ප්‍රමාණවත් ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක  කරන තෙක් ශ්‍රී ලංකාවට ලෝක බැංකු ආධාර නෑ

277

ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව පවසයි. එහෙත් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට සහ පුළුල් ලෙස පදනම් වූ ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් සංවර්ධන පාර්ශ්වකරුවන් සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවද ලෝක බැංකුව පවසයි.

එසේම ශ්‍රී ලංකාවේ මහජනතාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන බවද ලෝක බැංකුව කියයි. ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඇතැම් ඖෂධ ලබා ගැනීමට, දුප්පත් හා අවදානමට ලක්විය හැකි පවුල්වල තාවකාලික මුදල් ආධාරයක් ලබාදීමට දුප්පත් පවුල්වල පාසල් ශිෂ්‍යයන්ට ආහාර සැපයීමට සහ ගොවීන් හා කුඩා පරිමාණ ව්‍යාපාරවලට ආධාර කිරීමට ලෝක බැංකුව කලින් අනුමත කර තිබූ ව්‍යාපෘතිවල මුදල් නැවත වෙන් කිරීමට කටයුතු කරගෙන යයි.

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට අන්තර්කාලීන මූල්‍ය පහසුකම් හෝ නව ණය මුදලක් ලබාදීමට යන බවට පළවී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බවද ලෝක බැංකුව පවසයි.

මේ අතර ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත චියෝ කන්ඩා මහත්මිය පසුගියදා (27දා) විදේශ අමාත්‍යාංශයේ දී විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවූ අතර මෙහිදී ශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ සහාය ලබාදෙන ලෙස විදේශ ඇමැතිවරයා ලෝක බැංකුවේ නියෝජිතවරියගෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment