දූෂිත දේශපාලන සංස්කෘතිය නඩත්තු කරන්න බැඳුම්කර හිමියන්ගෙන් සහනයක් ලැබෙන්නේ නැහැ

52

විපක්ෂ නායක අම්බලන්තොටදී කියයි

වෙරිටේ රිසර්ච් නම් පර්යේෂණ ආයතනය නැවුම් ප්‍රතිපත්තිමය උපකරණයක් නිර්මාණය කර ඇති බවත් මේ ආයතනයේ නියෝජිතයන් අප රටේ බැඳුම්කර හිමියන් සමග සිදුකළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස අප රටේ ණයවල පොලී අනුපාතය කොන්දේසි සහිතව කපා හරින්නට බැඳුම්කර හිමියන් සමග යම්කිසි එකඟතාවට පැමිණ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එහි දී බැඳුම්කර හිමියන් ඉදිරිපත් කළ කොන්දේසි අතර ජනතාවගේ මූලික හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වීම, දූෂණය පිටුදැකීමේ යාන්ත්‍රණය ශක්තිමත්ව කාලසටහනක් සහිතව ක්‍රියාත්මක කිරීම ආදිය ඇති බවත් රජයට මේ අවස්ථාවේ තමන්ගේ විනිවිදභාවය සහ පාරදෘෂ්‍යභාවය ඔප්පු කිරීමට අවස්ථාව උදා වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම දූෂණ විරෝධී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයට හැකි නමුත් රජයේ අරමුණ බංකොලොත් රටක හොරකමට ඉඩ දී ජාතික දේපළ හා සම්පත් මංකොල්ල කන අල්ලස්වලින් පිරුණු දූෂිත දේශපාලන සංස්කෘතිය නඩත්තු කිරීම බවත් එවැනි දේ කළහොත් බැඳුම්කර හිමියන්ගෙන් සහනයක් නොලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 158 වැනි අදියර යටතේ ඊයේ (17දා) අම්බලන්තොට මැලේකොලණිය අල් අක්බාර් මුස්ලිම් විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම සඳහා නව ඇඳුම් ලබා ගැනීමට පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment