කරතා සමඟ ඉදිරියට යා යුතුයි. ඒ සඳහා දැන් අපට මාවතක් තිබෙනවා. කොතරම් දුෂ්කර වුවත් අප සියලු දෙනාම එක්ව ඉදිරියට යා යුතුයි. අවම වශයෙන් ඉදිරි වසර දහය සඳහා අපට ස්ථාවරත්වයක් අවශ්‍යයි. මගේ අවධානයට ලක් වූ එක් කරුණක් තිබෙනවා. ශ්‍රී ලාංකීය ඡන්දය ප්‍රකාශ කරන ජනතාව ඡන්දදායකයන් පිළිබඳ දැනුවත්භාවය නොමැතිකම ලොකු ගැටලුවක්. අපි අපේ තර්කයෙන් නොව හැඟීම්වලින් ඡන්දය දෙනවා නම් අපි අපේ රට ආපස්සට යනවා.

ප්‍රශ්නය – මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමාජය තුළ ලොකු කතාබහක් නිර්මාණය වී තිබෙනවා. එකී පනත ගැන ඔබගේ අදහස කුමක්ද ?

පිළිතුර – එම ආරක්ෂණ පනත් කෙටුම්පත ගැන මට යම් කනස්සල්ලක් තිබෙනවා. මම රජයේ නිලතලවල සිටියත්, ජනාධිපතිතුමාට සහාය දක්වන සාමාජිකයෙක් වුණත්, අන්තර්ජාල ආරක්ෂණ පනත ගැන මට තියෙන්නේ වෙනස් මතයක්. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරන ලද සංශෝධන ඇතුළත් කර තවත් සංශෝධන ඉදිරිපත් කරන බව මා දැනුවත් කර තිබෙනවා. මම ඒ අයට ඡන්දය දෙන්නේ Asia Internet Coalition එකෙන් යෝජනා කරන සංශෝධන තියෙනවා නම් විතරයි. ළමයින් අපයෝජනයට ලක්වන නිසාත්, පළිගැනීමේ අසභ්‍ය දර්ශන ඉතා කනගාටුදායක වන නිසාත් සබැඳි ආරක්ෂාව අත්‍යවශ්‍ය බව මම විශ්වාස කරනවා. නමුත් අපි අන්තර්ජාලය නියාමනය කිරීමට නීති ගෙන ඒමේදී අපි යම් තරමකට ප්‍රවේශම් විය යුතුයි. එය ජනතාවගේ අයිතිවාසිකම් කඩ නොකළ යුතුයි.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment