සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794ක් බහිරවයා ගිලලා…අපි නෙවෙයි කියන්නේ විගණනය

159

රියැදුරන් අසාමාන්‍ය ලෙස අතිකාල දීමන අරගෙන

අමාත්‍යාංශයේ වාහන ඇණිය පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතිය දුර්වල තත්ත්වයක

මෝටර් රථ 679ක්, යතුරුපැදි 1,115ක් අස්ථානගත වෙලා

බාහිර පාර්ශ්ව වෙත පවරා තිබූ වාහන 177ක පැවරීම්වල නීත්‍යානුකූල භාවය පවා තහවුරු කර ගැනීමට නොහැකි වෙලා

අතුරුදන් වී ඇති වාහන සොයාගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරිය යුතු බවට විගණනය මගින් නිර්දේශ

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන් වී ඇති බවට පසුගියා දා පැවති කෝපා කමිටු රැස්වීමේ දී අනාවරණය විය. එක් අතකින් ඖෂධ හා වෛද්‍ය උපකරණ නොමැතිව රෝගීන් දැඩි පීඩාවට ලක්ව සිටිති. එවන් පසුබිමක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය වාහන බලඇණියේ ඇති රථවාහන ටික පවා පරිස්සම් කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ… මෙසේ බහිරවයා විසින් ගිලගෙන තිබූ වාහනවල වටිනාකම තක්සේරු කිරීමට ජාතික විගණන කාර්යාලයට පවා නොහැකි වී ඇත. කොටින්ම කිවහොත් ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන ඇණිය පිළිබඳ සිදු කළ නියැඳි පරීක්ෂණයට අනුව වාහන ඇණිය පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතිය දුර්වල තත්ත්වයකට පත්ව තිබුණි.

මේ හේතුවෙන් විවිධ ආකාරයේ සාවද්‍ය ගෙවීම්වලට ඉඩකඩ ලැබී තිබුණි. උදාහරණයක් වශයෙන් ගතහොත් වෙන්කරනු ලැබූ වාහන 16කට අනුයුක්ත කර තිබූ රියැදුරන් වැඩකර තිබූ සෑම දිනකදීම පෙරවරු 6.00 සිට පසුදින පෙරවරු 6.00 දක්වා පැය 24ක් රාජකාරි කළ බවට වාහනය වෙන්වූ නිලධාරියා විසින් සහතික කර තිබුණි. අදාළ රියැදුරන් අසාමාන්‍ය ලෙස අතිකාල දීමනා ලබාගෙන තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ඇතුළු විධායක ශ්‍රේණියේ නිලධාරීන් 30 දෙනකු සඳහා නිල වාහන 30ක් වෙන්කොට තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794ක් බහිරවයා ගිලලා…අපි නෙවෙයි කියන්නේ විගණනය

එමෙන්ම සම්පූර්ණකර අවසන්කොට තිබූ ධාවන සටහන් පොත් වර්ෂයකට අධික කාලයක සිට රියැදුරන් භාරයේ පැවතුණි. ඒ විතරක් නොව රියැදුරන් භාරයේ තිබියදී ධාවන සටහන් අස්ථානගතවූ අවස්ථා ධාවන සටහන් පැන්සල් භාවිතාකර ලියා තිබූ අවස්ථා ද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. ඇතැම් ධාවන සටහන්පත් රියැදුරන් විසින් අදාළ නිලධාරීන් ලවා අත්සන් කරවාගෙන නොතිබුණි. වාහන ලෝග් සටහන් යාවත්කාලීනව පවත්වාගෙන ගොස් නොතිබුණි. අමාත්‍යාංශයේ ප්‍රවාහන අධ්‍යක්ෂ යටතේ කාර්යමණ්ඩල සාමාජිකයන් 33 දෙනකු සිටියද වාහන පාලනය මෙන්ම පොත්පත්ද විධිමත් පරිදි පවත්වාගෙන ගොස් නොතිබුණි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, නමින් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ තනතුරු නාම නමින් ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව 5,556කි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන ලේඛනය අනුව එම වාහන සංඛ්‍යාව 5972කි. ඉන් වාහන 1794ක අමාත්‍යාංශය සතුව නොතිබුණි. ඒ විතරක් නොව අමාත්‍යාංශය සතු වාහන ලේඛනයේ ඇතුළත්ව තිබූ මෝටර් රථ සහ යතුරුපැදි 177ක් බාහිර පාර්ශ්ව වෙත පවරා තිබුණි. මෙසේ බාහිර පාර්ශ්ව වෙත පවරා තිබූ මෝටර් රථ සහ යතුරුපැදි පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ද තහවුරුකොට තිබුණි. එහෙත් මෙකී වාහන එම පාර්ශ්ව වෙත පවරනු ලැබුවේ කුමන පදනමකින් ද යන්න පිළිබඳ තහවුරු කර නොතිබුණි. එමෙන්ම භෞතික පැවැත්ම තහවුරුකර ගැනීමට නොහැකිවූ මෝටර් රථ 584ක් ස්ථාවර වත්කම් ලේඛනයෙන් ඉවත් කිරීම සඳහා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2017 වර්ෂයේ දී රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි. එහෙත් ඒ සඳහා අනුමැතිය ලබා දී නොතිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබී අස්ථානගතවී ඇති වාහන සංඛ්‍යාවෙන් මෝටර් රථ 679කි. යතුරුපැදි 1,115කි. මෙකී වාහන 1794 අතුරින් 32 කාණ්ඩයේ කැබ් රථ 52කි. ඉංග්‍රීසි කාණ්ඩවලට අයත් මෝටර් රථ 43කි. අනිකුත් මෝටර් රථ 584කි. මෙකී වාහන සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් විධිමත් භෞතික පරීක්ෂාවක්ද සිදුකොට නොතිබුණි. අමාත්‍යාංශය සතුව පවතින බවට ලේඛනගත කර තිබූ මෝටර් රථ හා යතුරුපැදිවලින් මෝටර් රථ 1239ක් හා යතුරුපැදි 2795ක ස්ථානගත කිරීම පවා හඳුනා ගැනීමට විගණනයට නොහැකිවී තිබුණි. අමාත්‍යාංශය සතුව යතුරුපැදි 2803ක් පවතින බව විගණනය මගින් අනාවරණය කරගෙන තිබූ අතර එහෙත් විගණනයට ඉදිරිපත් කරනු ලැබූ අමාත්‍යාංශයේ වාහන ලේඛනයේ එම යතුරුපැදි අනුයුක්තකර තිබූ ස්ථාන සඳහන්ව නොතිබුණි. මින් අනියුක්තකොට ඇති ස්ථාන හඳුනා ගැනීමට හැකිවී ඇත්තේ යතුරුපැදි 08ක් පමණි. ඒ විතරක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු හා අමාත්‍ය කාර්යමණ්ඩල නිලධාරියකු විසින් තම දුරකාලය තුළ යතුරුපැදි 02ක් හා මෝටර් රථයක් රැගෙන ගොස් තිබුණි.

අනික් කාරණය වන්නේ වාහන වෙන්දෙසි කිරීමේදී වෙන්දේසිවලට අදාළ සියලු වාහන විගණනය සඳහා ඉදිරිපත්කොට නොතිබීමයි. මේ නිසා අමාත්‍යාංශයේ වාහන ලේඛනයේ ඇතුළත්ව ධාවනයට නුසුදුසු ලෙස හඳුනා ගන්නා ලද මෝටර් රථ 174න් මෝටර් රථ 94ක් විධිමත් පරිදි අපහරණයට කටයුතුකර තිබුණේද යන්න හඳුනා ගැනීමට විගණනයට ද ගැටලුවක් වී තිබුණි. ඒ විතරක් නොව වෙන්දෙසි කළ වාහන අමාත්‍යාංශයේ වාහන ලේඛනයෙන් ඉවත් කිරීමට ද කටයුතු කර නොතිබුණි.

වාහන 1794ක් අතුරුදන්වීම, අමාත්‍යාංශය සතුව පැවති බාහිර පාර්ශ්ව වෙත පවරා තිබූ වාහන 177ක පැවරීම්වල නීත්‍යානුකූල භාවය පවා තහවුරුකර ගැනීමට නොහැකිවී තිබූ අතර හිඟ වාහන 202කින් වාහන 171ක පැවැත්ම හෝ වෙන්දෙසි කළ බව තහවුරු නොවීම හේතුවෙන් නිශ්චිතව ගණනය කළ නොහැකි අලාභයක් අමාත්‍යාංශයට සිදුවී තිබුණි. ඒ විතරක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින 5792ක් ඉක්මවූ වාහන බල ඇණිය කළමනාකරණය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වාදීමට හා ක්‍රියාත්මක කිරීමට මෙතෙක් කටයුතු කර නොතිබීම නිසා මෙවැනි අලාභ තවදුරටත් සිදුවෙමින් පවතින බවට විගණනය මගින් අනාවරණය කොට ඇත. වාහන ඇණිය කළමනාකරණය කිරීම සඳහා ලබාගෙන තිබූ මෘදුකාංග පද්ධතිය විධිමත් පරිදි ක්‍රියාත්මක කරමින් දැනට පවතින දුර්වල කළමනාකරණය හා අවභාවිතය වැළැක්වීම අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ වගකීමකි. එහෙත් ඒ සම්බන්ධව ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා කටයුතුකර නොතිබුණි.

අමාත්‍යාංශය සතු එහෙත් පැවැත්ම හඳුනා ගැනීම නොහැකිවීම තුළ අස්ථානගතව ඇති බවට හඳුනාගන්නා ලද වාහන 1794 හා අමාත්‍යාංශය සතුවුවද අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ වාහන ලේඛනයේ ඇතුළත්ව නැති හා පැවැත්ම හඳුනාගත නොහැකිවීම නිසා ඌණතාවයක් වශයෙන් හඳුනාගෙන ඇති වාහන 171ක සොයාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරිය යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

මෙකී වාහන අතුරුදන්වීම පිළිබඳ විගණනය මගින් නිර්දේශ ගණනාවක් ලබාදී තිබුණි. ඒ කොයිහැටි වුවද විගණනය මගින් ලබා දී ඇති නිර්දේශ විගණන වාර්තාවට පමණක් සීමාවී තිබුණි. රජයේ වාහන බැහැරකිරීමේ ක්‍රියාදාමයට පටහැනිව වාහන විකිණීම මගින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධව අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා හා ප්‍රවාහන අංශය භාරව සිටි නිලධාරීන් මේ සඳහා වගකිවයුතුය. ඒ ගැන කතා දෙකක් නැත. අමාත්‍යාංශය සතුව පැවති මෝටර් රථ 177ක් හා යතුරුපැදි 82ක් බාහිර පාර්ශ්ව වෙත පැවරීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. එම පැවරීම්වල නීත්‍යානුකූලභාවය තහවුරු කිරීමට අදාළ ලිඛිත සාක්ෂි ඉදිරිපත් නොකරන වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට විගණනය මගින් නිර්දේශකොට තිබුණි.

එමෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති මෝටර් රථ 11ක් අමාත්‍යාංශයේ වාහන ලේඛනයේ පැවතීමට හේතු පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවටද විගණනය මගින් නිර්දේශකොට ඇත. අමාත්‍යාංශයෙන් අස්ථානගතවී ඇති වාහන සොයාගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළයුතුය. එම කාර්යභාරයේ වගකීම හා අධීක්ෂණය නිශ්චිතව නිලධාරීන් වෙත පැවරිය යුතුවන අතර මේ සම්බන්ධ වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට පියවරගත යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

එමෙන්ම වාහන වෙන්දෙසි පිළිබඳ තොරතුරු නිසි පරිදි පවත්වා නොගැනීම, සම්බන්ධයෙන් හා ගර්භිත ලෙස හඳුනාගන්නා ලද මෝටර් රථ විධිමත් අයුරින් අපහරණයට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබුණි.

මෙකී විගණන වාර්තාව නිකුත් කරන කාලයේදී එවකට සිටි අමාත්‍යවරයාට හා නියෝජ්‍ය අමාත්‍යවරයාට ඔවුන්ගේ කාර්යමණ්ඩලයට චක්‍ර ලේඛන විධිවිධානවලට පටහැනිව හිමිකම් ඇති වාහන ප්‍රමාණය ඉක්මවා වාහ 24ක් නිකුත්කොට තිබුණි. එසේ අමතර වාහන ලබාදීම සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව මුදල් රේගුලාසි අනුව විනයානුකූලව කටයුතු කළයුතු බවටද විගණනය මගින් නිර්දේශකොට ඇත.

වාහන අපහරණය හා අයථා වාහන පරිහරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට නිර්දේශකොට ඇත. ඒ විතරක් නොව සුනාමි ආධාර යටතේ අමාත්‍යාංශයට ලැබී තිබූ මෝටර් රථ ලියාපදිංචි කිරීමට අවශ්‍ය කටයුතු කර නොතිබුණි. පළාත් සෞඛ්‍ය ආයතන විසින් වෙන්දෙසි කරනු ලැබූ වාහනවලින් ඉපයූ මුදල් අමාත්‍යාංශ වෙත ලබා දී නොතිබුණි. අනුමැතියකින් තොරව එම වාහන වෙන්දෙසි කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු නිලධාරීන්ට විනයානුකූලව කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ ලබාගෙන තිබූ මෝටර් වාහන 28ක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ කාර්යන්ගෙන් බැහැරව වෙනත් කාර්යයන් සඳහා යොදවා තිබුණි. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව විශාල වාහන ඇණියක් පවතී. එහෙත් අමාත්‍යාංශය සතුව ඇති ගරාජය ධාරිතාවයට ප්‍රමාණවත් නොවීම නිසා වාහනවල අලුත්වැඩියාව වෙනුවෙන් බාහිර පාර්ශ්ව වෙත විශාල මුදලක් ගෙවීමට අමාත්‍යාංශයට සිදුවී තිබුණි. එහෙත් එකී ගරාජයේ ධාරිතාවය වර්ධනය කිරීමට හෝ කාර්යක්ෂම සේවය ලබාගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සකස්කොට නොතිබුණි. මෙකී විගණන වාර්තාවට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත අමාත්‍යාංශ වාහන පවරාදීමට කටයුතු කර තිබුණි.

වාහන වෙන්දේසියකදී අලෙවි නොවූ වාහනයක් ලෙස සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් විධිමත් අපහරණ මණ්ඩලයක් විසින් තක්සේරු විටිනාකම ගණනය නොකර ඒ වෙනුවට කාර්මික නිලධාරියකු විසින් රුපියල් 395,000කට තක්සේරු කළ මෝටර් රථයක් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු දැරි නිලධාරියකු වෙත පවරා තිබුණි. එමෙන්ම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම වෙනුවට අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයේ ප්‍රධාන කළමනාකරණ සහකාර තනතුර දැරූ නිලධාරියකුගේ ඉල්ලීම මත රුපියල් 2,90000 ක මුදලකට අමාත්‍යාංශය සතු මෝටර් රථයක් එම නිලධාරියා වෙත පවරා තිබුණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙසේ අස්ථානගතවී ඇති වාහන සොයාගැනීමට කටයුතු කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමකි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment